​දේශීය උළු කර්මාන්තයේ මළගම අත ළඟයි


 

පසුගිය ජනවාරි පළමු වනදා සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ ‘ඇස්බැස්ටස්’ තහනම පිළිබඳව මුළු රටවැසියාම සතුටට පත්ව සිටි අතර ඒ අතුරින් වැඩිම අපේක්ෂා දල්වාගෙන සිටියේ දේශීය උළු නිෂ්පාදකයාය.  
 වේගයෙන් කඩා වැටෙමින් තිබුණු උළු නිෂ්පාදනය නගාසිටුවීමට මේ තීරණයත් සමඟ හැකි  වනු ඇති බවට ඔවුහු විශ්වාස කළහ. මේ නිසා මේ වසරේ සිට උළු නිෂ්පාදනය වැඩි කිරීමට ඔවුන් තම කර්මාන්තශාලා පවා නවීකරණය කර සූදානම් කළහ.  


එහෙත් ඇස්බැස්ටස් තහනම ක්‍රියාත්මක නොවීමෙන් දේශීය උළු නිෂ්පාදකයා කබලෙන් ළිපට වැටී තිබේ.  


අපේ රටේ පාරම්පරික කර්මාන්තයක් සේ දැනට ඉතිරිව තිබෙන උළු කර්මාන්තය බහුල ලෙස ව්‍යාප්ත වී තිබෙන්නේ මාඔය දෑලේ හා කැලණි ගංගා දෑලේය. ඒ අතුරින් ද මහා පරිමාණයෙන් උළු නිෂ්පාදනය සිදු කෙරෙන්නේ මා ඔය අසබඩ ප්‍රදේශවලය. මෙරට වැඩිම උළු නිපදවන තනි ප්‍රදේශයක් සේ සැලකූ විට වයික්කාල මුල් තැනක් ගනී. දේශීය උළු නිෂ්පාදකයා මුහුණ දී ඇති මෙම ඉරණමේ දිග පළල සෙවීමට අපි එම ප්‍රදේශයේ සංචාරය කළෙමු.  


අතීතයේදී මෙරටට උළු රැගෙන එනු ලැබුවේ අසල්වැසි ඉන්දියාවෙනි. වර්තමානයේදී ලංකා​ෙව් ඉතා බහුල ලෙස භාවිත වන ‘කැලිකට්’ නම් වූ උළු කැටය 1865 දී ඉන්දියාවේ කල්කටාවේදී නිපදවන ලද්දකි. පසුව අපේ ශිල්පීන් විසින් අපේ රට තුළම මෙම උළු වර්ග නිෂ්පාදනය ආරම්භ කෙරිණි. එහි ආරම්භය ලෙස සඳහන් වන්නේ 1923 මාතර යටියන ප්‍ර​ෙද්ශයයි.  


වයික්කාල ද ඇතුළත්ව පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව ආසනය තුළ පමණක් උළු කර්මාන්ත ශාලා 150 ක් පමණ දැනට තිබේ. දන්කොටුව, තෝප්පුතොට, මැටිකොටුව, යෝගියාන, බෝලවත්ත, අංගම්පිටිය, කිරිමැටියාන, ලුණුවිල, නාත්තණ්ඩිය මෙම කර්මාන්තශාලා පිහිටියේය. මුළු රටේම අද වන විට ඉතිරි වී තිබෙන උළු කර්මාන්ත ශාලා අතුරින් වැඩිම ගණනක් පිහිටියේ ද වයික්කාල ප්‍රදේශයේය.  


