​මේ දරුවා මිය ගියේ රෝහලේ බෙහෙත් විෂවීමෙන්ද ?


ගම්පහ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන රෝගීන් රෝහලේම වරදින් මියයන බවට පසුගිය කාලයේදී වැඩිපුර අසන්නට ලැබිණි. ගම්පහ රෝහලේදී ලබාදුන් බෙහෙතක් විෂ වීමෙන් වයස අවුරු තුන හමාරක් වයසැති තම සිඟිති පුත්‍රයා මියගිය බව දරුවාගේ මාපියෝ චෝදනා කරති.  


 රමික දිල්සස් නැමැති මෙම සිඟිත්තා මියගියේ පසුගිය 21 වැනිදාය. වේයන්ගොඩ-මොට්ටුන්ගේ පදිංචි ඩිලාන් සමීර (27) හා තිළිණි චමින්දිකා (26) යුවළගේ කුළුඳුල් දරුවා වූයේ රමිකය. හෙට අනිද්දාම පෙර පාසල් යන්නට ඇඟිලි ගනිමින් සිටි රමිකට හදිසියේ හෙම්බිරිස්සාවක් හා කැස්සක් හට ගත්තේය. ඇ​ෙඟහි උණ ගතියක් ද දක්නට ලැබුණු නිසා රමිකගේ මව්පියෝ ඔහුව ගම්පහ රෝහලට රැගෙන ගියේ ප්‍රතිකාර සඳහාය.  

 

 

සෙම තරමක් වැඩි නිසා දරුවා නේවාසිකව ප්‍රතිකාර ලැබිය යුතු බව වෛද්‍යවරු නිර්දේශ කළහ. ඒ අනුව පසුගිය 10 වැනි දින ගම්පහ රෝහලේ 5 වැනි වාට්ටුවේ රමික නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත් විය.  


එහිදී වෛද්‍යවරු නිර්දේශ කර ඇත්තේ රමිකගේ එක්ස්රේ හා ලේ පරික්ෂාවක් සිදුකළ යුතු බවටයි. රෝහලේ එක්ස්රේ යන්ත්‍රය කැඩී ඇති නිසා එදින එක්ස්රේ පරික්ෂණය සිදු නොකළේය. රමිකගේ මව පවසන පරිදි පසුදින එම පරික්ෂණ දෙකම පිටතින් සිදුකරගෙන පැමිණෙන ලෙස රෝහල් බලධාරිහු දැනුම් දුන්හ. පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකින් එම වාර්තා ද ලබා දීමට රමිකගේ මව්පියෝ කටයුතු කළහ.  


13 වැනි දින රාත්‍රී 10 ට පමණ රමිකට ලබා දෙමින් තිබූ සේලයින් වලට බෙහෙතක් එන්නත් කළ බව රමිකගේ මව වන තිළිණි චමින්දිකා පවසන්නීය. දරුවා ඒ මොහොතේ මහා හඬින් කෑගැසූ බවත් ඇය කියන්නීය. ‘අනේ අම්​ෙම් මගේ ඇඟම දනවා. මට පවන් ගහන්න’ කියා දරුවා කෑගැසීය. ඇය ඔහුට පවන් ගසද්දී දරුවාට නින්ද ගියේය.  


 පසුව අලුයම 3.30 ට පමණ හෙදියක විසින් සේලයින් වලට එම එන්නතම ලබා දුන් බවත් එම අවස්ථාවේදීත් දරුවා කෑගසා ඇත්තේ ඇඟට දැවිල්ලයි යනුවෙනි. පසුව ඇඟට පවන් සලා දරුවා නැළවීමෙන් පසුව රමිකට නින්ද ගියේය. රමිකගේ මව ප්‍රකාශ කරන පරිදි යළිත් අලුයම පහට පමණ හෙදියක පැමිණ දරුවා පරික්ෂා කිරීමෙන් පසුව ඇය වෛද්‍යවරුන්ට දරුවාගේ වෙනසක් ඇති බව ප්‍රකාශ කර තිබේ. පසුව වෛද්‍යවරු පැමිණ දරුවාගේ පපු පෙදෙස තෙරපා ඔහු වහා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළේය. පසුව උදෑසනම දරුවා ගිලන් රථයක් මගින් බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන ගියේය. ඔක්සිජන් පවා ලබා දෙමින් රමිකව රැගෙන ගිය අතර ඔහුගේ මව පවසන්නේ ළමා රෝහලට ඇතුළත් කිරීමට ආසන්නව තිබියදී දරුවාට ලබා දෙමින් තිබූ ඔක්සිජන් ඉවර වූ බවයි. 13 දින රිජ්වේ ළමා රෝහලට ඇතුළත් කෙරුණු රමිකගේ හදිසි සී.ටී. ස්කෑන් පරික්ෂාවක් සිදුකළ යුතු බවට වෛද්‍යවරු නිර්දේශ කළහ. උදෑසන 8.50 ට පමණ එම ස්කෑන් පරික්ෂාව සිදු කළේය.  

