සිසුවාගේ කණ පැලූ ගුරුවරියට සිර දඬුවම් හිමි වූ සිද්ධිය


 

 

ගුරු වෘත්තිය සැලකෙන්නේ ලොව පවතින ඉහළම වෘත්තියක් ලෙසය. මන්දයත් රටට, සමාජයට යහපත් වැඩද‌ායක පුරවැසියෙකු බිහි කළ හැක්කේ ඒ සඳහා මඟ පෙන්වන ගුරුවරුන්ට පමණක් වීම නිසාය.   


ගුරුවරයා යනු දෙමාපියන් අතැර පාසලට පැමිණෙන දරුවාට සිටින එකම ආදරණීය මඟ පෙන්වන්නාය. නිවෙසට, දෙමාපියනට අකීකරු දරුවෙකු යහපත් කීකරු දරුවෙකු බවටත්, යහපත් කීකරු දරුවෙකු සමාජයට අහිතකර දරුවෙකු බවටත් පරිවර්තනය කළ හැකි එකම පුද්ගලයා ගුරුවරයාය. මේ පිළිබඳ උද‌ාහරණ අප රටෙත් මෙන්ම ලොව බොහෝ ස්ථානවලින් අනන්තවත් වාර්තා වී තිබේ.   


 යහපත් මඟ පෙන්වීමක් නොවූ දරුවෝ පසුව සමාජයත්, රටත් වනසන පාතාලයින් බවට පත් වී අකාලයේ මාරයා සොයා ගිය අවස්ථා මෑත යුගයේදී බොහෝ සෙයින් වාර්තා විය.   
ගුරුවරයා සහ ගුරු වෘත්තිය සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ දැඩි කතාබහක් ද මතුව තිබේ. මීට හේතුව කුරුණෑගල ප්‍රදේශයේ පාසලක ශිෂ්‍යයෙකුට විනය ක්‍රියාමාර්ගයක් ගත් බව කියන ගුරුවරියකට එරෙහිව අධිකරණයෙහි පවරන ලද නඩුවකින් එම ගුරුවරිය ඊට වරදකාරිය බවට තීරණය වීමෙන් සිරදඬුවමකට ලක්වීමය.   
පසුගිය 01 වැනි දින කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විසින් ලබාදුන් එම නඩුවේ අවසාන තීන්දුව වූයේ අද‌‌ාළ චෝදනාවට වරදකාරිය බවට තීරණය වූ ගුරුවරියට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කිරීමය. මීට අමතරව අගතියට පත් ශිෂ්‍යයාට රුපියල් ලක්ෂයක වන්දියක් ද ගෙවන ලෙස නියම කළ මහාධිකරණ විනිසුරුවරිය එම දඩය නොගෙවන්නේ නම් සිර දඬුවම තවත් වසරකින් දීර්ඝ කරන බවට ද දන්වා සිටියාය.   


කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විදුහලේ ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවය කරමින් සිටින ලලනී රම්‍යා ද සිල්වා නම් වූ 55 හැවිරිදි අවිවාහක ගුරුවරියට මේ දඬුවම නියම වූවාය. ඇය වෘත්තියෙන් ඉංග්‍රීසි විෂය භාර ගුරුවරියකි. ඇගේ සේවා කාලය වසර 30කට ආසන්නය.   


 රම්‍යා ද සිල්වා මෙනෙවියට මෙම සිරදඬුවම නියම වන්නේ දෙදහස් එකොළහ වසරේ ජූලි මස නවවැනිද‌ා ඇය එවකට සේවය කළ කොතලාවල විදුහලේ සිදු වූ බව කියන සිදුවීමක් අරබයාය.   


දෙදහස් එකොළහ වසරේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි එවකට පහළොස් වියෙහි පසු වූ අයි.එම්. චතුර ශ්‍රී ලාලිත නමැති ශිෂ්‍යයාගේ කණට පහරදීම හේතුවෙන් ඔහුගේ කණකට සිදු වූ බව කියන හානියකට එරෙහිව එම ශිෂ්‍යයාගේ පන්ති භාර ගුරුවරිය වූ චූදිත ගුරුවරියට එරෙහිව නීතිපතිවරයා විසින් කුරුණෑගල මහාධිකරණයේදී අධිචෝදනා ගොනු කරනු ලැබීය.  


