සුනාමියෙන් බේරී ලෝක ප්‍රසිද්ධ වූ “බේබි 81” බබා දැන් ලොකු ළමයෙක්


ශ්‍රී ලංකාවම විනාඩි ගණනාවක දී එකම කඳුළු ගංගාවක් බවට පත් කළ ඒ ශෝක දිනයට මෙම මස 26 වෙනි දිනට තව දින තුනකින් වසර 14 ක් සපිරේ. සුනාමි ව්‍යසනය නිසා අපට සිදු වූ දේ පිළිබඳව අද බොහෝ දෙනෙකුට අමතක වී ගොසින්ය. 


සුනාමි ඛේදවාචකයේ දී වැඩිම ජීවිත ගණනාවක් අහිමි වූයේ අම්පාර දිස්ත්‍රික්කයෙනි. මෙම සිදුවීම අදත් මතක් වෙන විටද හිතට ඇතිවෙන්නේ මහත් වේදනාවකි. තම දරුවන්, මව්පියන්, ඥාතීන් අහිමිව ගිය පිරිස්ගේ අඳෝනාවෙන් රටම ඇලළී ගියේය. 


එක් වරම සිදුවූ මෙම විනාශය සමග වෙරළ බඩ තීරයේ ජීවත්වූ ජනතාව ඇඳිවතින් පැමිණියේ අම්පාර නගරයටය. අම්පාර නගරයේ විහාරස්ථාන පාසල් සියල්ලම සුනාමියෙන් විපතට පත් දෙමළ සහ මුස්ලිම් ජනතාවගෙන් පිරී ඉතිරි ගියේය. 


සුනාමියෙන් අතුරුදන් වූ කුඩා දරුවකු පිළිබඳව කතාව මට ලැබෙන්නේ කල්මුනේ මූලික රෝහලෙනි. සුනාමියෙන් දිවි බේරාගත් වයස මාස දෙකක කුඩා දරුවෙකුට කිහිපදෙනෙක් අයිතිවාසිකම් කියන බව එම තොරතුරේ සඳහන් විය. එම දරුවා වෙනුවෙන් ඉදිරිපත් වූ අය අතර එක් මවක් සහ පියෙක් මේ තමන්ගේම පුතා බව පවසමින් දරුවා රෝහලෙන් රැගෙන යන්නට උත්සාහ කළෝය. මේ පුවත පිළිබඳව ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර ජනමාධ්‍ය තුළද විශාල කතා බහට ලක්වූ අතර විදේශ රටවල සිටින ජනමාධ්‍යකරුවෝ විශාල වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට පටන් ගත්හ. 


කල්මුනේ රෝහලට මෙම කුඩා දරුවා රැගෙන එන්නේ එම ප්‍රදේශයේ වැඩිහිටියකු මාර්ගයෙනි. කුඩා දරුවෙකු අඬන හඩ ඇසී සොයා බැලීමේදී පඳුරක් මත සිටි මෙම දරුවා ඔවුන්ට හමුවුණේ මුහුදට ආසන්න කල්මුනේ ප්‍රදේශයෙනි. පසුව මෙම පිරිස විසින් වහාම ගිලන් රථයක් මගින් මෙම දරුවා කල්මුනේ රෝහලට භාර දෙනු ලැබිය. 


ඒ වෙන විටත් කල්මුනේ රෝහලට රෝගීන් 80 දෙනෙකු ඇතුළත් වී සිටි අතර මෙම දරුවා 81 වෙනියා ලෙස අංක ගත කෙරිණි. මවක පියෙකු නැති නමක් නොදන්නා මෙම දරුවාට අවශ්‍ය ප්‍රතිකාර දෙන්නට වෛද්‍යවරු මහත් වෙහෙසක් දැරූහ. දරුවාගේ නමක් නොදන්නා නිසා බේබි 81 යනුවෙන් නම් කිරීමට කටයුතු කෙරිණ. 


කාත් කවුරුවත් නැති මෙම හුරුබුහුටි කුඩා දරුවා පිළිබඳව හෙදියක මගින් දැන ගන්නට ලැබෙන අතරතුර මෙම තොරතුර ලද විගස සුනාමියෙන් දරුවන් අහිමි වූ මව්පියන් මෙම දරුවා බැලීමට පැමිණ තිබේ. එලෙස පැමිණි මව්වරුන්ගේ ප්‍රමාණය නවයකි. 


