හේන් වගාවත් අඩමානයි


හේන් ගොවිතැන් කරනු ලබන්නේ කාලාන්තරයක් තිස්සේ කැලෑවෙන් වැසී වල් බිහි වී තිබූ ඉඩමක් එළි පෙහෙළි කිරීමෙනි. පරිසරයට දැඩි සේ ආදරය කළ පැරැන්නන් හේන් සකස් කිරීමේ දී ඉවක් බවක් නැතිව කැලෑ විනාශ කළේ නැත. මහ ගස් ඉතිරිව තිබිය දී යටි වගාව කපා දමා එළි පෙහෙළි කොට මල් පැලක් තනා, පහන් දල්වා, අඬහැර නගා සතා සීපාවා පලවා හැර, වියළි අතු ඉති ගිනි තබා, දඬු වැට බැඳ, බිම සකස් කරනු ලැබේ. මෙසේ සැකසූ වගා බිම ‘‘නවදැලි හේන’’ නමින් හැඳින්වේ. මුං, කවුපි, මෙනේරි, බඩඉරිඟු, කුරක්කන් වැනි ධාන්‍ය වර්ග මෙන්ම මෑ, කරවිල, පතෝල, වැටකොළු ආදි එළවළු වර්ග ද හේනේ වගා කෙරුණි. එහෙත් අද වන විට හේන් ගොවිතැනට අත්ව ඇත්තේ ඉතා ශෝචනීය වූ ඉරණමකි. 


‘‘මඩ සෝදාගත් කල ගොවියා රජකමට ද සුදුසුය’’. මේ ගොවියාගේ ඇති වටිනාකම පිළිබඳව කියැවෙන හොඳම වැකිය විය හැකිය. ඒ උඩරට රාජධානියේ සිරකරුවකු ලෙස සිටි රොබට් නොක්ස් එදා ගොවියා අගය කළ අයුරුය.


 එහෙත් අද වන විට මේ වැකියෙන් ගොවියාට කොතරම් දුරට සාධාරණයක් ඉටුවේද? යන්න සොයා බැලිය යුතුව ඇත. කලින් කලට වූ විවිධ විපර්යාසයන් හේතුවෙන් ගොවියා අනාථ වී තිබේ. එපමණක් නොව ගොවියාට ලැබුණු අඩු වටිනාකම හේතුවෙන්ම ගොවියා ගොවි කමටද සමුදී තිබීම ඉතා ශෝචනීය වූ කරුණකි. හේන් ගොවිතැන නිසා එදා ගම්වල තල, මුං, මෙනේරි, රට කජු, බඩ ඉරිඟු, කුරක්කන්, කවුපී වලින් අටු කොටු පිරී තිබුණි. ඒ නිසා ගොවියාට කිසිදා කුසගින්නේ සිටීමට සිදු නොවීය. තුන්වේලටම බත් කෑමට ද සිදු නොවීය. එපමණක් නොව මෙම භෝග වර්ග පිටරට වලින් මෙරටට මහා පරිමාණයෙන් ගෙන්වීමටද සිදු නොවීය. එහෙත් අද වන විට මේ සියලුම භෝග රටින් ගෙන්වීමට රජයට සිදුව තිබේ. ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ හේන් ගොවිතැනින් ගොවියා ඉවත් වීම හා බලහත්කාරයෙන් ගොවියා හේන් ගොවිතැනින් ඉවත් කිරීමය. 


හම්බන්තොට, සූරියවැව, ලුණුගම්වෙහෙර හා ඉන් එහාට තණමල්විල, හම්බෙගමුව ඇතුළු අවට සියලු ප්‍රදේශවල ජීවත් වෙන්නේ පාරම්පරික ගොවි පවුල්ය. සියයට අනූවක් පමණ ගැමි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ ගොවිතැනයි. එහෙත් අද වන විට ඉන් භාගෙටත් වඩා අඩු ප්‍රමාණයක් ගොවිකමට සමු දී හමාරය. ඒ ගොවිකම සඳහා සිදුවන දැඩි අසාධාරණකම් නිසාවෙනි. 


