හදා ගත්තොත් රටම දිනුම් අනුග්‍රාහකයෙක් ඉන්නව නම් ගමනට පහසුයි


ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගයට යන්න හදන යුද හමුදාවේ සංජය

2017 වසරේ යුද හමුදා මලල ක්‍රීඩා උළෙලේ තුන් පිම්ම ඉසව්වෙන් ශ්‍රී ලංකා වාර්තාව අභිබවා ගොස් නව වාර්තාවක් පිහිටවූ දක්ෂ තරුණ ක්‍රීඩකයකු ගැනයි මේ කතාබහ. ඔහු සංජය ජයසිංහ.


“මලල ක්‍රීඩකයකුගේ තනිකරම හීනය වෙන්නේ ඔලිම්පික් යාම. ඒ සඳහා අපෙත් හොඳ සූදානමක් තියෙනවා. ඒත් අපට තියෙන සමහර පහසුකම් එක්ක ඒ ගමනට යන්න ටිකක් අසීරුයි. හොඳ පහසුකම් ලබා ගන්න පුළුවන් වුණොත් ඔලිම්පික් පදක්කමට යන්න අපහසු නෑ.”


මේ ඔහුගේ කතාවයි.


• ක්‍රීඩාවට අවතීර්ණ වීම ගැන මුලින්ම කතා කරමු.


මම පොඩි කාලේ ඉඳන් ක්‍රීඩාවට දක්ෂයි. පාසල් යන කාලෙත් ක්‍රීඩාවට යොමු වෙලා හිටියා. මුලින්ම මම ගිය පාසල්වල ක්‍රීඩාවට පහසුකම් තිබුණෙ නෑ. ඒත් දිවීමේ ඉසව්, පැනීමේ ඉසව් වැනි විවිධාකාර ක්‍රීඩාවලට සම්බන්ධ වෙලා හිටියා. එහිදී මම මීටර් 50 දිවීම්, දුර පැනීම්, උස පැනීම් කළා. අපේ පාසල්වල පහසුකම් නැති නිසා උස පැන්නේ මුලින්ම දහයියා කුඩු වළකට. ඒ විදියට අවුරුදු 11 දී වගේ තමයි ක්‍රීඩාව ආරම්භ කළේ.


ඉතින් ටිකින් ටික පාසලේදී දක්ෂතා පෙන්නුවා. කලාප කොට්ඨාස තරග දිගින් දිගටම දිනූ නිස, මට ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලැබිලා තෝලංගමුව මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වෙනවා. ඒ 8 වසරෙදී. ඉන් පසුව උසස් පෙළ දක්වාම ඒ පාසලේ තමයි අධ්‍යාපනය හැදෑරුවෙ.


• දක්ෂතා තියෙනවා කියලා හඳුනා ගත්තේ කොහොම ද?


මුලින්ම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලවලින් තමයි දක්ෂතා එළිදැක්වුණේ. පාසලේ දී ගොඩක් ක්‍රීඩා ඉසව්වලට සම්බන්ධ වෙලා ඒවා ජයග්‍රහණය කළා. මුලින්ම මගෙ පොඩි පාසලේ හිටපු ගුරුවරයකු වන පොඩිනිළමේ ගුරුතුමා තමයි මගේ දක්ෂතා හඳුනාගෙන අම්මාට කිව්වේ, මට හොඳට ක්‍රීඩා කරන්න හැකියාව තියෙනවා, ඒ අංශයට යොමු කරන්න කියලා.


• එ් විදියට ආපු ගමනේදි තෝලංගමුව පාස​ෙලන් තමයි සංජය ලොකු පිම්මක් පනින්නේ?


ඇත්තටම ඔව්. ඒ පාසලට ගියාට පසුව තමයි ක්‍රීඩාව හරි හැටි හැම පහසුකමක්ම යටතේ කරගන්න ලැබෙන්නේ. කනිෂ්ඨ පාසලට වඩා හැම පහසුකමක්ම තිබුණා. එහිදී මම සිසිල්ටන් හෙට්ටිආරච්චි ගුරුතුමා යටතේ පුහුණුවීම් කළේ. එතුමාගේ අනුදැනුම යටතේ සෑහෙන දෙයක් වර්ධනය කර ගත්තා.


• ලබපු ජයග්‍රහණ ගැන කිව්වොත්?


පාසල් මට්ටමින් ජයග්‍රහණය කළාට පසුව මම උසස් පෙළින් පසුව යුද හමුදාවට බැඳෙනවා. එතැනින් පසුව ක්‍රීඩා හැකියාව ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. 2013 වසරේ ආසියානු ක්‍රීඩා උළෙලෙදි තුන් පිම්ම 4 වන ස්ථානය ලැබුණා. 2014 වසරේ මැකාවෝ විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම ලබා ගත්තා. 2015 චීනයේ පැවැති ආසියානු ශූරතාවලියේ 9 වෙනි ස්ථානයත් පිලිපීනයේ පැවැති විවෘත මලල ක්‍රීඩා තරගාවලියෙන් තෙවන ස්ථානයත් චීනයේ පැවැති ආසියානු ගෝන් ෆ්‍රී තරගාවලියෙ 6 වන ස්ථානයත් ඉන්දියාවේ පැවැති ආසියානු ශූරතාවලියේ 6 වැනි ස්ථානයත් ලබා ගන්නට හැකි වුණා. මේ වෙනුවෙන් ආසියාවෙ තිබෙන ප්‍රබල රටවල් ගණනාවක් සහභාගී වෙලා හිටියා.


