‘නැඳුන්ගමුවේ රාජාට’ ගී උපහාරයක්


සත්ත්වයකු වෙනුවෙන් අපේ රටේ නිර්මාණය වූ ප්‍රථම ගීතය ලෙස සැලකෙන්නේ “පනාමුරේ ඇත් රාජා” නමැති සුගතපාල මලලසේකර විසින් ගායනා කරන ලද ගීතයයි. ඔහු විසින්ම රචනා කොට ගායනා කළ ගීතය සංගීතවත් කළේ මොහොමඩ් ගවුස්ය. පුරා වසර 11ක් අඛණ්ඩව ශ්‍රී දළද‌ා කරඬුව වැඩම කරවීමේ භාග්‍යය ලද නැඳුන්ගමුවේ රාජා වෙනුවෙන් ද ගීතයක් නිර්මාණය වී තිබේ. ඉසුරු සමරසිංහ විසින් රචිත එම ගීතය ගායනා කරන්නේ විශාරද ජනනාත් වරකාගොඩය. සත්වයකු ජීවත්ව සිටියදී නිර්මාණය වූ ප්‍රථම ගීතය ලෙස මෙම ගීතය සැලකෙයි. නැඳුන්ගමුවේ ඇත් රජු පිළිබඳව කියැවෙන මෙම ගීතය වන්නේ “කාලවර්ණ පිංකඳ”යි. හස්තියාගේ ඇති ගුණවත්කම, තෙදවත්කම, පින්වත්කම මෙම ගීතයෙන් වර්ණනා කෙරෙයි.   

ගීතය රචනා කළ ඉසුරු සමරසිංහ පවසන්නේ “වෙනත් කිසිදු හස්තියකුගෙන් දක්නට නොලැබෙන සුවිශේෂී ලක්ෂණ නැඳුන්ගමුවේ රාජාගෙන් දක්නට ලැබෙන නිසා ගීතය රචනා කළ” බවය. ගීතය ගායනා කරන සංගීත විශාරද ජනනාත් වරකාගොඩ පවසන්නේ “මෙම ගීතය යුගයේ අවශ්‍යතාවක් බවයි. ඉසුරු සමරසිංහ විසින් මෙම ගීතය රචනා කර දී මාස හයක් පමණ කල්ගතව තිබුණ ද එය නිර්මාණය කිරීමට නිශ්චිත කාලය උදාවනතුරු සිටි බව ද” ඔහු පවසයි.   
1950 අගෝස්තු මස 09 දින වෙඩි පහරකින් මියගිය පනාමුරේ ඇත් රජු වෙනුවෙන් රට පුරා මහත් අනුකම්පාවක් ඇති විය.   


අලි පරපුරේ විමුක්තිය උදෙසා එම හස්තියා දිවි පූජා කළ  නිසා ජනතාව තුළ ගෞරවාන්විත භක්තියක් ඇත් රජු කෙරෙහි ඇතිවිය.   


භාරතයේ මහා සංගීතඥ නවුෂාඩ්ගේ සංගීත නිර්මාණයකට අනුව බිහි වී තිබූ ගීතයක තනුවකට අනුව “පනාමුරේ ඇත් රාජා” ගීතය සුගතපාල මලලසේකර විසින් රචනා කරනවිට පනාමුරේ හස්තියා මිය​ෙගාස් මාස තුනක් හෝ ගත වී නොතිබිණි.  