ඒ අතර පැමිණි යුවලක් මේ තමන්ගේ දරුවා බව පවසමින් දරුවා ඉල්ලා හඬමින් රෝහලම දෙවනත් කරන්නට වූහ. ඔවුන් සමග ඔවුන්ගේ පවුලේ අයද ඒ අතර වූහ. නමුත් කිහිප දෙනෙකුම මෙම දරුවාගේ අයිතිකරුවන් බව පැවසීම නිසා එම යුවලට මෙම දරුවා භාරදීම ගැටලු තත්ත්වයක් රෝහල් කාර්ය මණ්ඩලයට ඇතිවිය. 


තම දරුවා නොලැබීම නිසා දරු දුක ඉවසා ගත නොහැකි වූ එක් මවක් 2015 පෙබරවාරි දෙවෙනි දින තම දරුවා බව පවසමින් ඔහු රෝහලෙන් රැගෙන යන්නට උත්සාහ කිරීමත් සමඟම මෙම සිදුවීම පිළිබඳව මාධ්‍ය අවධානය තව තවත් යොමුවිය. 


මේ දරුවා පිළිබඳව ඔවුන් දේපළ අයිතිවාසිකම් කිව්වත් මේ තමන්ගේ දරුවා යැයි කීමට කිසිම සාක්කියක් ඔවුන් සතු නොවීය. ඒ වෙන විටත් ඒ සියලු දේවල් මහ මුහුදේ පාවෙමින් තිබිණ. දරුවා පැහැරගෙන යෑමට තැත් කිරීම නිසා මෙම යුවළ පොලිස් අත්අඩංගුවට ගත් අතර පසුව මුදා හැරීමට පොලිසිය කටයුතු කළේය. ඉන් අනතුරුව මෙම ගැටලුව විසඳීමට සිදුවූයේ කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයටය. 


මෙම දරුවා පිළිබඳ පවතින තත්ත්වය සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබුවේ කල්මුනේ පොලිසියේ එවකට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති වශයෙන් කටයුතු කළ පොලිස් පරීක්ෂක මොහමඩ් ජෙමිල් මහතාය. ඔහු දැනට සේවය කරන්නේ හැටන් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලෙසින්ය. 


මොහමඩ් ජෙමිල් මහතා කල්මුනේ මහේස්ත්‍රාත් එම්.බී. මොහිදීන් මහතාට මේ පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් මේ දරුවා සහ එයට අයිතිවාසිකම් කියන අය ජාන පරීක්ෂණයට යොමු කිරීමට කොළඹ ජින්ටෙක් ආයතනයට යොමු කරන ලෙස ඉල්ලා සිටියේය. 


 පසුව කල්මුනේ මහේස්ත්‍රාත් එම්.බී. මොහිදීන් මහතා ජාන පරීක්ෂණයක් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසට පොලීසියට නියෝග කළේය. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක මොහමඩ් ජෙමිල් මහතා ඒ සඳහා කටයුතු සංවිධානය කළේය. 


දරුවා ඉල්ලාගෙන රෝහලට මව්වරුන් පියවරුන් නවදෙනෙක් පැමිණියත් අවසානයේ ජාන පරීක්ෂණයට ඉදිරිපත් වූයේ මෙම දරුවා තමන්ගේ බව පවසමින් වරක් දරුවා රෝහලින් පැහැරගෙන යෑමට උත්සාහ කළ ජෙනිටා ජෙයරාජා සහ මුරුගපිල්ලේ ජෙයරාජා යන දෙදෙනා පමණකි. 


පසුව මෙම දරුවා සහ ජෙනිටා ජෙයරාජා සහ, මුරුගපිල්ලේ ජෙයරාජා යන අය කොළඹ ජින්ටෙක් ආයතනයට ගෙන යෑමට යුනිසෙප් ආයතනයෙන් ප්‍රවාහන පහසුකම් ලබාදෙනු ලැබීය. 


පසුව කල්මුනේ අධිකරණයේ ලේඛකාධිකාරිවරයා සහ හෙදියක් පොලිස් පරීක්ෂක මොහමඩ් ජෙමිල් මහතා මෙම දරුවා රැගෙන බොරැල්ල ජින්ටෙක් ආයතනයට පැමිණියේ මෙම ජාන පරීක්ෂාව කිරීමටය. 


ජින්ටෙක් ආයතනයේ නිර්මාතෘ මායා ගුණසේකර මහත්මිය සහ එවකට සිටි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය රුවන් ඉලේපෙරුම යන මහත්වරුන් විසින් ජාන පරීක්ෂණය 2015. පෙබරවාරි 09 වෙනි දින සිදුකර එහි වාර්තාව කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත යොමු කරනු ලැබීය. 


