සිමෙන්ති බදාම යෙදීම ක්‍රමවත් කිරීමට යන්ත්‍රයක් සෑදූ


 

නව නිපැයුම්කරුවන් කියන්නේ එක් අතකින් විද්‍යාව හා තාක්ෂණය පිළිබඳ දැනුම අවබෝධය සහිත පුද්ගලයන් මෙන්ම ඊට නොදෙවෙනි වන නිර්මාණ සංකල්ප නව ආකල්ප සහිත පුද්ගලයන් වෙනවා. විදුලි බුබුළ නිපදවූ තෝමස් අල්වා එඩිසන් එවැනි පුද්ගලයෙක්. ඔහු විදුලි බුබුළු සෑදීමට අවශ්‍ය ටන්ස්ටන් ලෝහය සොයා ගැනීම සඳහා මිනිස් හිසකෙස් ගසක් පවා උපයෝගීකොට ගෙන පරීක්ෂණ කොට තිබෙනවා. 


ඒ වගේම ඔහු අවස්ථා සියයකට වඩා ටන්ස්ටන් ලෝහය පිළිබඳ අත්හදා බැලීම් සිදුකොට තිබෙනවා. වයස අවුරුදු දොළහේදී පමණ තෝමස් අල්වා එඩිසන් දුම්රිය මැදිරියක් තුළ පරීක්ෂණාගාරයක් ඉදිකරමින් එහි පරීක්ෂණවල නිරතවී ඇති අතර පරීක්ෂණයක් හේතුවෙන් දුම්රිය මැදිරියේ ඇතිවූ ගින්නක් නිසා දුම්රිය පාලකවරයෙක් එඩිසන්ට ශ්‍රවණාබාධයක් ඇතිවන තරමටම බරපතළ වන කනේ පහරක් ද එල්ලකොට තිබෙනවා. නමුත් විදුලි බුබුළ කියන්නේ මානව ලෝකයේ විශිෂ්ට සොයා ගැනීමක් බව අවිවාදිතයි.
නව නිපැයුම් කියන්නේ සෑම විටම අපේ ජීවිතවල වැඩ කටයුතු වඩාත් පහසු කිරීමට උපයෝගී කරගත හැකි දේවල්. නාරම්මල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ එකොළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන නවෝද්‍ය විශ්වජිත් ගංගොඩවිල ශිෂ්‍යා ද එවැනි සුවිශේෂී නව නිපැයුම්කරුවකු වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා සේවයේ විශ්‍රාමිකයෙක් වන තම පියා පෙදරේරුවෙක් ලෙස  නිවස අසල පිහිටි ගොඩනැගිල්ලක වැඩ කටයුතු කරන ආකාරය පිළිබඳව වඩාත් හොඳ නිරීක්ෂණයක නියැළුනු නවෝද්‍ය එහිදී තම පියා මුහුණපාන ගැටලුකාරී තත්ත්වයක් ඍජු ලෙස ග්‍රහණය කොටගෙන තිබෙනවා.


එය ඔහු පවසන ආකාරයට ගොඩනැගිල්ලක බිත්ති බැඳීමේදී ගඩොල් අතර තිබෙන සිමෙන්ති තට්ටු අතරින්පතර සිමෙන්ති සවිමත්ව බැඳීමේදී ඉතිරිවන සිමෙන්ති කොටස් බිම වැටීම, එසේ බිම වැටෙන සිමෙන්ති නැවතත් එකතු කිරීමට වෙනම ශ්‍රමයක් යෙදවීමට සිදුවීම, බොහෝවිට එසේ ඉතිරිවී බිම වැටෙන සිමෙන්ති නැවත ප්‍රයෝජනයට ගත නොහැකි ලෙස අපතේ යෑම ආදී කරුණු හේතු කොටගෙන සිමෙන්ති අපතේ නොයන ලෙස බිත්ති බැඳීම සිදුකළ හැකි ආධාරකයක් ඔහු සැකසූ බව අප සමග සඳහන් කළේය. එම නව නිපැයුම මේ වනවිට ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම යටතේ අධීක්ෂණයට ලක්වී ඇත. එම කොමිසම මගින් වාර්ෂිකව සංවිධානය කෙරෙන සහසක් නිමැවුම් නව නිර්මාණ තරඟයේ ඉංජිනේරු අංශයේ රන් පදක්කම හිමිකරගෙන තිබේ.

