​සේනා දළඹුවාගේ වගා හානිය හඳුනාගන්න


 

 

ලෝකයේ   මහාද්වීප දෙකක රටවල් රැසක වගාවන්ට පහර දුන් ‘හමුද‌ා කුණාටුව’ ලංකාවේ දිස්ත්‍රික්ක හයකට පහර දී තිබේ. ආක්‍රමණශීලි හා නිරෝධායන පළිබෝධකයකු වන ‘මෙම හමුද‌ා කුණාටුව’ ලංකාවේ දී හඳුන්වා දී ඇත්තේ ‘සේනා දළඹුවා’ ලෙසය.


සේනා දළඹුවා හෙවත් Fall Aramy Worm ලෙසින් හඳුන්වයි. මොවුන් සළබයකුගේ කීට අවධියේ දී මෙසේ ප්‍රහාරකයන් බවට පත් වේ. ලංකාවෙන් වාර්තා වූ ඉකුත් මාස දෙක ඇතුළත ලංකාවේ දිස්ත්‍රික්ක අටකට පැතිරී ඇති අතර එය භයානක තත්ත්වයකි.


සේනා දළඹුවාගේ භයානක කම


අම්පාර, දිස්ත්‍රික්කයෙන් මොවුන් ගැන මුලින්ම වාර්තා වූ අතර මේ වන විට මහඔය. ඇතිමලේ, සියඹලාණ්ඩුව යන ප්‍රදේශවල ද, අනුරාධපුරයේ හොරොව්පතාන, තුරුවිල, රාජාංගණය, කැකිරාව යන ප්‍රදේශවලින්ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව, ගිරිබාව, නාන්නේරිය ප්‍රදේශවලින් ද ගම්පොළ ප්‍රදේශයෙන් ද මොනරාගල, පොළොන්නරුව යනා දී ප්‍රදේශවලින් ද වැඩි වශයෙන් වාර්තා වී ඇත්තේ බඩඉරිඟු වගාව ආශ්‍රිතවය. ඒ හැර වවුනියාව හා හම්බන්තොට දිස්ත්‍රික්කවලින්ද සුළු වශයෙන් වාර්තා වී තිබේ.


බඩඉරිඟු පමණක් නොව උක්, වී, එළවළු, පලතුරු ඇතුළු රනිල බෝග සියයකට පමණ හානි කාරක තර්ජනයක් බව දේශීය පර්යේෂකයෝ අනතුරු අඟවා ඇත. ලංකාවට කෙසේ කුමනාකාරයෙන් පැමිණියේ ද යන්න තවම හෙළිදරව් වී නැතත් ඉකුත් මැයි මාසයේ දී ඉන්දියාවේ කර්ණාටක ප්‍රදේශයෙන් වාර්තා වීමත් මෝසම් සක්‍රිය වීමත් සමඟ ලංකාවට සංක්‍රමණය වෙන්නට ඇතැයි සැලකේ. ඒ මෙම දළඹුවාගේ සළබයාට දිනකට කිලෝ මීටර් සියයක් පියැඹිය හැකි නිසාය.


වගාවන්වලට මේතාක් කර ඇති හානි සලකා බලන විට සේනා දළඹුවාගේ ප්‍රියතමය වන්නේ බෝගයන්වල පත්‍ර හා පත්‍ර ගොබය සේනා දළඹුවාගේ ප්‍රහාරයට ලක්වූ වගාවල දැකිය හැකි ඉරුණු හා කඩතොළු වූ පත්‍ර මෙයට සාක්ෂි දරයි.


තෙත සහිත ලී කුඩු වැනි මළ ද්‍රව්‍ය පත්‍රවල හා ගොබ තුළ දැකිය හැකිය. තව ද ළපටි පත්‍රවල ගොබය තුළ කීටයන් ඇති අතර බඩඉරිඟු පුරුක් පණුවා මෙන් නොව කරල්වලට රිංගා බීජ කා දැමීම භයානකම තත්ත්වයයි.

