​යාන් ඔය ජලාශයේ නොපැතූ විපත


 

 

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාහල්කඩදී යාන්ඔය හරස්කර වේල්ලක් බැඳ ඉදිකෙරුණු යාන්ඔය මහා ජලාශය ජලයෙන් පිරවීමේ කටයුතු මීට දින කිහිපයකට පෙර ආරම්භ කිරීමෙන් පසු ජලාශයට යටවෙතැයි කලින් අපේක්ෂා නොකළ ගම්මාන පවා මේ වන විට ජලයෙන් යටවීමට පටන් ගැනීම නිසා එම ගම්මාන වල වැසියෝ යන එන මං නොමැතිව අසරණ වී සිටිති.   


 යාන්ඔය මහා ජලාශය ඉදිකිරීමේ කටයුතු 2012 වසරේදී ආරම්භ කෙරුණි. ඒ අවස්ථාවේ සිදුකෙරුණු මැනුම් කටයුතු අනුව ජලාශයට යටවෙතැයි අපේක්ෂා කළ යාන්ඔය දෙපස අනුරාධපුර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයන්ට අයත් ගම්මාන වල ජනතාවට අහිමි වන නිවාස වෙනුවෙන් රජය වන්දි ගෙවා පදිංචිය සඳහා වෙනත් ප්‍රදේශවලින් ඉඩම් ලබාදීම සිදුකෙරුණි.   


 නමුත් මැනුම් කටයුතු වලදී යාන්ඔය මහා ජලාශයට යට නොවන බවට නිගමනය කෙරුණු අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් මාවත වැව, අලියාකඩ, මරදන්මඩුව, ඉහල දිවුල්වැව සහ පහළ දිවුල්වැව යන ගම්මාන මෙන්ම ඇලපත්තෑව, වා​ෙගාල්ලාකඩ ඇතුළු තවත් ගම්මාන කිහිපයක් ජලාශය පිරෙන්න පටන් ගැනීමත් සමඟ ක්‍රමක්‍රමයෙන් දැන් ජලයෙන් යට වෙන්නට පටන් ගෙන තිබේ.   


මේ නිසා එම ගම්මාන වල පදිංචි ජනතාව මේ වන විට යාමට ඒමට තැනක් නැතිව මහත් අසීරුතාවයකට පත්ව සිටී, ඔවුන් පවසන්නේ මේ ගැන රජයේ වගකිව යුතු නිලධාරින්ට දැනුම්දීම් කළත් ඔවුන් කිසිවෙක් ඒ ගැන සොයා බැලීමට තම ගම්මාන වලට නොපැමිණි බවයි.   


 හොරොව්පොතානේ සිට කපුගොල්ලෑව හරහා වාහල්කඩ දක්වා වැටී තිබුණු මාර්ගය මේ වන විට මාවත වැව ප්‍රදේශයෙන් ඔබ්බට යාමට නොහැකිව ජලයෙන් යට වී ඇත.   
 මාවතවැව ගම්මානයේ වැසියන් පවසන්නේ එම ගම්මානයේ පදිංචිව සිටි පවුල් හැත්තෑවෙන් තිහකගේ ඉඩම් හා නිවාස ජලයෙන් යටවෙන බවට මැනුම් කටයුතු වලදී තීරණය කිරීම නිසා ඒ අයට නිවාස වලට පමණක් වන්දි ගෙවා පදිංචිය සඳහා වෙනත් ප්‍රදේශවලින් ඉඩම් ලබාදුන් බවයි.   


 අනෙක් පවුල් හතළිහ පදිංචි නිවාස හා ඉඩම් ජලයෙන් යට නොවන බවට මැනුම් කටයුතු වලදී නිගමනය කළ නිසා ඒ අයට ඉවත්වීමේ අවශ්‍යතාවයක් නැති බව රජයේ අද‌ාළ නිලධාරින් දැනුම් දුන් බව ඔවුහු කියා සිටිති.   


