​සොහොයුරන් තිදෙනා බේරගන්න කොටින්ට බැඳුනු අක්කා


උතුරේ සෑම පළාතකින්ම අනිවාර්​ෙයන්ම එක් දරුවෙකු හෝ ගරිල්ලා සටන් පුහුණුව ලබාගැනීම සඳහා එල්ටීටීඊයට බැඳිය යුතු බවට නියෝගයක් පනවා තිබුණේ එහි නායකයාව සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ය.   


මෙම නියෝගය බල නොපෑවේ ප්‍රභාකරන්ගේ දූ දරුවන් වූ චාල්ස් ලූකස් ඇන්තනි, ද්වර්ගා හා බාලචන්ද්‍රන්ට පමණි.   
එක් පවුලකින් එක් අයකු සංවිධානයට ලබා නොදුන්නොත් ගෙවල්වලට කඩාවැදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් ගරිල්ලා සටන් පුහුණුවීම් ලබාදීම එකල ජයටම කරගෙන ගිය බව ප්‍රසිද්ධ රහසකි.   


අනේ අපේ දරුවෝ අරගෙන යන්න එපා කියා මව්පියවරුන් කොටින්ගේ ඇ​ෙඟ් එල්ලී හඬා වැළපෙද්දී කොටි ත්‍රස්තයන් දරුදුක ඉවසා ගත නොහැකිව හඬා වැළපෙන මව්පියවරුන්ට අමානුෂික ලෙස පහරදී හෝ දරුවන් පැහැරගෙන යාමට කිසිසේත් පසුබට වී නොමැත.   


බලහත්කාරයෙන් පැහැරගෙනගොස් ගරිල්ලා සටන් පුහුණුවීම් ලබාදෙන අතරවාරයේ යම් දරුවකු පලා ආවොත් ඒ දරුවා සොයා ඇවිත් අල්ලාගෙන අතපය කැඩෙනතෙක් තල් පිති වලින් කොටින් පහරදී ඇත්තේ අනුකම්පා විරහිතවය.   


දරුවන් බලහත්කාරයෙන් පැහැරගෙන යාමේ වේදනාව ඉවසා ගැනීමට නොහැකිව වස පානය කර සියදිවි නසාගත් මව්වරුන් පියවරුන්ගේ සංඛ්‍යාවද එකල බොහෝය.   


දරු දුක ඉවසා ගැනීමට නොහැකිව බැරිම තැන කඳවුරුවලට ගොස් දරුවන් ඉල්ලා දවස් ගණන් නොකා නොබී හඬා වැළපී දරුවන් නොදුන් නිසා කඳවුරු ඉදිරිපිටදීම වස පානය කර හෝ සිරුරට ගිනි තබාගෙන සියදිවි නසාගත් මව්පියවරුන් ගැන මාධ්‍යවේදියෙක් ලෙස එකල කොටි පාලන ප්‍රදේශවල නිතර සංචාරයේ යෙදුණු මෙම ලේඛකයාට ද දැනගැනීමට ලැබුණේ ඒ ප්‍රදේශවල සිටි සාමාන්‍ය ජනතාවගෙනි.   


පාසල්වලට හිටිහැටියේ කඩාවැදී බාල වයස්කාර සිසු සිසුවියන් පවා පැහැරගෙන ගිය අවස්ථා ඒකාලයේ සුලබ වශයෙන් සිදුවූ බව මෙම ලියුම්කරු උතුරේ කොටි පාලන ප්‍රදේශවල සංචාරයේ යෙදුණු අවස්ථාවලදී හමුවූ විදුහල්පතිවරුන් හා ගුරුවර ගුරුවරියන් එදා පවසා සිටියේ හැඬූ කඳුළිනි.   


බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් සටන් පුහුණුව ලබාදෙන අතරවාරයේ ඒ පුහුණුවීම් දරා ගත නොහැකිව මිය ගිය දරුවන්ගේ සංඛ්‍යාවද ඉහළ මට්ටමක පැවතිණි.   


දරුවන්ට සිදුවන මෙවැනි අමානුෂික ක්‍රියා සම්බන්ධයෙන් අසන්නට ලැබුණත් එදා රාජ්‍ය නොවන සංවිධාන හෝ මානව හිමිකම් සංවිධාන මේවාට එරෙහිව ගත් ක්‍රියා මාර්ගයක් ගැන දැනගැනීමට ලැබුණේ නොමැති තරම්ය.   


එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පුනරීන් ප්‍රදේශයට කඩාවැදී පවුලේ කෙනෙක් ඉල්ලා ගෝරනාඩු කරද්දී මැදි වයසේ පසුවූ අම්මා කෙනෙක් හා තාත්තා කෙනෙක් තම දරුවන් සිව්දෙනා බේරා ගැනීමට කොටින්ගේ දෙපා මුල වැටී ‘අනේ අපේ දරුවෝ ගෙන යන්න එපා’ කියා වැඳ වැටෙද්දී හිත්පිත් නැති කොටින්ගෙන් ඒ අම්මාට හා තාත්තාට අනුකම්පාව වෙනුවට ලැබී ඇත්තේ පා පහරවල්ය.   


මල්ලිලාගෙන් කෙනෙක් ගෙනියන්න එපා මම එන්නම් ඔයගොල්ලොත් එක්ක යන්න කියා අක්කා ඉදිරිපත් වූයේ උඹලා හොඳට ඉගෙන ගනිල්ලා උඹලාට හොඳට ඉගෙන ගන්න පුළුවන්නේ. මට එච්චර ඉගෙන ගන්නත් බැහැ යැයි මල්ලිලා තුන්දෙනාට පවසමිනි.   


අක්කා එල්ටීටීඊ යට බැඳීමට නිවෙසින් පිටව යද්දී මල්ලිලා තුන්දෙනා හඬා​ වැටුණේ වෙන කරන්න දෙයක් නොමැති නිසාය.   


එල්ටීටීඊ එකට බැඳීමට දියණිය යද්දී බිම පෙරළී ඇයගේ මව්පියන් හඬා වැටුණේ දරු කැක්කුම දරාගත නොහැකිවය.   
එල්ටීටීඊයට බැඳුණු අක්කාට වෙච්ච දෙයක් අදටත් මල්ලිලා තුන්දෙනාට දැනගැනීමට නැත.  


අක්කා එදා එල්ටීටීඊයට බැඳෙද්දී උඹලා තුන්දෙනා හොඳට ​ඉගෙන ගනිල්ලා කියා කළ ආශීර්වාදය ඔවුන්ට සැබැවින්ම ආශීර්වාදයක් වී ඇත.  


මේ තුන්දෙනාගෙන් එක් සහෝදරයෙක් වෛද්‍යවරයෙකි. තවත් සහෝදරයෙක් විදුහල්පතිවරයෙක් වන අතර තුන්වැනියා ග්‍රාම නිලධාරීවරයෙකි.  


මල්ලිලා වෙනුවෙන් අක්කා එල්ටිටීඊයට බැඳුණු ඒ අනුවේදනීය කතාව අපිත් එක්ක කිව්වේ එවකට පුනරින් පොලිසියේ වැඩබලන ස්ථානාධිපති තනතුර දැරූ වර්තමානයේ නාවලපිටිය පොලිස් ස්ථානාධිපති තනතුර දරන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතාය.  


මේ කතාව මම දැනගත්තේ 2011 වසරේ පුනරීන් පොලිසියේ වැඩබලන ඕඅයිසී විදිහට රාජකාරි කරන කාලයේදී යැයි ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා ඒ අනුවේදනීය කතාව කියන්නට පටන් ගත්තේය.  


මම පොලිසියේ ඉන්නකොට පොලිසියේ බංකුවක වාඩිවෙලා කෙනෙක් හිටියා දැක්කා. මම ඔහු ළඟට ගිහින් මහත්තයා මොකටද ආවේ කියා විමසුවා. සර් මට පැමිණිල්ලක පිටපතක් ගන්නයි ආවේ කියා ඔහු මාත් එක්ක පැවසුවා. මම පොලිස් නිලධාරියකුට කතා කරලා ඉක්මනට මේ මහත්තයාගේ වැඩේ කරලා දෙන්න කියා පැවසුවා. ඒ වැඩේ කෙරෙනකම් මා ඔහුත් එක්ක ආගිය තොරතුරු විමසා සිටියා. මම මුලින්ම ඔහුගෙන් ඇසුවේ මහත්තයා රස්සාවක් කරනවාද කියායි. ඔව් සර් මම වෛද්‍යවරයෙක් යාපනය වෛද්‍ය පීඨයේ කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරනවා කියා ඔහු කිව්වා.  