හේන් ගොවීන්ට සිදු වූ දැඩි අසාධාරණයක් සම්බන්ධ අවනඩුවක් හම්බන්තොට දිස්ත්‍රික්කයට අයත් ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය බලප්‍රදේශයේ පිහිටි උඩමත්තල, මත්තල හා පහළ මත්තල ගම්මානවලින් අපට ඇසිණි. මෙම ගම්මානවල ජීවත් වන්නේ පාරම්පරික ගොවි ජනතාවකි. ඔවුන් එදා පටන් ජීවත් වූයේ හේන් ගොවිතැනට පිංසිද්ධ වෙන්නටය. ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම නව කතාවට පාදක වූ සිලිඳුලා පවා හේන් ගොවිතැන් කරමින් ජීවත් වී ඇත්තේ මේ ප්‍රදේශයේය. සිලිඳුලාගේ පරපුරෙන් ආ ඥාතීහු තවමත් මේ මත්තල සිටිති. ඒ තරමටම මෙම ප්‍රදේශයේ හේන් ගොවිතැන පරණය. 


හේන් ගොවිතැනින් ලැබෙන අස්වැන්නෙන් ජනතාව වසරේ මාස 12ම ජීවත් වෙති. සුපුරුදු පරිදි මෙවරද බෙලිතෝර වැසි ඇදහැලීමට පෙර කැලේ කපා, පුච්චා හේන් සකස් කෙරුණ ද ගැමියන්ට එහි භෝග දැමීමට හැකි නොවීය. හේන් කැපූ ගොවියන්ට සිදු වූයේ කැපූ හේන් වල බීජ සිටුවීම වෙනුවට අධිකරණයට ගොස් දඩ කන්නටය. වගා සඳහා සුදානම් කෙරුණු හේන් එහෙම්මමය. හේන් ගොවියෝ ද අධිකරණයට ගොස් දඩ කා විත් ගේ මුල්ලට වී සුසුම් ලති. ඒ මේ වසරේ ඉතිරි මාස ටික දරු මල්ලන් ජීවත් කරවීමට නොහැකිවය. 


බී. ධර්මදාස ​​ෙගාවි මහතා : මට දැන් අවුරුදු 58ක් වෙනවා. එදා පටන් කළේ හේන් ගොවිතැන විතරයි. මාස් කන්නය එළඹීමත් සමග තමයි අපි හේන් ගොවිතැන් වැඩ කරන්නේ. වසරේ මාස හතරක වගේ කාලයක් තමයි හේන් ගොවිතැන තියෙන්නේ. හේන් ගොවියා මේ මාස හතරේ නොවිඳිනා දුකක් විඳිනවා. ඒ අස්වැන්නෙන් තමයි අපි අවුරුද්දේ මාස 12ම අඹු දරුවන්ටත් කන්න දෙන්නේ. හැබැයි මෙදාපොටේ කැලෑ මහත්වරු ඇවිත් අප අරන් ගිහින් නඩු දැම්මා. රුපියල් හතළිස් දහස, අසූ දහස වගේම ලක්ෂයේ දඩත් ගහලා තිබුණා. මන් දන්නේ නෑ මොකද්ද මේ නීති ක්‍රමය කියලා. අපට ඕවා තේරෙන්නේ නෑ. 


අවුරුද්දේ මේ මාස හතරේ කැලේ කපලා ගොවිතැන් කළාම ඉතිරි කාලේ ඒ හේන් අපි අතහැර දමනවා. එතකොට ඒ හේනේ හැදෙන ළා තණකොළ ටික හා සුළු සුළු භෝග ටික වන සතුන්ගේ ආහාර වෙනවා. මහා රූස්ස ගස් තිබ්බට වන සතුන්ට වැඩක් නෑ. උන්ට ඒවා කන්න බෑ. අද අපි මේ හේන් කරන්න කපලා තියෙන්නේ කටු පඳුරු සහිත කැලෑ. ඒවායෙන් සතුන්ට ඇති වැඩක් නෑ. මේවා නීති හදන මහත්වරුන්ට තේරෙන්නේ නෑ. පුදුමේ කියන්නේ මේ හැම නීතියක්ම බල පාන්නේ ගමේ ඉන්න මේ අහිංසක මිනිස්සුන්ට විතරයි. බලන්නකෝ මහ කැලේ ඇතුළේ ඩෝසර් දමාගෙන කැලෑ කපලා කරලා තියෙන මහා පරිමාණ වගාවන් ටික. මේවට කිසිම ගැටලුවක් නෑ.


