සුනිල් සාන්තයන්ගේ අග සිසු වූ අයිවෝ ඩෙනිස්


බද්ද ලියනගේ දොන් ජෝසප් ජොaන් නොහොත් සුනිල් සාන්තගේ අග සිසුවා වූ පැස්කුවලිගේ දොන් ඔගස්ටින් අයිවෝ ඩෙනිස් නොහොත් අයිවෝ ඩෙනිස් 1932 මැයි 28 වෙනිදා උපත ලබා පසුගිය දා සීදූව සුසාන භූමියේදී අවසන් ගමන් ගියේය. 


‘මම නැතිදා මගේ අඩුව පුරවන්නේ ඩෙනිස්. මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. වැඩිමලා තමා ඩෙනිස්’ සුනිලුත් තමාට දාව නූපන් අයිවෝ ඩෙනිස් ගැන එසේ අභිමානයෙන් සඳහන් කර තිබුණි. 


 සුනිලුත් මෙන්ම කුමරතුඟු ආර ගරු කළ ඩෙනිස් වරක් තම ගුරුතුමන් ඇසුරේ ලද අත්දැකීම් ගැන සඳහන් කරමින් මෙසේ ලියා තිබුණි. 


‘සුනිල් සාන්තයන් හා මගේ හමුව සිදුවූයේ 1956.06.13 වෙනි දිනදීයැ. ඒ ඔවුන්ගේම ඇරැයුමක් මත යැ. එවකට ලංකා ගුවන් විදුලි සේවයේ වෙළඳ අංශයෙන් ඉදිරිපත් කැරුණු ‘ආධුනික පැය’ නම් වැඩසටහනට මා විසින් ගායනා කැරුණු සුනිල් සාන්තයන්ගේ ‘වරෙන් හීන් සැරේ රිදී වලාවේ’ යන ගීතයයි. එදා ඒ වැඩසටහනට සවන් දී සිටි ඔවුන් එක වරම එය වෙනත් කෙනෙකු විසින් ගයනු ලබන ඔවුන්ගේ ගීතයක් යැයි වටහා ගන්නට නොහැකිව පසුව ගීතය අතරතුර ​ෙකරුණු කිසියම් වරදක් නිසා එය ගයන්නේ වෙනත් කෙනෙකු විසින්ය යන බව වටහා ගෙන එය ගැයූ තැනැත්තා දැන ගනු රිසියෙන් ඔවුත් මා කැඳවූ බව එදා ඔවුන් මට පවසා සිටියා.’ 


මේ හමුවේ ප්‍රතිඵලයක් වශයෙන් සුනිලුන්ගේ සංගීත පන්ති මගින් සංගීතය හැදෑරීමේ අවස්ථාව අයිවෝ ඩෙනිස්ට ලැබුණු අතර සුනිලුන්ගේ ‘රන්වලාව’, ‘මධුර මධුර’, ‘පංච මධුර’, ‘සීගිරි ගී’ ආදී වැඩසටහන්වලට සහභාගි වීමට ලැබීම අනිවාර්ය විය. තම ගුරුවරයා නිර්මාණ කාර්යයේදී බොහෝ විට අලුත් අත්හදා බැලීම්වල යොමුවූ අයුරුත් ඔවුන්ගේ ගී පොතක දක්වා ඇති මුනිදාස කුමාරතුංගයන්ගේ ‘අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොවැ නොනගී - හිඟ කෑම බැරි වූ තැනැ ලගී ගයා මර ගී’ යන පදි අඩ ඔහුගේ සිතේ දෝංකාර දීමේ ප්‍රතිඵලය විසින් එවන් දෑ කිරීමෙහි නිරත වන්නට ඔවුන් පෙළඹුණා යැයි තමා හැඟුණු බව සුනිල් සාන්තයන් ඩෙනිස්ට පවසා ඇත. 


සුනිලුන්ගේ හිත තදින් වෙළා ගත් පැයක් ද ඩෙනිස් උපුටා දක්වා ඇත. 


‘රටට දැයට හිත දපා 
මඳකට දිවි ලොබ ලොපා 
කළ මෙහෙයක් නැති දෙපා 
හෙළයකු දැකුමත් එපා’ 


සුනිලුන්ගේ බොහෝ ගීත ගායනයේදී සහාය ගායකයා වූ ඩෙනිස් වඩා කැමැති ගීතයකි. බඹර ගීතය. සුනිලුන් එක ස්වරයකින් ගී තනුවක් ඉදිරිපත් කරන විරල අවස්ථාවක්. 


