සාමයට අත වනන ලෝක බලවත්තු


‘කලකදි වහ කලකදි රහ වෙනවාලු’ යනුවෙන් කියමනක් තිබේ. එය සනාථ කරමින් දශක ගණනක් පුරා විරසකව සිටි රටවල් දෙකක් වූ උතුරු කොරියාව හා දකුණු කොරියාව අතර යළි සමගි සන්ධානයක් ඇති වී තිබේ. දෙරට අතර සමගිය තහවුරු කරමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් පසුගිය සිකුරාදා තම දේශ සීමාවේදී එකිනෙකා හමු වී සාකච්ඡා පැවැත්වූහ. ඔවුන් දෙපළ හමුවූයේ දේශ සීමාවේ පිහිටි පන්මුන්ජොම් සාම ගම්මානයේදීය.   


උතුරු කොරියානු නායකයකු දකුණු කොරියාවට පැමිණියේ වසර 65කට පසුය. 1950 සිට 1953 දක්වා පැවැති කොරියානු යුද්ධයෙන් පසු කොරියාව උතුරු හා දකුණු වශයෙන් බෙදී වෙන්වූවද දෙරටේම වාසය කළේ එකම ජාතියකි. ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු මහජන ජනරජය ලෙසින් හැඳින්වෙන උතුරු කොරියාව නැගෙනහිර ආසියාවට අයත් රාජ්‍යයකි. එය චීනය, රුසියාව හා දකුණු කොරියාවට මායිම් වී තිබේ. 


1910 දී කොරියාව ජපානය විසින් යටත් කරගනු ලැබීය. 1945 දෙවැනි ලෝක යුද්ධයෙන් ජපානය පරාජය වීමත් සමඟ කොරියාව දෙකඩ වූයේය. එහි උතුරු කොටස රුසියාව යටතටද, දකුණු කොටස ඇමෙරිකාව යටතටද පත් විය. මෙම දෙරට යළි එක් කිරීමට දරන ලද ප්‍රයත්නය අසාර්ථක වූ අතර 1948 උතුරු කොරියාව සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදී කොරියානු මහජන ජනරජය වශයෙන්ද, දකුණු කොරියාව කොරියානු ජනරජය වශයෙන් නව රාජ්‍ය දෙකක් බවට පත් විය. උතුරු කොරියාවේ පාලනය සෝවියට් දේශයේ සහය ඇතිව කිම් ඉල් සුං අත්පත් කර ගත්තේය. 


1950දී උතුරු කොරියාව, දකුණු කොරියාව ආක්‍රමණය කළ අතර දෙරට අතර වූ කොරියානු යුද්ධය 1953 දක්වා පැවතිණි. එය අවසන් කිරීම සඳහා කොරියානු සටන් විරාම ගිවිසුමක් ඉදිරිපත් කෙරුණද සාම ගිවිසුමක් අත්සන් කෙරුණේ නැත. උතුරු කොරියාව තමන් හැඳින්වූයේ ස්වයං විශ්වාසයක් සහිත සමාජවාදී රාජ්‍යයක් ලෙසිනි. එවක එහි මැතිවරණ පවා පැවැත්විණි. බටහිර මාධ්‍යය උතුරු කොරියාව හැඳින්වූයේ ස්ටාලින්වාදී පාලන ක්‍රමයක් සහිත රාජ්‍යයක් ලෙසිනි. ක්‍රමයෙන් රාජ්‍යයේ සමස්ත බලය එහි නායක කිම් ඉල් සුං සහ ඔහුගේ පවුල වටා ඒකරාශී විය. කොරියානු කම්කරු පක්ෂයේ නායකත්වයද කිම් ඉල් සුංගේ පවුලේ සාමාජිකයන් විසින් හොබවනු ලැබීය. කෘෂි හා කාර්මික නිෂ්පාදන කටයුතු සියල්ල පැවතියේ රජය සතුවය. සියලු ව්‍යාපාර රජය සතු වූ අතර සමූහ ගොවිපළ ක්‍රමයක් පැවතියේය. සෞඛ්‍ය, අධ්‍යාපනය, නිවාස සහ ආහාර නිෂ්පාදනය සඳහා රජයේ අනුග්‍රහය හිමි විය. 