 

 


සේනා දළඹුවා හඳුනා ගන්නේ කෙසේ ද?


සේනා දළඹුවාගේ ළපටි කීටයන් ලා පැහැති වන අතර වැඩුණු කීටයන් කොළ හෝ කළු දුඹුරු පැහැතිය. හිස තද පැහැති වන අතර ඇස් හා නළල අතර යටිකුරු ඉංග්‍රීසි Y (වයි) අක්ෂරයේ හැඩැති සළකුණකි.


මෙම සේනා දළඹුවා Spodoptera Frugiperda නම් සළබයාගේ කීට අවධියේ දී මෙසේ ප්‍රබල වගා හානි සතුරෙකු බවට පත්වේ. වැඩුණු කීටයකු සෙන්ටි මීටර් 3 - 4 ක් පමණ දිගු වන අතර කීටයකු ලෙස දිග 14 - 22 අතර කාලයක් ගත කරයි.


මෙම කීටයාගේ ශරීරයේ සෑම දේහ කාණ්ඩයකම පෘෂ්ඨිය ලප 4 බැගින් පිහිටන අතර අවසාන දේහ කාණ්ඩයට පෙර ඛණ්ඩයේ මෙම ලප හතර සම චතුරස්‍රාකාර කොටුවක් ආකාරයට දැකිය හැකිය. මෙම ලප ඉදිමුණු බිබිලි ආකාරයක් දක්වන අතර සෙසු දළඹුවන් මෙන්ම මොවුන්ද ජීවන චක්‍රයේ අවධින් හතරක් ගත කරයි. එනම් බිත්තර, දළඹු, පිලවා හා සළබ අවදිය යන අවධීන්ය.


ජාත්‍යන්තර පර්යේෂණ අනුව මෙම දළඹුවන් සිය කීට අවධියේ දී වර්ණ වෙනස් කිරීමට ද පරිණත බවක් දක්වයි. තවද අනිකුත් පලිබෝධකයන් මෙන් නොව මොවුන් දිවා රාත්‍රී දෙකේදීම සිය විනාශකාරි ප්‍රහාරයන් සිදු කරයි.


ඔවුන් සිය විනාශය උපරිමයෙන් සිදුකරනුයේ කීට අවධියේ වර්ධනීය අවස්ථා කිහිපයකදීය. එය දින 14 ක් පමණ වන අතර උෂ්ණත්වය අනුව එය අඩු වැඩි වේ. කුඩාම කීට අවස්ථාව දින 8 කට දහයකට පමණ සීමා වේ. ඉන්පසු වර්ධනය වන ආකාරයට පඳුරුවල ගොනු ආකාරයකට මොවුන් සිටිමින් මුළු ශාකයම කා දමා විනාශ කරයි.


තවද කීට අවධියේ ප්‍රාථමික අවස්ථාවක දී කීටයන් විසින් තම සහෝදර කීටයන් විනාශ කරමින් කා දැමීම සිදු කරයි. පිලවා අවධියේ දී පසට ඇතුළු වී පසේ සාරය විනාශ කරන මොවුන් සලබ අවස්ථාවට පිවිසි විට දිනකට කිලෝ මීටර් සියයක් දක්වා පියාසර හැකියාවකට උරුමකම් කියයි.


ගැහැණු සතෙකු එකවරකට බිත්තර 100 සිට 200 දක්වා ප්‍රමාණයක් ප්‍රියතම පඳුරුමය ශාක ගොබ අතර දමන අතර සිය ජීවන කාලයේදී බිත්තර 1500 ක් පමණ දමයි. කීට හා පිලවා අවධින් පසුකර සලබ අවස්ථාවට පත්වන්නේ මෙයින් සියයට 25 - 40ත් අතර ප්‍රමාණයක් වුවත් මිනිසාට වැඩිම වගා හානිය ගෙන දෙන්නේ කීට අවධියේදී නිසා මොවුන්ගේ බිත්තර හා කීට අවධින් විනාශ කරවීම ඉතාම අත්‍යවශ්‍යව වී ඇත.


