2020 දී අපට බලය දෙන්න


 

වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව මේ සාකච්ඡාව ජ.වි.පෙ. නායක අනුර කුමාර දිසානායක සමඟයි.   


• රවී මාරු වුණා. ඊළඟට විජේදාස. මේවා ජ.වි.පෙ. කොහොම ද දකින්නෙ?   
දැන් වංචා දූෂණවලට එරෙහිව ප්‍රබල ජනමතයක් ගොඩනැගිලා තියෙනවා. දූෂිතයන්ට දඬුවම් දීම ඉක්මන් විය යුතුයි කියලත් ජනමතයක් ගොඩනැගිලා තියෙනවා. මේ ආණ්ඩුව පිහිටුවීම පිටිපස්සේ තිබුණු ප්‍රබල වුවමනාව තමයි ඒ කරුණ.   
ආණ්ඩුව අවුරුදු දෙක හමාරක් ගිහිල්ලත් ඒ වුවමනාවන් ඉටු කරන්න බැරි වීම තමයි දැන් පේන්න තියෙන්නේ. ආණ්ඩුව තමන්ම දීපු ඡන්ද පොරොන්දුවල හිරවෙලා දඟලනවා. ඒකට විවිධ ජවනිකා රඟපාන්න වෙලා. ඒ එක් ජවනිකාවක් තමයි රවී කරුණානායකගේ ජවනිකාව.   


• ඊටත් කලින් තිලක් මාරපනගෙ ජවනිකාව.   
බැඳුම්කර සිදුවීමට සම්බන්ධව බිත්තියට හේත්තු වුණාට පස්සේ රවී කරුණානායකගෙ ඉල්ලා අස්වීමත් එක් ජවනිකාවක් පමණයි. ආණ්ඩුව හිතනවා රවී කරුණානායක සිදුවීමෙන් සියලු පව්වලින් බේරෙන්න පුළුවන් කියලා. ඒක විහිළුවක්. දූෂිතයන්ට දඬුවම් ලබා නොදීම පිළිබඳ මෙතෙක් තියෙන විරෝධය මේ නිසා අඩු වෙනවා කියලා ආණ්ඩුව හිතනවා නම් එ්කත් විහිළුවක්. විජේදාස රාජපක්ෂට දැන් තඩිබාලා මේ චෝදනාවලින් බේරෙන්න පුළුවන් කියලා හිතනවා. ආණ්ඩුව තමන්ගේ අසාර්ථක භාවය විසින් ඇති කරගනු ලබන්නා වූ මෙම අර්බුද සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඔවුන් දීපු පොරොන්දු ඉටු කිරීම කියලා වැරදි චිත්‍රයක් ජනතාවට පෙන්නන්න හදනවා. අපේ රටේ ජනතාව මේ නාඩගමට නම් රැවටෙන්නේ නෑ.   


මේ වගේ නාඩගම්වලින් තමයි ආණ්ඩුව දුවන්න කල්පනා කරන්නේ. මීට දවස් කීපයකට කලින් හැම මාධ්‍යයකම ප්‍රධාන මාතෘකාව රවී කරුණානායක. දැන් ඒක විජේදාසට මාරු වෙලා. ආණ්ඩුවේ අසාර්ථක භාවය වහගන්න, ආර්ථික ඇදවැටීම වහගන්න මේ වගේ නාඩගම් ආණ්ඩුවට ඕන.   


• හැබැයි ආණ්ඩුව කියන්නේ ආණ්ඩුවේම අය ගැනත් චෝදනා එල්ල වුණොත් තියාගන්නේ නැතුව මේ අය එළියට දානවා, ඒක හොඳ ආදර්ශයක් කියලා?  
එහෙම තර්ක කරනව නම් ඔය කාටත් ඉස්සෙල්ලා ඉල්ලා අස්වෙන්න ඕන අගමැති රනිල් වික්‍රමසිංහනේ.   


බැඳුම්කර ගනුදෙනුවට අදාළව ප්‍රධාන සැලසුම්කරුවා විදියට චෝදනා එල්ල වෙන්නේ රනිල් වික්‍රමසිංහට.   


