‘‘රත්තරන් පා යුගලක්’’ ඇති පසිඳු ලක්ෂාන්


හදාගත්තොත් රටම දිනුම්

“දෙසීයකට වඩා පදක්කම් ගෙදර තියෙනවා”

 

 

“අපට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න නම් ලොකු පුහුණුවක් අවශ්‍යයි. අපේ රටේ පුහුණුකරුවන්ට වඩා පිටරට අයගේ පුහුණුව වැඩියිනේ. ඒ වගේ පුහුණුකරුවෙක් ලංකාවට ගෙන්වා හෝ අපේ අය පිටරට යවා මීට වඩා හොඳ පුහුණුවක් අරන් දුන්නොත් අපේ රටට හොඳ ජයග්‍රහණ රැසකට යන්න හැකි වෙයි.   


දක්ෂතා නැතිකම නෙමෙයි ලංකාවෙ තියෙන්නේ, දක්ෂතා තිබුණට එ් ගැන හොයලා බලන්න කෙනෙක් නැතිකම. ලංකාවෙ ක්‍රිකට්වලට තියෙන තැන මලල ක්‍රීඩාවට නෑ. මීට වඩා අපේ ක්‍රීඩා ගැන අවධානය යොමු කරන්න ඕනෑ ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන්. එහෙම වුණොත් ලංකාවට ඔලිම්පික් පදක්කම් අරගෙන එන්න බැරි නෑ.”

   
කඩුළු පැනීමෙන් සහ ධාවන ඉසව්වලින් ජයග්‍රහණ රාශියක් හිමි කරගෙන ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ නමක් තැබූ ඇතුගල්පුරවරයෙන් බිහි වුණ දක්ෂ තරුණ ක්‍රීඩකයකු ගැනයි මෙවර කතා බහ.   


ඔහු නමින් පසිඳු ලක්ෂාන් කොඩිකාර

 


•  මුලින්ම ක්‍රීඩාවට පිවිසුණේ? අපේ මුල්ම පැනය.


“පුංචි කාලේ ඉඳන්ම ක්‍රීඩාවට හැකියාවක් තිබුණා. මුලින්ම ඒ දක්ෂතාව හඳුනාගත්තෙ මගේ මුල්ම පාසල වූ හෙට්ටිපොළ ප්‍රාථමික විද්‍යාලයේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේදීයි. ඒ මුලින්ම මම අවුරුදු 11න් පහළ ක්‍රීඩා කරද්දී. එතැනින් පසුව මම පඬුවස්නුවර එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළත් වුණා.   


ඒ පාසලේදීත් ක්‍රීඩාවේ නිරත වුණා. උස පැනීම, දුර පැනීම, දිවීම යන ඉසව්වලට සම්බන්ධ වුණා. උස පැනීම තමයි වැඩිපුරම කළේ. ඒ තුළින් ජයග්‍රහණ ගොඩක් ලබා ගත්තා.   
ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලැබිලා 8 වසරෙදි කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලයට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණා. ඉන් පසුව උසස් පෙළ දක්වාම ඒ පාසලේ අධ්‍යාපනය ලැබුවා.”


•  පාසල් මට්ටමින් ලැබූ ජයග්‍රහණ?   


“කොට්ඨාස කලාප තරග ජයග්‍රහණය කළා. කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගවලිනුත් ජයග්‍රහණ අරන් තියෙනවා. පාසලේ වැඩිපුරම උස පැනීමෙන් තමයි ජයග්‍රහණ ලැබිලා තියෙන්නේ. ජාතික මට්ටමේ ජයග්‍රහණයක් මුලින්ම ලබා ගත්තේ 2012 වසරේදීයි.   


ඉන් පසුව ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියෙන් දුර පැනීම තෙවන ස්ථානයත්, උස පැනීම 4වන ස්ථානයත් ලැබුවා. පසුව මම 2014 දී කඩුලු පැනීමටත් සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වුණු පළමු තරගයේදීම එනම් ජෝන් ටාබට් මලල ක්‍රීඩා තරගාවලියේ ප්‍රථම ස්ථානය ගත්තා වාර්තාවකුත් පිහිටුවමින්.  


එතැනින් පසුව මම උස පැනීම සහ දුර පැනීම නවත්තලා කඩුලු පැනීම දිගටම කරගෙන ගියා. ඒ වෙනුවෙන් මට ​ලොකු හැකියාවක් තිබුණා. මේ වෙද්දි කඩුලු පැනීම සහ මීටර් 400 දිවීම තමයි මම කරගෙන යන්නේ. කඩුලු පැනීමෙන් කනිෂ්ඨ මට්ටමින් ලංකාවෙන් දෙවැනි තැනට වාගේ මම ඉන්නවා. මීටර් 400 හතර වැනි ස්ථානයට වගේ තමයි ඉන්නේ. දිවයිනෙන්ම දක්ෂතම ක්‍රීඩකයා වෙලා තියෙනවා. මේ වසරෙ විදෙස් තරගාවලි 4කට සම්බන්ධ වුණා.   


ජපානයේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 දිවීමේ තරගයෙන් දෙවන ස්ථානයත් 400x4 සහාය දිවීමේ තරගයෙන් පළමු ස්ථානයත් ලබා ගන්න හැකි වුණා. ඉන්දුනීසියාවේ පැවැති තරගාවලියෙනුත් 400x4 සහාය දිවීමේ තරගයෙන් 4 වැනි ස්ථානය ගත්තා.”


•  තරග ජයග්‍රහණය ලැබෙද්දි ඇතිවෙන සතුට වචනවලට පෙරළුවොත්?   


“ඇත්තටම හිතට හරි සතුටුයි කරපු කැපකිරීම්වලට ප්‍රතිඵලයක් ලැබුණාම.”


•  දැන් ගෙදර පදක්කම් කොයි තරම් සංඛ්‍යාවක් තියෙනවා ද?   


“ගණන් කරලා නම් නෑ. 200කට වඩා ඇති.”   


•  ඒවා දැක්කාම මොන වගේ සතුටක් ද තියෙන්නේ?   


“ක්‍රීඩාවෙන් කරපු කැපකිරීම් ගැන සතුටුයි. මම ඉන්නේ හෙට්ටිපොළ. ඉතින් උදේට හෙට්ටිපොළ ඉඳලා කුරුණෑගලට යන්න ඕනෑ බස් එකේ. කිලෝ මීටර් 40ක් වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. ඉතින් ඒ ගමන හරි දුෂ්කරයි. නමුත් එහෙ ගිහින් පුහුණුවීම් කරන්න ඕනෑ. ඒ කැපකිරීම් හැම දේම කළ යුතුයිනේ ඉදිරියට ​හොඳ ගමනක් යන්න නම්.”   


•  පාසලෙන් ලැබෙන සහයෝගය කොහොම ද?   


“පාසලේ ගුරුවරුන්ගෙන් අධ්‍යාපනය පැත්තට ලොකු සහයෝගයක් තියෙනවා. අතපසු වුණු පාඩම් එහෙම යළිත් පරිශීලනය කරනවා. ඒ වගේම විදුහල්පතිතුමාගෙනුත් ලොකු සහායක් ලැබෙනවා. පුහුණුවීම් කරද්දි වුණත් හොයලා බලනවා. පාසලේ ආදි ශිෂ්‍යයන්ගෙනුත් මිල මුදල් අතින් එහෙම තරගාවලිවලදි ලොකු සහයෝගයක් ලැබුණා.   


මගේ ජයග්‍රහණය වෙනුවෙන් උපහාර උළෙලක් ද පැවැත්වූවා. පෙරහරකින් මාව පිළිගත්තා.   


මම වෙනුවෙන් කළ ඒ වගේ දිරිමත් කිරීම් ගැන ඇත්තටම සතුටුයි. ඒ වගේම මගේ පුහුණුකරු බණ්ඩාර සර් ලොකු සහයෝගයක් ලබා දෙනවා. සර් නිසා තමයි මම අද මෙතැන ඉන්නේ.”


•  ඉදිරියට සම්බන්ධ වෙන තරගාවලි මොනවා ද?   


“දැන් පාසල් මට්ටමේ තරගාවලි ඉවරයි. ඉදිරියට තියෙන්නේ විවෘත තරගාවලි. ඉතින් ඉදිරියේදී ඒ තරග දෙකක් පැවැත්වෙනවා. ඒ වගේ අභියෝගවලට තමයි මේ දවස්වල පුහුණුවීම් කරන්නේ.   


පුහුණුවන අතරේ මගේ ඉවෙන්ට් එකට අදාළ වීඩියෝ එහෙම බලලා අවශ්‍ය දේවල් එකතු කරගන්නවා. දවසට පැය දෙකක් වගේ තමයි පුහුණුවීම් කරන්නේ. මොකද මම ලබන වසරෙ උසස් පෙළ විභාගයටත් මුහුණ දෙන නිසා. ගණිත අංශයෙන් තමයි උසස් පෙළ හදාරන්නේ.   


ගිය වසරේ උසස් පෙළට මුහුණ දෙන්න තිබුණේ. ඒත් ආසියානු මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වුණු නිසා මට විභාගයට ලියන්න නොහැකි වුණා.   


අධ්‍යාපන කටයුතුයි ක්‍රීඩා වැඩ කටයුතුයි දෙකම සමබරව කරගෙන යන්න ඕනෑ.”   


•  ලංකාව වෙනුවෙන් ලොකු ජයග්‍රහණ ලැබූ පසිඳුගෙ ක්‍රීඩා කෞශල්‍යය වැඩි දියුණු කර ගන්න දීලා තියනෙ පහසුකම් මොනවා ද?   


“අපට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් පෝෂණ දීමනාවක් දුන්නා මාස 2ක්. රුපියල් 75,000ක මුදලක් දෙනවා. මේ මුදල පළමු වතාවට තමයි ක්‍රීඩකයකුට දුන්නේ. ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සම්බන්ධ වුණු 8 දෙනකුට මේ මුදල පිරිනැමුවා.”   


•  ක්‍රීඩා අමාත්‍යාංශයෙන් කැඳවලා අවශ්‍ය දේවල් ගැන කතා කරලා තියෙනවා ද?   