 අසූව දශකයේදී 600 ක් පමණ වූ මෙරට උළු කර්මාන්තශාලා ගණන අද වන විට 200 දක්වා පහළ ගොස් ඇති බව සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති බැප්ටිස් ප්‍රනාන්දු මහතා කියයි.  
 ඔහු සඳහන් කරන පරිදි මෙරට උළු කර්මාන්තයට හොඳ කාලයක් උදා වූයේ රණසිංහ ප්‍රේමදාස යුගයේ ගම් උදාව වැඩසටහන මඟිනි. එවකට ගම් උදාවේ නිවාස මෙන්ම රජයේ පාසල්, ගොඩනැගිලි, ආගමික ස්ථාන, රෝහල් ආදියට උළු පමණක් සෙවිලි කළ යුතු බව ප්‍රේමදාස ජනාධිපතිවරයා නියෝග කර තිබිණි. එහෙත් අද වන විට ගම් උදා නිවාසවලට මෙන්ම රජයේ බහුතර ගොඩනැගිලි සඳහා ඇස්බැස්ටස් හා විකල්ප සෙවිලි වර්ග යොදාගන්නා බව බැප්ටිස් ප්‍රනාන්දු කියයි.   


පසුගිය රජය සමයේදී සමෘද්ධිලාභීන් සඳහා නිවාස සාදා ගන්නට උළු කැට දහස බැගින් බෙදා දුන්නත්, අද වන විට ඒ වෙනුවට ද ඇස්බැස්ටස් බෙදා හරින බව ද ඔහු පෙන්වා දෙයි.  


 රජය සතු උළු කර්මාන්තශාලා රැසක් රටේ තිබුණ ද අද වන විට ඒවා බහුතරය වැසී ගොස් තිබේ. අද වන විට රජය සතුව ඇති උළු කර්මාන්ත ශාලා ගණන පහකට සීමා වී ඇති අතර මාතර-යටියන, අම්පාර, මහියංගණය, අනුරාධපුර, ඇළහැත්තෑව හා කුරුණෑගල-මාවතගම ප්‍රදේශවල ඒවා පිහිටා තිබේ.  


 ලංකා පිඟන් සංස්ථාව යටතේ ඇති මෙම කර්මාන්ත ශාලා පහ ද මන්දගාමීව ක්‍රියාත්මක වීම පෙන්වා දෙන්නේ ඉතා ආසන්නයේදීම ඒවා ද වැසී යා හැකි බවය.  


උතුරු ප්‍රදේශයේ පිහිටි ඔඩ්ඩුසුඩාන් උළු කර්මාන්ත ශාලාව ද මෙරට උළු ඉල්ලුමේ විශාල සැපයුම්කරවකු වුවත් එල්ටීටීඊ බලපෑම් මත ද නොනැවතුණු එහි කටයුතු 2014 දී අවසන් විය.  


මාඔය දෑලේ රජය සතුව පිහිටි විශාලතම උළු කර්මාන්තශාලාව වූයේ ‘නුරාණි’ උළු කර්මන්තයයි. එහි සහකාර කළමනාකරු ලෙස සේවය කළ එම්.සී. ඈෂ්ලි ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරන පරිදි අසූව දශකයේදී මෙරට හොඳම උළු කර්මාන්තශාලාව වූයේ ‘නුරාණි’ ය.   


කර්මාන්ත ඇමැති සුබසිංහ මහතාගේ කාලයේදී රජයට පවරා ගත් එය පසුව විවිධ රජයන් විසින් පෝෂණය කෙරිණ. දිනකට එම කර්මාන්තශාලාවේ නිපද වූ අංක එකේ උළු ගණන 32,000 කි. දිනකට නිපද වූ උළු කැට ගණන ලක්ෂය ඉක්ම විය. සෑම උළු කැටයක්ම දින තුනකින් වේලාගත හැකි යන්ත්‍රයක් ද ‘නුරාණි’ සතුව තිබුණි. උළු කැට ලක්ෂ දෙකක් අසුරා තැබීමට රාක්ක තිබිණි.  


දිනපතා එහි පැමිණෙන ලොරි රථ දිගු පෝලිම්වල සිට රට පුරා මෙම උළු රැගෙන ගියේය. සේවකයින් 300 ක් පමණ සේවය කළ මෙම කර්මාන්තශාලාව එවකට රජයේ ප්‍රබල ඇමැතිවරයකුව සිටි විජයපාල මෙන්ඩිස් මහතා තම ඥාතියකුට පවරා දුන්නේය. ඉන් පසුව එහි කඩාවැටීම ආරම්භ වී මීට වසර 25 කට පමණ පෙර සම්පූර්ණයෙන්ම වසා දමන ලදී.  