පාලනය කළ හැක්කේ කෙසේද?


කෘෂිකර්ම අමාත්‍යාංශයේ, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විද්‍යාඥයින් හෙළිකර ඇති ආකාරයට මෙම දළඹුවා වසංගත තත්ත්වයකට පත්වීමට පෙර වළක්වා ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග කිහිපයකි.


ඉන් එකක් නම් ක්ෂණිකව ගත යුතු ක්‍රියා මාර්ගය හා ඒකාබද්ධ පාලන ක්‍රමයයි.


ඒ සඳහා පළිබෝධනාශක 12 ක් නිර්දේශ කර ඇති අතර ඒවා කාණ්ඩ තුනකට වෙන්කර ඇත. දුටු වහාම යෙදිය යුතු පළමු කාණ්ඩයේ කෘමි නාශක වර්ග 04 ක් හා ඉන් අනතුරුව දින 07 කට වරක් දෙවැනි කාණ්ඩයේ කෘමිනාශකත්, තවත් දින ගණනක දී තෙවන කාණ්ඩයේ කෘමි නාශක ද යෙදිය යුතු වේ.


එම කෘමි නාශක වර්ගවල විද්‍යාත්මක නාමයන් පමණක් මෙහි දී අප ඉදිරිපත් කරන අතර ඒවා විවිධ වෙළෙඳ නාමවලින් වෙළෙඳ පොළේ අලෙවි කෙරේ. ස්පිනොටරම්, ස්පිනෝසාඩ්, එම මෙක්ටින්, බොන්සොඑට් හා එටොෆෙන්ෆොක්ස් ප්‍රථම කාණ්ඩයටත්,


ෆ්ලුබෙන්ඩියාමයිඩ් (24%WG) ෆ්ලුවෛන්ඩියාමයිඩ් (20%WG) හා ක්ලෝරැන්ටුනිල්පෝල්, ටෙබුෆෙනොසයිඩ්, ක්‍රොමොෆොනොසයිඩ්, නොවැලි යුරෝන්, බ්ස්ට්‍රිලුරෝන් හා ලුෆෙනියුරෝන් තෙවැනි කාණ්ඩයේ දී යෙදිය යුතුය.


මෙම පළිබෝධකයා මේ වන විට කෘමිනාශකවලට ඔරොත්තු දෙමින් අනුවරණය වෙමින් පවතින නිසා එකම වර්ගයේ කෘමිනාශක නිතර නොයොදන ලෙසත් වරින්වර මාරු කරමින් යෙදිය යුතු බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කීට විද්‍යාඥයින්ගේ මතයයි.


මෙම කෘමිනාශක තාවකාලික විසඳුමක් පමණක් වන අතර සේනා දළඹුවා පාලනයට තිරසාර ක්‍රම භාවිතය ද නිර්දේශ කර ඇත. ඒකාබද්ධ පාලන ක්‍රමය ලෙස හඳුන්වා ඇත්තේ එම ක්‍රමයටයි.


