​බේබද්දන්ගේ ඇසුරින් නැතිවී ගිය ජීවිතයක්


වප්පුර පසළොස්වක පොහොය එළැඹී ගත වී ඇත්තේ හෝරා අඩකටත් වඩා අඩු කාලයකි. කිසිදා නොඇසුණු විලාපයකින් වීරකැටිය උඩයාල ගම්වාසීන් තිගැස්සී ඇහැරුණේ පෙර දින පැවැති අවමංගල උත්සවයේ හේවිසි නාදය තවමත් ඔවුන්ගේ දෙසවන් තුළ රැව් පිළිරැව් දෙන නිසාය.  


පුංචි මල්ලි, වීරකැටිය හකුරුවෙල ගම්මානයේ පමණක් නොව, ඒ අවට ගම්වැසියන් පවා දැන හඳුනාගත්තේ බොහෝ ගුණ යහපත්කම්වලින් හෙබි කාරුණික පුද්ලයකු ලෙසය. පුංචි මල්ලිගේ ගුණ යහපත්කම නිසාම ඔහු තම අසල්වාසී ගම්මානයේ අවමංගල්‍ය උත්සවයක භාරදූර වැඩකටයුතු රාශියක් තම කර මතට ගත්තේය.  


තමාගේ දුක සැප බෙදාගන්නට එක බත් පත කෑ එක රැහේ මිතුරන් පස්දෙනා තමාගේ ජීවිතයේ අවසන් ඉරණම මේ තරම් ඉක්මනට තීරණය කරාවි යැයි පුංචි මල්ලි කවරදාකවත් සිතන්නට නැතුව ඇත. එහෙත් අවාසනාවකට පුංචි මල්ලිගේ ජීවිතයේ අවසන් දිනය තීරණය කරන්නට වෙරි මතින් සිටි මිතුරන්ට වැඩි කාලයක් ගතවූ​ෙය් නැත.  


දිවිගැටගසා ගන්නට පෙදරේරුවකු ලෙස වෘත්තිය කළ පුංචි මල්ලි අල්ලපු ගමේ අවමංගල්‍ය උත්සවයට ගියේ කාසි උපයා ගැනීමේ අරමුණින් නොවේ.  


පුංචි මල්ලි හකුරුවෙල ගෙදර සිට උඩයාල අවමංගල්‍ය උත්සවයට පැමිණියේ යතුරුපැදියෙනි. යතුරුපැදියේ ඉන්ධන අවසන් වීම නිසා අවමංගල්‍ය උත්සවය පැවැති ගෙදරට ආසන්නයේ මකුළුදෙණිය මාර්ගයේ පිහිටි ගෙදරක යතුරුපැදිය ගාල් කර පා ගමනින් ඔහු අවමංගල්‍ය උත්සවය පැවැති නිවෙසට ගොඩවැදුණේය.  


භූමදානයට අවශ්‍ය වළ සකස් කිරීම පසමිතුරන් පස් දෙනා සමග යුහුසුලුව කරන්නට පුංචි මල්ලි දෙවරක් හිතුවේ නැත. පුංචි මල්ලි යළි තම නිවෙස කරා යාමට යතුරුපැදියේ ඉන්ධන නොමැති බව මතක් වූයේ සවස් කාලය එළැඹෙන විටය. ලහි ලහියේ හන්දියට දිව ගොස් වීදුරු බෝතලයකට ඉන්ධන පුරවාගෙන යතුරුපැදිය නවතා තිබූ ස්ථානයට පා ගමනින් යද්දී ඔහුට හමුවූයේ වීරකැටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාය. අවංමගල්‍ය උත්සවයක් පැවැති නිසාත්, සවස් වේගෙන එද්දී බීමතින් රඟදෙන ගම්වැසියන් නිවෙස් වෙත පලවා හරින්නට වුවමනා නිසාත් ස්ථානාධිපතිවරයා එතැනට පැමිණ සිටියේය.  


