සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි සිත රිදවා හඬවන්න නොවේ


මල් පූදින්නේ දෑඟිලි අතරේ තැළී පෙළී මියදෙන්න නොවේ 

සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි සිත රිදවා හඬවන්න නොවේ 


අපේ සවන් පිනවමින් එලෙස ගැයූ ගායන ශිල්පිනී ප්‍රියානි මංගලිකා අද අප අතර නැත. ඇය ගැයූ ලෙසටම තමන් පිදු සෙනෙහස වෙනුවෙන් පෙරළා සෙනෙහස ලැබුණාද යන ප්‍රශ්නය අප හමුවේ ඉතිරි කරමින් රුදුරු මිනිසෙකුගේ දෑඟිලි අතර මලක් සේ තැළී පෙළී මියැදෙන්නට ඇයට සිදුවි ඇත.   


මිය යන විට දෙදරු මවක වූ ඇය පනස් එක් හැවිරිදි වියේ පසුවූවාය. ප්‍රියානි ජයසිංහ සංගීත ගුරුවරියක සේ කටයුතු කරමින් සිටින අතරතුර හදිසියේ ලැබුණ අවස්ථාවක් නිසා ගායන ලොවට පිවිසෙන විටත් ඇය දෙදරු මවකි. විශාල ගීත සංඛ්‍යාවක් ගායනා කර නැතත් ගායනා කළ සෑම ගීතයක්ම ඉතා කෙටි කලක් තුළ ජනප්‍රිය ගීත බවට පත්වීම විශේෂත්වයකි. කඳුල නිවන්නම් නෙත නොතෙමනවා නම් ඇගේ කුලුඳුල් ගීතය වුවා සේම ඇය එක් දිනකින් ප්‍රසිද්ධ ගායිකාවක් බවට පත්කිරිමටද එම ගීතය සමත් විය.  


ආදරයේ සුන්දත්වය සේම විරහ වේදනාව සම්බන්ධයෙන්ද උපේක්ෂා සහගතව දකිමින් ගායනා කළ ඇයගේ ජීවිතයට ආදරය හිසරදයක් බවට පත්ව තිබූ බව පානදුර දකුණ පොලිසියේ පැමිණිලි පොත් සාක්ෂි දරනු ඇත. ඇය සිය සැමියාට එරෙහිව යොදා තිබූ පැමිණිලි ගණන දහයක් පමණ වන බව පානදුර උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මේ පැමිණිලිවල අවසානයක් දකිනු පිණිස පොලිසිය  ප්‍රියානිගේ සැමියාට එරෙහිව පානදුර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක්ද ගොනු කරනු ලැබිණ. ඒ ගෘහස්ථ හිංසනය යටතේය. එම නඩුව විභාග කළ අධිකරණය ඔහුට  ප්‍රියානි  හා දරුවන් වෙසෙන නිවසට ඇතුළු වීම වසරකට තහනම් කර නියෝගයක් නිකුත් කර ඇත.  
 ප්‍රියානිගේ අවාසනාවට නැත්නම් ඇගේ දරුවන්ගේ අවාසනාවට එසේක් නැත්නම් මේ රටේ ගීත රසිකාවියන්ගේ අවාසනාවට මේ වසරක කාලය මීට මාස කීපයකට පෙර අවසන්ව ඇත. ගීතය භාවනාවක් සේ දැක ගීතයෙන් සිත එක්තැන් කරගැනීමට උත්සාහ කළ ප්‍රියානි  පසුගිය කාලය තුළදී ජීවිතයේ තමන් විඳි දුක් ගැහැට පිළිබඳව උපේක්ෂාවෙන් දකින්නට පෙළඹුණාය. ඒ අනුව ඇය භාවනා වැඩසටහන් සඳහා ද සහභාගී වීමට පුරුදුව සිටියාය. ඝාතනයට ලක්වීමට තෙදිනකට පෙරද ප්රියානි දින කීපයක් භාවනා මධ්‍යස්ථානයක ගත කර තිබුණාය. එහෙත් ඇයට ජීවිතය දිහා උපේක්ෂාවෙන් බලන්නට මරුවා ඉඩ දුන්නේ නැත. තමන්ගේ එකම මුනුපුරා වූ මාස තුනක් වයසැති කුඩා බිලිඳා සුරතල් කරමින් සිටි ඇයගේ පිට කොන්ද පසාරු කරමින් කුමක්දෝ ගමන් කරනු ඇයට වේදනාව අතරින් දැනිණ. පහර කාගෙනම ආපසු හැරී බැලු ඇයට තමන්ගේ ආදරය තමන්ටම එරෙහිව නැගිට සිටිනවා දකින්නට ලැබුණා විය හැකිය.  


‘‘රෂිණි මාව බේරගන්න’’ යැයි ඇය කෑ ගසා කීවේ ජීවිතය බේරාගන්නට අවසන් මෙහොත දක්වා සටන් කරමිනි. එහෙත් මරුවා තවත් ප්‍රහාර හය හතක්ම එල්ල කර පලායන තුරුත් ඇය බේරාගැනීමට කිසිවෙකුට නොහැකි විය. මරුවා පැමිණියේ කල්යල් බලාය. ඒ අවස්ථාවේ නිවසේ සිටියේ රෂිණිත් සිඟිත්තාත්  ප්‍රියානිත් පමණි. රෂිණිගේ සැමියා වූ ප්රියාණිගේ බාල පුතු ලෝචන සිටියේ නිවසින් බැහැරව නිවසට නුදුරින් වූ වෙ​ෙළඳසැලකට ගොසිනි. 