ඒ වගේම 2010 යෞවන ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩකයා වෙලා ශ්‍රී ලංකා ජාතික වාර්තාව පිහිටෙව්වා. යුද හමුදා මලල ක්‍රීඩා වාර්තාවක් පිහිටෙව්වා. ත්‍රිවිධ හමුදා ආරක්ෂක සේවා මලල ක්‍රීඩා උත්සවයෙන් රන් පදක්කමක් ලබාගෙන තියෙනවා. ඒ වගේ තරග රාශියක් ජයග්‍රහණය කරලා තියෙනවා.


• සංජය විවිධ ඉසව් ගණනාවක් කළානෙ. ඒ අතරින් තුන් පිම්මට යොමු වුණේ කොහොම ද?


යුද හමුදාවට ඇතුළත් වුණාට පසුව අපේ පාසලේ ගුරුතුමා ළඟ මාස 8ක කාලයක් පුහුණුවීම් කරන්න ලැබුණා. ඉන් පසුව කොළඹට යනවා පුහුණුවීම් කරන්න. එතැනින් පසුව මාව වෙන්නප්පුවට යවනවා. ඒ පිලිප් රංජිත් ගුරුතුමා යටතේ පුහුණුවීම් කරන්න. එතැන පුහුණුවීම් කරද්දි පුහුණුවීම් කරමින් සිටි අයට කියනවා මට දුර පැනලා පෙන්නන්න කියලා. එහිදී මම ඒ අයට වඩා දුර පනිනවා. එතැනින් පසුව මට ඒ ගුරුතුමා කියනවා දුර පැනීම නතර කරලා තුන් පිම්ම ඉසව්වට අවතීර්ණ වෙන්න කියලා. මුලදි මම දුර පැනීමට තමයි සම්බන්ධ වෙලා හිටියෙ.


• මුලින්ම පදක්කමක් ගත්ත මොහොත මතක ද?


මුලින්ම පාසල් යන කාලේ මුළු දිවයිනෙන්ම ජයග්‍රහණය කරලා පදක්කමක් ගත්තු දවසෙ ලොකු සතුටක් දැනුණා. ඒ මොහොතෙ මාරම හැඟීමක් ආවේ. ඇස්වලට කඳුළුත් ආවා. ඒ වගේම ඉතින් දැන් වුණත් තරගයක් ජයග්‍රහණය කළාම ඒ සතුට ඇති වෙනවා. ඒක වචනවලින් විස්තර කරන්න බෑ.


• පුහුණුවීම් කරන්නේ කොහොම ද?


පුහුණුවීම් කරන්නේ ටොරින්ටන් ක්‍රීඩාංගණයේ සහ සුගතදාස ක්‍රීඩාංගණයේදී. දැනට පුහුණුවීම් කරන්නේ කියුබාවේ සිට මෙරටට පැමිණි ලුවිස් මිරෙන්ඩා පුහුණුකරු යටතේ. එතුමාගෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. ක්‍රීඩාවට අමතරව ආහාර රටාව ඇතුළු ජීවිතයට සම්බන්ධ හැම දේම ගැන අවබෝධයක් ලබා දෙනවා.


උදේ 6.30ට තමයි පුහුණුවීම් කරන්න පටන් ගන්නේ. 6.30 සිට 9.30 දක්වා පුහුණුවීම් කාලයක් තියෙනවා. ඉන් පසු නැවතත් හවස 4.00න් පසුව තමයි පුහුණුවීම් කරන්නේ.


• ෙම් දේවල්වලට ඔබට දිරියක් දෙන්නේ කවුද?


ගෙදරින් අම්මා සහ බිරිඳ තමයි. ඒ වගේම තාත්තා ලොකු ශක්තියක් වුණා. දැන් නම් තාත්තා ජීවතුන් අතර නෑ. නමුත් හැම දේකදීම මගේ පස්සෙන් හිටියා. ඒ ශක්තිය මට හැමදාම තියෙනවා. ඊට අමතරව යුද හමුදාපතිතුමා සහ යුද හමුදා රෙජිමේන්තුවේ සියලුම නිලධාරීන් සහ මගේ සහෝදර සොල්දාදුවන් ශක්තියක් වෙනවා ක්‍රීඩාව ඉදිරියට කරගෙන යාම සඳහා.


• ලැබෙන අනුග්‍රහය කොහොම ද?


දැනට නම් කිසිම අනුග්‍රහයක් නෑ. යුද හමුදාවෙන් ලැබෙන වැටුප විතරයි. පෞද්ගලික අනුග්‍රාහක භවතෙක් නෑ.