 

 

 සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරන්නේ මේ රජය මඟින් දේශීය උළු කර්මාන්තයට ප්‍රබල පහරක් වැදුණු බවය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ගෙවී ගිය වසර තුන තුළ පමණක් උළු කර්මාන්තශාලා 25 ක් පමණ වැසී ගිය බව ද ඔවුහු ප්‍රකාශ කරති.

  
මේ නිසා අද වන විට අළෙවි කරගත නොහැකිව උළු කැට කෝටි දෙකක් ගබඩා කර ඇති බව ද ඔවුහු පවසති. අමුද්‍රව්‍යවල මිල ඉහළ යාම නිසා එක් උළු කැටයක් නිපදවීමට රුපියල් 40 ක පමණ පිරිවැයක් වැයවුවද රුපියල් 40 කට හෝ උළු කැටයක් අලෙවි කරගත නොහැකි වී ඇති බවට ඔවුහු මැසිවිලි නගති.  


 කර්මාන්තයට අවශ්‍ය මූලිකම අමුද්‍රව්‍ය වන මැටි ලබා ගැනීමට රජය මඟින් පනවා ඇති දැඩි නීති රීති ද කර්මාන්තයේ කඩා වැටීමට හේතුව වී ඇති බවත් දේශීය උළු කර්මාන්තයට අත්ව ඇති මෙම ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා පළමුව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාත්, අනතුරුව 2017 නොවැම්බර් 11 දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමු වූ බවත් එහෙත් තම ගැටලුවලට විසඳුමක් නොලද බවත් උළු නිෂ්පාදකයෝ ප්‍රකාශ කරති.  


 පසුගිය රජය සමයේදීත් පුත්තලම ප්‍රදේශ​ෙය් නිවාස ඉදිකිරීම සඳහා ලබාගත් උළු වෙනුවෙන් රුපියල් ලක්ෂ ගණනක මුදලක් තම සංගමයට තවමත් නොලැබී ඇති බවත් ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මඟින් එම උළු ලබාගත් බවත් ඔවුහු ප්‍රකාශ කරති.  


 සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ඩබ්ලිව්.ජේ. බැප්ටිස් ප්‍රනාන්දු මහතා මෙසේද පවසයි.  


ඇස්බැස්ටස් තහනම 2018 ජනවාරි මාසේ සිට ක්‍රියාත්මක බව ප්‍රකාශ කළාට පසුව අපි බොහෝ සතුටු වුණා. එහි වාසිය උළු නිෂ්පාදකයාට ලැබෙන නිසා. නමුත් අන්තිමට ඒක වු​ෙණත් නෑ. ඒ තහනමේ කතාව සමඟ තවත් විකල්ප විදේශීය සෙවිලි වර්ග ලංකාවට ආවා. අපට ඒවා සමගත් තරග කරන්න වෙලා.  


 අපේ සංගමයේ සාමාජිකයින් 225 ක් පමණ ඉන්නවා. ඒත් දැන් දැන් බොහෝ කර්මාන්ත වැසීයාමට පටන් අරන්. උළු කර්මාන්තය මඟින් රටේ ඍජු හා වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ පහක් පමණ තිබෙනවා. මේ සියලු දෙනා අද අසරණ වී සිටිනවා. උතුරු-නැගෙනහිර ප්‍රදේශවල පවතින උෂ්ණ දේශගුණය නිසා එම පළාත්වල 90% ක්ම භාවිත කරන්නේ උළු. ඒත් දකුණේ නිෂ්පාදනයක් වන උළු දකුණේ ජනතාව අතර භාවිත වන්නේ නැහැ.   
මීට ප්‍රධාන කාරණාව රජය මඟින් දේශීය උළු සඳහා ජනතාව පෙළඹවීමක් නොකිරීමයි. අද සමෘද්ධිලාභීන්ට නිවාස සඳහා ලබා දෙන්නේත් ඇස්බැස්ටස්. රජයේ ගොඩනැගිලි සඳහාවත් උළු භාවිත කිරීම අඩු කරලා. අගමැතිතුමා ප්‍රකාශ කරන පරිදි අලුත් රැකියා ලක්ෂ දහයක් ආරම්භ කරනවා නම් මේ වගේ දේශීය රැකියා අහිමි කරලා ද ඒ රැකියා බිහිකරන්නේ?.  