ඔහු යටතේ මහ බැංකුව තියෙනකොට ඔහුගේ අතිජාත මිතුරෙක් වෙච්ච අර්ජුන් මහේන්ද්‍රන් ඒකේ අධිපති කරලා ඇත්තේ විදේශයක ඉඳලා හදිසියේ කැඳවලා. රනිල් වික්‍රමසිංහ බැඳුම්කර සිදුවීම පිළිබඳ පරීක්ෂණ කරපු කෝප් කමිටුවට ඔහුට ඕන පිරිසක් එවලා මේක යට ගහන්න උත්සාහ කළා. මේ වගේ දේවල් නිසා ඉල්ලා අස් වෙනවා නම් කාටවත් කලින් අස්වෙන්න ඕන රනිල් වික්‍රමසිංහයි.   

 


• හැබැයි දැන් විජේදාස රාජපක්ෂ රකින්න ඒකාබද්ධ විපක්ෂය පෙරට ඇවිත්?   
ඇවන්ගාඩ් සිද්ධියට සම්බන්ධ විජේදාස රාජපක්ෂගේ හැසිරීම අපි මීට කලින් දැක්කා. අධිකරණ ඇමැති විදියට ඇවන්ගාඩ් අධිපතිවරයා රකින්න උත්සාහ කරපු ආකාරය රටම දැක්කා. එක්සත් ජාතික පක්ෂයේ ඉන්න අද ඔය විජේදාස රාජපක්ෂට තඩිබාන අය එදා විජේදාසව රැක්කා ඇවන්ගාඩ් සිදුවීමේදී.   


අද විජේදාසට තඩිබාන මාධ්‍ය ආයතනත් එදා විජේදාසලව රැක්කා. අපි මේ ගැන විවේචනය කළාම අපිටත් ගැහුවා. මේ හැම තැනකම තියෙන්නේ අවස්ථාවාදී දේශපාලනයක්.   


විජේදාස රාජපක්ෂ ඇමැතිකමේ ඉන්නවා ද නැද්ද කියන එක අපිට අදාළ නෑ. ඒක ආණ්ඩුවට අදාළ දෙයක්. අපිට තියෙන්නේ දූෂිතයන්ට දඬුවම් ලබාදීමට පමා වීම ගැන සහ වංචා දූෂණ කිරීම ගැන සමස්ත ආණ්ඩුව ගැනම තියෙන විවේචනයක්.   


අල්ලස් හෝ දූෂණ කොමිසමේ වැඩ හොඳින් කෙරීගෙන එනකොට දිල්රුක්ෂි ඩයස් ඒකෙන් අයින් කරලා, එ්ක සම්පූර්ණයෙන්ම අකාර්යක්ෂම කරලා දැම්මා. මේවා කෙරුණේ කාගෙ වුවමනාවට ද කියලා කවුරුත් දන්නවා. ආණ්ඩුව හොරු අල්ලන්නෙත් නෑ. ඒ මදිවට මහ දවල් හොරකම් කරනවා. ඒක නිසා මේ ආණ්ඩුව පලවා හරින්න ඕන.   


මේ පසුබිමක තමයි දූෂණ රකින්න උත්සාහ කරපු අධිකරණ ඇමැති රකින්න ඒකාබද්ධ විපක්ෂය උත්සාහ කරන්නේ. මේක පුදුම වෙන්න ඕන දෙයක් නොවෙයි. මේක තමයි සිදුවෙන්න පුළුවන් එකම දේ. දූෂිතයන්ට එකතු වෙන්නේ දූෂිතයන්.   


දැන් විජේදාස රාජපක්ෂ කටයුතු කරපු ආකාරය ගැන චිත්‍රයක් රටට පේනවා.   