 නඩුවේ පැමිණිලිකරු වූයේ චතුර ශ්‍රී ලාලිත ශිෂ්‍යයාය. නීතිපතිවරයා වෙනුවෙන් රජයේ නීතිඥ චාරක ධර්මසිරි මහතා පෙනී සිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් (ශිෂ්‍යයා වෙනුවෙන්) නීතිඥ සුදත් විජේවික්‍රම මහතා පෙනී සිටියේය.  


චතුර ශ්‍රී ලාලිත ශිෂ්‍යයාට පහරදීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව පසුගිය ජනවාරි මාසයේදී කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා වි​ජේසුන්දර මහත්මිය හමුවේ අඛණ්ඩව විභාගයට ගැනීම ඇරඹුණු අතර නඩුව විභාගයට ගෙන අවසන්කොට තීන්දුව ප්‍රකාශයට පත්කරන තෙක් චූදිත රම්‍යා ද සිල්වා මෙනවිය රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ද නියම කෙරිණි.  


 අගතියට පත් ශිෂ්‍යයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුදත් විජේවික්‍රම මහතා අධිකරණය හමුවේ දැක්වූ කරුණු අනුව එම සිද්ධිය මෙසේය.  


‘‘දෙදහස් එකොළහ වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙර පැවැත්වෙන පාසලේ අවසාන වාර පරීක්ෂණයේදී තමයි මේ සිදුවීම වාර්තා වෙන්නේ. ඒ වන විට මේ චූදිත ගුරුවරිය මාගේ සේවාද‌ායකයා වන ශිෂ්‍යයාගේ පන්තිය භාර ගුරුවරිය ලෙස ද කටයුතු කරමින් සිටිනවා. ඔහු අවසාන වාර පරීක්ෂණයට සහභාගි වීමට පැමිණෙන පළමු දිනයේදීම පාසලේ විභාග ශාලාව අසලදී මේ ගුරුවරියගේ පහර කෑමට ලක්වෙනවා.  


‘තමුසෙගෙ කොණ්ඩෙ වැවිලා වැඩියි. ඔහොමද ඉස්කෝලේ එන්නේ’ කියලා ඇය මේ ශිෂ්‍යයාට පහර දෙනවා. ඔහුගේ කම්මුලට පහර දුන් මේ ගුරුවරිය ‘උඹට අද විභාගය ලියන්න දෙන්නේ නැහැ’ කියලා එළවා දමනවා.  


මේ ශිෂ්‍යයා එම පහර දීමෙන් පසුව පාසලේම තවත් ගුරුවරයෙකු වූ ගමගේ නමැති අය හමු වී රම්‍යා ද සිල්වා ගුරුවරියගේ පහරදීම ගැන පවසා සිටිනවා. ‘මට ටිකක් අමාරුයි. නමුත් මට විභාගය ලියන්න අවශ්‍යයි’ කියලා ඔහු එම ගුරුවරයාට දන්වා සිටිනවා.  


​මේ ගුරුවරයා ඔහුට බෙහෙත් පෙත්තක් බොන්න දී විභාගය ලියන්න කීවත් පහරදීම නිසා හටගත් හිසේ අමාරුව සහ මානසික කම්පනය නිසාම ඔහුට එදින වාර විභාගයට ලිවීමට නොහැකි වෙනවා. මේ අවස්ථාවේදී ඔහු සිටින ස්ථානයට පැමිණෙන චූදිත ගුරුවරිය ඔහුට ලබා දී තිබූ ප්‍රශ්න පත්‍රය මුළු විභාග ශාලාවටම ප්‍රදර්ශනය කරවා ඔහු පිළිතුරු නොලීම පිළිබඳව අනෙක් සිසු සිසුවියන් හමුවේ ප්‍රසිද්ධියේ සමච්චලයට ලක් කරනවා.  


 මේ අවමානයෙන් තව තවත් මානසික පීඩාවට පත් වූ මේ ශිෂ්‍යයා එදින වාර විභාගයට පෙනී නොසිට ආපසු පොල්ගහවෙල පිහිටි තම නිවෙසට යනවා. ඔහුගේ පියා සහ මව දෙදෙනාම රෝහල් සේවකයෝ. ඔහු සවස දෙමාපියෝ නිවෙසට පැමිණි පසුව මේ පහරදීම ගැන ඔවුන්ට දන්වා සිටිනවා.  