එස්.ජී.ඒ. ගුණපාල මහතා : මට වයස අවුරුදු 13 දී තමයි මං හේන් ගොවිතැන් කරන්න බැස්සේ. දැන් මට අවුරුදු 65ක් වෙනවා. අපි ජීවත් වුණේ, දරුවන්ට ඉගැන්නුවේ, ගෙවල් දොරවල් හදා ගත්තේ මේකෙන්. අද ඒ ඔක්කොම විනාශ වෙලා ගිහින්.

 


අපි රජයේ මහත්වරුන්ගෙන් ඉල්ලන්නේ වෙන මොකක්වත් නෙමේ, පාරම්පරිකව කරගෙන ආව මේ හේන් ගොවිතැන සඳහා අවස්ථාව දෙන්න කියලයි. අපි ඉඩම්වල අයිතිය ඉල්ලන්නේ නැහැනේ. අපි කියන්නේ වගා කරගන්න දෙන්න කියලා විතරයි. අනික එක සැරයක් හේනක් කපපු තැනක් අවුරුද්දක් දෙකක් යනකම් නැවත හේන් කරන්නේ නෑ. දැන් මේ වෙනකොට මිනිස්සු කැලෑ කපලා පුච්චලා ඉවරයි. මේ දවස්වල මේ පැතිවලට ඇද හැලෙන මේ බෙලිතෝර වැස්සත් එක්ක භෝග හිටවන්න ඕනේ. නමුත් තවම ඒකට අවස්ථාව නෑ. කැලෑ මහත්වරු ඒකට තහංචි දමලා තියෙන්නේ. ඒ පැත්කටවත් යන්න විදියක් නෑ. ගියොත් නඩු දමනවා. 
තව මාස ගණන් පරක්කු වෙලා මේ හේන් ගොවිතැනට අවසර දුන්නට වැඩක් නෑ. මොකද හේන් ගොවිතැන කරන්නේ අහස් දියෙන්. වැහි එන දවස් බලලා තමයි භෝග හිටවන්නේ. මේ මාසෙට කලින් වත් මේ සඳහා සාධාරණ පිළිතුරක් නොලැබුණොත් හේන් ගොවිතැන සම්පූර්ණයෙන්ම විනාශයි. 


මත්තල පදිංචි ආර්.ජී. සරත් කුමාර ගොවි මහතා : ​ෙම්ක අපේ ජීවිතේ ප්‍රධාන ජීවනෝපායයි. හැබැයි ඒ පාරම්පරික හේන් ගොවිතැන අද අපිට අහිමි වෙලා. උඩමත්තල ගම කියන්නේ වසර 150ට වැඩි ඉතිහාසයක් තියෙන ගමක්. මේ ගමෙන් ගිය අය තමයි පහළ මත්තල හා මත්තල ගම් දෙකේ ඉන්නේ. මේ ගම් තුනේම ඉන්නේ එකම පරම්පරාවක්. මේ හැම කෙනෙක්ම කළේ හේන් ගොවිතැන. ඒකට හොඳම සාක්ෂිය තමයි බැද්දේගම නව කතාව. ඒ අය ජීවත් වුණු කටෝර පරිසරය පිළිබඳව එහි හොඳට විස්තර කරලා තියෙනවා. වගකිවයුතු පාර්ශ්ව හේන් ගොවියට නීති රීති දාන්නේ මේවා ගැන නොදැනයි. 