සිය නැන්දනියගේ කෑ ගැසීම ඇසුණ ඉෂිණි අසල්වැසි නිවසක කාන්තාවක් අමතා උදව් ඉල්ලා සිටියාය. තමන්ට කොයි මොහොතක හෝ මෙවැනි ප්‍රහාරයකට ලක්වන්නට සිදුවනු ඇතැයි ඇය බලාපොරොත්තුවෙන් සිටියා මෙන් උදව්වක් අවශ්‍ය වෙලාවක නදීෂලාගේ ගෙදරට කතා කරන්න යැයි පෙර සිටම සිය ලේලිය දැනුම්වත් කර තිබිණ. රෂිණි කටයුතු කර තිබුනේ ඒ උපදෙස් අනුවය. ඉන්පසු ඇය සිය සැමියාටද දුරකථන ඇමතුමක් ගත්තාය. 


අසල්වැසි කාන්තාවක වූ නදීෂා කරුණාරත්න මහත්මිය පැමිණෙන විටත් රෂිනිගේත් ලෝචනගේත් තෙමස් වියැති බිලිඳු පුතු සිය ආච්චි අම්මාගේ තුරුළේ ඇයගෙන් ගිලිහෙන උණුසුම විඳිමින් සිටියේ සිදුවන්නේ කුමක්දැයි කිසිත් නොදැනය. නදීෂා වහාම දරුවා රැගෙන ඇගේ රෂිනිට භාරදුන්නාය. තමන්ට ලේ කිරිකර පෙවු මවගේ පපුවෙන් උතුරා හැලෙන උණු ලේ දෙස කෙසේ නම් බලා සිටින්නද? මවගේ අපරිමිත ආදරයෙන් හැදුන වැඩුණ ලෝචනට මව බරක් සේ දැනුණේ නැත. හේ මව ඔසවාගත්තේ රෝහලක් කරා රැගෙන යාමටය. ඒ වන විට ආරංචිය පැතිරගොස් පැමිණි තවත් අසල්වැසියෙක් ඔහුට උදව්විය.  


 වේදනාවෙන් කෑ ගසන  ප්‍රියානි වාහනයකින් රැගෙන වේගයෙන් පානදුර රෝහල කරා ගමන් කළත් රෝහලට ඇතුළු කරන විටත් ඇය මේ කුරිරු ලෝකයට සමුදී සිටියාය. තමන්ගේ ජීවිතය මෙතෙක් රැකගෙන පැමිණි මවගේ ජීවිතය බේරා ගැනීමට නොහැකිවීම ගැන ලෝචනට මහත් කම්පනයක් දැනෙන්නට ඇත. ඔහු හඬා වැටුණේ ඒ පිළිබඳ වේදනාවෙනි.  ප්‍රියානිගේ වැඩිමහල් පුතු ලෝෂිත උසස් අධ්‍යාපනය ලැබීමට විදේශ ගතව සිටියේය. ඔහු මේ ආරංචිය කෙසේ නම් දරාගන්නද? මවත් නොමැති පියාගේ හව්හරණක්ද නැති තත්ත්වයක් යටතේ ඔහුට මේ රටට පැමිණිමට ඥාති හිතමිතුරෝ උදව් කළහ.  


ප්‍රසිද්ධ ගායිකාවක් යන හැගීමෙන් උඩඟු නොවූ ප්‍රියානි කාගෙත් සිත් දිනාගෙන ගමේ පොදු කටයුතුවලට හැම විටම උදව් කරමින් කාටත් කරදරයක් නැතිව විසූ කාන්තාවක් බව ගමේ කවුරුත් ලෝබ නැතිව පවසති.  
 ප්‍රියානිගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇගේ සැමියා 09 වැනිදා උදේ පානදුර දුම්රියපොළ ආසන්නයේදි අත්අඩංගුවට ගත් අතර පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ලබන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබිණ. ප්‍රියානිට අනින ලද දෙපැත්ත කැපෙන සේ මුවහත් කරන ලද කතුරක කොටසක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ. පානදුර අතිරේක මහේස්ත්‍රාත් සුනීතා ප්රනාන්දු මහත්මිය ස්ථානීය හා මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකළාය. 


ප්රියාණිගේ දේහය සම්බන්ධයෙන් පානදුර මූලික රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වනු ලැබුවේ අධිකරණ වෛද්‍ය නිලධාරි උත්පල ආටිගල මහතා විසිනි. එහිදි නිගමනය වූයේ උල් ආයුධයකින් ඇනීමෙන් ශරීරයේ අට පලකට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් සිදුවූ අභ්යන්තර ලේ ගැලීමෙන් මෙම මරණය සිදුව ඇති බවය. 


පානදුර පොලිස් අධිකාරී ක්ලේමන්ට් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් පරිදි පානදුර දකුණ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තුෂාරද සිල්වා, අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඩී. රෝහණ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරති. 


සිය මිහිරි හඬින් රටක් නැළවූ  ප්‍රියානි සිය ඥාති හිත මිතුරන් හා දහස් සංඛ්‍යාත රසික රසිකාවියන් පිරිසක් හඬවමින් පානදුර මිනුවම්පිටිය පොදු සුසාන භූමියේදී සියල්ලන්ගෙන් සදහටම සමුගෙන ගියාය. 
ඇගේ දරුවන්ටත්, ඥාතීන්ටත් රසික රසිකාවියන්ටත් හිත හදාගන්නට හැකි ගීතයක් ඇය මෙසේ ගයා තිබුණාය. 

 

 

 


පහළොස්වක සඳ පායනවා සත්තයි 
ඉරගල මුදුනේ ඉරපායනවා සත්තයි 
වැහිලේනු හැඬුවම වැහි වහිනවා සත්තයි 
මං හැඬුවාට නුඹ එන්නෑ සත්තයි

මුදිතා දයානන්ද සමග
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන ජයසිංහ