 ඔහු සවස කොණ්ඩය කපාගෙන නිවෙසට පැමිණියත් ගුරුවරිය කණ පෙදෙසට පහරදීම නිසාම ඇති වූ දැඩි වේදනාව නිසාම ඔහු නිද‌ා ගන්නවා. පසුව දෙමාපියන් එද‌ා රාත්‍රියේම තම දරුවා ප්‍රතිකාර සඳහා පොල්ගහවෙල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරුකර යවනවා.   
මේ අතර කාලයේදී මෙම පහරදීම සම්බන්ධයෙන් රෝහල් පොලිසිය ඉදිරිපත් කරන පැමිණිල්ලක් සමථයකට පත්කර ගැනීම සඳහා මේ චූදිත ගුරුවරිය විවිධ පාර්ශ්ව මේ ශිෂ්‍යයා සහ ඔහුගේ දෙමාපියන් හමුවීමට එවනවා. නමුත් ඔවුන් ඊට එකඟ වෙන්නේ නැහැ. අවිවාහක මේ ගුරුවරිය යම් මානසික රෝගී තත්ත්වයකින් හැසිරුණාද කියන සැකය අපට තිබෙනවා’’.  


 පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ චාරක ධර්මසිරි මහතා අධිකරණය හමුවේ කියා සිටියේ මෙවැන්නකි.  


‘‘මේ ගුරුවරියගේ පහරදීම මත ඇති වන රෝගී තත්ත්වය හා දැඩි මානසික කම්පනය නිසාම මේ ශිෂ්‍යයාට සාමාන්‍ය පෙළ වාර විභාගයට වගේම ඔහුගේ ජීවිතයට ඉතාම වැදගත් වූ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමේ අවස්ථාව ද අහිමි වෙනවා.  


මේ සිද්ධිය නිසාම මේ ශිෂ්‍යයාට තමන් අධ්‍යාපනය ලැබූ මේ පාසලෙන් පවා අස්වීමට සිද්ධ වෙනවා. මේ සිද්ධිය නිසාම මේ පාසලේම ඉගෙනුම ලබන මේ ශිෂ්‍යයාගේ බාල නැගණියට ද මේ චූදිත ගුරුවරියගේ විවිධ කෙණෙහිළිකම්වලට ලක්වීමට සිද්ධ වෙනවා. මේ කෙණෙහිළිකම් නිසාම දෙමාපියෝ මේ ගැහැණු දරුවත් මෙම පාසලෙන් ඉල්ලා අස්කර ගන්නවා. ඒ අනුව ඉතාම පැහැදිලියි මේ චූදිත ගුරුවරිය විසින් මේ දරුවන් දෙදෙනාටම ඉතා තදින් බලපෑම් එල්ල කර ඇති බව. එය ගුරු වෘත්තියට නොගැලපෙන දෙයක්.  
පැමිණිලිකාර ශිෂ්‍යයා අවසාන කාලයේදී වැඩි දින ගණනාවක් පාසල් නොපැමිණි බව සනාථ වෙනවා. ඒ පිළිබඳව විමසීමේදී ඔහු ලබා දුන් පිළිතුර වූයේ චූදිත ගුරුවරියගෙන් දිගින් දිගටම එල්ල වූ විවිධ බලපෑම් කෙණෙහිළිකම් නිසාම පාසලට යාමට යහපත් මානසිකත්වයක් නොතිබූ බැවින් පාසල් නොගොස් නිවසේ නතර වූ බවය. මේ නිසාම තමන්ට දෙමාපියන්ගෙන් ගුටිකෑමට පවා සිදු වූ බව ද ඔහු සඳහන් කරනවා.  


මේ ආකාරයට මේ ශිෂ්‍යයාට චූදිත ගුරුවරියගෙන් බලපැම් එල්ල වීමට බලපෑ කරුණු අනාවරණය වෙලා නැහැ. එසේම මේ ආකාරයට කටයුතු කිරීමට මෙම ගුරුවරිය එම පාසලේ විනය කටයුතු භාර ගුරුවරියකුත් නොවෙයි. නමුත් ඇය සිසු සිසුවියන් හට දරදඬු ආකාරයට දඬුවම් ලබා දුන් ගුරුවරියක් බව අනාවරණය වෙනවා.  
 පාසලෙන් ඉවත් වූ පැමිණිලිකාර ශිෂ්‍යයා ඔහුට එල්ල වූ මානසික පීඩනය නිසාම විවිධ වැරදි ක්‍රියාවලට යොමු වූ බව ද ඒ හේතුවෙන්ම ඔහුට අධිකරණය හමුවේ නඩු කීපයක්ම පැවරුණු බව ද විත්ති පාර්ශ්වයේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ලද කරුණු හමුවේ මෙම ශිෂ්‍යයා විසින්ම පිළිගැනීම ද විශේෂ කරුණක් විය.  
මෙම සිද්ධිය හමුවේ තමන්ට සාර්ථකව පාසල් අධ්‍යාපනය හමාර කිරීමට නොහැකි වුවද පාසලෙන් ඉවත් වීමෙන් පසුව මේ වනවිට වෘත්තීය පුහුණු පාඨමාලාවක් හද‌ාරමින් සිටින්නේ පාසලෙන් අහිමි වූ අධ්‍යාපනය සාර්ථක කර ගැනීමට ඇති තදබල ආශාව නිසාම බව ද චතුර ශ්‍රී ලාලිත සිසුවා අධිකරණය හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේය.  
චූදිත පාසල් ගුරුවරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සංජීව විජේපාල මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ මෙවැනි දෙයකි.  