ඉස්සර අපේ ගම්වල තල, මෙනේරි, කුරක්කන්, මුං ඇට, කවුපි, බඩ ඉරිඟු වරදින්නේ නෑ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. මේ හැම දේම කඩෙන් ගෙනත් කන්න වෙලා තියෙන්නේ. අපි විඳින පංච මහා දුක ඔය කාටවත් දැනිලා තියෙනවද බලන්න. කැලේ හේන් සුද්ද කරන්න යද්දී පටස්ස කියන අත්ත මුහුණේ වැදීම, එරමිණිය අත්ත කනේ හරි නහයේ හරි පැටලීම, අන්දර කටුවක් අතේ අැඟිලි පුරුකක් උඩ ඇනීම, ඇමටිල්ල අත්තක් මුහුණේ වැදීම හා අතේ දියපට්ටයක් ඇවිත් ඒ වෙලාවෙම වැඩ කරද්දි ඒක කැඩී යාම, මේ කියන පංච මහා දුක දන්නේ හේන් ගොවියම විතරයි. මොකද හේන් ගොවියා මේවා අත්විඳලා තියෙනවා. ඒකට කෝ සාධාරණය. ගොවිතැන් නතර කරලා දමන්න අපිට ජීවත් වෙන්න මගක් හදලා දෙනවා නම්. එහෙම ක්‍රමයක් පේන මානෙකවත් නැතිව තිබියදී හේන් කරන එකත් නවත්තන්නලු. 


අද වගේ කැලෑ පාළුවෝ ඉස්සර හිටියේ නෑ. අද කැලෑ ඇතුළේ සිදුවන්නේ මහා ජාවාරම්. ඒවා මේ ගමේ ඉන්න මිනිස්සුන්ගේ වැඩ නෙමේ. ඒවා කරන්න ගමේ අයට හයියකුත් නෑ. ඕනකමකුත් නෑ. ඔය ඔක්කොම ජාවාරම් කරන්නේ ලොකු ලොක්කන්ගේ ආශිර්වාදයෙන් එන පිරිසයි. ඒ අයගේ හොරකම් ටික කරගන්න තියෙන ලොකුම බාධාව තමයි හේන් ගොවියා. හේන් ගොවියා කැලේ ඇතුළේ හේන් කැපුවම ඒක කැලෑ පාළුවන්ට බලපානවා. ගංජා වවන එකාටත් ඒක බලපානවා. මේවා කරන්නේ ලොකු ලොක්කන්ගේ ළඟ ඉන්න අය නිසා මොකද කරන්නේ. ගමේ ඉන්න අහිංසක මිනිහට කැලේට යාම තහනම් කරනවා. 


අපි නීති හදන මහත්වරුන්ට යෝජනාවක් කරනවා අපි මේ හේන් ගොවිතැනින් සඳහටම අයින් වෙන්නම්. හැබැයි අපිට ජීවත් වෙන්න ක්‍රමයක් හදා දෙන්න. පුළුවන් නම් මේ අවට තණමල්විලට, සූරියවැව, හම්බන්තොටට හා තවත් කොහෙ හරි තැනක් බලලා අපිට කර්මාන්ත ශාලා හතරක් දමලා ඒවගේ අපිට රස්සාවක් දෙන්න. අන්න එතකොට කැලෑ කපන්න ඕන නෑ. වගකිවයුත්තන් මේවා කරන්නේ නැතිව අපේ ජීවනෝපාය නැති කරනවා. 
ජේ.ඩබ්ලිව්.පී. නන්දසේන ගොවි මහතා : මම ළමයි හතර දෙනෙක් ඉන්න තාත්ත කෙනෙක්. කැලේ කපන්නේ නැතිව හේන් කරන්න පුළුවන්කමක් නෑ. එහෙමයි කියලා මේ ගොවියෝ කවුරුවත් හේන් ගොවිතැන කරන ගමන් කෑලෑ කපන ජවාරම් කළේ නෑ. හේන් ගොවිතැන සඳහා අපි කැලෑ කපන්නේ පුද පූජා තියලා. කැලයට අරක් අරගෙන ඉන්න දෙවියන්ට පින් දීලයි. ඒ තරම් භක්තියකිනුයි අපි හේන් ගොවිතැන කරන්නේ. හේනක් කරලා අස්වැන්න ගෙට ගත්තම අපි ඒ හේන අත හරිනවා වන සතුන්ට. හේනේ ඉතිරිවන සුළු සුළු භෝගවල හටගන්නා ඵල වන සතුන්ගේ ආහාරය වෙනවා. ඒ විතරක් නෙමේ අතහැර දමපු හේනේ ඊළඟට එන ළා තණකොළ අතු රිකිලි වන සතුන්ගේ හොදම ආහාරය බවට පත් වෙනවා. කටු පඳුරු සහිත කැලෑ තිබුණට වන සතුන්ට කිසිදු ප්‍රයෝජනයක් නෑ. අනික වන අලි පවා ගම් වදින්නේ නෑ. මොකද උන්ට කන්න ඇති තරම් ළා තණකොළ අතු රිකිලි අතහැර දමන හේනේ තියෙන නිසා. අද මේ හේන් ගොවියට කරගෙන යන්නේ පුදුම තරමේ අසාධාරණයක්. අපි වවලයි අපි කන්නේ කිව්වාට ඉන්න තියෙන පර්චස් 10 වගා කරන්න බෑ. එහෙම කරලා රටක් ලෙස ගොඩනගන්නත් බෑ. හැමදාම පිට රටවලින් ගෙනත් කන්න තමයි වෙන්නේ. ඒ නිසා අපි ඉල්ලන්නේ අපට අපේ හේන් ගොවිතැන කරගෙන යන්න අවස්ථාව දෙන්න කියලයි. 