 


සංගමයේ ප්‍රචාරක ලේකම් අජිත් බටේපොල මහතා:-  


උළු කර්මාන්තය සඳහා අවශ්‍ය ප්‍රධානතම අමුද්‍රව්‍ය තමයි මැටි. ඒත් මැටි ලබා ගැනීමත් අති දුෂ්කර වී තිබෙනවා. මා ඔයේ සිට මීටර් 100 ක් දක්වා දුරකින් මැටි කැණීමට අවසර දී තිබෙනවා. මේ දුර ප්‍රමාණය මීටර් 50 සීමාව දක්වා අඩුකරන ලෙස අපි ඉල්ලනවා. ඒ සඳහා භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ තාක්ෂණ නිලධාරි මහතකුගේ අධීක්ෂණය යටතේ දැනට අය කරන බැංකු ඇපකරය මෙන් හතර පස් ගුණයක් අය කළත් කමක් නැහැ.  
 අඩු ධාරිතාවකින් යුත් යන්ත්‍රයක් යොදාගෙන මැටි කැපීමට අවසර දෙන්න. මොකද උළු සඳහා යෝග්‍ය මැටි පිහිටා ඇත්තේ ඒ සීමාව තුළයි. මැටි කැපීම නිසා ඇතිවන වළවල් බොරළු යොදා පුනරුත්ථාපනය කිරීම අපි කරනවා.  


 ඒ වගේම මැටි කැණීම සඳහා අවසර ගත යුතු ආයතන හතක් තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූවිද්‍යා ඉඩම් ගොඩකිරීමේ ආයතනය, වයඹ පරිසර අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වැනි ආයතනවලින් වෙන වෙනම ලබාගත හැකි සේවා එකම තැනකින් ලබා ගැනීමට කටයුතු සංවිධානය කළොත් අපට ඒක විශාල සහනයක්.  


 බලපත්‍රවලට සීමා පැනවීම හා කොන්දේසි පැනවීම, සංකීර්ණ නීති පද්ධතිය හා මැටි කැපීමේ ඇති ඒකාධිකාරිය වගේම උළු පිළිස්සීම සඳහා දර ලබා ගැනීමත් නිෂ්පාදකයාට බරපතළ ගැටලුවක් වී තිබෙනවා. විදේශීය සමාගම්වලට සම්පත් විකිණීම නිසා දර සම්පත වේගයෙන් හීනවෙමින් පවතිනවා. මේ ගැටලු රජය මඟින් විසදා දී දේශීය උළු ප්‍රචලිත කිරීමට අනුග්‍රහය දැක්වුවොත් අපේ රටේ පරිසරය, සෞඛ්‍ය ආරක්ෂා වෙනවා වගේම ඍජු හා වක්‍ර රැකියා අවස්ථා ලක්ෂ පහක් ආරක්ෂා වෙනවා.  


 සංගමයේ උප සභාපති ඇන්තනි රේමන්ඩ් ප්‍රනාන්දු මහතා මෙසේ කීය.  


අපි කියන්නේ සියයට සියයක්ම දේශීය නිෂ්පාදනයක් වන උළු කර්මාන්තය රැක ගැනීම සඳහා රජය මැදිහත් විය යුතුයි කියලයි. රජයේ ගොඩනැගිලිවලට, නිවාසවලට උළු ටික හෙවිලි කරන්න. එවිට ජනතාව ඒක ආදර්ශයට ගන්නවා. අපි නිපදවන උළු සඳහා ජීවිත කාලයටම වුවත් වගකීම දරන්න අපට පුළුවන්.  