ඔහු කිව්ව කතාව අහලා මට පුදුම හිතුණා. ඒ වෙන මොකවත් නිසා නොවේ ඔහු සාමාන්‍ය කමිසයකින් හා කලිසමක් ඇඳගෙන හිටියේ. ටයි පටියක්වත් බැඳලා තිබුණේ නැහැ. මෝටර් බයිසිකලයකින් තමා පොලිසියට ඇවිත් තිබුණේ. බැලූ බැල්මට ඔහු වෛද්‍යවරයෙක් කියා කීමට කිසිම කෙනෙකුට බැහැ. ඊට පස්සේ මම ඔහුට සර් කියා කතා කරන්න පටන් ගත්තා ඔහුත් මට සර් කියනවා.  


සර් මගේ එක් සහෝදරයෙක් විදුහල්පතිවරයෙක්. බාල සහෝදරයා ග්‍රාම නිලධාරී කෙනෙක්. අපි මේ තත්ත්වයට ගේන්න අම්මයි තාත්තයි නොවිඳිනා දුක්වින්දා. අපි හරිම දුප්පත් මිනිස්සු. අපිට අක්කා කෙනෙක් හිටියා. එල්ටීටීඊ එකෙන් අපි හතරදෙනාගෙන් කෙනෙක් උන්ගේ සංවිධානයට බඳවා ගන්න අපේ ගෙදරටත් දවසක් ආවා. එතකොට අපි හතරදෙනාම දම්තාමුනේයි ඉස්කෝලේ ඉගෙන ගන්නවා. අම්මයි තාත්තයි උන්ගේ කකුල් දෙක අල්ලා හඬලා කිව්වා අපේ දරුවන් අරගෙන යන්න එපා කියලා. උන් අපේ අම්මටයි තාත්තටයි ඒ වෙලාවේ පයින් ගැහැව්වා මට අද වගේ මතකයි. අක්කා ඒ වෙලාවේ උන් එක්ක යන්න කැමති වුණා. අක්කා කැමැත්තකින් නොවේ උන් එක්ක යන්න කැමති වුණේ. එයා අපි තුන්දෙනා ගැන හිතලා තමා එල්ටීටීඊ එකට බැඳෙන්න ගියේ. අක්කාගේ ඇස් දෙකේ කඳුළු පිරී තිබුණා මට තාමත් මතකයි කියාත් වෛද්‍යවරයා මාත් එක්ක කිව්වා.  


මට එච්චර ඉගෙන ගන්නත් බැහැනේ. උඹලා තුන්දෙනා හොඳට ඉගෙන ගනිල්ලා කියා ගෙදරින් පිටවෙලා කොටින්ට එකතු වෙන්න ගිය අක්කා ඊට පස්සේ කවදාවත් ගෙදර ආවේ නැහැ. අදටත් අක්කාට වෙච්ච දෙයක් ගැන අපි හරියට කියන්න දන්නේ නැහැ. සමහරවිට යුද්දෙදි අක්කා මැරෙන්න ඇති කියාත් වෛද්‍යවරයා එදා කිව්වා මට තාමත් මතකයි. අපි තුන්දෙනා හොඳට ඉගෙනගෙන අක්කාගේ ප්‍රාර්ථනය ඉෂ්ඨ කළා. අක්කා නැති වේදනාව අදටත් අපි විඳිනවා සර්. අක්කා අපි වෙනුවෙන් ජීවිතය දුන්නා කියාත් වෛද්‍යවරයා මාත් එක්ක කියා සිටියේ ඇස් දෙකේ කඳුළු පුරෝගෙන බව ද ප්‍රධාන පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා කීය.  


පුනරින් පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් වසරක පමණ කාලයක් සේවය කළ රාජපක්ෂ මහතා පසුව පලෙයි පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පත්ව ආවේය.  


සාමාන්‍ය දෙමළ ජනතාවගේ ඕනෑ එපාකම් සොයා බලන්න ඔවුන්ට හැකි අයුරින් පිහිටවූ නිසා ප්‍රධාන පොලිස් පරීක්ෂක ආනන්ද රාජපක්ෂ මහතා ප්‍රදේශයේ ජනතාව හඳුන්වා ඇත්තේ ගාන්ධි කියන අන්වර්ථ නාමයෙනි.  
මම පලෙයි පොලිසියට ආවාට පස්සෙත් ඒ දොස්තර මහත්තයා එක්ක කිට්ටු ආශ්‍රයක් තිබුණා යැයි රාජපක්ෂ මහතා අවසාන වශයෙන් අප සමඟ පැවසීය.

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  
ඡායාරූපය  
මාදම්පේ ලක්ෂ්මන් හෙට්ටිතන්ත්‍රි