​රෝහලක් අලුත් කළ ‘දොස්තර හොඳ හිත’


 

 

ඒ.ජී. ප්‍රියශාන්ත දොස්තර මහත්තයාව ඇලයාපත්තුව ගමේ විතරක් නොවේ අවට ගම්මානවල මිනිස්සු පවා හඳුන්වන්නේ ‘දොස්තර හොඳහිත’ කියාය.   


ඉස්පිරිතාලයට එන රෝගීන්ට ප්‍රියමනාප අයුරින් කතාබහ කරන ශාන්ත ගති පැවතුම් ඇති නිසා දොස්තර මහත්තයාගේ එ් නම ද හරිම අපූරුවට ඔහුටම ගැළපෙන්නෙකි.   
දිනකට පැය 2ක් මේ දොස්තර මහත්තයා චැනල් සේවයේ යෙදෙන්නේ ද රෝහල වැඩිදියුණු කිරීමට අවශ්‍ය අරමුදල් සොයා ගැනීමට යැයි කියා කිව්වොත් සමහර විට ඔබ පුදුමයට පත්වනවා නොඅනුමානය.   


ඒත් ඇත්ත කතාව ඒකය. 

 
අනුරාධපුර දිස්ත්‍රික්කයට මායිම්ව ඇති ඇලයාපත්තුව පර්යන්ත රෝහලේ ලොකු දොස්තර ප්‍රියශාන්ත මහතාය.   


ඉස්පිරිතාලයේ නොමැති පෞද්ගලික ඔසුසල්වලින් ගැනීමට නියම කරන බෙහෙත් මිලදී ගැනීමට තරම් වත්කමක් නොමැති රෝගීන්ට ඒ බෙහෙත් ටික ගන්න ප්‍රියශාන්ත දොස්තර මහත්තයා ඔහුගේ පොකැට්ටුවෙන් අරන් සල්ලි දුන් අවස්ථා අපමණය.   


ඒ විතරක් නෙමේ, ඉස්පිරිතාලේ ඉඳලා ආපසු ගමට යාමට බස් ගාස්තුව නොමැතිව සැතපුම් ගණනක් ගිනි ගහන මද්දහනේ පයින් යාමට සැරසෙන රෝගීන්ට බස් එකේ යන්න සල්ලි දීමට තරම් මේ දොස්තර මහත්තයා කාරුණිකය.   


රෝහලේ නොමැති අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග හිඟ වූ අවස්ථාවල මේ දොස්තර මහත්තයා ඔහුගේ පෞද්ගලික වියදමින් අවශ්‍ය ඒ බෙහෙත් රැගෙන ඇවිත් රෝහලේ ගබඩාකර තබා ගෙන ඇත. මේ දොස්තර මහත්තයා ඇලයාපත්තුව ඉස්පිරිතාලයට වැඩ බාරගැනීමට ආවේ මීට වසර 02කට පමණ පෙරය.   


 ඒ එන කාලයේ රෝහල බොහෝ අබලන් වී ජරාවාස වී වත්ත වල් බිහිවෙමින් තිබිණි. රෝගීන්ට වාසය කිරීමට සුදුසු තත්ත්වයකට ගෙනවිත් රෝහල පිළිසකර කර වැඩි දියුණුකර ඇත්තේ ප්‍රියශාන්ත දොස්තර මහත්තයාගේ අප්‍රතිහත ධෛර්යයේ හා කැපවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඇලයාපත්තුව රෝහල දැන් රෝගීන්ට ප්‍රියමනාප තැනක් බවට පත් වී දැන් බොහෝ කල්ය.   


එහි සම්පූර්ණ ගෞරවය හිමිවිය යුත්තේ ප්‍රියශාන්ත දොස්තර මහත්තයට බව ගම්මුන් පවසන්නේ ඔහුට අනේකවාරයක් පින් දෙමිනි. ගමේ කෙනෙකුට ලෙඩක් දුකක් ඇතිවූ විට පිහිටවන එකම ඉටු දෙවියා ප්‍රියශාන්ත දොස්තර මහත්තයා බව ද ගම්මුන් පවසති. මිල මුදල් බලාගෙනම රෝගීන්ට ප්‍රතිකාර කරන නූතන හිපක්‍රොටීස්ලා ද සිටින සමාජ වටපිටාවක් තුළ ප්‍රියශාන්ත දොස්තර මහත්තයා ගැන කතා කරන්නේ ඔහුගේ මානව හිතවාදී ගතිගුණ නිසාය.   