 


• අලුතෙන් ආපු මුදල් ඇමැති වාහනවල මිල එහෙම අඩු කරගෙන සහන දෙන්නයි හදන්නේ. හොඳ නැද්ද ඒක?   
රාජපක්ෂ ආණ්ඩුවත් මේ ආණ්ඩුවත් අනුගමනය කරමින් තියෙන බදු ප්‍රතිපත්ති උපායවල් තියෙනවා. ඔවුන් විසින්ම අතිශය විශාල බදු පනවනු ලබලා ඊට පස්සේ දේශපාලන වාසියක් ගන්න පුළුවන් අවස්ථා බලලා එ්කෙන් සොච්චමක් අඩු කරනවා.   
වාහනවල බදු ඉතා ඉහළ තැනකට පසුගිය දවස්වල දැම්මේ රවී කරුණානායක මුදල් ඇමැතිවරයායි. ඒකට ලොකු සමාජ විරෝධයක් ආවා. ඔවුන්ම යළිත් ඒක සොච්චමකින් අඩු කරලා තියෙනවා. මේකෙන් ආණ්ඩුවට වීරයකු වෙන්න බෑ. මේක හරිම විහිළුජනක ආර්ථික ප්‍රතිපත්තියක්. 


ආර්ථිකය ප්‍රගතියක් වෙත ළඟා වෙන්න බැරි ආණ්ඩුව දේශපාලන වාසි බලාගෙන කරන මේ සෙල්ලම්වලින් රට තව තවත් ආර්ථික අගාධයකට යන එක විතරයි වෙන්නේ.   

 


• අලුත් දේශීය ආදායම් බදු පනතකුත් කරළියට ඇවිත්?   
මංගල සමරවීර වාහනවල මිල අඩු කරනවා කියලා සංදර්ශනයක් දාන අතරේ තමයි මේ පනත එන්නේ. මේ පනත හරහා පුණ්‍ය ආයතනවල සිට බොහෝ කාරණාවලට අදාළව බදු මුදලක් කැපෙනවා. ශිෂ්‍යාධාරවලින් ලොතරැයි දිනුම්වලිනුත් කලා කටයුතුවලින් ඇතුළු හැම දෙයක්ම බදු දාලා යටත් කරනවා මේ පනත හරහා. ආණ්ඩුව නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැති නිසා තමයි මේ කොහෙන් කොහෙන් හරි උදුරාගෙන ගොඩ යන්න බලන්නේ. ‘එදා වේල’ ආර්ථික ප්‍රතිපත්තියක් තමයි ආණ්ඩුවට තියෙන්නේ.   

 


• ජ.වි.පෙ. එක්ක කොළඹ ආපු ගොවියො යහපත් විසඳුමක් නැතුවම ගෙදර ගියා. මොකක්ද ප්‍රයෝජනය රස්තියාදු වීමේ?
සටන් කියන ඒවා සියල්ලම ජයග්‍රහණයකින්ම කෙළවර වෙන්නේ නෑ. අපේ අරමුණම සියලු සටන් ජයග්‍රහණයකින්ම කෙළවර වෙයි කියන එක නෙවෙයි. ඒක තමයි ප්‍රායෝගික යථාර්ථය. යම් යම් සටන් ජයග්‍රහණයෙන් කෙළවර වෙනවා. තවත් ඒවා අපි සටන් කරන කාරණයට අදාළ විනාශය පස්සට ඇදලා දානවා.   


තවත් සටන් පරාජයෙන් කෙළවර වෙනවා. මේ හැම එකකින්ම සටන් ව්‍යාපාර අත්පත් කරගන්නා අත්දැකීම් තමයි වැදගත්.   


අපි මේ රටේ ගොවියන්ගේ ප්‍රශ්න එක්ක හැමදාම සටනට බැහැපු පක්ෂයක්. අපි කරපු මැදිහත්වීම්වල වාසි ගොවියන්ට ලැබුණු අවස්ථා ගණනක් තියෙනවා.   


ගොවියන්ගේ ප්‍රශ්න ගැන වගක් නැතුව ඉඳපු පාලකයන්ගේ ඇස් ඇරවන්න අපේ සමහර මැදිහත්වීම් සමත් වෙලා තියෙනවා. ඒක නිසා ගොවියෝ පාරට බැහැලා නිකන්ම රස්තියාදු වෙලා ගියා කියලා කියන්න බෑ.   


​ෙම් සටන් කරන්නේ ගෙවල්වලට වෙලා ඉන්න බැරි අමාරුවකට නොවෙයි. ආණ්ඩුව තමයි ගොවියාව පාරට බස්සගෙන තියෙන්නේ.   