 නමුත් යාන්ඔය ජලාශය ජලයෙන් පිරවීමට පටන් ගැනීමත් සමඟ කලින් ජලයෙන් යට නොවන බවට නිගමනය කෙරුණු නිවාස හතළිහෙන් වැඩි ප්‍රමාණයක් මේ වන විට ජලයෙන් යටවෙමින් පවතී. මාවතවැවව ගම්මානයට යන එන ප්‍රධාන මාර්ගය ඇතුළු මාර්ග සියල්ලක්ම මේ වන විට ජලයෙන් යට වී තිබේ. 

 
 මේ නිසා එම ගම්මානයේ කොටු වී සිටින අය ගමන් කරන්නේ කැලෑව මැදින් වැටී තිබෙන අඩි පාරකය.   

 


 යාන්ඔය මහා ජලාශයට යටවූ කැලෑවල සිටි වල් අලි ඇතුළු වන සතුන් ද දැන් මාවතවැව හා අවට ගම්මාන අසල ළඳු කැලෑවලට පැමිණ සිටින්නේ උන්ට ද යන එන මං නැතිවී තිබෙන බැවිනි.   


වල් අලි මෙන්ම සර්පයින් ද ගම්වැදීම නිසා මාවතවැව ඇතුළු අනෙක් ගම්මාන වල ජනතාවට උන්ගෙන් ද දැන් තර්ජන එල්ල වී තිබේ.   


 ගම්වැදුණු වල් අලියෙකු මීට දින කිහිපයකට පෙර සිදුකළ පහර දීමකින් බරපතළ තුවාල ලැබූ ගම්වැසියෙක් මේ වන විට අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ගම්වාසීහු පැවැසූහ. ඔවුන් පවසන්නේ ගම්වැදුණු වල් අලි ගෙවතු වල පොල් ගස් ඇතුළු වගාවන්ට ද හානි සිදුකරන බවයි.   


 මේ ගම්වල වැසියන්ගේ කුඹුරු හා හේන් ඉඩම් සියල්ලම මේ වන විට ජලාශයට යට වී තිබේ. එබැවින් ඔවුන්​ෙග් ප්‍රධාන ජීවනෝපාය මාර්ගයද දැන් ඔවුන්ට අහිමි වී ඇත. ඔවුන් පවසන්නේ ජලාශයට යටවූ කුඹුරු ඉඩම් සඳහා රජය කිසිදු වන්දියක් නොගෙවූ බවයි.   


 එපමණක් නොව මාවතවැව ඇතුළු අවට ගම්මාන වල වැසියන්ගේ ඊළඟ ප්‍රධානම ජීවනෝපාය මාර්ගය කිරි ගවයින්ගෙන් ලැබෙන ආද‌ායමයි. දැන් කිරි ගවයින්ට ද ඉන්න හිටින්නට තැනක් නැති වී උන් තණ කෑ වැව් පිටි ඇතුළු රක්ෂිත බිම් සියල්ල ජලයෙන් යට වී තිබේ.   


ගවයින්ද ජලයෙන් කොටු වී සිටින තම අයිතිකරුවන්ගේ නිවෙස් අසලට පැමිණ අසරණව සිටී. තවත් සමහර ගවයින් කැලෑ වැදී සිටින බවත් උන් කොටින්ට ගොදුරුවන බවත් පවසන ගම්වාසීහු යාන්ඔය ජලාශය නිසා මෙවැනි ඛේදජනක තත්ත්වයක් තමන්ට උදාවනු ඇතැයි කිසිසේත් අපේක්ෂා නොකළ බව කියා සිටිති.   


