සුනාමියක් ආවොත් ‘‘අබ සරණයි’’


සුනාමි අනතුරු ඇඟවීමේ පුවරුවල දැන්වීම් අලවලා

 

 

රට වටේම ජනතාව ආපදාවට ලක්ව උන්හිටි තැන් අහිමිව පීඩාවට පත්වීම් වරින්වර අසන්නට දකින්නට ලැබුණු කාලයක සුනාමි භීතියකින් ප්‍රදේශ කිහිපයක ජනතාව ඇළලී ගිහින්. 


ස්වාභාවික පරිසරයට හානි පැමිණවීම මිනිසුන් විසින් සැලසුම් සහගතව සිදුකළත් හානි වූ පරිසරයේ අනිසි ඵලය ලෙස ස්වභාවික විපත් අප සොයා එන්නේ පෙර දැනුම්දීමකින් තොරවයි. 


හදිසි ආපදාව ජන ජීවිත අවුල් කරන නිසාම ආපදා කළමනාකරණයට පැවරෙන්නේ වැඩි වගකීමක්. 


2004 වර්ෂයේ සුනාමි රළ පහර අප රටට වෙරළ තීරය විනාශ කරමින් කඩා වදින්නේ ඒ පිළිබඳව කිසිම අවබෝධයක් නැති කාලයක. 


ඇතැමුන්ට ‘‘සුනාමි’’ යන වචනයත් නුහුරු වුණා. 


අප රටට කඩා වැදී සුනාමි රළ බිලිගත් ජීවිත ගණන ඉහළ අගයක් ගැනීමත් සමග නැවත සුනාමි තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා පෙර සුදානම සහ දැනුම්වත් වීම වැදගත් බව හඳුනාගත් ආපදා කළමණාකාර මධ්‍යස්ථානය රට වටේම ආරක්ෂිත ගමන් මග සලකුණු කළ සංඥා පුවරු ප්‍රදර්ශනය කිරීමට පියවර ගනු ලැබීය. 


2006 වර්ෂයේ ඇරඹි මෙම සංඥා පුවරු තුළින් ආරක්ෂිත ගමන් මග ප්‍රදර්ශනය කිරීම මගින් ජීවිත රැසක් ගලවා ගැනීමට ඉඩ සැලසෙනු ඇත. 


ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් උතුර, දකුණ, බස්නාහිර හා නැගෙනහිර යන වෙරළබඩ කලාප ආවරණය වන පරිදි භාෂා ත්‍රිත්වයෙන්ම සටහන් දමා සවිකරනු ලැබූ පුවරු සංඛ්‍යාව පන්දහසකට අධිකය. 
ලැමිනේටින් කර ගැල්වනයිස් තහඩුවක ප්‍රදර්ශනය වන මෙම එක සංඥා ලෑල්ලක් සවිකිරීමට වැය වන මුදල රුපියල් පහළොස්දාහකි. 


ජීවිත ගලවාලීමට උදව් දෙන මෙම පුවරු විවිධ දේශපාලනඥයන්ගේ සහ ටියුෂන් මාස්ටර්ලාගෙත් පෝස්ටර් ප්‍රදර්ශන පුවරු බවට පත් වී ඇති අයුරු දක්නට ඇත. 


ඇතැම් ප්‍රදේශවාසීන් මෙම බෝඩ් ලෑලි ගලවා දමා ඇති අතර කළු තීන්ත ගසා ඇති අයුරුද දක්නට ඇත. 


මෙම සංඥා පුවරු හානි කරන්නන්ට එරෙහිව ගෙන ඇති පියවර කවරේද යන්න විමසීමට අප සම්බන්ධ කර ගත්තේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතාවය. 
‘‘ඇත්තටම මෙය කාලෝචිත මාතෘකාවක්. මේ වන විට විවිධ පෙදෙස්වල ප්‍රදේශවාසීන් තමන්ගේ ඉඩම්වල වටිනාකම නැති වෙනවා කියලා මේ සංඥා පුවරුවලට හානි කරන තත්ත්වයක් තියෙනවා. 
මොකද සුනාමි ආරක්ෂිත ගමන් මග දැක්වෙන මේ පුවරු දැක්කම ඉඩම් විකිණීමේදී ගැටලු මතුවෙන බවයි ඔවුන් කියන්නේ. 