සුදු පැහැ වීදුරු බෝතලයක් අතේ අරන් යමෙකු තමා ඉදිරියට පැමිණෙනවා දුටු ස්ථානාධිපතිවරයා වහාම ඔහු නැවැත්වූයේ ඔහු අතැතිව ඇත්තේ කසිප්පු බෝතලයක් යැයි සිතාය. ස්ථානාධිපතිවරයාගේ අණට කීකරු වූ පුංචි මල්ලි කැසපොට ගසා සිටි සරම දිගට හැඳ සිනා මුසු මුහුණින් ස්ථානාධිපතිවරයා වෙත පියමැන්නේය. පුංචි මල්ලි අතැතිව ඇත්තේ මත්පැන් බෝතලයක් නොව යතුරුපැදියට අවශ්‍ය ඉන්ධන බෝතලයක් බව හඳුනාගත් ස්ථානාධිපතිවරයා ඔහු සමග කතාබස් කර ඔහු යැව්වේය. 

 
යතුරුපැදියට ගෙනා ඉන්ධන බෝතලය ටැංකියට පුරවා පුංචි මල්ලි යළි අවමංගල්‍ය උත්සවය පැවැති නිවෙසට ගොඩවූයේ තම යහළුවන් එහි සිටින බැවිනි. සවස් කාලය වන විට අවමංගල්‍ය උත්සවයේ වැඩකටයුතු අවසන් නිසාම එහි සිට මත්පැන් පානය කරන්නට මේ මිතුරන් හය දෙනා තීරණය කළෝය.  


රාත්‍රිය එළැඹෙත්ම පදමට මත් වී සිටි යහළුවන් හය දෙනාට එකිනෙකා හඳුනාගන්නට තරම්වත් සිහියක් පතක් නොවීය. එක් වරම හදිසියේ විහිළුවට මෙන් මිතුරකු අතැතිව තිබූ රුපියල් දෙදහසක මුදලක් උදුරාගෙන තවත් මිතුරෙක් දුවන්නට විය. එලෙස දිව යන මිතුරා පුංචි මල්ලිගේ ඇඟෙහි ගැටිණි. ඒත් එක්කම මිතුරන් අතර ආරවුලක් ඇති විය. පුංචි මල්ලිගේ ජීවිතයේ අවසන් මිනිත්තු කිහිපය තීරණය කළ ආරවුල එයයි.  


පුන් පෝදා සඳ ඈත අහසින් එබී බලන්නට සැරසුණා පමණි. ආරවුල දුරදිග ගොස් අවසානයේ පුංචි මල්ලිගේ ජීවිතයේ ඉරණම තීරණය කරන්නට මිතුරන්ට ගතවූයේ සුළු මොහොතකි. මිතුරන්ගේ රහස් කතාබහෙන් පස්සේ පුංචි මල්ලිගේ යතුරුපැදිය නවතා තිබූ නිවෙසට පුංචි මල්ලි සමග තවත් මිතුරෙක් පිටත් විය. තමා සමග පැමිණි මිතුරා මගට යන විට තමා සමග නොමැති බව වටහා ගත් පුංචි මල්ලි ආපසු එන්නට පිටත්වූයේ අවමංගල්‍ය උත්සවය පැවැති නිවෙස දෙසටය. එසේ එද්දී අඩ අඳුර මැදින් පුංචි මල්ලි දුටුවේ තමා ඉදිරියට පැමිණෙන තමාගේ මිතුරන් පස්දෙනාගෙන් හතර දෙනෙකි.  


පොහෝ දිනය එළැඹ අඩ හෝරාවකටත් අඩු කාලයක් ගතවී තිබුණ ද එදින පැවැති අන්ධකාරය පලවාහරින්නට තරම් පොහොය සඳ ප්‍රබල නොවීය. ඒ අන්ධකාරය පුංචි මල්ලිගේ මිතුරන්ගේ උපායට මහත් වූ ආශිර්වාදයක් විය. වේලාව අලුයම 12.15 පමණය. එක් වරම සිදුවූ දෙයින් පුංචි මල්ලිට කර කියා ගත හැකි වූයේ කෑ ගැසීම පමණි. ගිනි අවියේ මූනිස්සම් කැට නවයම පුංචි මල්ලිගේ පපුව පසාරු කරගෙන ගියේ පෙර ආත්ම ගණනාවක සිට පැවැති ආරවුලකට විසඳුමක් සොයන්නාක් මෙනි. සිද්ධිය වී ඇසිල්ලකින් පුංචි මල්ලිට වෙඩි තැබි මිතුරෝ සිවු දෙනා ද අතුරුදන් වූහ.  

'
පුංචි මල්ලි​ෙග් විලාපය ද තත්පර ගණනකින් නිහඬ විය. පුංචි මල්ලි සමග යතුරුපැදිය නවතා තිබූ ස්ථානයට පැමිණි මිතුරා හදිසියේ මතුවූයේය. ඔහු කෑ ගසමින් ගැමියන් අවදි කළේ සිද්ධිය නොදන්නවාක් මෙන් වෙනමම නාට්‍යයක් රඟදක්වමිනි. නමුත් පුංචි මල්ලිගේ හඬ ඒ වන විටත් නිහඬ වී තිබුණි. වහ වහාම පුංචි මල්ලිගේ සිරුර වීරකැටිය රෝහලට රැගෙන යන්නට මිතුරා ඇතුළු ගම්වාසීහු උත්සුක වූහ.  


සිද්ධිය පිළිබඳව තොරතුරු ලද වහාම එතැනට ගියේ වීරකැටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාය. ඉන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීනුත්, තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ ඒකකයේ නිලධාරීහු ද පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.  


ගම්වාසීන් සමග සුහද රාජකාරි කටයුතු කරන්නකු ලෙස ද පොලිස් පරීක්ෂකවරයකු ලෙස වසර ගණනාවක අත්දැකීම් ඇති රසික සම්පත් මහතා සිද්ධිය පැය කිහිපයකින් අනාවරණය කර ගැනීමට සමත් වූයේය. අලුයම කාලයේදීම ඝාතනයට සම්බන්ධ එක් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමටත්, පෙරවරු නවය පමණ වන විට සියලුම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් රසික සම්පත් මහතා ඇතුළු නිලධාරීහු සමත්වූහ. පුංචි මල්ලිට වෙඩි තැබීමට උපයෝගී කර ගත් බව කියන බෝර දොළහ එස්.ජී. වර්ගයේ ගිනි අවිය ද හිස් පතොරම් කොපුව ද එදිනම සොයා ගන්නට නිලධාරීහු සමත් වූහ.  


මාතර හා තංගල්ල දිසා භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න, තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්, පොලිස් අධිකාරි I අබේරාජ් ගම්ලත්, සහකාර පොලිස් අධිකාරි බී.එම්. දසනායක මහත්වරුන්ගේ පූර්ණ මගපෙන්වීම යටතේ වීරකැටිය පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත්, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංජිත් කොඩිතුවක්කු, පොලිස් සැරයන්වරුන් වන රත්නායක (8004), නීල් (8458), ප්‍රේමරත්න (19197), ජයසුන්දර (23161), පොලිස් කොස්තාපල්වරුන් වන වීරසිංහ (45045), කරුණාරත්න (62447), ප්‍රසන්න (40595), වික්‍රමගේ (35862), ලියනගේ (56122), තිලකරත්න (36812), පද්මසේකර (31307), චමින්ද (40662), ප්‍රියන්ත (72696), රියැදුරු කළුආරච්චි (75518), පොලිස් ආරක්ෂක සහයක දිනේෂ් (3072) සහ සිවිල් ආරක්ෂක නිලධාරි නුවන් (16424) නිලධාරීහු මෙම පරීක්ෂණයේදී දැවැන්ත කාර්යභාරයක් ඉටු කළහ.  


වීරකැටිය උඩයාල ගම්මානයට මහා රස්නයක් දැනෙන්නට විය. සිද්ධිය අවසන් වුණත් මේ ඛේදවාචකය ගම්මානයම ගිනියම් කළේය. සැමගේ දුක් සෝ සුසුම් අවට ගම්මාන රැසකම දෝංකාර දෙමින් ඉදිරි කටයුතුවලට ඉඩ තබා කතාව මෙසේ අවසන් වූයේය. 

 

 

සිටිනාමළුව අනීෂා මානගේ