 ගවයින් ඇතිකරන්නට තැන් නැති කමින් සමහරු මස් කඩකාරයින්ට උන් විකුණන්නට පෙළඹීම සිටිති. නමුත් ඇතැම් අය ඊට කැමැත්තක් නොදක්වන්නේ මෙතෙක් කලක් උන්ගෙන් දොවා ගත් කිරි ටික විකුණා ජීවත් වූ තමන්ට කෙළෙහි ගුණ දන්නා මිනිසුන් හැටියට එම ගවයින් මස්කඩකාරයින්ට විකුණන්නට පුළුවන් කමක් නැති බව පවසමිනි.   
මේ අතර යාන්ඔය ජලාශය ඉදිකරද්දී මතු වූ වැලි නිධියේ වැලි හෑරීමට හා ප්‍රවාහනය කිරීමට යොද‌ාගත් රුපියල් ලක්ෂ ගණන් වටිනා බැකෝ යන්ත්‍ර හා ට්‍රැක්ටර් ගණනාවක් අනපේක්ෂිත ලෙස දින කිහිපයක් ඇතුළත යාන්ඔය ජලාශය ජලයෙන් පිරී යාම නිසා ඒවා ඉවත් කරගත නොහැකිව ජලයට යට වී තිබේ.   


 තවත් බැකෝ යන්ත්‍ර බොහොමයක් සමඟ ට්‍රැක්ටර් හා ටිපර් රථ ආදීය ගොඩ ගැසූ වැලි කඳු මත නංවා තිබෙන්නේ මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් ඒවා රැගෙන යාමට නොහැකිවය. ඒ අතරින් සමහර තැන්වල තිබෙන ඒවා හෙට අනිද්ද‌ා වන විට ජලයෙන් යටවිය හැකි බව ගම්වාසීන් පවසන්නේ ජලාශයේ ජල මට්ටම වේගයෙන් ඉහළ නගමින් ගොඩබිම ප්‍රදේශ ක්‍රම ක්‍රමයෙන් ජලයෙන් යටවෙන්නට පටන්ගෙන තිබෙන නිසාය.   


තමන් මුහුණ පා සිටින තත්ත්වය ගැන අදහස් දැක්වූ මාවතවැව පදිංචි නිලන්ති රේණුකා මහත්මිය මෙසේ පැවැසුවාය.  


යාන්ඔය ජලාශයේ වතුර පිරිලා, දැන් අපි ගමේ කොටුවෙලා ඉන්නෙ. යන එන පාරවල් වතුරට යටවෙලා. අපි ජීවත් වුණේ හරක් ඇති කරල කිරි දොවලා විකුණලා ලැබෙන ආද‌ායමෙන්. දැන් මේ ගෙවල් දොරවල් අත හැරලා අපට යන්න සිද්ධවෙලා. අපිට පදවිය පැත්තේ ඕමාරකඩින් තමයි ඉඩම් දීලා තියෙන්නෙ. ඒත් ඒ පැත්ත දුරයි. අපිට එහෙ ගවයින් ඇතිකරන්න ඉඩක් නැහැ. මේ ගවයින් ද‌ාලා ගිහින් අපි කොහොමද ජිවත් වෙන්නෙ. කිරි වලින් ලැබෙන ආද‌ායම තමයි අපේ ප්‍රධානතම ආද‌ායම් මාර්ගය.  


 ඒ නිසා අපි ඉල්ලන්නෙ මේ කිට්ටුව ජලයෙන් යට නොවන ප්‍රදේශයක මේ ගවයින් ඇතිකරන්න ඉඩ තියෙන ඉඩමක්. ඒ වගේම අපේ දරුවන්ට පාසලක් ළඟ තැනක්.  


 විනිල් ජයතිස්ස මහතා ද මාවතවැව ගමේ පදිංචිකරුවෙකි. මේ ඔහු කී කතාවයි.  


2012 වසරේ යාන්ඔය ජලාශය ඉදිකිරීම ආරම්භ කළ පසු මැනුම් කටයුතු කළ නිලධාරින් ගල්දමා මායිම් ලකුණු කොට සඳහන් කළේ මාවතවැව ගමේ ගෙවල් තිහක් පමණ ජලයෙන් යටවෙන බවයි. අනෙක් ගෙවල් හතළිහ ජලයෙන් යට නොවන බවයි ඔවුන් කීවේ.  


