හපුතලේ කඳු වළල්ලේ සුවිසල් නායයාමක්


හපුතලේ කන්දෙන් මතුවන භයානක දිය ඇලි

 

හෝටන්තැන්න, බෑවුමෙන් උපත ලබා මුහුදු මට්ටමේ සිට අඩි 3600ක් උසින් උඩවේරිය පර්වතයේ සිට අඩි 790ක් පහළට රූරා වැටෙන බඹරකන්ද අපේ රටේ උසම දියඇල්ලයි.   


බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, කලුපහන හන්දියේ සිට කි.මී. 5ක් දුර උඩවේරිය මාර්ගයේ ගමන් කළ පසු මෙම දියඇල්ල හමුවෙයි. 

 
වියළි කාලයට මීදුම් අතරේ හටගත් ප‍තෝල කරලක් මෙන් දිස්​ෙවන මෙම දියඇලි කොමළිය වැසි කාලයට පුෂ්ටිමත් වන්නේ රූපසුන්දරියක් වෙමිනි.   


ඇගේ රුවේ ඓතිහාසික වෙනසක් ඉකුත් අප්‍රේල් 19 වැනිද‌ා සිදුවූයේ දුටුවන් බිය පත් කරවමිනි.   


මහවැස්සත් සමඟ එදා ඇදහැළුන මහා දියකඳ ඉතිහාසයේ කිසිම දිනක නුදුටු බඹරකන්ද දියඇල්ලක් නිර්මාණය කළේය.   


ගල්කුළු ද පෙරළාගෙන බිමට වැටීමට තරම් ඇය සැඩවිය. එය බිහිසුණු දසුනක් වූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.   


දියඇල්ල ඉස්මත්තේ කන්දක සිදුවූ නායයාමක් සමඟ එම මහා ජලකඳ නිර්මාණය වී තිබිණ. වසර 2000 අප්‍රේල් 10 වැනිදා මේ ඉස්මත්තේම නාය යාමක් සිදුවූ නමුත් එය මෙතරම් විශාල නොවීය.   


අඩි 50ක් පමණ උසට පිණි විසිරුවාලමින් දුඹුරු පැහැයෙන් කඩාවැටුණ මහා දියකද කියා පෑවේ අසුබ දසුනක් බව ප්‍රදේශවාසීහු විශ්වාස කළහ.   


එය සැබෑවක් වීමට ගත වූයේ පැය කීපයකි.   


දියඇල්ලට නුදුරින් පිහිටි ගිනිගත්ගල නායයාමක් සක්‍රීය විය.   


බදුල්ල කොළඹ (A4) ප්‍රධාන මාර්ගයේ සිට වල්හපුතැන්න මහා විද්‍යාලය ඉදිරියෙන් ගිනිගත්ගල, බණගේහින්න, නිධන් ගල, කිරිමැටිය යන ගම්මානවලට පිවිසීම සඳහා රුපියල් කෝටියක පමණ මුදලක් වැය කර ඉදිකළ කාපට් මාර්ගය හරහා මහා එම නාය සක්‍රීය විය.   


පයිනස් වගාකළ කන්දේ සිට අක්කර 8ක් පමණ වපසරිය ගොදුරු කරගනිමින් ක්‍රියාත්මක වූ මේ නායයාම සමඟ ගස් පස් හා ගල් කඩාවැටී මෙම මාර්ගය හා ඒ අවට මුළු භූමියම දැඩි අවදානමකට ලක්විය.   

 

 

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ භූ විද්‍යාඥයන් පැමිණ කළ පරීක්ෂණයෙන් පසු මේ මාර්ගය වසා දැමීමට කටයුතු කෙරිණ. විකල්ප මාර්ගය වන කළුපහන සිට කිරිමැටිය දක්වා වන මාර්ගයට ද පස්කඳු කඩාවැටීම නිසා මේ ජනතාව ගම්මාන තුළම කොටුවිය. වරින් වර මාර්ගයට වැටෙන පස් ඉවත් කළත් එම මාර්ගය ද අවදානම් කලාපයටම අයත්විය.   


‘ඉරිදා ලංකාදීපය’ මේ අසරණ ගම්වැසියන් සොයා ගිය ගමන ද අන්තරාදායකය.   


තහනම් කළ කාපට් මාර්ගය වෙනුවට ඔවුන් දැන් අඩි 800ක් පමණ උස කන්දකට අඩිපාරක් සාදාගෙන ඇත්තේද එම අවදානම් කලාපයෙන්මය.   


අප එනතෙක් මඟ බලාගෙන සිටි ගම්වැසියකු වන ගාමිණී ජයලත් කෝනාර මහතා ඊට හේතු කාරණා කීවේය.   