ප්‍රියශාන්ත දොස්තර මහත්තයා වගේම තවත් එවැනි දොස්තර මහත්වරුන් ද ඕනෑ තරම් සිටින අතර මේ කතාව ලියන්නේ ඔවුන්ට ද කරන ගෞරවයක් වශයෙන් සහ මුදල් හම්බ කරගැනීම පමණක් සිතා කටයුතු කරන සමහර වෛද්‍යවරුන්ට ආදර්ශයක් වශයෙනි. වෛද්‍ය ප්‍රියශාන්ත මහතා ඇලයාපත්තුව පර්යන්ත රෝහලේ සේවයට යන්නේ අනුරාධපුරය ශික්ෂණ රෝහලේ සේවය කරන ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙකු වන අනුර විජේසිංහ මහතාගේ ඉල්ලීමකට අනුවය.   

 

 


“ ‘මල්ලී, ඇලයාපත්තුව රෝහල හොඳටම අබලන් වෙලා. පුළුවන් නම් ඒ රෝහලට ගිහින් ඒක වැඩිදියුණු කරලා දියං’ කියා මගෙන් ඉල්ලීමක් කළා. ඒ වෙනකොටත් මම වෙනත් රෝහලකට ස්ථාන මාරුවක් ලබා ගෙන තිබුණා. ඒ මාරුව කැන්සල් කරගෙන ඇලයාපත්තුව රෝහලට ඇවිත් වැඩ බාරගත්තා.”


 මීට වසර 1 1/2කට විතර කලින් ප්‍රියශාන්ත දොස්තර මහත්තයා ඇලයාපත්තුව රෝහලට පැමිණි ආකාරය ගැන මා සමඟ පැවසුවේ එහෙමය. “මම රෝහලට එනකොට මුළු රෝහල් වත්තම වල් බිහිවෙලා තිබුණේ. රෝහලට අවුරුදු ගාණකින් හුණු ටිකක් ගාලා තිබුණේ නැහැ. රෝහල හොඳටම අබලන් වෙලා තිබුණා. වාට්ටුවලට ද‌ාන මදුරුදැල් ඉරිලා පාවිච්චියට ගැනීමට නොහැකිව තිබුණා. අත්‍යවශ්‍ය බෙහෙත් කිසිම දෙයක් තිබුණේ නැහැ. රෝහල දියුණු කරන්න කොතනින් පටන් ගන්න ද කියා හිතාගන්න බැරිව ගියා. මේක මට ලොකු අභියෝගයක් බව තේරුම් ගත්තා. කොහොම හරි ඒ අභියෝගය ජයගන්නවා කියා හිතාගත්තා. මේ රෝහලෙන් ගම්මාන 60ක් විතර ආවරණය වෙනවා.   
 මුලින්ම රෝහල් කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළා. පසුව රෝහල් සංවර්ධන කමිටුව එක්ක, ගමේ අය එක්කත් සාකච්ඡා කළා. ඊට පස්සේ රෝහල පියවරෙන් පියවර දියුණු කරන ක්‍රමවේදය සකස් කරගත්තා.” හොඳටම අබලන්ව රෝගීන්ට නොසුදුසු තත්ත්වයක තිබුණ රෝහල දියුණු කිරීමට අඩිතාලම දැමූ ආකාරය ගැන වෛද්‍ය ප්‍රියශාන්ත මහතා විස්තර කළේ එහෙමය.   


“මම ඇලයාපත්තුව රෝහලට ආව ගමන්ම කළේ වල් බිහිවෙලා තිබුණ රෝ්හල් භූමිය පිරිසිදු කරන එකයි. උතුරුමැද පළාතේ අමරපුර නිකායේ අනුනායක ගල්මිල්ලෑවේ සද්ධාතිස්ස නාහිමියන්ගේ උදව් ඇතිව එවකට තන්තිරිමලේ හමුද‌ා කඳවුරේ කර්නල් කරුණාරත්න මහතාගේ සහායෙන් හමුද‌ාවේ සහ සිවිල් ආරක්ෂක බළකායේ භටයන් යොදවා රෝහල් කාර්ය මණ්ඩලය හා ගම්වාසීන් එක්ව පිරිසිදු කළා. ජරාවාස වී තිබුණ වාට්ටු පිරිසිදු කළා. අලුත් ඇඳන් ගත්තා. රෝහලට අවශ්‍ය මදුරු දැල් සේරම කොරකහවැව පුරාණ විහාරාධිපති අලුත්පුලියන්කුලම බුද්ධ රක්ඛිත හිමියන් ඇතුළු ද‌ායක සභාව විසින් පරිත්‍යාග කළා.   