 


• අගමැතිවරයා ඇතුළු ඇමැතිවරු ගණනාවක් කියන්නේ මේ ආණ්ඩුව 2020 තියා ඊට පස්සෙවත් හොල්ලන්න බෑ කියලා?   
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් තියාගෙන, සියලු මාධ්‍ය තමන් අතේ තියාගෙන, රාජ්‍ය සම්පත් තමන් යටතේ තියාගෙන, මුල්‍ය බලය උපරිම ලෙස යොදා ගනිමින්, මැර බලය ශක්තිමත් කරගෙන, රට පුරා භීතියක් වපුරමින්, දශක ගණනක් බලයේ ඉන්න හිතාගෙන ඉඳපු රාජපක්ෂලාට ඉතාමත් ​ෙකටි කාලයක් තුළ ගෙදර යන්න සිද්ධ වුණා.   


එ් එක්ක සංසන්දනය කරලා බලද්දි මේ ආණ්ඩුව හෙල්ලෙන දතක් බවට පත් වෙලා අවුරුදු දෙකහමාරක් යනකොටම. මේක එළ හරකයි මී හරකයි බැඳපු ආණ්ඩුවක් වෙලා. කට්ටියක් ගොඩට අදිනවා, තව කට්ටියක් මඩට අදිනවා. ඔය කට වාචාල රාජිත සේනාරත්නලා වගේ ඇමැතිවරු මොන කයිවාරු ගැහුවත් ආණ්ඩුව වැටෙන වෙලාව කාටවත් කියන්න බෑ. රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්නකොටත් මේ අය කිය කිය හිටියේ එ්ක හොල්ලන්න වට්ටවන්න බෑ කියලනේ.   


දැන් අපිට තියෙන අභියෝගය තමයි පවතින ආණ්ඩුව පලවා හරිනවා වගේම තවත් එවැනි පාලකයන් බිහි වීමට ඇති ඉඩ ඇහිරීම. ඒ වෙනුවට විකල්පයක් ජනතාවට පෙන්නන්න ඕන. අපි මේ වනවිට ඒ විකල්පය නිර්මාණය කරමින් ඉන්නේ. ඒ බලවේගය හරහා තමයි තවත් මෙවැනි පන්නයේ පාලකයන් බිහිවීම වළක්වා ගන්න පුළුවන් වෙන්නේ.   

 


• 2015 ජනවාරි 8 මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ රාජපක්ෂ ආණ්ඩුවට ගහපු ගැහිල්ලේ උපරිම වාසිය ගියේ මෛත්‍රීපාල සිරිසේනට. ඒ හරහා තමයි මේ ආණ්ඩුව බිහි වෙන්නේ. දැන් මේ ආණ්ඩුව පලවා හරින්න ගෙනියන වැඩපිළිවෙළ හරහා යළිත් රාජපක්ෂ කණ්ඩායමට වාසියක් අත් නොවෙනවා කියලා තියෙන විශ්වාසය මොකක්ද?   
ඒ නිසාම තමයි මම කියන්නේ අපි අපේ අවධානය සහ උත්සාහය තියෙන්නේ එවැනි පන්නයේ පාලනයකට ඉඩ නොතබා වෙනත් විකල්පයක් වෙත ජනතාව එකතු කර ගන්න කියලා.   

 


• එහෙම විකල්ප අවකාශයක් වෙනුවෙන් ජනතාව අවදි වෙලා ද දැන්?   
දැනට අපි ඒ බලවේගය ගොඩ නඟමින් යනවා. අපි මේ විවිධ ජන කොටස් ඒකරාශී කරගත් පුළුල්ම ජන බලවේගය 2020 වෙනකොට ගොඩනගනවා.   


එතකොට ජනතාවට තීරණයක් ගන්න පුළුවන් විකල්පයක් තියෙනවා. දැනටත් මේ බලවේගය වටා ජනතාව එක්රොක් වෙමින් තියෙනවා.   