“ඔව්. අපට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රැස්වීමක් තියලා ක්‍රීඩා ඇමැතිතුමා අපට අවශ්‍ය දේවල් ගැන කතා කළා.   


ඒ නිසයි අපට මේ මුදල පිරිනැමුවේ. ඒත් අපට තව ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපිට පාසලේ වුණත් පුහුණුවීම් කරන්න හොඳ ක්‍රීඩාගාරයක් නෑ. ඒ නිසා පුහුණුවීම් කරන්න හරි අමාරුයි.   


•  අපට පුහුණුවීම් කරන්න හැමදාම කොළඹ එන්නත් අපහසුයිනේ.   


කුරුණෑගල මාලිගාපිටියෙ හොඳ ට්‍රැක් එකක් හදනවා කිව්වා. ඒත් තවම නෑ. හරිම අපහසුවක් ඒ පැත්තෙන් තියෙනවා. අපිට ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න මෙහෙ තියෙන පහසුකම් හොඳටම මදි. කෑම බීම, පෝෂණ අවශ්‍යතා, වෛද්‍ය පහසුකම් ඒ දේවල් නිසියාකාරව සිද්ධ වෙන්නෙත් නෑ. ක්‍රීඩකයන්ගේ අඩුපාඩු ගැන බලධාරීන් මීට වඩා අවධානයක් යොමු කළොත් හොඳයි.”


•  ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න විය යුතු දේවල් මොනවා ද?   


“ලංකාවේ ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න ලොකු අඩුපාඩුකම් තියෙනවා. අපේ රටේ අනිත් රටවලට නොදෙවෙනි දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉන්නවා.   


නමුත් ඒ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තියෙන පහසුකම් අපේ අයට නෑ. අපේ රිලේ ටීම් එක ගත්තත් ඔක්කොම දක්ෂ පිරිසක් ඉන්නේ. නමුත් නිසි පුහුණුවක් අපට නෑ. තරගයට සතියක් තියලා තමයි කට්ටිය සංචිතයට ගෙනල්ලා පුහුණුවීම් කළේ.   


එහෙම කරලා වැඩක් නෑ. මීට වඩා හොඳ සැලැස්මක් ඇතුව වැඩ කරන්න ඕනෑ. එහෙම වුණොත් මීට වඩා දෙයක් අපට රට වෙනුවෙන් කරන්න තිබුණා.   


විශේෂයෙන් කියන්න ඕනෑ පුහුණුව ගැන. අපේ රටේ පුහුණුකරුවන්ට වඩා පිටරට අයගෙ පුහුණුව වැඩියිනේ. ඒ වගේ හොඳ දක්ෂ පුහුණුකරුවෙක් ලංකාවට ගෙන්වා හෝ අපව ඒ රටකට යවා හෝ හොඳ පුහුණුවක් දුන්නොත් මීට වඩා දෙයක් කරගන්න පුළුවන් වෙයි.   


•  ​ෙමාකද ක්ෂේත්‍රයේ අපි නොදන්න නුපුරුදු දේවල් ගොඩක් තියෙනවනේ. 

 
අපේ රටේ අප ගැන කතා කරන්නේ තරගයක් තියෙද්දි විතරයි. ඊට පස්සේ ඒක නැතිවෙලා යනවා. කොහොමත් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට තියෙන තැන මලල ක්‍රීඩාවට නෑනේ. ඇත්තටම ලංකාවෙ කුසලතා තියෙන ක්‍රීඩකයන් හිටියත් ඔවුන් නිසි අගය කිරීමකට ලක් කරන්නේ නෑ. නැතුව දක්ෂයන් නැතිකම නෙමෙයි.   


දක්ෂතා තිබුණත් ඒ ගැන හොයලා බලන්න කෙනෙක් නෑ. දක්ෂයෝ ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ව හරියට බලලා ඒ දේවල්වලට යොමු කරන්නේ නැති එක තියෙන්නේ. එහෙම වුණොත් ලංකාව මීට වඩා ලෝකයේ ඉහළ තැනකට ගෙනියන්න පුළුවන්.”


•  පසිඳුගෙ ඉලක්කය වෙන්නේ?   


“ඔලිම්පික් ගිහින් ලංකාවට පදක්කමක් ගේන්න තමයි තියෙන ලොකුම බලාපොරොත්තුව. ක්‍රීඩාව පැත්තෙන් වගේම අධ්‍යාපන පැත්තෙනුත් යන්න පුළුවන් ඉහළම තැනට යාමත් ලොකු ඉලක්කයක්.”   


•  මේ දේවල්වලට දිරියක් වෙන්නේ?   


“මගේ අම්මයි අප්පච්චියි තමයි නිතරම මගේ පස්සෙන්ම ඉඳලා හැම දේම හොයලා බලන්නේ. අම්මා ගුරුවරියක්. අප්චච්චි ගොවිතැන් කරන්නේ. මට අයියා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. එයාලටත් පුළුවන් විදියට මට මේ ගමන යන්න ශක්තියක් වෙනවා.”

 

 

 

සටහන : ධනු විජේරත්න