• ක්‍රීඩා අමාත්‍යාංශය පැත්තෙන්?


ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අපට හිටපු ඇමැතිතුමා දයාසිරි ජයසේකර පෝෂණ දීමනාවක් ලබා දුන්නා රුපියල් 35,000ක. එය ලැබුණෙ අප්‍රේල් දක්වා පමණයි. එතැනින් පසුව මේ වනතුරුත් ලැබුණෙ නෑ.


• සංජයට අභියෝගයක් කියලා හිතෙන්නේ?


අැත්තෙන්ම මට තරුණ ක්‍රීඩකයෝ ලොකු අභියෝගයක්. මම තමයි මේ ඉසව්වෙ ජ්‍යෙෂ්‍ඨතම ක්‍රීඩකයකුට ඉන්නේ. ඒ නිසා අවුරුදු 22, 23, 24, 25 වයස් කාණ්ඩවල ක්‍රීඩකයෝ අභියෝගයක්. මගේ පුහුණුවීම් මත ශරීරයේ යෝග්‍යතාව සහ මානසික ශක්තිය ගැන තමයි මම විශ්වාස කරන්නේ. ඒ විශ්වාසයත් එක්ක මට මාවම අභියෝගයක් කරගෙන වැඩ කරනවා.


• ඉදිරියේදී මොන මොන තරගවලට ද සම්බන්ධ වෙන්න සූදානම?


ලබන අප්‍රේල්වල කටාර් හි ආසියානු ශූරතාවලිය පැවැත්වෙනවා. ඒත් එක්කම දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලිය අගෝස්තු මාසයේ පැවැත්වෙනවා. ඒ දෙක ඉලක්ක කරගෙන තමයි මේ දිනවල පුහුණුවීම් කරගෙන යන්නේ.


• සංජයගෙ ඉලක්කය මොකක් ද?


මලල ක්‍රීඩකයකුගේ තනිකරම හීනය වෙන්නේ ඔලිම්පික් යාම තමයි. ඒ දේට අපෙත් ​හොඳ සූදානමක් තියෙනවා.


එ්ත් අපිට තියෙන සමහර පහසුකම් එක්ක ඒ ගමනට යන්න ටිකක් අසීරුයි. හොඳ පහසුකම් අපිට ලබා ගන්න පුළුවන් වුණොත් අනිවාර්යයෙන්ම ඔලිම්පික් පදක්කමකට යන්න අපහසු නෑ.


• ක්‍රීඩාවෙන් ඉදිරියට යන්න නම් විය යුතු දේවල් මොනවා ද?


විය යුතු වෙන්නේ අපේ මානසික මට්ටම හොඳ තැනක තියෙන එක තමයි. මානසික මට්ටම හොඳ තැනක තියෙන්න ආර්ථික මට්ටම අනිවාර්යයෙන්ම හොඳ මට්ටමක තියෙන්න ඕනෑ. අපි දැන් හැමදේම කර ගන්නේ යුද හමුදාවෙන් ලබා දෙන වැටුපෙන්. ඒ වැටුප තියාගෙන ක්‍රීඩාව වෙනුවෙන් යම් කිසි මුදලක් වැය කරන්න වෙද්දි සමහර ප්‍රශ්න ඇති වෙනවා. ගෙවල් දොරවල්වල ප්‍රශ්න ඒ හැම දේම ඇති වෙනවනෙ. ඒවත් එක්ක මානසිකව ප්‍රශ්න ආවම ක්‍රීඩාව ගැනත් යම් කිසි කලකිරීමක් ඇති වෙනවා අපි මේවා කළාට කිසි දෙයක් ලැබෙන්නේ නෑනේ කියලා. ඒ ප්‍රශ්න විතරක්ම නෙමෙයි. 


පුහුණුවීම් කටයුතු කරද්දී වුණත් සමර වෙලාවට අපට පුහුණුවීම්වල නිදහසේ නිරත වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. සුගතදාස ක්‍රීඩාංගණයේ දුර පැනීම පුහුණුවීම් කරද්දී සමහර වෙලාවට ඒ දේ හරියට කරගෙන යන්න හැකි වෙන්නේ නෑ. මොකද සමහර වෙලාවට පාසල් ළමයින්ගේ ක්‍රීඩා තරග පැවැත්වුණා. ඒ තරගාවලිවලදී ඒවට ප්‍රමුඛ ස්ථානය දීලා ක්‍රීඩකයන්ට එතැනින් ඉවත් වෙන්න වෙනවා. මොකද ඒ ක්‍රීඩාංගණයේ එක පිච් එකයි තියෙන්නේ. එ් අඩුපාඩු හැදුණොත් ලංකාවේ ක්‍රීඩාව මීට වඩා ලෝකයේ හොඳ තැනකට ගෙනියන්න පුළුවන්. එදාට ජයග්‍රහණ රාශියක් ලංකාවට ගෙනත් දෙන්න අපට පුළුවන් අනිවාර්යයෙන්ම.

 

 

සටහන : ධනු විජේරත්න