සැමියා හා බිරිඳ එකම දිනයක අවසන් ගමනේ


 

‘සැරයටියෙන් අපි යනෙනතුරා සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නාදා ඒ ගමනත් අපි එකට යමු’

ඒ අභාවප්‍රාප්ත විජය කුමාරතුංගයන් හා චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කළ අපූර්ව ප්‍රේම ගීතයක්. ඒ ගීතයේ සඳහන් ආකාරයටම සැරයටියෙන් ගමන් කරන වයස දක්වාම ඉතා ආදරයෙන් හා සමගියෙන් දිවි ගෙවා එකම දිනෙක අවසන් ගමන් ගිය වයෝවෘද්ධ අඹු සැමි යුවළක් පිළිබඳව අනුවේදනීය මෙන්ම අසිරිමත් කතාවක් ඉබ්බාගමුව ප්‍රදේශයෙන් පසුගියදා අපට අසන්නට ලැබිණි. 


මෙසේ එකම දිනයක අවසන් ගමන් ගියේ ඉබ්බාගමුව, හංගමුව ගම්මානයේ පදිංචිව සිටි එස්.ඒ. සුබතේරිස් මහතා හා ඔහුගේ ආදරණීය බිරිඳ වූ එස්.ඒ. ඇසිලින් නෝනා මහත්මියයි. තම මවගේ හා පියාගේ උපන් දින නිවැරදි ලෙස ප්‍රකාශ කළ නොහැකි නමුත් පියාගේ වයස අවුරුදු එකසිය දෙකක් පමණ විය හැකි අතර මවගේ වයස අවුරුදු අනූවක් පමණ විය හැකි බව ඔවුන්ගේ දරුවෝ පවසති. 


ඒ අනුව මේ අපූරු අඹුසැමි යුවළ අවුරුදු හැත්තෑ පහක්, අසූවක් පමණ තරම් දීර්ඝ කාලයක් අඹුසැමියන් ලෙස එකම වහලක් යට වාසය කර ඇති අතර අවසන් ගමන් යන දින දක්වා කිසිදු දිනයක ඔවුන් දෙදෙනා අඬදබර වනු තමන් දැක නැති බව ඔවුන්ගේ දරුවෝ ප්‍රකාශ කරති. එපමණක් නොව මෙම දෙදෙනා හංගමුවේ ප්‍රදේශවාසීන් විසින් හඳුන්වනු ලැබ ඇත්තේ කිසි දිනෙක ආරවුල් ඇතිකර නොගත් ඉතා ආදරයෙන් දිවි ගෙවන සාමකාමි යුවළ ලෙසය. 


කලක් අසනීපව සිටි සුබතේරිස් පසුගිය විසි තුන්වන දින අභාවප්‍රාප්ත වී ඇති අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමට විසිපස් වැනි දින යොදා ගෙන තිබිණි. එදින උදෑසන මෑණියන් ද මියගිය බව දරුවෝ ප්‍රකාශ කරති. ඒ අනුව පසුගිය විසිහය වැනි දින එකම වළක දෙදෙනාගේම මළ සිරුරු මිහිදන් කර ඇති අතර එය දෙදෙනා අතර තිබූ අසීමිත ආදරය නිසා සිදු වූ ආශ්චර්යවත් සිදුවීමක් බව දරුවෝ මෙන්ම ප්‍රදේශවාසීහු ද ප්‍රකාශ කරති. 


බොහෝ උගත් අඹු සැමියන් විවාහ දිවිය තුළ විවිධ ප්‍රශ්න මුල්කර ගෙන ගැටුම් ඇතිකර ගනිමින් දික්කසාදය දක්වා ගමන් කරන නමුත් දෙක වසර දක්වා පමණ පාසල් අධ්‍යාපනය ලැබ ඇති සුබතේරිස් මහතා හා ඇසිලින් නෝනා මහත්මිය අවුරුදු අසූවක පමණ දීර්ඝ විවාහ දිවිය තුළ දෙදෙනා අතර කිසිම දිනෙක අවම වශයෙන් සැර පරුෂ වචනයක් හෝ හුවමාරු වී නොමැති බව දරුවෝ ප්‍රකාශ කරති. ඇත්ත වශයෙන්ම එය හුදු අතිශයෝක්තියක් නොවන බව අප විසින් වටහා ගනු ලැබුවේ ප්‍රදේශවාසීන් මෙන්ම ප්‍රදේශයේ විහාරාධිපති හිමියන් ද ඒ බව තහවුරු කළ බැවිනි. 