‘ගුම් ගුම් ගුම් 
මලකට ගුම් ගුම් වැලකට ගුම් ගුම් ගුම් 
මලකට රොනකට ගුම් ගුම් ගුම් 
ගහකට වැලකට ගුම් ගුම් ගුම් 
උදයට හවසට ගුම් ගුම් ගුම් 
හෙමි හිට හණිකට ගුම් ගුම් ගුම්’ 


බොහෝ දෙනෙකු මත පද කරමින් සීගිරි ගී ගීතවත් කිරීම අපහසු බව කියා සිටියදී සුනිලුන් ගැයූ මේ ගීතයට ද ඩෙනිස් සහාය ගායනයෙන් එක් විය. 


 ‘සීගිරි - රූ සිරි ගී 
ගී රිසි රූ - ගිරි සැරසී 
සර සරු ගී - සරු සැරි ගී 
ගිගිරි සරින් - ගිර සැරයි 
සේ රූ ගී - සී රූ ගී 
ගිගුම් සරෙන් - ගිරි සරයි’ 


සුනිලුන් නිර්මාණ කළ ඉන්දියානු රාගධාරී සංගීතය, බෙංගාලි සංගීතය හා බටහිර සංගීතය ආශ්‍රිත ගීතවල පසුබිමේ සිටි දැවැන්ත සෙවණැල්ල ඩෙනිස්ය. ඩෙනිස්ට් හා සුනිලුන් පුරා කියා තනු නිර්මාණය කර දුන් ගීතය පමණකින්ම ඩෙනිස් ගේ ගායන ලෝකය ආලෝකව තවමත් දීප්තිය දෙයි. තිලක සුධර්මන් ද සිල්වා ගේය පද ලියූ ඒ ගීතය එදා ඇසූ ශ්‍රාවකයෝ එය සුනිලුන්ගේම ගීතය කැයි සැක කළහ. 


‘කුරුලු පරාදීසයේ - කුරුලු සිහින සාගරේ 
ඔබ හා විසුමට එන්නෙමි - කුරුලු සුරපුරේ 
සැබෑ පෙමක් අපේ ලොවේ කොතැනැ දකිම් දෝ 
අපූරුවකි එවැනි දැයෙක් මෙ ලොවැ කොයින්දෝ 
කුරුලු පරාදීසේ - කුරුලු සිහින සාගරේ 
මුල පිරුවේ ඔබමැ තමයි පෙම් කතන්දරේ 
කැබලි කැබලි එක් කැරලා කූඩුව තැනුවා 
සිත් පුරවා පෙම් රජයේ අබි​ෙසස් ලැබුවා 
කුරුලු පරාදීසේ - කුරුලු සිහින සාගරේ 
මුල පිරුවේ ඔබ මැ තමයි පෙම් කතන්දරේ 
මඟුල් වෙසෙකි හැම දිනයෙ මැ ඔබේ කූඩුවේ 
නුරා ගීත හැඩැවෙනවා තමන් පාඩුවේ 
කුරුලු පරාදීසයේ - කුරුලු සිහින සාගරේ 
මුල පිරුවේ ඔබ මැ තමයි පෙම් කතන්දරේ 


මේ ගීතය තුළින් ඩෙනිස් ඉතා ළගන්නා තමාට ආවේණික ශෛලියක් ගොඩනගා ගත්තේය. 


සිංහල චිත්‍රපට සංගීතය ගැන ඩෙනිස් අදහස් දක්වා තිබුණි. සුබවාදී ආකල්පයෙන් ඔහු සිංහල සිනමාවේ මුල් යුගයේ සංගීතඥයන් අගය කර තිබුණි. මොහොමඩ් ගවුස්, බී.එස්. පෙරේරා, ෂෙල්ටන් ප්‍රේමරත්න දකුණු ඉන්දියානු ග්‍රහණයෙන් මිදී සැලකිය යුතු ප්‍රමාණයකින් සිංහල ගතිය මතු කළ බවත්, සුනිල් සාන්තයන් ​ෙර්ඛාවෙන් එදා තිබූ චිත්‍රපට වලින් ඔප් නැංවූ බව ඩෙනිස් කියන්නේ ඔහු ගී තනුවලට සරිලන නාද රටා මුසු කළ බී.ඇස්. පෙරේරා සංගීතවේදියාව ද අගය කරමිනි. මේ කාර්යයට මර්සලින් ජයකොඩි පියතුමාගේ ගී පබැඳුම් කරන්නට එකඟ වීම දෑසින් දැක තිබූ අවසාන පුද්ගලයා ඩෙනිස්ය. 


