සොබා සිරියෙන් අනූන චීනයේ ෆුජියාන් පළාත


 

ඉකුත් සැප්තැම්බර් මස 8 හා 9 යන දෙදින චීනයේ ෆුජියාන් පළාතේ ෂියාමන් නගරය කෙරෙහි දෙස් විදෙස් මාධ්‍ය අවධානය යොමු වූයේ එහි පැවැති ආයෝජන හා වෙළෙඳාම සඳහා වන 20 වැනි චීන අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනය හා ආයෝජන සමුළුව නිසාය. සෑම වසරකම සැප්තැම්බර් මස ෂියාමන් නගරයේ පැවැත්වෙන මෙම ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය සැලකෙන්නේ ගෝලීය ආයෝජන ප්‍රවර්ධනයට අදාළව චීනයේ පැවැත්වෙන එකම සමුළුව හැටියටය.


 මෙයින් අවධානය යොමුකරන ප්‍රධාන ක්ෂේත්‍ර අතර ජාතිකත්වය හා ගෝලීයකරණය, ආයෝජන පිළිබඳ සාකච්ජා හා ආයෝජන ප්‍රතිපත්ති ප්‍රවර්ධනය, ජාතික හා කලාප ආර්ථික සම්බන්ධීකරණය හා සංවර්ධනය, තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා යන ආර්ථික හා වෙළෙඳ හුවමාරු යනාදිය ප්‍රධානය. මෙවර පැවැති මෙම ප්‍රදර්ශනයෙහි අන්තර්ගතවූ ප්‍රධාන අංග අතර ආයෝජන හා වෙළෙඳ ප්‍රදර්ශනය, අන්තර් ජාතික ආයෝජන සමුළුව හා ආයෝජන ගැටලු හා ව්‍යාපෘති පිළිබඳ සම්මන්ත්‍රණය යනාදිය විය. ආසියා පැසිෆික් මාධ්‍ය මධ්‍යස්ථානය නියෝජනය කරමින් අපට ද මේ අවස්ථාව ආවරණය කිරීමට අවස්ථාව උදාවිය. 


ෆුජියාන් 


ගිනිකොන දිග චීනයේ පිහිටි ෆුජියාන් ප්‍රාන්තය අදින් වසර 1000 කට පමණ පෙර ඉපැරැණි සමුද්‍රීය සිල්ක් වෙළෙඳ මාර්ගයෙහි ආරම්භක ස්ථානය සලකුණු කළ ප්‍රාන්තයක් වන අතර එය වර්තමානයේ දී චීනයේ එක් තීරයක්-එක් මාවතක් වැඩසටහනෙහි ඉතාමත් වැදගත් සංධිස්ථානයක් ලෙස ද සැලකෙයි. වෙරළබඩ ප්‍රාන්තයක් වන ෆුජියාන් සතු මුහුදු සීමාව වර්ග කිලෝමීටර් 136,000 කි. එහි මුළු ගොඩබිම් භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 124,000 කි. සමස්ත ජනගහනය මිලියන 38 කි. ෆුජියාන් ප්‍රාන්තය විශේෂ වන තවත් කාරණයක් නම් එය චීනයේ ඇති වන ගහනයෙන් පොහොසත්ම ප්‍රාන්ත අතර පෙරමුණේම පසුවීමය. ෆුජියාන්හි සමස්ත වන ගහනය සියයට 66 කි. තවද මෙහි කඳු බහුලව දැකිය හැකි අතර ප්‍රතිශතය සියයට 80කි. වනාන්තර, ගංගා, දිය ඇළි ආදියෙන් පොහොසත් මෙම ප්‍රාන්තය 2016 වසරේ දී චීනයේ පළමු ජාතික පරිසර විද්‍යාත්මක සංරක්ෂණ නියමු කලාපය හැටියට නම්විය. මෙම ප්‍රාන්තය සතුව ලෝක උරුම ලැසිස්තුවෙහි නම් ලියැවුණු ස්ථාන හතරක් තිබීම ද මෙහි පාරිසරික වැදගත්කම මොනවට විදහාපාන්නකි. Mount Wuyi එකකි. Earthenhouses (Tulou), Kulangsu හා Danxia යන ස්ථාන අනිත් ඒවාය. 