 

 

රමිකගේ පියා වන ඩිලාන් සමීර ප්‍රකාශ කරන පරිදි එහි වාර්තාව ලැබෙන්නේ එදින හවස බව වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත. හවස ලද එම වාර්තාවට අනුව දරුවාගේ මොළයේ සෛල මැරී ඇති බව වෛද්‍යවරුන් තමාට කී බව සමීර ප්‍රකාශ කරයි. ”අම්මේ දැන්නම් මොකුත්ම කරන්න දෙයක් නෑ. යනුවෙන් රමිකගේ මවට හෙදියන් ප්‍රකාශ කළ බවද කියැවේ. දින 08 ක් ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලද රමික පසුගිය සැප්තැම්බර් 21 දින මෙලොවින් සඳහටම සමුගත්තේය.  


 තම දරුවාගේ මරණයට ගම්පහ රෝහලේ වෛද්‍යවරුන් වගකිව යුතු බවත්, මේ පිළිබඳ ස්වාධීන පරික්ෂණයක් ඉල්ලා සිටින බවත් රමිකගේ මව්පියෝ ඉල්ලති.  


 පසුගිය 21 දින රමික මියගිය අතර මේ ආකාරයෙන් හරියටම වසර දෙකකට පෙර ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 23 හැවිරිදි ඩී.ඒ. චමෝදි මධුහංසිනී නැමැති තරුණිය මිය ගියාය. ගමපහ, පිළිකුත්තුව ප්‍රදේශයේ පදිංචිකාරියක වූ ඇය පෙර පාසල් ගුරුවරියක් වූ අතර පෙර පාසලේ සේවයේ යෙදී සිටියදී බඩේ අමාරුවක් සෑදී ගම්පහ රෝහලට ඇතුළත් කර සිටියදී ගම්පහ රෝහලේදී ලබා දුන් එන්නතකින් පසුව ඇය මිය ගියාය. ඇය අසල රැඳී සිටි ඇගේ මව චෝදනා කළේ බෙහෙත එන්නත් කිරීමෙන් පසුව ඇඟ දනවා කියා කෑ ගසා පසුව සුළු වේලාවකින් තම දියණිය මියගිය බවය.  


එල්.ඩබ්. ස්වර්ණලතා නැමැති ඇගේ මව ප්‍රකාශ කරන්නේ තම දියණිය මරා ගත්තේ රෝහලේ වෛද්‍යවරුන් බවයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන පරික්ෂණයක් තවමත් අවසන් නොමැති අතර තම දරුවා මියගියේ විෂ එන්නත් වීමකින් බව මේ වනවිට 55% ක් සනාථ වී තිබෙන බවට පරික්ෂණ පවත්වන අංශ තමාට දැනුම් දුන් බවද ඇය කීවාය. තමාට සිටි එකම දරුවා මෙසේ මරණයට පත්වීමෙන් ස්වර්ණලතා මහත්මිය අද අසරණ තත්ත්වයට පත්ව සිටින්නීය. ඇයගේ දියණියගේ මරණය සම්බන්ධයෙන් ගම්පහ අධිකරණයේ නඩුවක් ද විභාග වෙමින් තිබේ.  

 

 

 ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබා අගතියට පත් තවත් බොහෝ දෙනෙක් රෝහලට බොහෝ චෝදනා කරති.

විශේෂයෙන්ම පසුගිය කාලයේදී ගම්පහ රෝහල සම්බන්ධයෙන් දැඩි විවේචන ජනතාව ඉදිරිපත් කරති. වෛද්‍යවරු සැලකෙන්නේ මිහිපිට ජීවත්වන දෙවිවරුන් ලෙසය. ඒ තරමට මියදීමට ආසන්න වූ රෝගීන් දහස් ගණනකගේ ජීවිත මෙම ජිවකයන් බේරාගෙන තිබේ.  


 එහෙත් ගම්පහ රෝහලේ ඇතැම් වෛද්‍යවරුන්ගේ වගකීම් විරහිත ක්‍රියා කලාපය වෛද්‍යවරුන් පිළිබඳව ජනතාව තුළ ඇති සුබවාදී දැක්ම ඈත් කිරීමට හේතු වී තිබෙන බව ලියා තැබිය යුතුය.  


මේ පිළිබඳව ගම්පහ රෝහලේ වෛද්‍ය අධිකාරි ඩී.එම්.සී. කරුණාතිලක මහතාගෙන් අප කළ විමසීමේදී ඔහු කියා සිටියේ දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන් බවය. බෙහෙත් විෂවීමක් හෝ වෙනත් අක්‍රමිකතාවක් දැනගන්නට නොමැති බවයි. දරුවාගේ රෝගී තත්ත්වය එන්න එන්නම බරපතළ වූ නිසා කොළඹ ළමා රෝහලට ඇතුළත් කළ බවත් තවම මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී නැති බවත් එහෙම පැමිණිල්ලක් ආවොත් පරික්ෂණයක් ආරම්භ කරන බවත් ඒ මහතා කීය.  

 

 

 

 

 

දොම්පේ අජිත් මදුරප්පෙරුම