“අනේ මහත්තයෝ අපේ ගම්වල ළමයි වැඩි දෙනෙක් ඉස්කෝලේ යන්නෙ වල්හපුතැන්නට. ඊට අමතරව බණ්ඩාරවෙල ඉස්කෝලවලට යන ළමයිනුත් ඉන්නවා. තිබුණ පාරෙන් ගියොත් විනාඩි 20කින් විතර මහපාරට ගිහින් ඉස්කෝලේ යන්න පුළුවන්.   


කිරිමැටිය පාරෙන් ගියොත් හුදකලා පාරේ කි.මී. හත අටක් යන්න වෙනවා. මේවයේ වාහන නැහැනේ. ත්‍රීවිලරයක් රුපියල් 800ක් විතර ගන්නවා.   


විකල්ප පාරත් හිටි හැටියේ පස්කඳු පාත් වී වැහෙනවා.   


මේ නිසා අවදානම් වුණත් මේ කන්ද නැගල මේ අවදානම් ගමන යනවා මිසක් විකල්පයක් නැහැ. සමහර ළමයි යන්න බෑ කියල ඉස්කෝලෙ ගමන නතර කරලා.   


මේ කන්ද නැගල බැහැල සමහර ළමයි මහන්සිවෙලා ගෙදර ගියාම මහන්සියට එහෙමම නිදාගන්නවා.   


ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙනියන්න විදියක් නැහැ. කුඩා තේවතු කෑල්ලකින් ලැබෙන මුදලින් තමයි හුඟාක් පවුල් ජීවත්වෙන්නේ.   


ඒ දළු ටික වහපු පාරෙන් තමයි අප අරගෙන ගියේ. දැන් කිරිමැටිය පාරෙන් ගියොත් ත්‍රීවිලර් එකට රුපියල් 800ක් විතර දෙන්න වෙන නිසා මේ අනතුරුදායක කන්ද මැදින් හදාගත්ත අඩි පාරේ දළු ගෝනි ඔලුවෙ තියා​ෙගන ගමේ අය පහළට බහිනවා” යැයි ඔහු පැවසුවේ සුසුමක් හෙළමිනි.   


මේ අවදානම් අඩි පාරේ ගමන ඉතා අසීරුය.   


තැන තැන නවතිමින් හති අරමින් අපි ඉහළට නැග්ගෙමු.   


මුළු කඳු යායම වසා පැතිර ඇත්තේ රජයේ පයිනස් වගාවකි.   


වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ ගස් කැපීම කොන්ත්‍රාත්කරුවන්ට දී ඇතැයි දැනගන්නට ලැබුණි.   


කන්දට බැකෝ යන්ත්‍ර දමා අවිධිමත් පාරක් කපාගෙන ඇත්තේ කොන්ත්‍රාත්කරුවන් බව ද දැනගන්නට ලැබුණි. දැව ප්‍රවාහනයට මේ පාර යොදාගත්ත ද කානු නොමැති නිසාත් ගස් කපා භූමිය නිරාවරණය කිරීම නිසාත් මේ මහා නාය යාම සිදුවන බවට ගම්වැසියෝ විශ්වාස කරති.   


මුල් පෑදුන පයිනස් ගස් විශාල ප්‍රමාණයක් කඩාවැටීමට ආසන්නව ඇති අයුරු දක්නට ලැබිණ.   


අප එන තෙක් කන්ද මුදුනේ බලාසිටි ගම්වැසියෝ නැඟූ මැසිවිලි අනන්තය.   


දරුවන් කීවේ පාසල් ගමනට වූ බාධාව ගැනය. වැඩිහිටියන් කීවේ තම ගම කොටුවී ඇතත් කිසිම කෙනෙකුගෙන් පිළිසරණක් නැති බවය.   


එච්.එම්. සුමනසිරි (65) මහතා කතාකළේ දැඩි වේදනාවෙනි.   


“මහත්තයො අපි තරුණකාලේ මේ කන්ද හරිම ලස්සනයි. අරළු, බුලු, නෙල්ලි හොඳට වැවිලා තිබුණා. ඒවායින් ගමේ අය ආදායමකුත් ලැබුවා.   


පතනේ වැවුන තණකොළ නිසා කිරි ගවයන් ඇති කිරීම පහසු වුණා.   


වන සංරක්ණයෙන් පයිනස් වගාව පටන් ගත්තට පස්සේ මේ සියල්ල ගම්මුන්ට නැති වුණා. කිරි ගවයන් විකුණා දැම්මා. රජයෙන් ලැබුණ තේ කෑල්ලෙන් තමයි ජීවත් වෙන්නේ.   