චීනයේ දක්නට ලැබෙන ජන හා සංස්කෘතික විවිධත්වය මෙහිද නොඅඩුව දැකිය හැකි අතර කොන්ෆියුසියස් දර්ශනයෙහි එන ඇදහිලි හා විශ්වාස, සාම්ප්‍රදායික ඔපෙරා, තේ උත්සව යනාදිය මෙහි සංස්කෘතික විවිධත්වය උත්කර්ෂයට නගන අංග අතර ප්‍රධානය. Hakka, Mindu, Minnan වාර්ගික සුළු ජන කණ්ඩායම්වල සංස්කෘතික ක්‍රියාකාරකම් මෙහි එන දෙස් විදෙස් සංචාරකයන්ගේ නොමඳ ආකර්ෂණයට ලක්වන්නකි. ෆුජියාන් පෞරාණික මුහුදුසේද මාර්ගයෙහි ආරම්භක ස්ථානයක් වන හෙයින් බාහිර ලෝකය සමගින් අතීතයේ පටන් ගනුදෙනුකර ඇති අතර එනිසා ම විදෙස්ගත චීන ජාතිකයන් බහුතරයකගේ මුල් පදිංචි ප්‍රාන්තය වන්නේ ද මෙයයි. සංඛ්‍යා ලේඛන මගින් තහවුරු කරගෙන ඇති අන්දමට මේ වනවිට මිලියන 15.8 කට වැඩි ෆුජියාන්ප්‍රාන්ත වැසියෝ ලෝකයේ රටවල් 160 ක ජීවත්වෙති. එයින් මිලියන 1.2 ක පිරිසක් වෙසෙන්නේ චීනයේ විශේෂ පරිපාලන ඒකක වන හොංකොං හා මාකවුවලය. එසේම තායිවානයේ වෙසෙන චීන ජාතිකයන්ගෙන් සියයට 80 කගේ මුල් වාසය ෆුජියාන් බවටද සොයාගෙන තිබේ. 


ආර්ථිකය 


ෆුජියාන්හි ආර්ථිකය ගැන සඳහන් කිරීමේදී නූතන කාර්මික නිෂ්පාදනවලට මෙන්ම කෘෂිකර්මාන්තයට ද වැදගත් තැනක් හිමිවෙයි. කාර්මික ක්ෂේත්‍රයේ දී ඉලෙක්ට්‍රොනික, විදුලි උපකරණ යනාදිය මෙහි නිපදවෙයි. මෙහි ප්‍රචලිත සාම්ප්‍රදායික කර්මාන්ත අතර රෙදිපිළි කර්මාන්තය ඉතා ඉහළ තැනක පැවැති බවට ඓතිහාසික මූලාශ්‍රවලින් හෙළි වී ඇත. වර්තමානය වනවිට වෙළෙඳ පොළ මුල්වූ ආර්ථිකයක් මෙහි පවතින අතර 2017 වසරේ දත්තවලට අනුව දළ දේශීය නිෂ්පාදනය යුආන් ට්‍රිලියන 3.23 කි. චීනයේ සෙසු ප්‍රාන්ත අතර 10 වැනි තැන රැඳී තිබේ. ඒක පුද්ගල ආදායම ඇමෙරිකානු ඩොලර් 12000 ඉක්මවා ඇති අතර ඒ අනුව සෙසු ප්‍රාන්ත අතර 6 වැනි ස්ථානය හිමි කරගෙන තිබේ. මෙම ප්‍රාන්තයෙහි ආර්ථිකය ගැන සඳහන් කිරීමේදී අධිවේගී දුම්රිය ගැන නොකියාම බැරි හේතුව නම් ෆුජියාන්හි සියලුම නගර යාකරන අධිවේගී දුම්රිය ජාල පද්ධතියක් මෙය සතු වීමය. මෙම ප්‍රාන්තය පුරා කිලෝමීටර් 3300 ක අධිවේගී දුම්රිය ජාලයක් ක්‍රියාත්මකය. එ නිසාම එය මෙම ප්‍රාන්තයේ ආර්ථිකයේ ප්‍රධාන සාධකයක් බවට ද පත්ව ඇත. කිලෝ මීටර් 5000 ක අධිවේගී මහමාර්ග පද්ධතියක් ද මෙහි දක්නට ලැබේ. 

