සැඩ සුළඟ කළ හානිය


 

දිවයිනේ පළාත් හතක දිස්ත්‍රික්ක 16 කට පසුගිය 29 වැනිදා බලපෑ මහ වැසි සහ සැඩසුළං හේතුවෙන් ආපදාවට ලක්වූවන්ට කඩිනමින් වන්දි ලබා දීමට කටයුතු කරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.   


දැනටමත් මූලික වන්දි මුදල වූ රුපියල් දසදහසක (10,000) මුදල ලබා දී ඇති බවත් විනාශ වූ නිවාස හා ව්‍යාපාරික ස්ථානවලට ලබාදෙන වන්දි මුදල පිළිබඳ මේ දිනවල තක්සේරු වාර්තා සකස් කරමින් පවතින බව එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.   


මෙම ආපදාව හේතුවෙන් සිදුවූ අනතුරුවලින් පුද්ගලයෝ 14 දෙනෙකු මියගොස් 77 දෙනෙකු තුවාල ලැබූ බව ඔහු සඳහන් කළේය. මියගිය එක් අයකු වෙනුවෙන් රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ලබාදෙන අතර ආපදා වලට ලක්වූ සෑම නිවසකට හා ව්‍යාපාරික ස්ථානයකට රුපියල් දසදහසක මුදලක් ලබා දීමට කටයුතු කළ බවද ඔහු ප්‍රකාශ කළේය.   


 

මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ කොඩිප්පිලි මහතා:-   


දැනට අප වෙත ලැබී ඇති දත්ත වාර්තා වලට අනුව අලාභය මුදල්වලින් ගණනය කර අවසන් නැහැ. මේ දිනවල එම ගණනය කටයුතු සිදුකෙරෙමින් පවතිනවා. මේ වන විට මරණ 14 ක් වාර්තා වුණා. 1,27,000 පීඩාවට පත් වුණා. අතුරුදන්වීම් දෙකක් වාර්තා වුණා. පූර්ණ නිවාස හානි 841 ක් වාර්තා වී ඇති අතර අර්ධ වශයෙන් නිවාස 32,880 ක් වාර්තා වී තිබෙනවා. යටිතල පහසුකම් විනාශ වීම් 33 ක්ද ව්‍යාපාරික ස්ථාන 420 ක් ආරක්ෂිත ස්ථාන 54 ක පුද්ගලයන් 4544 ක් සිටිනවා.   


අපි බොහෝ තැන්වල හානි වූවන්ට රුපියල් 10,000 මුදල ගෙවා අවසන් කරලා තිබෙනවා. අපි රක්ෂණ භාර අරමුදල මගින් රක්ෂණය කරලා තිබෙනවා. ලක්ෂ 25 ක් දක්වා උපරිමයකට යන්න පුළුවන්කම තිබෙනවා. හානියේ තක්සේරු වටිනාකම අනුව තමයි මුදල් හිමි වෙන්නේ.  


මේ දිනවල අපි තක්සේරු කිරීම් සිදුකෙරෙමින් තමයි සිටින්නේ. එම තක්සේරු නිම කළ පසු ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා වන්දි ගෙවීම් සිදුකරනවා. සාමාන්‍ය වශයෙන් ගතහොත් මේ සුළි කුණාටුව හේතුවෙන් ගස් 15,000 කට වැඩි සංඛ්‍යාවක් කඩා වැටිලා තිබෙනවා. විදුලිබලය බලපිටිය ප්‍රදේශයටත්, කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකටත් ලබා දීමට තිබෙනවා. සෙසු ප්‍රදේශවල විදුලි බලය යථා තත්ත්වයට පත්කිරීමට විදුලිබල මණ්ඩලය ක්‍රියා කළා. ධීවර බෝට්ටු 4 කට හානි සිදුවූ බවට වාර්තා වුණා. ගස් අතු කඩාවැටීම නිසා තුවාලකරුවන් 77 දෙනෙකු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට වාර්තා වී තිබෙනවා.  