2015 පෙබරවාරි 16 වෙනි දින කල්මුනේ මහේස්ත්‍රාත් අධිකරණයට විශේෂ දිනයක් විය. දේශීය සහ විදේශීය මාධ්‍යකරුවන් සියයකට වැඩි ප්‍රමාණයක් අධිකරණ ශාලාවේ විය. පොලීසියට පවා තත්ත්වය පාලනය කිරීමට නොහැකි වාතාවරණයක් උදාවිය. තත්ත්වය පාලනය වෙනතුරු කල්මුනේ මහේස්ත්‍රාත් එම්.බී. මොහිදීන් මහතා විසින් අධිකරණය කල් තබනු ලැබීය. 


පසුව නැවත වතාවක් අධිකරණය පටන් ගත් අතර ජින්ටෙක් ආයතනයේ ජාන පරීක්ෂණ වාර්තාව අනුව දරුවාගේ දෙමව්පියන් වන්නේ ජෙනිටා ජෙයරාජා සහ මුරුගපිල්ලේ ජෙයරාජා යන අය බව කල්මුනේ මහේස්ත්‍රාත් එම්.බී. මොහිදීන් මහතා විසින් පැවැසීමත් සමගම අධිකරණ භුමිය එකම කඩි ගුලක් බවට පත්විය. එම නඩු තීන්දුව දුන් විගස කල්මුනේ මහේස්ත්‍රාත් එම්.බී. මොහිදීන් මහතා විසින් උසාවිය කල් තබනු ලැබීය. 


මෙතෙක් දිනක් බේබි 81 නමින් හැඳින්වූ දරුවා එතැන් පටන් ජෙයරාජා අභිලාෂ් බවට පත් විය. මව්පියන් මෙන්ම පවුලේ ඥාතීහු සතුටු කඳුළු වගුරවමින් හඬන්නට වූහ. එදින මුළු ලෝකයටම ප්‍රධාන ප්‍රවෘත්තිය බේබි 81 නොහොත් අභිලාෂ් පිළිබඳව විය. විදේශීය මාධ්‍ය ආයතන කිහිපයක් මෙම සිදුවීම පිළිබඳව උසාවි භුමියේ සිටම සජීවී ලෙස විසුරුවා හැරීමට කටයුතු කළේය.


සුනාමියට වසර 14ක් ගතවෙන දවසේ එදා මුළු ලෝකයම කතා කළ අද කතා නොකරන සුනාමි බේබි 81 වන් නොහොත් ජෙයරාජා අභිලාෂ් පිළිබඳ සොයාගෙන අප කල්මුනේ ප්‍රදේශයට ගියත් ඔවුන් එම ප්‍රදේශයේ ජීවත් නොවන බව ගම්වැසියෝ අප සමග පැවැසූහ. පසුව ඔවුන් දැන් ජීවත් වෙන මඩකලපුව දිස්ත්‍රික්කයේ කුරුකුල්මඩම් ගම්මානයට අප ගියත් පලුගාමම් ප්‍රදේශයේ මළ ගෙදරකට සහභාගි වීමට ගොස් ඇති නිසා ඔවුන් එනතුරු අපට එහි රැඳී සිටීමට සිදුවිය. 


සවස තුනට පමණ අභිලාෂ් සහ පියා නිවසට පැමිණියේය. එදා මාස තුනක දරුවාට අද වයස අවුරුදු 14 කි.


අවුරුදු 14 ක සුනාමි ඉතිහාසය පිළිබඳව අභිලාෂ් ගේ පියා අප සමග දොඩමලු විය. අපේ දරුවා ලබා ගන්න අපිට හරිම දුකක් වේදනාවක් විඳින්න සිද්ධ වුණා. එදා සුනාමි කාලේ මුළු ලෝකයේම මාධ්‍ය මගේ දරුවා ගැන කථා කළා. නමුත් අද කාටවත් එහෙම මතක නැහැ. ඔබතුමා අද අපි බලන්න ආපු එක ගැන ස්තුතිවන්ත වෙනවා. සුනාමියට අපේ මුළු ජීවිතයම විනාශ වුණා. දැන් තමයි ටිකක් ඔළුව උස්සගෙන එන්නේ. මේ හැම දෙයක්ම කරන්නේ මම සැලුන් එකෙන් ලබා ගන්න ආදායමෙන්. මගේ එකම උත්සාහය අපිට අහිමිවෙන්න ගිය, අපිට දෙවියන් නැවත ලබාදුන් මගේ පුතා අභිලාෂ්ට හොඳට උගන්වන එක. ඒකට දැන් තියෙන පහසුකම් මදි. මගේ පුතාට විදේශ රටක හරි යවලා උසස් අධ්‍යාපනයක් ලබාදෙන්න කවුරුන් හරි උදව් කරනවා නම් ඒක හරිම හොඳයි. මේ දරුවා තමයි අපේ ජීවිතේ. 