 


Kulangsu දිවයින 


මෙම ලිපිය ආරම්භයෙහි සඳහන් කළ පරිදි යුනෙස්කෝ සංවිධානය මගින් ප්‍රකාශයට පත්කර ඇති ලෝක උරුම ලැයිස්තුවෙහි මෙම ප්‍රාන්තයෙහි ස්ථාන හතරක් ලෝක උරුම වශයෙන් නම්කර ඇති අතර එයින් එක් ස්ථානයක් වන්නේ මෙම කුලන්ග්සු දිවයිනයි. ගුලාන්ග් යනු ද මෙම දිවයින හැඳින්වීමට භාවිත වන තවත් නමකි. ෆුජියාන් පළාතේ අප කළ මෙම සංචාරයේ දී අපට මෙම දිවයිනට යෑමට ද අවස්ථාව උදාවූ අතර එම දිවයින නැරඹීමට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් විශේෂ බෝට්ටු සේවයක් එහි ක්‍රියාත්මකය. ෂියාමන්හි සිට විනාඩි දහයකටත් වඩා අඩුකාලයක් ඇතුළත එම දිවයිනට ළඟා විය හැකිය. ඉතා කුඩා දිවයිනක් වන මෙහි මුළු භුමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2 ක ප්‍රමාණයකට සීමා වී තිබේ. 20000 ක පමණ ජනතාවක් මෙහි පදිංචි වී සිටිති. කුඩා දිවයිනක් වුවද මෙහි අභ්‍යන්තර මාර්ග ආදිය හොඳ මට්ටමේ පවතින අතර වෙනම රෝහලක් හා පාසලක් ද තිබේ. කුලන්ග්සු දිවයින සංචාරක ආකර්ෂණය අතින් අගතැන් ගන්නා ස්ථානයක් හැටියට නම් දරන අතර වර්ෂයකට මෙහි පැමිණෙන සංචාරකයන් ගණන මිලියන 10 කට අධිකය. 


මෙම දිවයින හා බැඳුණු පුරාවෘත්ත ගණනාවක් ද ඇති අතර එයින් එකක සඳහන් වන්නේ චීනයේ සිටි අසහාය රාජ වංශයක්වන මින්ග් (Ming) රාජවංශයෙහි අවසාන භාගය නියෝජනය කළ එමෙන්ම ජාතික වීරයකු ලෙස සැලකෙන චෙන්ග් චෙන්ගොන්ග් නමැති රජු හා ඔහුගේ යුදසේනාව මෙම දූපතෙහි නතර වී සිට ඇති බවය. වසර 1842 දී සිදුවූ අබිං (Opium) යුද්ධයෙන් අනතුරුව බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, ප්‍රංශය, ජපානය, ජර්මනිය ඇතුළු රටවල් 13 ක් ඔවුන්ගේ කොන්සියුල කාර්යාල මෙහි පිහිටුවා ඇති බවටත් එම රටවල කොන්සියුල බල ඇණි මෙහි සිට ක්‍රියාත්මක කර ඇති බවටත් තොරතුරු සඳහන් වෙයි. ඒ වන විට විදෙස් ගතව ජීවත්ව සිට ඇති පොහොසත් චීන ජාතිකයන් පසුව මෙම දිවයිනට පැමිණ පදිංචි වී ඇති අතර ව්‍යාපාර කිරීම සඳහා අවශ්‍ය දුරකථන සන්නිවේදන පහසුකම් හා අභ්‍යන්තර ජල සැපයීම් ආදිය ඔවුන් විසින් ගොඩනගනු ලැබ තිබේ. අනතුරුව දෙවැනි ලෝක යුද්ධය පැවැති අවධියේ දී 1942 වසරේ දී ජපානය විසින් මෙම දිවයින ආක්‍රමණය කරනු ලැබ තිබේ. 


මෙම දිවයිනෙහි දක්නට ලැබෙන මනරම් උද්‍යානයක් වන Shuzhuang උද්‍යානය 1931 දී පෞද්ගලික උද්‍යානයක් හැටියට ඉදිකර ඇති නමුත් 1955 දී එය පොදු උද්‍යානයක් බවට ප්‍රකාශකර තිබේ.