 ධීවර අමාත්‍යාංශය හරහාත් එම බෝට්ටුවලට වන්දි ලබා දීමක් සිදුකරනවා. නමුත් අපේ රක්ෂණ භාර අරමුදල හරහා වන්දි ලබා දීමේ කටයුතු අනිවාර්යෙන්ම තක්සේරු වාර්තාවෙන් පසු සිදුකරනවා. අපි වසරකට රුපියල් මිලියන 500 ක මුදලක් ලබා දීලා මුලු ලංකාවම රක්ෂණය කරලා තිබෙන්නේ. ජීවිත, නිවාස, ව්‍යාපාරික ගොඩනැගිලි ස්ථාන ඇතුළු සියලු දේම. අපි තක්සේරු වාර්තාවෙන් පසු වන්දි මුදල ග්‍රාමසේවක සහතික කිරීමෙන් පසු අපි ඒ වන්දි මුදල් ලබා දීමට ක්‍රියා කරනවා. මූලික වන්දිය හැටියට අපි ලබා දුන්නේ උදාහරණයක් ගත්තොත්, නිවසක උළු කැටයකට හෝ හානියක් සිදුවී තිබුණහොත් රුපියල් 10,000 වන්දි මුදල ලබා දුන්නා. දැන් බොහෝ තැන්වල තක්සේරු කර අවසන්. වන්දි නොලැබුණ අය වෙතොත් ග්‍රාමනිලධාරිගෙන් අවශ්‍ය පෝරම පුරවා දැනුම් දුන්න හොත් අදාළ වන්දි මුදල ලබා දෙනවා. මූල්‍යමය වශයෙන් විශාල හානි සිදුවී තිබෙනවා. නමුත් තවම තක්සේරු කර නැහැ. මංමාවත්, විදුලිය වගේ දේවල් සඳහා තවම මූල්‍යමය වශයෙන් තක්සේරු කරලා නැහැ. මේ සඳහා තව ටික කාලයක් යයි. නමුත් අපි කඩිනමින් එම තක්සේරු වාර්තා ලබා ගන්න කටයුතු කරනවා.  


 ගාල්ල, මාතර, හම්බන්තොට, කොළඹ, කළුතර, ගම්පහ, මොනරාගල, බදුල්ල, පුත්තලම, කුරුණැගල, මහනුවර, නුවරඑළිය, මාතලේ, රත්නපුර, කෑගල්ල සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවලට මෙම ආපදා තත්ත්වය බලපා තිබේ. මහවැසි සමග ගිංගඟ සහ නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල ජනතාව පීඩාවට පත්විය. නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන්ද ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන්ද කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන්ද පිටාර ගැලීම නිසා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය.  


 මෙම ගංවතුර හා සුළිසුළං තත්ත්ව​ෙයන් වැඩිම බලපෑමක් එල්ල වූයේ බදුල්ල හා කළුතර දිස්ත්‍රික්ක වලටයි. ආපදා තත්ත්වය හේතුවෙන් වැඩිම බලපෑම බස්නාහිර පළාතට සිදුවූ අතර එම පළාතට අයත් පවුල් 20,443කට අයත් සාමාජිකයන් 61,110 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.  


 කළුතර දිස්ත්‍රික්කයේ දොඩම්ගොඩ, බුලත්සිංහල, ඉංගිරිය, මතුගම, කළුතර, බණ්ඩාරගම, බේරුවල, මිල්ලනිය ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14කට අයත් පවුල් 14,029 ක සාමාජිකයන් 55,545 දෙනෙක් පීඩාවට පත්වූහ. එම දිස්ත්‍රික්කයේ නිවාස 423කට පූර්ණ හානි සිදුවී තවත් නිවාස 13,588කට අර්ධ හානි සිදුවී තිබේ.  


කෙසේ වෙතත් මෙම තත්ත්වය මේ වනවිට පහව ගොස් ඇති අතර විපතට පත්වූවන්ට වන්දි ලබා දීම සඳහා කඩිනමින් ක්‍රියාකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියොජ්‍ය අධ්‍යක්ෂක (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවැසීය.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

සටහන -
නිශාන්ත කුමාර බණ්ඩාර