මෙම ආදරණීය යුවළ පුතුන් හතර දෙනෙකු හා දියණියන් තිදෙනකු ලෙස දරුවන් හත් දෙනෙකු මෙලොවට බිහි කර ඇති අතර එම දීර්ඝ විවාහ දිවිය තුළ ඔවුන් දෙදෙනා දින දහයක් හෝ පහළොවක් පමණ ඉතා සීමිත දින ගණනක් හැරුණු විට කිසිම දිනෙක වෙන්ව වාසය නොකළ බව ඔවුන්ගේ දියණියක වන එස්.ඒ. කුසුමාවතී මහත්මිය ප්‍රකාශ කරන්නීය. 


අප හා කතා කළ එස්. ඒ. කුසුමාවතී මහත්මිය මියගිය පියා හා මව පිළිබඳ එම සුන්දර මතකය තවදුරටත් මෙසේ ආවර්ජනය කළාය. 


‘තාත්තත් අම්මත් කිසිම දවසක අඩු තරමින් බහින්බස් වෙනවවත් මම දැකලා නෑ. ඒ දෙන්න දෙන්නට ඉතාම ආදරයෙන් ගරුත්වයෙන් තමයි සැලකුවේ. තාත්ත හැම වෙලාවෙම දරුවන්ගෙ කටයුතු ගෙදර ඉවුම් පිහුම් ගැන පවා හොයලා බලලා අම්මට උදව් කළා. තාත්තාගේ පුරුද්දක් තිබුණා එයා කොහේ හරි ගිහින් කඬේකින් මොනව හරි කෑවොත් ඒව අපටයි අම්මටයි  අනිවාර්යෙන්ම ගෙනත් දෙනවා. ඒ වගේම දුර පළාත්වලට විවාහ වෙලා ගිහිල්ල ඉන්න අපේ අක්කා කෙනෙකුගේ ගෙදරකට ගියත්  තාත්ත මහ රෑ හරි ගෙදර එනවා. අම්මත් එහෙමයි. දෙන්නට දෙන්න කවදාවත් තනි කරන්නෙ නෑ. තාත්ත කළේ තැනින් තැනට ගිහිල්ලා එළවළු වෙළඳාම් කිරීම. ඉතිං තාත්තා, එනන රෑ වුණොත් අම්මා අපට රෑ කන්න දීලා කීයට හරි තාත්ත ආවහම එයාට බත් එක බෙදලා දීලා තමයි අම්ම කන්නෙ. තාත්තත් එහෙමයි. එයා කන්න ගන්නෙ අම්මට කෑම තියෙනවද කියල බලලයි. මොකද ඒ කාලෙ අම්මලා, තාත්තටයි දරුවන්ට කන්න දීලා සමහර වෙලාවට අම්මලා නොකා හරි දන්කුඬේ කාල හරි නිදා ගන්නවා. අපේ තාත්ත කවදාවත් අම්මට එහෙම කරන්න දුන්නෙ නෑ. අම්මට කෑම නොතිබ්බොත් එයාගෙ පිඟානෙන් කොටසක් අම්මට අයින් කරල තමයි එයා කන්නෙ.


තාත්තා දැන් අවුරුදු දෙකකට විතර ඉස්සර අසනීප වෙලා ඔත්පළ වුණා. ඒත් අම්ම හොඳට හිටියා. තාත්තා නිතරම කියනව අම්මට එයා ළඟින්ම ඉන්න කියල. ඉතිං අම්මත් නිතරම තාත්ත ළගින්මයි හිටියෙ. දැනට මාස කීපයකට විතර ඉස්සර අම්මත් අසනීප වුණා. අපි හිතුවෙ තාත්ත අසනීප වෙලා දුක් විඳිනව කියන දුකට තමයි අම්ම අසනීප වෙන්න ඇත්තෙ කියලා.  ඇත්තටම තාත්ත නැතිවුණාට අම්මට මිය යන්න තරම් අසනීප තත්ත්වයක් තිබුණේ නෑ. අපිටත් හරිම පුදුමයි අම්ම මිය ගිය එක ගැන. කොහොම වුණත් අපි හිතන්නෙ දෙන්නම එකට අවසන් ගමන් යනව කියල. සමහර විට ඒ දෙන්න සපථ කරලා තියෙන්න ඇති කියලයි. ඇත්තටම ඒ නිසා දෙන්නම එක දවසෙ අවසන් ගමන් ගියාට එක අතකින් අපි වුණත් දුක් වෙන්නෙ නෑ. මොකද ඒ දෙන්න පතාගෙන ආපු විදිය කියලයි අපි හිතන්නෙ”.


ඉතිං මේ මුළුමහත් සමාජයටම විශේෂයෙන් වත්මන් තරුණ පරපුරට ආදරය ප්‍රේමය පිළිබඳ විශ්වීය ආදර්ශයක් සැපයූ ඒ උදාර පෙම්වතුන් දෙපළට නිවන් සුව ප්‍රාර්ථනා කළ අපි එම නිවසින් සමු ගතිමු. 

සටහන හා ඡායාරූප - 
යාපහුව සුනිල් කහගල්ල