 කිසිම අවස්ථාවක පැමිණිලිකාර ශිෂ්‍යයාට රම්‍යා ද සිල්වා ගුරු මහත්මිය විසින් පාසලේදී පහර දුන් බවට සනාථ වෙලා නැහැ. ප්‍රසිද්ධියේ පාසලේදී විශාල සිසුන් පිරිසක් ඉදිරියේදී මේ පහර දීම සිදු කළා නම් ඒ පිළිබඳව සියැසින් දුටු සාක්ෂි විශාල ප්‍රමාණයක් තිබිය යුතු වෙනවා. නමුත් මේ සිද්ධිය සනාථ වීමට තරම් කිසිම ප්‍රබල සාක්ෂියක් ලැබී නැහැ.  
මේ ශිෂ්‍යයා කොතලාවල විදුහලට ඇතුළු වී තිබෙන්නේ හයවැනි ශ්‍රේණියටයි. එම ශ්‍රේණියට ඔහු ඇතුළුවීමත් ප්‍රශ්නයක් වන්නේ එම ශ්‍රේණියට අවසාන කාලයේදී සිසුන් ඇතුළත් කර ගැනීමට නොහැකි වීම නිසායි.  


මේ පහර දුන්නා යැයි කියන සිදුවීමට පෙර 2009 වසරේ ඔක්තෝබර් මාසයේදී මේ පැමිණිලිකාර ශිෂ්‍යයා ඩී.එ්.එම්. කුමාරිහාමි නමැති ගුරුවරියකට බැණ තර්ජනය කිරීමක් සම්බන්ධව පොල්ගහවෙල පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා. ඒ වන විට ඔහු අටවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ ශිෂ්‍යයෙක්. එම සිද්ධිය මා පොලිසියෙන් තහවුරු කරගත්තා.  
මීට අමතරව මොහු තමන්ගේ නිවෙසට යාබද නිවසේ පදිංචි අසිත බණ්ඩාර නමැති වැඩිහිටි තරුණයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙනුත් පොල්ගහවෙල පොලිසියේ මොහුට විරුද්ධව පැමිණිල්ලක් තිබුණා. මොහු කුඩා ශිෂ්‍යයෙකුව සිටියදීම තමයි එවැනි වැඩිහිටි පුද්ගලයෙකුට පහර දී තිබුණේ. මේ සිද්ධිය 2011 වසරේදීයි සිද්ධ වී තිබෙන්නේ. එය ද අධිකරණයේදී තහවුරු වුණු කරුණක්. මේ සම්බන්ධයෙන් පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයේදී නඩුවක් පවා විභාග වී තිබෙනවා. ඒ අනුව මෙම සිද්ධියට පෙර තවත් සිද්ධි දෙකකටම මේ ශිෂ්‍යයා සම්බන්ධ වූ බවට අනාවරණය වී තිබෙනවා.  


මේ අනුව මාගේ සේවාද‌ායක ගුරුවරිය විසින් පහර දුන්නා යැයි කියන සිදුවීමට පෙර සිටම මොහු මැරයෙක් බව පැහැදිලිව සනාථ වී තිබෙනවා.  


මෙම සිදුවීමෙන් අනතුරුව පාසලෙන් ඉවත් වූ පැමිණිලිකරු හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම නිසා ඔහු පුනරුත්ථාපනය සඳහා වසරක කාලයක් කන්දකඩුව මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යවා තිබෙනවා. එය අපි අධිකරණයේදී ඉතාම පැහැදිලිව සනාථ කරනු ලැබුවා. පැමිණිළිකාර ශිෂ්‍යයාගේ මවගෙන් සාක්ෂි විමසීමේදීත් ඒ බව පැහැදිලිව තහවුරු කර ගැනීමට හැකි වුණා. හෙරොයින් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවකට අධිකරණය මඟින් වැරදිකරු බවට තීන්දු කිරීමෙන් පසුව මොහු කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යවනු ලබනවා.  