‘සුනිල් සාන්තයන් ස්වභාවයෙන්ම මුරණ්ඩුයි. හිතුවක්කාරයි. ‘රේඛාවේ’ මියුරු ගීත සියල්ලම නිර්මාණය කළේ කඩද‌ාසියක ස්වර ලිපි ලියලා. එතුමාගේ ජාඇළ දෙහියගාත නිවසේ කිසිදු වාද්‍ය භාණ්ඩයක් තිබුණේ නැහැ. සර්පිනාව (හාමෝනියම් එක) ඔහු පෙන්වන්න බැරි සංගීත භාණ්ඩයක්. රේඛාවේ ගීත හදන කොට ඔහු අධ්‍යක්ෂ ලෙස්ටර් මහතා කොන්දේසි කිහිපයක් පැනෙව්වා. 


 ‘ලෙස්ටර්, මේ ගීතවල තනු මම හදලා තියෙන්නෙ. හැබැයි මට නං ඉන්දියාවට යන්න කතා කරන්න එපා. මම එන්නෙත් නෑ. ජයකොඩි ස්වාමිගෙ රසවත් රචනා. මම හිතන්නේ බී.එස්. පෙරේරා සංගීතය මෙහෙයවයි. හැම ගීතයක්ම පුහුණු කරවන්නේ ඩෙනිස්. එයා ඉන්දියාවට ඒවි. චිත්‍රපටයේ එන මුල්ම විරුදු පෙළ කියන්නේ ඩෙනිස්. අවසානයේ එන සාගතය ගැන කියන ගීත ගැයිය යුත්තේ තිලකසිරි ප්‍රනාන්දු. අනිත් සින්දුවලට සුදුසු ගායිකාවෝ ගායකයෝ බී.එස්. තෝරා ගනීවි.’ 


එදා සුනිලුන් තමාට වගකීම ගැන ඩෙනිස් මට සඳහන් කළේ ‘රේඛාව’ තිරගත වී 50 වසර නිමිත්තෙන් කොළඹ රීගල් සිනමා හලේදී මා විසින් ලියූ ‘අඩසිය වසරක රේඛාව’ කෘතිය ජනගත වන අවස්ථාවේදීය. 
 සුනිලුන්ගේ යෝජනාව අනුව ඔහුගේ සිතැඟි අකුරටම ක්‍රියාවට නැගීමට ඩෙනිස් නම් අග්‍ර ගෝලයා වග බලා ගෙන ඇත. 


‘අනුරාපුර පො​ෙළාන්නරුව සීගිරි මන බන්දනීය, කුලුනු පිළිම බිතු සිතුවම් නන් සිතුවිලි රන්ජනීය.’ 


රේඛාවේ ආරම්භක දර්ශනයේ බොරු කකුල්කාරයා රබානක් වයමින් රිළවකු ද සමඟ ගම පුරා ගයන මේ විරුදු පෙළ ගැයුවේ අයිවෝ ඩෙනිස්ය. චිත්‍රපටයේ ගමට සාගතය ඇවිත් ඇළ දොළ සිඳී ගහකොළ වියළී පොළොව ඉරි තැළී තිබෙන දර්ශන පසුබිමින් තිලකසිරි ප්‍රනාන්දු ගැයූ මේ ගීතය පටිගත කරද්දී ඩෙනිස් නිරතුරුව බී.එස්. පෙරේරාට සහාය වූහ. 


‘මිණි මුතු පසට යට වෙනවා යට යනවා 
විසකුරු නයා උඩ එනවා උඩ යනවා 
සැප දුක මෙලෙස යට යනවා උඩ එනවා 
මැණිකට යන අතට නයි පෙණ අසු වෙනවා 


රේඛාවේ එන ජනප්‍රිය ගීත අතර ‘ඕළු නෙළුම් නෙරිය රඟාලා’- ‘වෙසක් කැකුළු අතු අග’- ‘සීගිරි ළඳකගෙ’- ‘සුදු සඳ එළියේ’ ගීත සියල්ල අධීක්ෂණය කළේ ඩෙනිස් බව දන්නේ කීයෙන් කී දෙනාද? 


