සුදු අසුපිට යන උතුරු කොරියා නායකයා


අවධානය ද අනතුරු ඇඟවීමක් ද?

 

 

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සුදු අසෙකු පිට නැගී, කොරියාවේ පූජනීයම කන්ද වන, හිමෙන් වැසුණු පයිචු කන්ද තරණය කරමින් පැවැත් වූ සංදර්ශනය පසුගිය දින කිහිපයේ ලෝක දේශපාලනයේ කතා බහට මූලික වී තිබිණ.


කිම් නැගි එම කන්ද උතුරු කොරියාවේ තිබෙන පූජනීයම කන්ද වන අතර එය ඓතිහාසික වැදගත්කමකින් ද යුක්ත ස්ථානයකි. පළමු කොරියානු රාජධානිය පිහිටවූ බව කියන්නේ මෙම කන්ද ආශ්‍රිත ප්‍රදේශයේය. මෙම ස්ථානය කොරියානු විප්ලව ඉතිහාසයේ ද වැදගත් තැනක් බව කියැවේ.


ඇමරිකානු මාධ්‍යවල මෙම සිද්ධිය වාර්තා වෙන්නේ අවධානය දිනා ගැනීම පිණිස කළ සංදර්ශනයක් ලෙසයි. රුසියානු ජනපති පුටින්, කිම් ජොන්ගේ හොඳ මිතුරෙකි. මෙය ජනපති පුටින් සංචාරයක් අතරතුර උඩුකය නිරුවත්ව දුඹුරු පැහැ අසෙකු පිට නැගීගෙන සිටින අයුරු දැක්වෙන ප්‍රසිද්ධ ඡායාරූපය අනුකරණය කිරීමකැයි ද, තුර්ක්මෙනිස්ථානයේ ආඥාදායකයා අසෙකු පිට නැගී සිටින රන් ප්‍රතිමාවක් අනුකරණය කිරීමකැයි ද ඔවුහු අදහස් දක්වති.


රුසියානු හා තුර්ක්මෙනිස්තානු නායක දෙපළම ආඥාදායකයන් වශයෙන් ප්‍රකට අයයි. ඔවුන්ගේ ක්‍රියා අනුකරණයෙන් තමා ද එවැනි ආඥාදායකයෙකු බව පෙන්වීම ඔහුගේ අභිලාෂය යැයි සමහර පුවත් විශේෂඥයන් කියන්නේ උපහාසයෙන් යුතුවය.


කැලිෆෝනියාවේ ජාත්‍යන්තර අධ්‍යයන පිළිබඳ විශේෂඥයෙක් ප්‍රකාශ කරන්නේ මෙම ක්‍රියාව එළිපිටම විරුද්ධතාව ප්‍රකාශ කිරීමක් ලෙස අරුත් ගැන්විය හැකි බවයි. තවත් පිරිසක් විශ්වාස කරන්නේ ආර්ථික හා තාක්ෂණික බලය පෙන්වන අභ්‍යවකාශ ගමනක් වැනි දැවැන්ත මෙහෙයුමක් පිළිබඳව මෙයින් අඟවන බවය.


චීන මාධ්‍ය වාර්තා කරන්නේ එය සිදුවන්නට නියමිත දැවැන්ත වෙනසක සලකුණක් බවය. ඔහු මෙයට පෙර වතාවක දී ද මෙසේ ම අසුපිට නැගී මෙම කන්ද තරණය කර ඇති අතර ඔහුගේ පියා සහ සීයා ද මෙපරිදිම කන්ද තරණය කර තිබේ.

 

අන්තර්ජාලය ඇසුරිනි
නිසංසලා දිසානායක