දැන් ඒ තේ දළු ටිකවත් ගෙනියන්න පාරක් නැහැ. එළවළු පොඩ්ඩක් හදාගත්තත් ගෙනියන්න විදියක් නැහැ. සුද්දගේ කාලෙවත් මේ වගේ පරිසර විනාශයක් කළේ නැහැ. මේකට හැම රජයක්ම වගකියන්න” ඕන ඔහු කීවේය.   


ලීලා රණසිංහ මහත්මිය කතා කළේ දෑසින් කඳුළු වගුරමිනි.   


“අනේ දෙයියෝ අපේ ගම්වලට මොකක්ද මේ වන වින්නැහිය. 

 
කඩාගන්න දළු ටික විකුණා ගන්න විදියක් නැහැ. දරුවෙකුට ඉස්කෝලේ යන්න විදියක් නැහැ. රජයේ රැකියාවලට යන කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලන්ට වැඩට යන්න විදියක් නැහැ.   


සමහරු ජීවත් වෙන්නේ කුලියක් කරලා. නමුත් අපි කාටවත් කරදරයක් නැතිව ජීවත් වුණා. දැන් පාරවල් වහලා ගම තනිවෙලා.   


ගමේ ඉස්කොලෙට ගුරුවරු එන්නේ වෙනත් ප්‍රදේශවල ඉඳල. ඒගොල්ලන්ට එන්න විදියක් නැහැ. අපේ ඉස්කෝලේ වැහිලා වගේ තමයි.   


ළමයි යවන්නෙත් නැහැ. තැපැල් කාර්යාලයෙත් වැඩක් වෙන්නේ නැහැ.”   


ඇය එසේ දුක කීවාය.   


මහ වැස්සෙන් ගිනිගත්ගල ගිනිගත්තා සේය. ඔවුන්ගේ මැසිවිලි අනුව මිනිසුන්ගේ හදවත් තුළට නැඟුණ ගින්න මෙතරම් යැයි කියන්නට නුපුළුවන. එය එතරම් විශාලය.   
හෝරා ගණනාවක් මහ වැස්සේ තෙමි තෙමී අපි ඔවුන් සමඟ ගත කළෙමු.   


ගමෙන් සමුගෙන විකල්පයැයි කියන මාර්ගයෙන් කලුපහන හරහා වල්හපුතැන්නට ඒම සඳහා ත්‍රිරෝද රථයක් ගෙන්වා ගතිමු.   


කි.මී. 7 ක් පමණ වන මෙම ගමනට ගම්වැසියන් කියූ පරිදි අයකිරීම රුපියල් 800 කි.   


අපි ත්‍රිරෝද රථයෙන් කිරිමැටිය නම් වූ විකල්ප මාර්ගය දිගේ එද්දි ස්ථාන කීපයකින් පස්කඳු වැටී අවහිරව තිබුණි.   


“මේ පාර විකල් පාර කිව්වත් නාය අවදානමේ තියෙන්නේ. කොයිවෙලාවේ නාය යයි ද දන්නේ නැහැ.   


පාර අවහිර වෙලා දින 2ක් මිනිස්සු කොටු වුණා” යැයි ත්‍රිරෝද රථයේ රියැදුරා කීවේය.   


අපි බඹරකන්ද ඉසව්වෙන් කළුපහනට පැමිණ බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට වැටුණෙමු.   


වල්හපුතැන්න දෙසට යන විට වල්හපුතැන්න විදුහලට නුදුරින් මාර්ගයට පස්කඳු පාත්වෙමින් තිබිණ.   


උඩ බැලුවෙමු. මේ පෙනෙන්නේ අපි උඩින් ගිහින් බැලූ ගිනිගත්ගල නායයාමේ පහත කෙළවරයි. මාර්ගයේ තනිමං තීරුවක පස් ඉවත් නොකළේ ආරක්ෂක පියවරක් ලෙස බව දැනගන්නට ලැබුණි.   


අවදානම දැනුම්දෙන දැන්වීම් පුවරුවක් සවිකර තිබූ අතර රාත්‍රී කාලයේ දැල්වීම සඳහා අනතුරු සංඥා විදුලි පහන් සවිකර තිබුණි.   


බැකෝ යන්ත්‍රයක් එම ස්ථානයේම රඳවා තබමින් තනි මංතීරුවට වැටෙන පස් ඉවත්කිරීමට කටයුතු යොදා තිබුණි. බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතා පැවසුවේ ආරක්ෂාව සඳහා හල්දුම්මුල්ල පොලිසියේ නිලධාරීන් එම ස්ථානයේ යෙදවීමට හල්දුම්මුල්ල පොලිසියට උපදෙස් දුන් බවය.   