‘සන්දේශය චිත්‍රපටයේ ගීත ඇසුරින් සුනිලුන් මහත් දස්කම් විස්කම් පාන්නට සමත් වුණා. දේශීය ගීත ආර බටහිර ගී ආර, බැති ගී ආර, නැළවිලි ගී ආර, රණ ගී ආර, කපිරිඤ්ඤා ගී ආර ආදී විවිධ ආර ඔස්සේ තම නිර්මාණ බිහි කිරීමට සුනිලුන් ගත් උත්සාහය මතක් වෙනවා. මෙවැනි සංකීර්ණ ගී ආර ඇසුරෙන් ආර්. මුත්තුසාමි මාස්ටර්ගේ සම්ප්‍රදායික සංගීතය ආර මතුවීමට නොදිය යුතු බව මගේ ගුරුවරයා මට තදින්ම උපදෙස් දී තිබුණා. ඩෙනිස් වරක් කීය. 


මේ චිත්‍රපටයේ තනි ගීයක් ගැයීමට නොලැබුණ ද ‘පුරුතුගීසිකාරයා රටවල් අල්ලන්න සූරයා’, ‘කෝ හතුරෝ, රැජින මමයි අපේ රාජ්ජේ ගීත වලදී ලතා, ජෝතිපාල, ධර්මදාස බෙග්, සිඩ්නි ආටිගල, සමඟ සමූහ ගී ගැයීමට ඔහු සහාය වී ඇත. 


 කවදත් නිශ්ශබ්ද, කලබලයෙන් තොර පුද්ගලයකු සංගීත ගුරුවරයකු වූ ඩෙනිස් මට වඩාත් සමීප ලෙස ඇසුරු කිරීමට ලැබුණේ ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත මංජරියේ දී හා ඔහුගේ නිවසේ පුහුණු වන අවස්ථාවන් වලදීය. ටී.ඇම්. ජයරත්න ඔහුගේ සහාය ගායකයා විය. 


‘අඳුරු කුටිය තුළ’, ‘උඩුම්බරා හිනැහෙනවා’, ‘හෙමින් සැරේ’ යන ගීත තුළින් ඔහුගේ ගැඹුරු කටහඬ මතු වී ආවේය. මගේ කාලේ මව්, මානසවිල සංධවනිවල ඔහු මුඛ්‍ය ගායකයකු විය. 


 ‘කියලා වැඩක් නෑ අයිවෝ ‘හම්’ කළත් ඇති.’ කේමදාසයන් අයිවෝ අගය කළ අවස්ථා එමටය. ගීතයක් ගයා ඉවර වූ ඔහු ඉක්මනින් සීදූව බලා පිටකොටුව බලා යන බසයක් අල්ලා ගැනීමට දුවනවා විනා තැන තැන රැඳී ඕප දූප දොඩා කල් මරන්නේ නැත. කිසිදා කිසිවකුගේ දොසක් ඔහුගේ මුවින් ගිලිහෙන්නේ නැත. සුබවාදී දෙයක් මිස අසුභ දෙයක් ඔහු දෙඩුවේ නැත. චාම් සරළ, අල්පේච්ඡ ජීවිතයක් ගත කළ ඔහු ජනප්‍රියත්වය ලුහුබැන්දේ නැත. ගීත ඉල්ලා යැද්දේ නැත.


සීදුවේ රෝමානු කතෝලික විද්‍යාලය, මීගමුවේ පෙරියම්මුල්ලේ නොයෙලා විද්‍යාලය, මීගමුවේ මාරිස්ටෙලා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඩෙනිස් ගුරු වෘත්තිය තෝරා ගත්තේය. හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ සංගීත උපදේශකව සිටි ඔහු කලක් වත්තල ශාන්ත ආනා විද්‍යාලයේ ද සංගීත උපදේශකව සිටියේය. 


ලේඛක විජිත් කුමාර් සේනාරත්න කියන පරිදි ඩෙනිස් සුනිල් සාන්ත මෙන්ම විවිධ​ කෙණහිලිවලට ලක් වූ කලාකරුවකු බවය. ඔහු මෙසේ ද කියයි. 


‘එතෙක් අභිමානනීය කටහඬකින් හා චරිතයකින් හෙබි පංච ශීලයට වැඩි ශීලයක් රකින මේ කතෝලිකයා සිය ගුරුතුමා අනුදැන දක්වාලූ පරිද්දෙන්ම නව නිර්මාණ හා චරිතය ද නොනිසි බාලයන් ඉදිරියේ දණ තමා බාල කර නොගැනීම අපට මහත් වූ ආස්වාදයකි. හරසුන් වර්තමානයේ දී ඔහුගේ නමට නිසි දීප්තිය හිමි නොවුණද මතු දිනක එය නොදිරන රනින් නිමැවී ඉතිහාසගත වීම කිසිවකුට වළකනු බැරිය.’ 

 


එය එසේම සිදුවෙනු නොඅනුමානය.

 

 

 

 

 

ඒ.ඩී. රංජිත් කුමාර