එනම්


1. ආසාදිත බෝග අවශේෂ පුළුස්සා විනාශ කිරීම හා පසේ සිටින පිලා අවස්ථා විනාශ කිරීම සඳහා පස ගැඹුරට සී සෑම.
2. සාමුහිකව නියමිත කන්නයට වගා කිරීම.
3. පසට කාබනික පොහොර මිශ්‍ර කිරීම (හෙක්ටයාරයකට ටොන් 10)
4. රසායනික පොහොර යෙදීමේදී නිර්දේශිත ප්‍රමාණය පමණක් යෙදීම, නයිට්‍රජන් පොහොර වැඩිපුර යෙදීමෙන් වැළකීම.
5. ක්ෂේත්‍ර හා අවට වල් පැළ මර්දනය කිරීම.
6. හානිය මුල් අවස්ථාවේදීම හඳුනා ගැනීම සඳහා වගාව ආරම්භයේ සිටම සතියකට දෙවරක්වත් බෝගය පරීක්ෂා කර බලා පළිබෝධකයාගේ බිත්තර කැඳලි හා දළඹුවන් එකතු කොට විනාශ කිරීම.
7. වගාව ආරම්භයේදීම මෙම පළිබෝධකයා සඳහා වන ෆොරෝමෝන උගුල් යෙදීම.
8. සියුම් වැලි, අළු වැනි දෑ හානි කරන ලද බඩඉරිඟු පැළවල ගොබය තුළට දැමීම.
9. කොහොඹ ඇට නිස්සාරකය යෙදීම (ජලය ලීටර 10 කට ග්‍රෑම් 300-500)
10. බෝග මාරුව
11. අවශ්‍ය නම් පමණක් ඉහත දක්වා ඇති කෘමිනාශක කාණ්ඩවලින් එකක් නිර්දේශිත පරිදි යෙදීම.
12. පළිබෝධකයාගේ පැතිරීම වැළැක්වීම සඳහා ආසාදිත ශාක කොටස වෙනත් ප්‍රදේශවලට ප්‍රවාහනයෙන් වැළකීම යනාදී ක්‍රමවේද භාවිත කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.


ගන්නෝරුව පැළෑටි සංරක්ෂණ සේවයේ අතිරේක අධ්‍යක්ෂිකා ආචාර්ය දයානී පෙරේරා මහත්මිය දැනට අම්පාර ප්‍රදේශයේ ගොවීන් සමඟ එක්වී මෙම ජාතික ව්‍යසනකාරී කෘමියා මර්දනයට සහභාගි වී සිටින්නීය. එමෙන්ම කීට විද්‍යාඥවරියන් වන සුසන්ති චන්ද්‍රසේන මහත්මිය කුරුණෑගල දිස්ත්‍රික්කයටත්, නිශාන්ති ගුණවර්ධන මහත්මිය අනුරාධපුර, පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත් ආචාර්ය වැලිගමගේ මහතා මොනරාගල දිස්ත්‍රික්කයටත් යොමුකර පාලනයට හා මර්දනයට කටයුතු යෙදීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.


පෙරමෝන් උගුල් ගෙනල්ල තියෙන්නේ.


මහ ඉලුප්පල්ලම ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ කෘෂි විද්‍යාඥ ප්‍රධාන (කීට විද්‍යාඥ) නිශාන්ති ගුණවර්ධන මහත්මිය:


අනුරාධපුරයේ තුරුවිල, හොරොව්පතාන, රාජාංගනය, කැකිරාව ආදී ප්‍රදේශවලින් දැනට වාර්තා වී තියෙනවා. අපි දැනට ක්ෂේත්‍ර පරීක්ෂා කරල රසායනික වර්ග 12 ක් නිර්දේශ කරල තියෙනවා. ඒවට ක්ෂේත්‍ර පරීක්ෂා දෙකක් කරල මේවා හරියට යොදනවද කියා නිතර පරීක්ෂා කරනවා. මේ වර්ග එකපාරක් ගහල නම් මේ සතා පාලනය කරන්න බැහැ. සමහරු එකවතාවක්, දෙවතාවක් ගහල නවත්තලා ද‌ානවා. ඒක වැරදියි. ආයේ වැඩිවෙන්න පුළුවන්. දින 07, 10 ආදී කාලවලින් මේවා යොදන්නත් ඕනෑ. වෙනස් වෙනස් කාණ්ඩවලින් නොයෙදුවොත් මේ සතා ඒවාට අනුවරණය වෙනවා. ඒක තවත් භයානකයි.