 කන්දකඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ගියත් මොහු පුනරුත්ථාපනය වෙන්නේ නැහැ. මොහු එම ස්ථානයෙන් පැමිණ මාස තුනක පමණ කාලයකදී නැවත වරක් හෙරොයින් මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධව මොහු අධිකරණයෙන් දඬුවම් ලබනවා. මේ අනුව ඉතාම පැහැදිලි වෙනවා මෙම පැමිණිලිකාර ශිෂ්‍යයා පාසල් ශිෂ්‍යයෙකුට නොගැලපෙන චරිතයකින් හෙබි අයෙකු බවට. එවැනි ශිෂ්‍යයෙකු යහපත් තැනකට ගෙන ඒම ගුරුවරයාගේ වගකීමක්.’’  


 එසේම රම්‍යා ද සිල්වා ගුරුවරියට එරෙහිව වයඹ අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පවත්වන ලද මූලික පරීක්ෂණයකින් ද ඇය නිවැරදි බවට තීරණය කරනු ලබනවා.  
මෙම නඩුවේදී පැමිණිල්ලේ සාක්ෂිකරුවකු ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයකු වන ඒ.සී.පී. චමින්ද මහතා අධිකරණයට කැඳවනු ලැබූ අතර චූදිත ගුරුවරියගේ පහරදීමෙන් පැමිණිලිකාර ශිෂ්‍යයාගේ කණේ බෙරයට හානි සිදුවී තිබූ බව අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ සඳහන් විය.  


පැමිණිලිකාර ශිෂ්‍යයාගේ මව වූ කුරුණෑගල ශික්ෂණ රෝහලේ රසායනාගාර සේවිකාවක වූ ස්වර්ණා මංචනායක මහත්මිය ද අධිකරණය හමුවේ සාක්ෂි දුන්නාය.  
මෙම නඩු විභාගයේදී ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගත් මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය විත්තිකාර ගුරුවරියගේ පහරදීමෙන් පැමිණිලිකාර ශිෂ්‍යයාට අගතියක් වී ඇති බව පැමිණිල්ලේ සාක්ෂිවලින් පැහැදිලිවම සනාථ වී ඇති බවට තීරණය කර විත්තිකාර ගුරුවරිය ඇයට එරෙහිව නගා තිබූ සියලුම අධි චෝදනාවලට වැරදිකරු බවට තීන්දු කළාය.  


කලකට පසුව අධිකරණයක් මඟින් ලැබුණු මෙම සුවිශේෂි නඩු තීන්දුව පිළිබඳව රටේ ජනාධිපතිවරයා වන මෛත්‍රීපාල සිරිසේන මහතා ද පසුදිනම අදහස් දැක්වීමක් කළේය.  
කෙසේ වුව ද මෙම නඩු තීන්දුවට එරෙහිව ලංකා ගුරු සේවා සංගමය මේ වනවිට සටනට බැස සිටියි. මෙම නඩු තීන්දුවට විරෝධය පළ කරමින් ලංකා ගුරු සේවා සංගමයේ මෙහෙයවීමෙන් සංවිධානය කළ දැවැන්ත නිහඬ විරෝධතාවයක් පසුගිය 06 වන දින විශාල ගුරු පිරිසකගේ සහභාගිත්වයෙන් කුරුණෑගල නගරයේදී පැවැත්විණි.  
මෙම විරෝධතාවයේදී අදහස් දැක්වූ ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා අවධාරණය කළේ රම්‍යා ද සිල්වා මහත්මියට සාධාරණයක් ඉෂ්ඨ වෙන තුරු දිවයිනේ සියලුම පාසල්වල ගුරුවරු පාසල්වල විනය කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර ඇති බවය.  


එසේම ලබන 15 වැනි දිනට පෙර රම්‍යා ද සිල්වා ගුරුවරියට රජයෙන් සාධාරණ විසඳුමක් නොලැබුණහොත් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයකට ගුරුවරුන් යොමුකරවන බව ද ඒ මහතා සඳහන් කළේය. පාසල්වල විනය රකින ගුරුවරුන් බොරු චෝදනාවලින් ආරක්ෂා කරදෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවසීය. 

 

 

පුෂ්පකුමාර ජයරත්න