එමෙන්ම සමස්ත ලංකා පාසල් අංශයේ හොඳම නිර්මාණය සඳහා වූ දසිත් සම්මානය ද හිමිකොට ගෙන තිබේ. එම ජයග්‍රහණය හා ඇගයීම්වලින් අනතුරුව ඉකුත් වසරේදී තායිවානයේ පැවති කංෂුයිං අන්තර්ජාතික නව නිපැයුම්කරුවන්ගේ තරගාවලියේදී ඉංජිනේරු අංශයේ විශිෂ්ටතම නිර්මාණකරුවා බවට පත්වීමට ද ඔහුට හැකිව තිබේ. බි්‍රතාන්‍යය, චීනය, ජපානය, පිලිපීනය, ඔස්ටේ්‍රලියාව ආදී දියුණු තාක්ෂණික ක්‍රමෝපාය සහිත රටවල නිර්මාණකරුවන් අබවා යමින් කුඩා ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කළුගමුව කොල්ලුකැලේවත්ත ගම් පියසේ පදිංචි නවෝද්‍ය විශ්වජිත් ලැබූ ජයග්‍රහණය අපේ රටට සුවිශේෂී වූවකි. එම තරගය සඳහා රටවල් තිස්පහක් නියෝජනය කරමින් තරගකරුවන් දෙසිය හතළිහක පමණ ප්‍රමාණයක් මෙම තරගයට ඉදිරිපත්ව තිබේ.


නවෝද්‍ය විසින් නිපැයූ බදාම ක්‍රමවත්ව දැමීමේ යන්ත්‍රය මුලින් සකසා ඇත්තේ ලී කැබලි කිහිපයක් ආධාර කරගනිමිනි. කුරුණෑගල මයුරපාද මධ්‍ය විද්‍යාලයේ නව නිපැයුම්කරුවන්ගේ සංගමය මැදිහත්වීම උපදේශන සැපයීම ආදිය නිසා නවෝද්‍යගේ නිර්මාණය වැඩිදියුණු කරගැනීමට ඔහුට හැකිවී තිබේ. කුඩා කළ සිටම නව නිර්මාණ නව තාක්ෂණික අත්හදා බැලීම් ආදිය පිළිබඳ වැඩි අවධානයකින් පසුවූ නවෝද්‍ය අනාගතයේදී ඉංජිනේරු තාක්ෂණය යටතේ වැඩිදුර අධ්‍යාපනය ලැබීම කෙරෙහි කැමැත්තකින් පසුවේ.

පාසලේ විදුලි හා ඉලෙක්ට්‍රොනික තාක්ෂණ ආචාර්ය එල්.ඒ.එන්. ෂානක ලියනාරච්චි මහතා නවෝද්‍ය විශ්වජිත් ශිෂ්‍යයාගේ නිර්මාණ කටයුතු සඳහා මහත් දායකත්වයක් ලබාදී ඇත. මුලින් ලී කැබලි ආධාරයෙන් නිපදවූ බදාම විධිමත්ව යෙදීමේ යන්ත්‍රය සැහැල්ලු යකඩ (බොක්ස් බාර්) උපයෝගී කොටගෙන සැකසීමට තමාට උපදෙස් ලබාදුන්නේ විද්‍යාලයේ ආචාර්ය ලියනආරච්චි මහතා බව නවෝද්‍ය විශ්වජිත් ශිෂ්‍යයා කෘතඥතා පූර්වකව සිහිපත් කර සිටියේය. කළුගමුව මහා විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ නවෝද්‍ය නාරම්මල මයුරපාද මධ්‍ය විද්‍යාලයට ප්‍රවේශ වී ඇත්තේ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත්වීමෙන් අනතුරුවයි. ඉගෙනීම් කටයුතු සඳහා දක්ෂතාවක් දැක්වීම මෙන්ම වඩා කැපවීමකින් අධ්‍යාපන කටයුතුවල නිරතවන නවෝද්‍ය පාසලේ කා අතරෙත් වැඩි අවධානයකට ලක්වූ ශිෂ්‍යයෙකි. ඒ පිළිබඳව නවෝද්‍යගේ පියා ජී.කේ.එම්.ඩී. ගංගොඩවිල මහතා මෙසේ සඳහන් කළේය.


“මගේ මේ පුතා තමයි ගෙදර වැඩිමහල් දරුවා. එයාට තව සහෝදරයෙක් ද සිටිනවා. කුඩා කල සිටම නව අත්හදා බැලීම් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වන බව ඔහුගෙන් දක්නට ලැබුණා. මේ දරුවා හුඟක් නිර්මාණශීලී දරුවෙක්. මම මගේ පුතා ගැන හුඟක් ආඩම්බර වෙනවා. පුතා මෙම බදාම පිරිමැසුම් යන්ත්‍රය හදද්දි මා සමග එක්ව මටත් පෙන්වලා නිතර අත්හදා බැලීම් කරමින් කටයුතු කළා.”


ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලැබීමට පෙර වයඹ පළාතේ ගිරිඋල්ල අධ්‍යාපන කලාපය මගින් නවෝද්‍ය විශ්වජිත්ගේ කුසලතාවන් ඇගයීමට ලක්කොට තිබෙනවා. ඉංජිනේරු තාක්ෂණය සමග අනාගතයේ නව සොයාගැනීම් සිදුකිරීමට අපේක්ෂාවෙන් සිටින නවෝද්‍යයට අපේ සුබපැතුම්.

සටහන සමන්තිකා මාධවී