 

 

හේන් සඳහා කැලෑ කපා පුච්චා අතහැර දමා ඇති අයුරු.

 

 


අපි මේ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ලුණුගම්වෙහෙර අඩවි වන නිලධාරී කාර්යාලයෙන් විමසීමු. එහි නිලධාරියෙක් මෙසේ පැවසීය. 


05/2017 චක්‍ර ලේඛයට අනුව රජයට අයත් කැලෑ කැපීම්, ගිනි තැබීම් හෝ ඉඩම් අල්ලා ගැනීම් කරන්න දෙන්න පුළුවන් කමක් නෑ. යම් හෙයකින් එවැනි කටයුතු සඳහා අවස්ථාව දුන්නොත් ඒ සඳහා අපි වගකියන්න ඕනේ. ඒ නිසා මේ වන විට මත්තල ඇතුළු අවට කැලෑ එළි කිරීම් සිදු වෙලා තියෙනවා හේන් ගොවිතැන් සඳහා. රජයේ කැලෑ තමයි කපලා තියෙන්නේ මේ සඳහා. 


මේ පැතිවල ඉන්නේ පාරම්පරික හේන් ගොවියෝ තමයි. නමුත් දැන් තියෙන නීති රීතිත් එක්ක හේන් කරන්න කැලෑ කපන්න දෙන්න පුළුවන් කමක් නෑ. පසුගිය දවසේ මාධ්‍ය වාර්තාවක් පළවුණා කැලෑ අක්කර 500ක් කපලා කියලා. ඒක නම් ඇත්තටම බොරු කතාවක්. වැලිගත්තෙන් පටන්ගත්තම එක පැත්තකින් තණමල්විල දක්වා, අනිත් පැත්තෙන් සූරියවැව දක්වා ඔක්කොම කැලෑ අක්කර 100කට ආසන්නව වගේ තමයි කපලා තියෙන්නේ හේන් ගොවිතැන සඳහා. ඒවත් මේ වන විට නතර කිරීමට කටයුතු කරලා තියෙනවා. 


ඊට අමතරව කැලෑ කපපු අය සඳහා නඩු පැවරීමටත් කටයුතු කරලා තියෙනවා. හේන් ගොවිතැන සඳහා කපපු සියලුම රජයේ ඉඩම් මේ වන විට තහනම් කරලා තියෙනවා. කිසිදු හේතුවක් නිසා එම ප්‍රදේශවල වගා කරන්න දෙන්න පුළුවන් කමක් නෑ. මේ ගැටලුවට බිම් මට්ටමේ අපිට කිසිදු විසඳුමක් දෙන්න පුළුවන් කමක් නෑ. මේ සඳහා ඉහළින්ම පිළිතුරක් ලැබිය යුතුයි.

 

 

සටහන හා සේයා : සූරියවැව 
දිලීප් ජයසේකර