 නමුත් දැන් ඒ ගෙවල් හතළිහත් ජලයෙන් යටවෙන්න පටන් අරගෙන. ගමේ පාරවල් යටවෙලා. යන්න එන්න පාරක් නැහැ. මම ජීවත් වුණෙත් ගවයින් ඇතිකරලා. දැන් ගවයින්ට කන්න තැනක් නැහැ. අපේ කුඹුරු ජලාශයට යටවෙලා. ගොවිතැන් කරන්න විදිහක් නැහැ ඒ නිසා.  


 අලියාකඩ ගමේ පදිංචි රන්දිමා දමයන්ති මහත්මිය පැවසුවේ යාන්ඔය ජලාශය නිසා හොරාව්පොතානේ අලියාකඩ, මාවතවැව, මරදන්මඩුව, ඉහළ දිවුල්වැව, පහළ දිවුල්වැව, අලපත්වැව, වාගොල්ලාකඩ ඇතුළු ගම්මාන ගණනාවක ජනතාවට අද යන එන මං නැතිවී තිබෙන බවයි.  

 


 මිනුම් කටයුතු කළ නිලධාරින් පැවසුවේ මේ ගම්මාන ජලයෙන් යට නොවන බවයි. ඒ නිසා මේ ගම්වල අයට වන්දි ලැබුණෙත් නැහැ. ජලාශයට යටවූ මහ කැලෑවේ හිටපු වල් අලි, කොටි, වලස්සු, සර්පයෝ ඔක්කොම දැන් අපේ ගම්වලට ඇවිත් කොටුවෙලා ඉන්නවා. රෑට විතරක් නොවෙයි දවල්ටත් වල් අලි ගම පුරා ඇවිදිනවා. වල් අලියෙක් පහරදීමෙන් බරපතළ තුවාල ලැබූ අපේ ගමේ කෙනෙක් දැන් රෝහලේ ප්‍රතිකාර ලබනවා. අපේ ඒ ගම්වල මිනිසුන්ගේ ජීවිතත් දැන් අනතුරේ. මේ දවස්වල ආණ්ඩුවේ අර්බුදය නිසා නිලධාරින් වත් අපි ගැන හොයලා බලන්න එන්නෙ නැහැ. මේ ගම්වල මිනිස්සු අන්ත අසරණ වෙලයි ඉන්නෙ.  


 හොරොව්පොතාන ස්වර්ණතිලකාරාම විහාරාධිපති වැලිමුවන්පතානේ පියරතන හිමියන් පැවැසුවේ යාන්ඔය ජලාශය නිසා ගෙවල් දොරවල් ඉඩකඩම් හරක බාන සියල්ලම නැතිවී අසරණ වී සිටින මේ ගම්වාසීන් ගැන සොයා බැලීමට මැති ඇමැතිවරුන් සිය නිලධාරියෙක්වත් මේ වන තුරුත් නොපැමිණි මෙන්ම අද වන විට රට පත්ව තිබෙන තත්ත්වය පැහැදිලි වෙන බවයි.  


 යාන්ඔය ජලාශයට යටවෙන ගම්මාන වල වැසියන් මුහුණ පා සිටින ඛේදජනක තත්ත්වය සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්දැයි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ආර්.එම්. වන්නියාක මහතාගෙන් අප කළ විමසීමේදී හෙතෙම ප්‍රකාශ කළේ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම්වරයා ඒ ගැන මෙතෙක් දැනුවත් කර නොමැති බවයි.  


ඔහුගෙන් ඒ ගැන විමසීමක් කොට තමන් එම ගම්මාන වෙත ගොස් ගම්වාසීන් හමුවී ඔවුන්ට අවශ්‍ය සහන සැලසීමට කඩිනමින් පියවර ගන්නා බව ද දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසීය.  


(මේ ගමනට අපට ප්‍රවාහන පහසුකම් සැලසූ අනුරාධපුර සාම විහාරයේ විහාරාධිපති උතුරු මැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක මහවිලච්චියේ විමල නාහිමියන් ගෞරවයන් සිහිපත් කරන්නෙමු.)

 

 

සටහන හා සේයාරු :
අතුල බණ්ඩාර