වල්හපුතැන්න විදුහල අසලදී අපි ත්‍රිරෝද රථයෙන් බැස අපේ වාහනයට ‍ගොඩවීමු.   


බදුල්ල බලා එන අතරේ තවත් බිහිසුනු දසුනක් දක්නට ලැබුණේ බෙරගල හා හපුතලේ අතර කන්ද නගිද්දීය.   


හපුතලේ කන්දෙන් මහා ජලධාරා මහා මාර්ගයට කඩාවැටෙමින් තිබුණේ විශාල දියඇලි  10ක් පමණ නිර්මාණය කරමිනි.   


නෙතඟට රසඳුනක් වුවද මෙය ද මහා විනාශයක පෙර ලකුණු බව සහතිකය.   


දැනටමත් මේ මහා පර්වතයෙන් ගල් කඩාවැටෙමින් තිබේ. එනිසා මෙම මාර්ගයේ ගමනාගමනය ද අන්තරාදායක බැවින් විමසිලිමත්ව රිය පැදවිය යුතුය.   


දැනට නායයාම සක්‍රීයව ඇති ගිනිගත්ගල ආශ්‍රිත ප්‍රදේශය ද අයත් වන්නේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටමය.   


ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ වාර්තා අනුව දිවයිනේ වැඩිම නාය අවද‌ානමක් ඇති දිස්ත්‍රික්කය ලෙස බදුල්ල හඳුනාගෙන තිබේ.   


එහෙත් බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධානතම රාජ්‍ය නිලධාරියා වන දිස්ත්‍රික් ලේකම් තනතුර අදටත් හිස්ය. සංවේදී හා පරිසරකාමී මිනිසෙක් වූ හිටපු දිස්ත්‍රික් නිමල් අබේසිරි මහතා විශ්‍රාම යාමෙන් පසු මේ දක්වා දිස්ත්‍රික් ලේකම්වරයකු පත්කර නැත.


මේ මහා විපත් සිදුවන හල්දුම්මුල්ලට ද මාස ගණනාවක සිටි ප්‍රාදේශීය ලේකම්වරයෙක් නැත.   


මෙහි රාජකාරි ආවරණය කරන හපුතලේ ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේසිරි, සුනිල් අබේකෝන් මහතාට කෝවිල අභියස සිට දුරකථනයෙන් කතා ‍කර ගිනිගත්ගල මිනිසුන් ගැන විමසුවෙමි.   
“තවමත් ඒ මාර්ගය අනාරක්ෂිත නිසා වහල දාලා තියෙනවා.   


ගම්වැසියන්ගේ එකම ඉල්ලීම විකල්ප මාර්ගයක් දෙන්න කියන එකයි. 

 
නායයායමට ලක්වූ ස්ථානයේ සිට මීටර් 200ක් පමණ ඈතින් වනරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් පයිනස් වගාව ඔස්සේ මේ මාර්ගය ඉදිකිරීමට සාකච්ඡා කළා.   


ඌව මහ ඇමැතිතුමාත් පළාත් සභා මන්ත්‍රී සමයදාස මහත්තයත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති තුමාත්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශයත් විකල්ප මාර්ගය ඉදිකිරීම සඳහා පූර්ණ සහයෝගය පළ කර තිබෙනවා. හපුතලේ නගරාධිපතිතුමා බැකෝ යන්ත්‍රය ලබාදීමට ඉදිරිපත් වුණා. අාපදා කළමනාකරණ අමාත්‍යාංශයෙන් ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා” යැයි ද ප්‍රාදේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතා කීවේය.   
මම ආපදා කළමනාකරණ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.එම්. උදය කුමාර මහතාට කතා කළෙමි.   


ඇත්තෙන්ම ඔය මාර්ගය තවදුරටත් නාය යාමට ගොදුරුවෙමින් තිබෙනවා. ඒ නිසා විකල්ප මාර්ගය ඉදිකිරීමේදීත් ගොඩනැගිලි පර් යේෂණ ආයතනයේ වාර්තා ගැන සැලකිලිමත් වීම අත්‍යාවශ්‍යයි. කොහොම නමුත් විකල්ප මාර්ගය ඉදිකිරීම සඳහා හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාව විසින් තමා වෙත එවන ලද ඉන්ධන සඳහා වන ඇස්තමේන්තුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ අනුමැතිය සඳහා යොමුකළ බව ද උදය කුමාර මහතා පැවසීය.

 

 

 

 

 

 

 

සටහන හා ඡායාරූප :
බදුල්ලේ පාලිත ආරියවංශ