මේ ටිකේ වැස්ස නිසා ටිකක් අඩුවෙලා තිබුණත් නැවත පායන්න ගත්තු ගමන් වර්ධනය වැඩි වෙනවා.


ලංකාවේ කලින් වාර්තා වෙලා නැති නිරෝධායන පළිබෝධකයකු නිසා අපට හරියටම කියන්නත් බැහැ. මේ වෙලාවේ වසංගතයක් වීමට පෙර ක්ෂණික ක්‍රියාමාර්ගවලට ගොස් ඒකාබද්ධ ක්‍රමවේදයට යන එකයි වඩා හොඳම.


පෙරමෝන් උගුල් කිහිපයක් අපි විදේශයකින් ගෙන්වා ගත්තා. ඒවා දැනට පර්යේෂණ මට්ටමේ තියෙනවා. ඒවට මේ පිරිමි සත්තු ආකර්ශනය වෙනවා. ඒ නිසා මේ ක්‍රමය සාර්ථක වුණොත් මුළු රටටම දෙන්නයි අපේ බලාපොරොත්තුව. දැනට දිස්ත්‍රික්ක හතරකට මේවා දීල තියෙනවා.


මේ උගුල බකට් ආකාරයට හා ත්‍රිකෝණාකාර හැඩයෙන් යුතුයි. විවිධ රටවල මේවා විවිධාකාරයට තිබුණත් අප ගෙන්වා ගත් ඇතැම් පෙරමෝන් උගුල් ලංකාවේදී සාර්ථක වුණේ නැහැ.


බඩඉරිඟු වලට පළිබෝධ නාශක භාවිතයට ගැනීමට ගොවීන් හුරුවෙලා නැති එක මෙතනදී ගොඩක් අවාසි සහාගතයි.


වයඹ ව්‍යාප්තිය පාලනය වෙලා


බතලගොඩ වී පර්යේෂණ ආයතනයේ කීට විද්‍යාඥ සුසන්ති චන්ද්‍රසේන මහත්මිය:


මේකේ තියෙන දරුණුකම නිසා ඉක්මනින් ව්‍යාප්ත වෙයි කියා හිතුවත් ගොඩක් දුරට පැතිරුණේ නැහැ. අපි ක්ෂේත්‍ර කිහිපයක පර්යේෂණ සිදුකරල තාවකාලික නිර්දේශත් දුන් නිසා ව්‍යාප්තිය සෑහෙන දුරට පාලනය වෙලා තියෙනවා. හැමෝම ඒ ගැන අවධානයෙන් ඉන්න ඕනා. කෘෂිකර්ම අමාත්‍යාංශය නිර්දේශ කළ පාලන ක්‍රමවලට අනිවාර්යෙන්ම යා යුතුයි.


පලිබෝධකයන්ගේ ව්‍යාප්තිය දැනට පාලනය වෙලා තිබුණත් අවද‌ානම තවම තියෙනවා. සුළු වශයෙන් වුණත් සත්තු හිටියොත් ස්ථීරව පාලනය වෙන්නේ නැහැ.


ගිරිබාවේ, නාන්නඑරියේත්, තඹුත්ත ආශ්‍රිතවත් පර්යේෂණ ක්ෂේත්‍ර වගා භූමි කිහිපයක් තියෙනවා. ඒ හැම තැනකම ගොවි මහත්වරුන් දැනුවත් කරල තියෙනවා. වයඹ පළාතේ අක්කර අනූවකට පමණ ව්‍යාප්ත වෙලා තිබුණා. දැන්නම් ඒ ප්‍රමාණය සෑහෙන දුරකට අඩුවෙලා තියෙනවා. පර්යේෂණ ස්ථාන තුනේම අපි ක්ෂේත්‍රයේ හැන්දෑ වෙනකම්ම සේවයේ ඉන්නවා.

 

 

 

සේයාරු හා සටහන පුෂ්පා වීරසේකර