ඒ වගේම විවිධ දේශපාලනඥයන්ගේ පෝස්ටර් ගහන උදවිය මේ බෝඩ් මත පෝස්ටර් අලවන තත්ත්වයක් තියෙනවා. 


අපට වගේම ඒ අදාළ දේශපාලනඥයන්ට යුතුකමක්, වගකීමක් තියෙනවා. මෙවැනි දේ ඔවුන්ගේ මට්ටමින් වළක්වා ගන්න. මොකද මේ පුවරු මගින් පෙන්වන්නේ ජීවිතයක් බේර ගන්න දිව යන මාර්ගයයි. 


සුනාමි තත්ත්වයකට නන්නාඳුනන පළාතකදී මුහුණපෑමට ඔබටත් සිදු වුණොත් මෙවැනි සංඥා පුවරුවක වටිනාකම ඔබට වැටහේවි. 


පසුගිය කාලේ ගල්කිස්සෙත් මෙවැනි බෝඩ්වලට හානි කොට තිබුණා. ගල්කිස්ස කියන්නේ සංචාරකයින් ගැවසෙන කලාපයක්. 


සුනාමි අවස්ථාවකදී ආරක්ෂිත ස්ථානයකට දිව යන්න මේ සංඥා පුවරු සංචාරකයන්ට බොහොම වැදගත්. 


මුලින්ම මෙහි වටිනාකම හඳුනා ගන්න හෙට මේ පුවරුව නොමැති තැනකදී අනතුරට ලක්වන පළමු කෙනා ඔබ වෙන්න පුළුවන්. 


මෙය නිකන්ම නිකන් පුවරුවක් නෙවෙයි. කාගේ හරි ජීවිතයක් බේර ගන්න දුවන්න පාර කියන පුවරුවක්. 


අනතුර අපට කිය කියා සිදු වන්නේ නෑ. මේ එක බෝඩ් එකක් ලැමිනේට් කරලා සවි කරන්න රුපියල් පහළොස්දාහක මුදලක් වැය වෙනවා. 


මරණ දැන්වීම්, ටියුෂන් පන්ති දැන්වීම්, වෙනත් දැන්වීම්, දේශපාලන ප්‍රචාරක දැන්වීම් මෙහි අලවා හානි කරන්න එපා. 


වසරින් වසර අප මේ සංඥා පුවරු අලුත්වැඩියා කර සවි කරනවා. මෙයට ජනතා සහය අවශ්‍යයි. 


‘‘එහෙම හානි කරන අයකු දුටුවහොත් 117 අංකයට දැනුම් දෙන්න’’ යයි ඔහු පැවසීය. 


මුහුදුබඩ කලාපයේ සංචාරයේ යෙදුණ අපට මේ ආකාරයට හානියට ලක් කළ පුවරු දක්නට ලැබුණි. 

 

 

 

 

 

මෙම සංඥා පුවරුවලට හානිකර ඔබ තවකකු ජීවිතය බේරා ගන්න දිවයන මග වසා ඥාතියාගේ මරණ දැන්වීම ඇලවීම සාධාරණද? නැණැස පාදන ගුරුවරයෙක් දරුවන්ට දෙන ආදර්ශය කුමක්ද. දේශපාලනඥයන් ප්‍රචාරය කරන්නට සැරසෙන්නේ ජනතා දේපළ හානි කර හෝ තමා ඉස්මතු වෙනවා යන පණිවිඩයද? 

 

 

 

 


අවධානය පිණිසයි.