සුගතපාල මලලසේකර “පනාමුරේ ඇත් රාජා” ගීතය ලියා එම ගී පද පෙන්වූයේ මහා කවි ආනන්ද රාජකරුණා මහතාටය. රාජකරුණා මහතා එම ගී පද පරීක්ෂා කර බලා ඉමහත් සතුට පළ කළේය. මෙම ගීතයේ “ගණ” පිහිටීම අනුව හස්තියාගේ මරණයට වගකිව යුතු අයට මහත් අපල ගෙන දෙන බව ද රාජකරුණා මහතා අවධාරණය කළේය.  
ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිංහල සේවා අධ්‍යක්‍ෂ ධුරය දැරූ ඩී.එම්. කොළඹගේ මහතාගේ ද අනුග්‍රහය ඇතිව 1951 ජනවාරි මුල්භාගයේදී තමාම ලියූ ගීතය සුගතපාල මලලසේකර මහතා විසින් ගායනා කරනු ලැබූ අතර සංගීතඥ මොහොමඩ් ගවුස් එය සංගීතවත් කළේය. එදා ​ෙකාළොම්බියා තැටිගත කළ එම ගීතය ගුවන් විදුලි සංස්ථාවේ තවමත් සුරක්ෂිතව තිබේ. ගුවන් විදුලියෙන් ගීතය ප්‍රචාරය වී දින තුනකට පසුව 1951 ජනවාරි 21 දින පනාමුරේ හස්තියාට වෙඩි තබන්නට අණ කළ හිටපු කතානායකවරයකු වූ ප්‍රැන්සිස් මොලමුරේ මහතා මියගියේය.  
මෙම ගීතයට පසුව 2012 මාර්තු මාසයේදී පනාමුරේ රාජා වෙනුවෙන් තවත් ගීතයක් නිර්මාණය විය. පොලිස් අධිකාරී සමන් රත්නායක විසින් රචනා කළ “පනාමුරේ කඳු යායෙන්” නමැති ගීතය ගායනා කළේ නව පරපුරේ ගායක සමන් ලෙනින්ය. සංගීතවේදී නවරත්න ගමගේ ගීතය සංගීතවත් කළේය.  


දළද‌ා කරඬුව වැඩම කරවීමේ වැඩිම වාර ගණන හිමි වූ හස්තියා වන්නේ දළද‌ා මාලිගාවේ රාජා හස්තියා ය. වසර 50ක් පෙරහරේ කටයුතුවලට සහභාගී වූ “රාජා” වසර 32ක් ශ්‍රී දළද‌ා වහන්සේ වැඩම කරවනු ලැබීය. 1988 ජුලි 16 දින රාජා හස්තියා මියගිය අතර රාජා ජීවත්ව සිටියදීම 1986 අගෝස්තු 20 දින රජය මගින් රාජා ජාතික වස්තුවක් බවට ප්‍රකාශයට පත් කළේය.  


රාජාට පසුව වැඩිම වාර ගණනක් දළද‌ා කරඬුව වැඩම කළ අැතුන් අතර නැඳුන්ගමුවේ රාජා හස්තියා ද සිටියි. වසර 11ක් අඛණ්ඩවම නැඳුන්ගමුවේ රාජා දළද‌ා කරඬුව වැඩම කළේය. ඒ 2005 වසරේ සිටය.  


නැඳුන්ගමුවේ රාජා අපට ලැබෙන්නේ ඉන්දියාවෙනි. පිළියන්දල - නිලම්මහර වෙද පරපුරට අයත් නිලම්මහර වෙද හාමුදුරුවන් ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ මහා රාජාවරයකුගේ සහෝදරයකුට වෙදකම් කිරීමෙන් පසුව මහත් සතුටට පත් මහා රාජා අැත් පැටවුන් දෙදෙනකු නිලම්මහර වෙද හාමුදුරුවන්ට තෑගි දුන්නේය. ඉන් එක් ඇත් පැටවකු වූයේ නැඳුන්ගමුවේ රාජාය.   


වයස අවුරුදු 65 සීමාවට ළඟා වී ඇති නැඳුන්ගමුවේ රාජා තවමත් නීරෝගී සම්පන්නව සිටින්නේ ශ්‍රී දළඳා වහන්සේගේ ආශිර්වාදයට අමතරව පයින් ගමන් කිරීමේ ව්‍යායාම ද නිසාය. කිසි දින වාහනයකින් ගමන් නොගන්නා “රාජා” ගේ සෞඛ්‍ය තත්ත්වය හොඳින් ආරක්ෂා වීමට තවත් ප්‍රධානතම සාධකයක් වන්නේ රාජාගේ හිමිකරු වන හර්ෂ විජය වෙද රාලහාමි මෙරට දක්ෂ වෙදැදුරකු වීමයි. රාජාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ඔහු නිතර විමසිලිමත්ය. අවශ්‍ය සත්කාර හා පෝෂණය රාජාට නිරන්තරව ලැබෙයි.  


ජාතියේ ඉමහත් ගෞරවයට පත්ව සිටින නැඳුන්ගමුවේ රාජා “කාලවර්ණ පිංකඳ” ලෙස හඳුන්වා දී ඇති මෙම උපහාර ගීතයෙන් ද “රාජා”ට ආශිර්වාද ලැබී මේ මහා ජාතික වස්තුවට දීර්ඝායුෂ ලැබෙතැයි ජනතාව අපේක්ෂා කරති.   

 

 

 

දොම්පේ - අජිත් මදුරප්පෙරුම