​ෙම් ප්‍රධාන පක්ෂ දෙක කාලයක් තිස්සේ ඔප්පු කරමින් ඉන්නවා. තමන්ට රට ගොඩනගන්න බෑ කියලා. ජනතාව මේ දෙකට අමතර ශක්තිමත් විශ්වාසවන්ත විකල්පයක් හොයමින් ඉන්නවා. කාලයක් තිස්සේ අපිත් මීට කලින් ඒ ජනතා විශ්වාසය තහවුරු කරන්න අසමත් වුණා. දැන් අපි ඒ විශ්වාසය තහවුරු කරමින් ඉන්නේ. 2020 වෙනකොට ජනතාවට ඒ බලවේගය හැර වෙනත් බලාපොරොත්තුවක් නෑ කියන තැනට ගේනවා. ගොඩනැගිය යුතු පාලනය කවරාකාරයේ එකක් ද කියන සංවාදය අපි දැන් ජනතාව සමඟ ආරම්භ කරලා තියෙනවා.   


ජනතා විමුක්ති පෙරමුණේ විවේචනවලින් ලැබෙන වාසිය කාණුවල බඩගාගෙන ඇවිත් ඔටුන්න දාගන්න හිතන දේශපාලකයන්ගේ ඔළුවලට වැටෙන්න ඉඩක් නෑ. අපි එහෙම ඉඩක් තියන්නේ නෑ.   

 


• මන්ත්‍රී ධුර හයක් තියාගෙන ඔය කියන ජනතා විශ්වාසය තව අවුරුදු දෙකක් යනකොට ගොඩනගන්න පුළුවන් කියන සිතුවිල්ල ප්‍රායෝගික ද?   
2015 ජනවාරිවලට මාස තුනකට කලින් රාජපක්ෂල තව මාස තුනකින් ගෙදර යන්න වෙනවා කියලා කවුරු හරි කිව්වා නම් ඕන කෙනෙක් ඇහුවෙ පිස්සු ද කියලා. එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ට වුණත් තව මාස දෙකකින් අගමැති පුටුවෙ රනිල් වාඩිවෙයි කියලා කිව්වානම් අහන්නේ පිස්සු ද කියලා. ඒත් ඒ දෙකම සිද්ධ වුණා. දේශපාලනයේදී වෙනස් වීම් සිදුවෙන්නේ එකයි එකයි දෙකයි, දෙකයි දෙකයි හතරයි කියන ගුණාකාර පිළිවෙළට නෙවෙයි. ඒ වෙනස්කම් සිදුවෙන්නේ පිමි ආකාරයට.   


අපි එහෙම දේශපාලන වෙනස්කම් අපේක්ෂා කරන දේශපාලන පක්ෂයක්. කාට හරි තර්ක කරන්න පුළුවන් .... තර්ක කරන ආකාරයටම. මන්ත්‍රී ධුර හයක් තියාගෙන ආණ්ඩු බලයක් ගැන කතා කිරීම ප්‍රායෝගික නෑ කියලා කියන්න පුළුවන්. බැලූ බැල්මට ඒක මනෝරාජිතයි කියලා පේන්න පුළුවන්. ඒත් දේශපාලන වෙනස්කම් වෙන්නේ ඒ විදිහට නෙවෙයි.   


අපි මීට කලින් බලයක් ඉල්ලුවේ නෑ. ආණ්ඩුවක් පිහිටුවන්න අපි ඉල්ලුවේ ආණ්ඩුව මට්ටු කරන බලය දෙන්න කියලා. 2020 අපි කියන්නේ අපිට ආණ්ඩු බලය දෙන්න කියලා. අපි ඒ සඳහා අවශ්‍ය බලවේගය ​ෙගාඩනගලා ජනතා විශ්වාසය ලබා ගන්නවා.   
එ්කට ඉදිරි වසර දෙක ප්‍රමාණවත්. අපි බලය අරගෙන ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් කියලා ජනතාවට ඔප්පු කරන්න ඕන. අපි ඒකට සූදානම්. මෙච්චර කල් අපි ඒ තැන හිටියේ නෑ. දැන් අපි එතැනයි ඉන්නේ. ඒ විකල්පය මඟහැර යා නොහැකි තැනකට ජනතාව පෙළගස්වනවා. ඒක තමයි අපේ අභියෝගය.

ප්‍රියන්ත කොඩිප්පිලි