රෝහලට අවශ්‍ය අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග, වෛද්‍ය උපකරණ අනුරාධපුර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධිකාරි කාර්යාලයෙන් ගෙන්වා ගත්තා. තවත් මදිවෙලා තිබුණ වෛද්‍ය උපකරණ මගේ පෞද්ගලික මුදල් යොදවා මිලදී ගත්තා. අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග හිඟ වුණාම ඒවා මගේ පෞද්ගලික වියදමින් මිලදී ගෙන රෝහලේ ගබඩාකර තබාගෙන තිබෙනවා. අහිංසක දුප්පත් රෝගීන්ට පෞද්ගලික ඔසු සැල්වලින් බෙහෙත් ගන්න තරම් හයියක් නැහැ.” යැයි වෛද්‍යවරයා කීය. රෝහල් භූමියේ ඇති ළමා උද්‍යානය සාද‌ා ඇත්තේ ද වෛද්‍ය ප්‍රියශාන්ත මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙනි.   


“වසර 08ක පමණ කාලයක් තිස්සේ අඩපණව තිබූ ප්‍රසූතිකාගාරය හා හදිසි ප්‍රතිකාර ඒකකය මා මෙහි රාජකාරි බාරගත්තාට පස්සේ විධිමත් ලෙස ආරම්භ කළා. සෑම සායනයක්ම හොඳින් කරගෙන යනවා. ඒ සඳහා සහකාර වෛද්‍ය වරුණ වනසිංහ, ප්‍රධාන හෙද නිලධාරි හර්ෂණ යන මහත්වරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයෙන් මේ සඳහා මට වචනයෙන් නිම කරන්න බැරි උදව් උපකාර සෑම අවස්ථාවකම ලැබෙන බව විශේෂයෙන් සඳහන් කළ යුතුයි.   


දැනට සතියකට සැරයක් රෝහලෙන් නොමිලයේ ලේ මුත්‍ර සාම්පල් රෝගීන්ට පරීක්ෂා කර දෙනවා. අංගසම්පූර්ණ වෛද්‍ය රසායනාගාරයක් සෑදීමට මේ වෙනකොටත් සියලුම පියවර ගෙන තිබෙනවා. තිසාවැවෙන් තමා රෝහලේ අවශ්‍යතාවයට වතුර ලබාගත්තේ. තිසාවැවේ වතුර නැතුව ගියාම රෝහලේ අවශ්‍යතාවලට වතුර නැහැ. ඒ නිසා අලුත්ගම සද්ධාරංසි හිමියන්ගේ මූලිකත්වයෙන් රෝහල් භූමි​යේ තිබෙන කාලයක් ජරාවාස වෙලා තිබුණ ළිඳ පිළිසකර කරගත්තා. ඒ නිසා දැන් රෝහලට වතුර ප්‍රශ්නයක් ආයෙත් ඇතිවෙන්නේ” නැහැ යැයි වෛද්‍යවරයා පවසයි. රෝහලට එන රෝගීන් බෝවෙන හා බෝ නොවන රෝග ගැන දැනුම්වත් කිරීමට වෛද්‍ය ප්‍රියශාන්ත මහතා විශේෂ වැඩපිළිවෙළක් ද සකස්කර ක්‍රියාත්මක කර තිබෙන නිසා බෝවන රෝගීන්ගේ ප්‍රතිශතය ද අඩු වී ඇති බව රෝහලේ ඇති දත්ත සාක්කි දරයි.   

 

 


රෝහල පුරා ශබ්දවාහිනී යන්ත්‍ර පද්ධතියක් සවිකර ඒ හරහා රෝග ගැන රෝගීන් දැනුම්වත් කිරීම සිදුකරගෙන යනු ලබයි. 

 
“රෝහලේ නඩත්තු කටයුතුවලට අවශ්‍ය අරමුදල් සොයා ගැනීමේ අරමුණින් පමණක් මා රෝහලේ සේවයෙන් පස්සේ පැය දෙකක පමණ කාලයක් පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදෙනවා. එයින් ලැබෙන මුදල් මා රෝහලේ නඩත්තුවලට වැය කරනවා. අපේ පවුලේ අයත් රෝහල වැඩිදියුණු කරන්න මුදල් ආධාර කරනවා. මගේ හිතවතුන් හා ජර්මන් ජාතික හිතවතුන් පිරිසක් ද රෝහල මේ තත්ත්වයට ගේන්න ගොඩක් උදව් කළා. මගේ මූලිකත්වයෙන් කෙරෙන වැඩ දැක තවත් පරිත්‍යාගශීලීන් උදව් කරනවා. රෝහල දියුණු කරන්න උදව් කළ හැමදෙනාම මේ අවස්ථාවේ ගෞරවයෙන් සිහිපත් කරන්න කැමැතියි.”   


රෝහලට අයත් භූමි භාගයක කෙසෙල් හා පොල් වගාවක් ද වෛද්‍යවරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කර ඇත්තේ එයින් ලැබෙන ආද‌ායමෙන් මුදල් සොයාගෙන රෝහලේ දියුණුවට යොද‌ා ගැනීමටය. ගමේ ඉන්න අසරණ පවුල් 03කට මේ වන විටත් නව නිවාස තනා දී ඇත්තේ ද වෛද්‍යවරයාගේ මැදිහත් වීම මතය.   


 තවත් නිවාස දෙකක් අලුතින් ඉදිකරගෙන යන්නේ ද වෛද්‍යවරයාගේ මූලිකත්වයෙනි.   


 එම නිවාස දෙක ද හිසට වහලක් නොමැති දුප්පත් පවුල් දෙකකට ලබා දීමට නියමිතය.   


“රෝහලේ අඩුපාඩු 90%ක් විතර මේ වෙනකොට සම්පූර්ණ කර තිබෙනවා. තව අවුරුදු 1 1/2 ක විතර කාලයක් තමා මට මේ රෝහලේ වැඩ කරන්න තියෙන්නේ. ඊට පස්සේ වෙනත් රෝහලකට මාරුවෙලා යනවා. එතකොට මම යන්නේ මේ රෝහල අංගසම්පූර්ණ රෝහලක් කරලා තමා. රෝහල දියුණු කරන්න නන් අයුරින් උපකාර කළ හැමෝටම ගොඩක් පිං.”


ඒ වෛද්‍යවරයාගේ අධිෂ්ඨානශීලී හඬයි.   


අම්පාර, උහන වැරින්කැටගොඩ රජයේ ප්‍රාථමික විද්‍යාලයේ හා හොරණ තක්ෂිලා විද්‍යාලයේ ආදි සිසුවකු වන ප්‍රියශාන්ත මහතාගේ උපන් ගම උහනය. එම්.එන්. ප්‍රේමාවතී සහ එච්.ජී. චන්ද්‍රසේන, ප්‍රියශාන්ත මහතාගේ මව්පියෝ වන අතර ඔවුන් දෙපොළම මේ වනවිට ජීවතුන් අතර නොමැත.   


 “මගේ වෛද්‍ය උපාධිය ලබා ගන්නා ෆොටෝ එකත් අරගෙන ගෙදර එද්දී මාව දුක්මහන්සි වෙලා හදපු ආදරණීය අම්මා මිය ගිහින්. ඇය රෝගාතුර වෙලා හිටිය නිසා උපාධි ප්‍රද‌ානෝත්සවයටත් එන්න බැරිව ගියා. අම්මා මියගිහින් අවුරුද්දකට විතර පස්සේ තාත්තාත් මියගියා” යැයි වෛද්‍යවරයා කිව්​වේ හැඟීම්බරවය.   


 “රැයක් දවාලක් නැතුව මම රෝහලේ වැඩ කරනවා. මගේ බිරියගෙන් ලැබෙන සහායත් මා මෙහිදී සිහිපත් කළ යුතුව තිබෙනවා” යැයි ද වෛද්‍යවරයා කතාබහ නිම කිරීමට මත්තෙන් පැවසීය.   


 මෙවැනි වෛද්‍යවරුන් රටට ආඩම්බරයකි. හැදූ වැඩූ මව්පියන්ට ද ගෞරවයකි.   

 

 

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය