​අසරණ හෙදියක් සමූහ දූෂණයට ලක් කළ තිරිසන් දොස්තර


කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක හෙදියක් සමූහ දූෂණයට ලක් කළේ යයි කියමින් නාරාහේන්පිට පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගත් හතර දෙනෙකු මේ වනවිට ද පසුවන්නේ රිමාන්ඩ් බාරයේය.  


යුද හමුද‌ා රෝහ​ලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන හමුද‌ා කපිතාන්වරයෙක්, යුද හමුද‌ා විනයාරක්‍ෂක බළකායේ (යුද හමුද‌ා පොලිසියේ) කපිතාන්වරයෙක්, හමුදාවේ රියැදුයකු ලෙස සේවය කරන ලාන්ස් කෝප්‍රල්වරයෙක් හා තරුණ ඉංජිනේරුවරයෙක් ද මෙසේ හෙදියක සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට රිමාන්ඩ් භාරයේ පසු වෙති.  


වෛද්‍යවරයා අත්අඩංගුවට පත් වනවිට ඔහුගේ බිරිඳ තුන් වැනි දරු ප්‍රසූතියට සූදානමින් සිටියාය.   


සමූහ දූෂණයට ලක්වන විට ඇය 39 වැනි වියේ පසුවූවාය.  


කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගමක පදිංචි හෙද නිලධාරිනිය වරක් බැලූ විට දෙවරක් බැලීමට තරම් හැඩකාර යුවතියක වන්නීය.  


පියා මියගොස් සිටි නිසා මව හා නංගීට කන්න අඳින්න දුන්නේ ඇය පෞද්ගලික රෝහලේ හෙදියක ලෙස රැකියාව කර උපයාගත් මුදලිනි.  


යුද හමුද‌ා රෝහ​ලේ වෛද්‍යවරයකු ලෙස සේවය කරන අතරවාරයේ රාජකාරි වේලාවෙන් පසු කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක සේවය කිරීමට පැමිණි අවස්ථාවේ ඇතිකරගත් දැනහැඳුනුම්කම අවසානයේ කෙළවර වූයේ හෙදියගේ පෙම්වතා වීමෙන්ය.  


වෛද්‍යවරයකු වූ ඔහු හමුදාවේ කපිතාන් නිලයක් දැරුවේය.  


දොස්තර පෙම්වතා විවාහකර ගන්නා බවට පොරොන්දු වී සිටි නිසා ඔහු කෙරෙහි කෙතරම් විශ්වාස කළේ ද කියනවා නම් ඇය සිය කුමරි බඹසර පවා පූජා කළාය.  


ඒ නාරාහේන්පිට ප්‍රදේශයේ සුඛෝපභෝගී හෝටල් කාමරයක සුවපහසු යහනක් මතදීය.  


ඊට පස්සේ කිහිපවතාවක්ම ඇය දොස්තර පෙම්වතා සමඟ හෝටල් කාමරවල ගත කර ඇත්තේ ඔහු විවාහ කර ගන්නා බවට ලබා දී තිබූ ප්‍රතිඥාව කෙරෙහි විශ්වාස කිරීම නිසාය.  


රූමත් හෙදිය දොස්තර පෙම්වතාගෙන් වෙන් වෙන්නේ ඔහු විවාහක දෙදරු පියකු බව දැන ගත්තාට පස්සේය.  


හෙදිය මඟහැර සිටීම නිසා අැයගෙන් පළිගැනීමට සිතා වෛද්‍යවරයා මෙවැන්නක් කර තිබෙන බව පොලිස් පරීක්‍ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇත.  


අරක්කු හා ගංජා බලහත්කාරයෙන් හෙද නිලධාරිනියට පොවා අවස්ථා තුනකදී සමූහ දූෂණයකට ලක් කළත් අැය ඒ බවක් පොලිසියට කියන්නට ගියේ නැත.   


ඒ වෙන කිසිවක් නිසා නොව මේ ගැන වචනයක් හරි කාත් එක්ක හෝ කියා තිබුණොත් හෙදිය පමණක් නොව අැයගේ මව සහ නැගණිය ද මරා දමන බවට කර තිබූ තර්ජනයට බිය වී සිටීම නිසාය.  


රෝහලේ ඊ-මේල් ලිපිනයට හෙදියගේ නිරුවත් ඡායාරූප සමූහයක්ම යවා ඒවා ප්‍රසිද්ධියට පත්කිරීම නිසා ලැජ්ජාවට පත් වූ නිසා තවදුරටත් මෙය රහස් නොවන නිසා නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගයාන් ප්‍රසන්න මහතා හමුවී පැමිණිලි කරනු ලැබුවාය.  


ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගයාන් ප්‍රසන්න මහතාගේ උපදෙස් මත හෙදියගේ පැමිණිල්ල පොලිස් පොතේ ලියාගත්තේ එහි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ජානකී ද සිල්වා මහත්මිය විසිනි.  
හෙදිය ඇයට වෙච්ච දේවල් පොලිස් නිලධාරිනියන් හමුවේ කියා ඇත්තේ ඉකි ගසා හඬමිනි.  


“කොළඹ පෞද්ගලික රෝහලේ ​(රෝහලේ නම කියයි) හෙදියක් වශයෙන් රස්සාවට ආවේ 1999 වසරේ. 2016 වසරේ හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙක් මම සේවය කරන පෞද්ගලික රෝහලේ සේවය කරන්න ආවා. කතාබහ කරලා අපි දෙන්නා අතර හිතවත්කමක් ඇති වුණා. දවසක් රෑ වැඩ කරන අවස්ථාවක දොස්තර මහත්තයා මගේ ​ෆෝන් නම්බර් එක ඉල්ලාගත්තා. තේ බොන්න ගිය වෙලාවක තමා නම්බර් එක ඉල්ලා ගත්තේ. ඊට පස්සේ දොස්තර මහත්තයා නිතර මට කතා කළා. ඉස්පිරිතාලේ වැඩට ආපුවාමත් කථා කරනවා. ටික දවසක් යද්දී අපි දෙන්න අතර ආදර සම්බන්ධයක් ඇතිවුණා. ඔහු මාව විවාහ කර ගන්නා බවට පොරොන්දු වී තිබුණා.  


දවසක් අපි දෙන්නා නාරාහේන්පිට හෝටලයකට තේ බොන්න ගියා. ඔහු කළ යෝජනාව අනුව එදා රෑ ඒ හෝටලයේ කාමරයක නවාතැන් ගත්තා. එදා රෑ අපි දෙන්නා අඹු සැමියන් විදිහට හැසිරුණා. ඔහු මාව බඳිනවා කියා පොරොන්දු වී තිබූ නිසා ඔහු කෙරෙහි තිබූ විශ්වාසය මත මාගේ කැමැත්ත ලබා දුන්නා. ඊට පස්සේ කිහිපවරක්ම අපි දෙන්නා අඹු සැමියන් ලෙස හැසිරී තිබෙනවා. මම 2016 වසරේ සයිප්‍රස් රටේ රැකියාවකට ගිහින් 2017 ජූලි මාසයේ 10 වැනිදා ආයෙත් ලංකාවට ඇවිත් නාරාහේන්පිට මම කලින් වැඩ කළ පෞද්ගලික රෝහලේ හෙදියක ලෙස නැවත සේවයට එකතු වුණා.  


මාත් එක්ක ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ආ දොස්තර මහත්තයා විදේශගත වුණා. රට ඉඳලා ඔහු මට නිතර දුරකථනයෙන් කතා කළා. රට ඉඳලා ආවාට පස්සෙ විවාහ කරගන්නා බව ඔහු කතා කරන ඒ හැම අවස්ථාවකම කිව්වා. මම දොස්තර මහත්තයා ගැන සොයා බලන්න හිතුවා. එතකොට තමා දැනගත්තේ දොස්තර මහත්තයා විවාහවෙලා බාබාලා දෙන්නෙකුත් ඉන්න කෙනෙක් බව. දොස්තර මහත්තයා මට බොරු කියා රැවටුවා. ඒක ගැන පුදුම වේදනාවක් ඇති වුණේ. අහිංසක දරු පවුලක් කඩා කප්පල් කර දමන්න මම කොහොත්ම කැමති වුණේ නැහැ. ඒ නිසා දොස්තර මහත්තයා රට ඉඳලා කෝල් එක්ක දුන්නාට පස්සේ මම දැනගත්ත දේ කියා ඔහුට කතා කිරීම නවතා දැමුවා. ඔහු කතා කළත් මම කතා කළේ නැහැ.  


දොස්තර මහත්තයා රට ඉඳලා මාව හොයාගෙන දවසක් ඉස්පිරිතාලය ළඟට ආවා. ඒ වෙලාවේ මම වැඩ ඉවර වෙලා හොස්ටල් එකට යන්න එළියට ඇවිත් හිටියේ.  


“මට තෝත් එක්ක බේරගන්න ගනුදෙනුවක් තියෙනවා. නැගපිය කාර් එකට” කියා තර්ජනය කළා. “මම කියන දේට අවනත වුණේ නැත්නම් උඹ විතරක් නොවේ උඹේ අම්මයි නංගිවත් මරලා දානවා. ආමි එකේ නිසා මට කරන්න බැරි දෙයක් නැහැනේ.” කියා ඔහු තර්ජනය කළා. මම හොඳටම බය වුණා. අපිව මරා දමාවි කියන බයට මම දොස්තර මහත්තයාට අවනත වී කාර් එකට ගොඩවුණා.   


නිට්ටඹුව පැත්තේ පාළු ගෙදරකට මාව අරගෙන ගියා. ඒක තට්ටු දෙකේ ගෙයක්. මගේ බෙල්ලෙන් අල්ලාගෙන උඩ තට්ටුවට අරගෙන ගියා. කාමරයකට දාලා නාගෙන වරෙන් කිව්වා. මට කන්නත් දුන්නා. මාත් එක්ක අඹුසැමියන් විදිහට ඉන්න කතා කළත් මම බැහැ කිව්වා. මම බඳින්න ඉන්න තරුණයාගෙන් කෝල් එකක් ආවා. ඔහුත් එක්ක කතා කළත් දොස්තර මහත්තයාට තියෙන බයට මම බඳින්න ඉන්න තරුණයාට මේ සිද්ධිය කිව්වේ නැහැ. දොස්තර මහත්තයා මගේ ළඟ හිටියේ. ඔහු මට හොඳටම පහර දුන්නා. නිරුවතින් හිටිය මාව අරක්කු බොමින් හිටිය දෙන්නා ළඟට එක්කගෙන ගිහින් එතන තිබුණ හාන්සි පුටුවක වාඩි කෙරෙව්වා. මට බලහත්කාරයෙන් අරක්කු හා ගංජා පෙව්වා. දොස්තර මහත්තයා ගංජා උරා මගේ කට පළල් කර කටට ගංජා දුම පිම්බා.”  


ඔබ මෙතෙක් වෙලා කියෙව්වේ හෙදිය පොලිසියට පවසා ඇති කතාවෙන් කොටසක් පමණි.  


එතැනින් එහාට සිද්ධ වෙච්ච කෙරිච්ච දේවල් මෙහි සටහන් කළ නොහැකිය.  


වෛද්‍යවරයා ලිංගික අතවර කිරීමෙන් පසු නිවසේ සිටි අනෙක් දෙදෙනා ද හෙදියට වරින් වර ලිංගික අතවර කර ඇත.  


මේ දේවල් සියල්ලක්ම එකිනෙකා ජංගම දුරකථනයකින් වීඩියෝ හා ඡායාරූප ගත කර තිබේ.  


තවත් දවසක මොරටුව ප්‍රදේශයේ නිවසකට හෙදිය බලහත්කාරයෙන් රැගෙන ගොස් එහිදී ද ඇයට පෙර පරිදිම අමානුෂික ලෙස ලිංගික අතවර කර ඒ අවස්ථාවන් ද ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර ඇත.  
ඒ නිවස කුලියට ලබාගෙන පදිංචිව සිටියේ අවිවාහක තරුණ ඉංජිනේරුවරයෙකි. (ඔහු හමුදාවේ සේවය කර ඇති හිටපු කපිතාන්වරයකු ද වන්නේය.)  


දොස්තරගේ බලකිරීම මත තරුණ ඉංජිනේරුවරයා ද ඇයට ලිංගික අතවර කර තිබේ.  


පොලිසිය පවසන ආකාරයට වෛද්‍යවරයා හෙදියට තර්ජනය කර මීගමුව ප්‍රදේශයේ හෝටලයකට රැගෙන ගොස් ලිංගික අතවර කර ඇත්තේ ඇයගේ බලවත් අකමැත්ත මතය.  


නුගේ​ෙගාඩ ප්‍රදේශයේ පිහිටි හමුද‌ා කපිතාන්වරයා පදිංචිව සිටින හමුද‌ා නිවස්නයට ද හෙදිය බලහත්කාරයෙන් රැගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කළ බව ද ඇය පොලිසියට පැමිණිලි කරනු ලැබුවාය.  


අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත මේ හමුදා නිවස්නය ද පොලිසිය පරීක්‍ෂාකර වාජීකරණ ඖෂධ, කෘත්‍රිම පුරුෂ ලිංගයක් හා ගංජා සහ ගංජා පානය කිරීමට යොදාගත් බව කියන පයිප්පයක් ද සොයා ගත්තේය.


කොළඹ - අළුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කර ඇත්තේ මහව උඩගම පදිංචි යුද හමුද‌ා රෝහලේ වෛද්‍යවරයකු වූ කපිතාන් මුරුවාඩිගේ දිනේෂ් පෙරේරා (37), යුද හමුද‌ා රෝහලේ සේවය කළ ශ්‍රී ලංකා වෛද්‍ය සේවා බළකායේ ලාන්ස් කෝප්‍රල් ගොඩගේ ශාන්ත ගාමිණී රණසිංහ (32), හිටපු යුද හමුද‌ා කපිතාන් ඉංජිනේරු නවීන් එරන්ද ගුණසිංහ සහ යුද හමුදා පොලිසියේ කපිතාන් ජයවර්ධන මුදියන්සේලාගේ අමිත් කුමාර විජේවර්ධන නමැත්තන්ය.   


පළමු සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා කියා සිටියේ ස්ත්‍රී දූෂණයක් සිදුවූ බවට ස්වාධීන සාක්කියක් ඉදිරිපත් වී නොමැති අතර අකමැත්තෙන් මෙම කටයුත්ත සිදුවූ බවට තහවුරු කිරීමට සාක්කි නොමැති බවය.  


දෙවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රසික වීරතුංග මහතා කියා ඇත්තේ ස්ත්‍රී දූෂණයක් බවට සාධාරණ සැකයක් මතු වී ඇතත් සැකයේ වාසිය විත්තිය වෙත ලබා දී අැප ලබා දෙන ලෙසය.  
මෝටර් රථය පැදවීමක් පමණක් තම සේවාද‌ායකයා සිදුකර ඇති බවත්ය.  


සැකකරුවන් හතර දෙනා ලබන මාර්තු මස 02 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කර ලැබ සිටිති.   


බස්නාහිර පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ සහ කොළඹ දිසා බාර (වැඩබලන) නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ පොලිස් අධිකාරී නිශාන්ත සොයිසා සහ එහි සහකාර පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් යන මහත්වරුන්ගේ උපදෙස් මත නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ගයාන් ප්‍රසන්න මහතාගේ ප්‍රධානත්වයෙන් උපපොලිස් පරීක්‍ෂක ලලිත් පෙත්තන්ත්‍රි සහ නාරාහේන්පිට පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උපපොලිස් පරීක්‍ෂිකා ජානකී ද සිල්වා, පොලිස් කොස්තාපල්වරුන් වන සිසිර (86735) සහ සිලින්ද (61287) යන මහත්වරු සහ මහත්මිය මේ සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබූහ.  

 

 

 

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය