​ෙපාත් කියවන අයට සම්මාන දුන් අපූරු උත්සවයක්


පොත් කියවන පාසල් ළමුන් වෙනුවෙන් පැවති අපූරු සම්මාන උළෙලක් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ මුදලිඳු එස්. තෝමස් ද. සිල්වා ශ‍්‍රවනාගාරයේදී පැවැත්වුණි.


පාසල් යන වියේදීම පොත් කියවීමේ රුසියකු වූ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල්පති හසිත කේෂර වෙත්තමුණි මහතා විසින් සිය විදුහලේ පොත් කියවන සිසුන් දිරිමත් කිරීමටත් සිසුන් පොත් කියවීම සඳහා වැඩි වැඩියෙන් පෙළඹවීමත් අරමුණ කරගෙන මෙසේ ලංකාවේ පළමු පාඨක සම්මාන ප‍්‍රදානෝත්සවය සංවිධානය කර තිබිණ.


විදුහල්පතිවරයා මේ සම්මාන උළෙලට සිසුන් තෝරා ගැනීමට වසරක කාලයක් ලබාදුන්නේ ඒ සඳහා ළමුන් තෝරා ගැනීමට නියමිත ක‍්‍රමවේදයක් ද සකසා දෙමින්ය. ඒ අනුව ගුරු භවතුන්ගේ අධීක්ෂණය යටතේ විෂය සමගාමී හා දැනුම ලැබෙන පොත් සියයක් කියවූ සිසුවකුට ලෝකඩ පදක්කමක්ද, පොත් පන්සියයක් කියවූ සිසුවකුට රිදී පදක්කමක්ද පොත් දාහක් කියවා පොතක් ලියූ සිසුවකුට රන් පදක්කමක්ද පිරිනැමීමට විදුහල්පති හසිත මහතා පියවර ගෙන තිබුණි. සිය ගුරු මණ්ඩලය සඳහා ද මේ සම්මාන උළෙල ක‍්‍රියාත්මක කර තිබීම මෙම සම්මාන උළෙලේ ඇති තවත් අපූර්වත්වයකි.


දුක් ගැහැට රැසකට මුහුණ දෙමින් මේ සම්මාන උළෙල සඳහා පාඨක සිසු සිසුවියන් සියයක් තෝරාගත් විදුහල්පති හසිත මහතා, මේ සම්මාන උළෙල සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසට කැඳවුයේද අමුතුම කෙනෙකි. කුඩා කල සිටම කියවීම පුරුද්දක් කොටගෙන කියවීම තුළින් මහාචාර්යවරයකු දක්වා දිගු ගමනක් ගිය කෙනෙක් මේ සඳහා තෝරාගෙන තිබුණි. ඒ අන් කවරකුවත් නොව රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විලේගොඩ අරියදේව හිමිපාණෝය.


මේ සම්මානයට පාත‍්‍ර වූ සිසු සිසුවියන් හා ගුරුවරුන් සම්මාන උළෙල සඳහා උත්සව සභාවට කැඳවාගෙන ගියේ පාවාඩ මතින් බෙර වැයුම් මධ්‍යයේය. එය හරියට උපාධි සම්මාන ප‍්‍රදානෝත්සවයකට නොදෙවැනිය. මේ පාඨක සම්මාන උළෙල එතරම්ම ගරු ගාම්භීර අයුරින් සංවිධානය කර තිබීම විශේෂයෙන්ම කැපීපෙනුණි.


මේ පාඨක සම්මාන උ​ෙළලේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වූ මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියන් පැවසුවේ මෙවැනි පාඨක සම්මාන උළෙලක් තමා දුටුවේ ජීවිතයේ පළමු වරට බවය. මෙවැනි සම්මාන උළෙලක් පිළිබඳව ඇසුවේද ලංකාවේ පළමු වරට වන අතර විදෙස් සංචාරවල නිරත වන තමන් මෙවැනි පාඨක සම්මාන උළෙලක් පිළිබඳව ලංකාවෙන් පමණක් නොව ලෝකයෙන්ද ඇසුවෙත් දුටුවේත් පළමු වරට බවත්ය. තම දැනුමේ විදිහට පාඨකයින් වෙනුවෙන් සම්මාන උළෙලක් ලෝකයේ පැවැත්වූයේ මේ පළමු වරට බව පැවැසූහ.