 

නඩුවෙන්  දරුවා ලබාගත් අවස්ථාව

සුනාමිය පැමිණි දිනවලින් පසුව ජෙයරාජා අභිලාෂ් හෙදියක් විසින් වඩාගෙන  සිටි අයුරු.

 


හැම අවුරුද්දකම මාධ්‍යයට අපිව මතක් වෙන්නේ සුනාමි දවසට විතරයි. අපි කනවද? ඉන්නවද? ජීවත්වෙනවද? කියලා කවුරුවත් ලියන්න එන්නේ නැහැ. ඒක නිසා මම මාධ්‍යයට කථා කරන්න අකමැතියි. නමුත් අද ‘ඉරිදා ලංකාදීප’යට කතා කරනවා. එදා මුලින්ම අප පිළිබඳව රටට කියන්න ආවේ ඔබ නිසා. මම එකම ඉල්ලීමයි කරන්නේ මගේ පුතාට හොඳට උගන්වන්න සහාය දෙන්න කියල රටට කියන්න. 


ජෙනිටා ජෙයරාජා (අභිලාෂ් ගේ මව) 


මගේ දරුවා වෙනුවෙන් විඳින්න පුළුවන් මානසික වේදනා මම වින්දා. අපි බොරුවක් කළේ නැති නිසා මම මගේ දරුවා හමුවුණා. මගෙන් කිරි බීලා හැදුණ පුතා සුනාමියට ගහගෙන ගිහින් මට ගන්න බැරිව මාස කිහිපයක් ගතවෙන කොට අම්මා කෙනෙක් විදියට කොයි තරම් වේදනාවක්ද? ඒ අතීතය හරිම බිහිසුණුයි. හරිම වේදනාකාරියි. නමුත් පුතා අපිට හමුවුණා රූපවාහිනී වැඩ සටහනකට ඇමරිකාවේ පුතාව අරන් ගියා. අද අපි ගැන බලන්න කවුරුවත් නැහැ. මහත්තයාගෙයි මගෙයි එකම උත්සාහය දරුවාට හොඳින් උගන්වන එක. ඒ වෙනුවෙන් යම් සහනයක් කවුරුන් හරි ලබාදෙනවා නම් ඉතා හොඳයි. 


ජෙයරාජා අභිලාෂ් නොහොත් ‘බේබි 81’ 


මම සුනාමියට ගිය බව දන්නේ අපේ අම්මල තාත්තාල කියද්දියි. මට හරිම පුදුම හිතෙනවා මම බේරුණු හැටි. අම්මයි තාත්තයි මට හරිම ආදරෙයි. මට නංගි කෙනෙක් ඉන්නවා. මම දැනට ඉගෙන ගන්නේ සෙට්ටිපාලයම් විදුහලේ. මම පුළුවන් තරම් අධ්‍යාපන වැඩ හොඳට කරනවා. මම 2019 වසරේ සිට දහවන වසරේ ඉගෙනුම ලබනවා. අනාගතයේ මම වෛද්‍යවරයෙක් වෙන්න කැමැත්තෙන් ඉන්නවා. 


මුළු ලොවක් මවිත කළ මුළු ලොවක් කතා කළ සුනාමි බේබි 81 වන් කතා පුවත අද බොහෝ දෙනෙකුට අමතකව ගොස් තිබේ. මෙම කතාවද තවත් හුණුවටයේ කතාවකි. සුනාමියට වසර 14 ක් ගතවෙන මෙම වසරේ සුනාමි බේබි ගැන ‘ඉරිදා ලංකාදීප’යෙන් කතා කළත් සුනාමියෙන් තවත් සැඟවුණ කතා බොහොමයක් තිබේ. මව සහ පියා දෙදෙනාම අහිමිවූ දරුවන් විශාල පිරිසක්ද මෙම ප්‍රදේශවල ජීවත් වෙති. සුනාමියෙන් හදන ලද නිවාස සමහර ඒවා අද වෙනකොට අබලන් වී තිබේ. ඒ පිළිබඳව සටහනක් ඉදිරියේදී ඔබ ඉදිරියේ තැබීමට බලාපොරොත්තු වෙමි. 


වසර 14 ක සුනාමි සටහන තැබීමට මට දායක වුණ මල්වත්ත ගම්මානයේ ඒ. ගනේශන් මහතාටත් හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහමඞ් ජෙමිල් මහතාටත් ස්තුතිවන්ත වෙමි. 

 


(මුරුගපිල්ලේ ජෙයරාජා මහතාගේ දුරකථන අංකය 0776944735)

 

 

සුනාමියෙන් නැති වූ තම දරුවන් සොයන පියෙක්

 

 

 

සටහන / ඡායාරූප : 
අම්පාර වසන්ත චන්ද්‍රපාල