අවුරුදු තිහක් තිබුණු යුද්ධය නිසා උතුරු-නැගෙනහිර ප්‍රදේශවලට අලෙවි කළ උළු සම්පූර්ණයෙන්ම නැවතුණා. ඉතා පැරණි තත්ත්වයේ ඇති උළු කර්මාන්තයේ ඇති රාක්ක, මඩු හා තැටි ප්‍රතිසංස්කරණය කිරීමට ද විශාල මුදලක් වැය කළ යුතු වෙනවා. එලෙස මුදල් ආයෝජනය කළත් උළු සඳහා මිලක් නොමැතිකම අපට මුහුණ පෑමට ඇති විශාල අර්බුදයක්.  


 මේ හේතුව නිසා සමහර උළු මෝල් ආර්ථික අපහසුකම් නිසාම අඩු මුදලකට විකුණා දමනවා. මෙවැනි කර්මාන්තශාලාවක් තනි කුලුනේ පෝරණුවක් සහිත කම්හලක් ලෙස යළි හදනවා නම් රුපියල් ලක්ෂ 90 ක් පමණ වැයවෙනවා.  


 සංගමයේ ලේකම් ජෝනස් චන්ද්‍රසිරි මහතා:-  


වයික්කාල කියන්නේ ලංකාවේ විශාලතම උළු සපයන ප්‍ර​ෙද්ශය. ඒ කාලේ ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමත් අපහසු වුණා. නමුත් අද වන විට අලෙවි කරගත නොහැකිව වයික්කාලේ විතරක් උළු කැට කෝටි දෙකක් ගබඩාවල තියෙනවා. මේක කනගාටුවට කාරණාවක්. වත්මන් ජනාධිපතිතුමා පරිසර හිතකාමියෙක්. එතුමා පරිසරයට ආදරෙයි. ඒ නිසාම මේක කළ හැක්කේ එතුමාට පමණයි.  


 මෙතරම් පරිසර හිතකාමී නිෂ්පාදනයක් විනාශ වීමට ඉඩහැර පරිසර විරෝධි මෙන්ම පිළිකා කාරක සහිත සෙවිලිවලට ඉඩහැරීමම අපරාධයකි. ඒක නිසා අපි රජයෙන් මේ ගැටලුවට ඉක්මන් විසඳුමක් අපේක්ෂා කරනවා.  වයික්කාල ප්‍රදේශයේ සංචාරය කළ අපට දැකගත හැකි වූයේ සෑම ස්ථානයකම ප්‍රචලිතව තිබූ උළු කර්මාන්ත ශාලාය. අඩු අධ්‍යාපනික මට්ටමක සිටින සාක්ෂරතාවයෙන් අඩු රජයේ හෝ පෞද්ගලික ආයතනවල සේවයට එක්කර නොගන්නා අසරණ පිරිසක් උළු මෝල් කර්මාන්තයේ සේවයේ යෙදී සිටිති.  


 සමහර කර්මාන්තශාලා ආශ්‍රිතව එම පවුල් සඳහා සකස් කළ ලැයිම් කාමර ද දක්නට හැකිය. ඔවුන්ගේ දරුවන් ද පාසල් යවමින් එදාවේල සොයාගෙන කා බී ඔවුහු ජීවත් වෙති. එහෙත් උළු කර්මාන්තයට මේ අන්දමට කණකොකා හැඬීම තුළින් ඔවුන්​ෙග් ඉරණම තීරණය වී ඇති අතර ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන දේශීය ව්‍යාපාරිකයා අන්ත අසරණ වී ඇති බව නම් පැහැදිලිය.  


මේ නිසා මෙම ගැටලුවට ඉක්මන් විසඳුමක් රජය මඟින් ලබාදිය යුතුව ති​ෙබ්. එසේ කරන්නට රජය අසමත් වේ නම් ස්වදේශීය ආයෝජකයින්ගේ දේශීය කර්මාන්තයක් වන උළු කර්මාන්තයේ මළගම උදාවීම වැඩි ඈතක නොවන බව ද ලියා තැබිය යුතුය.

 

 

 

 

 

 

 

 

දොම්පේ අජිත් මදුරප්පෙරුම