මහාචාර්ය විලේගොඩ අරියදේව හිමියෝ මෙසේ ද පැවසුහ.


පාසල් සිසුන්ට කියවීමට තියෙන වෙලාව තමන්ගේ බඩ වඩා ගැනීමට යොදා ගන්නා මේ රටේ ටියුෂන් මාස්ටර්ලා මහම මහා පවුකාරයෝ ජාතියක්. ඔවුන් මැරුණාම යන්නේ නිරයටයි. ඔවුන්ට වෙන හොඳ ආත්මයක් ගැන නම් අපි දන්නා විදිහට තියෙන්න විදියක් නම් නැහැ. ලංකාවේ පාසල් සිසුන්ගේ කියවීම මොට කිරීමේ අද ප‍්‍රධානතම සාධකය වෙලා තියෙන්නේ ටියුෂන් පන්තියි. මේකට ඉතින් දෙමාපියනුත් වගකිව යුතුයි.


අපි නිර්මාණකරණයට යොමුවුණේ පන්ති ගිහිල්ලා නෙමෙයි. ඒ සඳහා අවශ්‍ය වටපිටාව ගෙදරම නිර්මාණය වෙලා තිබුණා. ඒ වගේම ඉගෙන ගත්තෙත් පන්ති ගිහිල්ලා නෙමෙයි. අපි එදා ඉගෙන ගත්තේ අම්ම පැදුරු වියන්න පන්ටික ගලවන්න දියට බැහැල ඉන්න වෙලාවේ ගල උඩට වෙලා අම්ම දිහා බලාගෙන ඉඳලා. ගහේ කොළේ ගැටිලා පොළොවේ පය ගහපු නිසයි. අද දරුවෝ කොම්පියුටරේටයි, ෆේස්බුක් එකටයි වහල්වෙලා. ඒ තත්ත්වය යටතේ දරුවන්ට වෙන්නේ මොකක්ද කියලා හිතා ගන්නවත් බැහැ.


තම පාසලේ දරුවන් පොත් කියවීමට හුරුකිරීමට වෙර දරන ධර්මාශෝකයේ පිනට ආ මේ තරුණ විදුහල්පතිවරයා අපි කාටත් ආඩම්බරයක්. ලොකු ආදර්ශයක්. වෙනත් පාසල්වල දරුවන්ට වගේ ධර්මාශෝකයේ දරුවන්ට අද මුහුණු පොත දිහා බලබලා පිස්සන් මෙන් හිනාවෙවී ඉන්න කාලයක් නැහැ. ඒ අය මුහුණු පොත බලනවා වෙනුවට දැන් බලන්නේ පොත්පත්. තමන්ට රන් රිදී, ලෝකඩ පදක්කමක් ගන්න දැන් දම්සොවේ දරුවෝ පොත් කියවනවා. මේ පදක්කම් සමගම මේ දරුවන්ට නොමිලයේම දැනුමත් ලැබෙනවා. මේක මොන තරම් හොඳ දෙයක්ද. මම හිතන්නේ මේ වැඩපිළිවෙළ මුළු ලංකාවේම පාසල්වලට ව්‍යාප්ත කළොත් මේ රටේ පාසල් සිසුන් ෆේස්බුක් මාෆියාවෙන් ගොඩ ගන්න පුළුවන්. ගුරුවරුන් වෙනුවෙනුත් මේ අපූරු වැඩපිළිවෙළ ඇරැඹීම සතුටට කාරණාවක්. මේක ලෙහෙසි පහසු කාර්යක් නම් නොවේ යැයි උන්වහන්සේ කීහ.

 

 

 

කරන්දෙණිය සුසිල් එම්. ප‍්‍රියන්ත