උතුරු කොරියාව න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට පිවිසියේ මේ අතරය. එය අනාගාමික රාජ්‍යයක් බවට පත් වූ අතර රාජ්‍ය ආගමක් නොවීය. ජනතාව ආගමික වශයෙන් අධෛර්යයට පත් කෙරිණි. 1991දී උතුරු හා දකුණු කොරියානු රාජ්‍ය දෙකම එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජිකත්වය ලබාගත්හ. 


උතුරු කොරියාවේ පළමු නායකයා කිම් ඉල් සුංය. වසර 46ක් කොරියාව පාලනය කළ කිම් ඉල් සුං ගෙන් පසු එහි පාලනය හිමි වූයේ ඔහුගේ වැඩිමහලු පුත්‍රයා වූ කිම් ජොං ඉල් ටය. ඔහුගේ අභාවයෙන් පසු රාජ්‍ය බලය හිමි වූයේ ඔහුගේ තුන් වැනි පුත්‍රයා වූ කිම් ජොන් උන් ටය. කිම් ජොන් උන්, කිම් පෙළපතේ තුන් වැනි නායකයාය. ඔහු රාජ්‍යත්වයට පත් වූයේ තම පියා වූ කිම් ජොන් ඉල් ගේ අභාවයෙන් පසුය. තම මුත්තණුවන් හා පියා මෙන්ම ඔහුගේ ප්‍රතිපත්තිය වූයේද හමුදා ප්‍රවර්ධනය කිරීමය. එමෙන්ම තමන් සතු න්‍යෂ්ටික බලය ලොවට පෙන්වීමද ඔහුගේ අරමුණ විය. 


උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි අත්හදාබැලීම් හේතුවෙන් ඔවුන් ලෝකයෙන්ම කොන් විය. උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවිණි. න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සහ අත්හදා බැලීම් නොනවත්වන්නේ නම් උතුරු කොරියාවට එරෙහිව යුද ප්‍රකාශ කරන බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. එහෙත් උතුරු කොරියානු නායකයා කිසිවකු මායිම් කළේ නැත. ඔහු විවිධ න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදු කළේය. ඇමෙරිකාවට පහර දිය හැකි න්‍යෂ්ටික අවි තමන් සතු යැයි ඔහු ප්‍රකාශ කළේය. ඔවුහු නවතම ජලකර බෝම්බයක්ද අත්හදා බැලූහ. 


ඇමෙරිකාව උතුරු කොරියාව ආසන්න මුහුදට න්‍යෂ්ටික සබ්මැරිනයක් යැවීමට පියවර ගත්තේ උතුරු කොරියාව බියගැන්වීමේ අරමුණිනි. මෙයට ප්‍රතිචාර දක්වමින් උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, තමන් සමඟ ගැටුම් ඇති කර නොගන්නා ලෙසටත් එසේ වුවහොත් ඇමෙරිකාවට දරුණු ප්‍රහාරයක් එල්ල කරන බවටත් අනතුරු ඇඟවීය. ඉන් නොනැවතුණු කිම් ජොන් උන් ජපානයේ ඇමෙරිකානු කඳවුරු පිහිටා ඇති ප්‍රදේශවලට බැලස්ටික් මිසයිල හතරක් යැවීමට ක්‍රියා කළේය. ඉන් මාස කිහිපයකට ඉහත ඇමෙරිකාව සහ දකුණු කොරියාව ඒකාබද්ධ යුද අභ්‍යාසයක් පැවැත් වූ අතර උතුරු කොරියාව එයට තම විරෝධය පළකිරීම සඳහා එවැන්නක් කළ බවට ප්‍රකාශ විය. 


ඉන් නොනැවතුණු උතුරු කොරියානු නායකයා තම අගනුවර වන පියොන්ග්යැන්ග් හි පැවැත්වුණු උතුරු කොරියානු මහජන හමුදාවේ 85 වැනි සංවත්සරයේදී බර අවි සහ සජීවී උණ්ඩ සහිතව යුද අභ්‍යාසයක් පැවැත්වීමටද කටයුතු කළේය. එය ලොව මෙතෙක් පැවැති විශාලතම සජීවී උණ්ඩ සහිත යුද සරඹ සංදර්ශනය බවත්, ඇතැම් විට ඇමෙරිකාවට තම බලය පෙන්වීමට ගත් උත්සාහයක් විය හැකි බවත් දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කළහ. ඔහු දකුණු කොරියාවටද තර්ජනය කළේය. දකුණු කොරියානු මුහුදට පතිත වෙන සේ මිසයිල එල්ල කළේය. 


උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධයෙන් බොහෝ රාජ්‍ය වෙතින් විරෝධය පැන නැඟෙන්නට විය. ඔවුන්ගේ සාහසික ක්‍රියාවනට එරෙහිව තවදුරටත් සම්බාධක පැනවිය යුතු යැයි බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප්‍රකාශ කළාය. 


පසුගිය පෙබරවාරියේ සීත ඔලිම්පික් ක්‍රීඩා උළෙල දකුණු කොරියාවේ පැවැත්වුණේ මෙවැනි වාතාවරණයක් පවතින අතරය. දකුණු කොරියානු ජනාධිපතිවරයා උතුරු කොරියාවටද එම ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට ආරාධනා කළේය. උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ සොහොයුරියගේ නායකත්වයෙන් සමන්විත වූ ක්‍රීඩකයන් පිරිසක් දකුණු කොරියානු ඔලිම්පික් උළෙලට සහභාගී වූ අතර උතුරු සහ දකුණු කොරියානුවෝ ක්‍රීඩා උළෙල නියෝජනය කරන ලද්දේ එකම රටක සාමාජිකයන් ලෙසිනි. දෙරට අතර සුහදතාව ක්‍රමයෙන් වර්ධනය වෙන්නට විය. උතුරු කොරියානු නායකයාගේ සොහොයුරිය දකුණු කොරියාවට පැමිණීම දෙරට අතර වූ විරසකය හමාර කිරීමට බොහෝ සේ ඉවහල් වූ බව විචාරකයෝ පවසති. 


උතුරු කොරියාවට සාමයේ හස්තය දිගු කළ දකුණු කොරියානු ජනාධිපතිවරයාගේ නම්‍යශීලී ප්‍රතිපත්තිය උතුරු කොරියානු නායකයාගේ පැසසුමට ලක්විය. ඒ අනුව නායකයන් දෙපළ එකිනෙකා හමු වී සාකච්ඡා පැවැත්වීමට තීන්දු කළහ. පසුගිය සිකුරාදා නායකයන් දෙපළ හමු වී සමුළුවක් පැවැත්වීමට පියවර ගත්හ. එම සමුළුවේදී කොරියානු කලාපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කිරීමට උතුරු කොරියානු නායකයා ප්‍රතිඥා දුන්නේය. තමන් න්‍යෂ්ටික හා මිසයිල අත්හදාබැලීම් නවතා දමන බවත්, න්‍යෂ්ටික වැඩබිම් වසා දමන බවටත් උතුරු කොරියානු නායකයා සඳහන් කළ අතර ඒවා නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවට ආරාධනා කරන බවද ඔහු පැවසීය. 


මේ අතර උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් මැයි මාසය තුළ පැවැත්වීමට නියමිතය. උතුරු සහ දකුණු කොරියානු නායකයන් අතර හමුව සහ න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ තීරණය සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් දකුණු කොරියානු ජනාධිපතිවරයාට තම ප්‍රසාදය පළකොට තිබේ. 


උතුරු කොරියානු පාලනය විචේනය කරමින්, පොප් ගී ප්‍රචාරය කරමින් උතුරු කොරියානුවන්ට හිසරදයක් වන අයුරින් උතුරු හා දකුණු කොරියානු දේශ සීමාවේ සවිකර තිබූ සිය ගණනක් වන ශබ්ද විකාශන යන්ත්‍ර සියල්ල ඉවත් කිරීමට දකුණු කොරියාව පියවර ගෙන ඇති අතර, උතුරු කොරියාව තම වේලාව විනාඩි තිහකින් ඉදිරියට ගැනීමට පියවර ගත්තේය. ඒ අනුව මින් ඉදිරියට උතුරු හා දකුණු කොරියානු දෙරටේම වේලාව සම වනු ඇත. 2015 දී දකුණු කොරියාවට විරෝධය පෑමක් ලෙස උතුරු කොරියාව තම වේලාව පැය භාගයක් පසුපසට ගෙන තිබිණි. 


දෙරට අතර සාමය ස්ථාපනය වීමෙන් තුන් වැනි ලෝක යුද්ධයකට මඟ පෑදිය හැකිව තිබූ වාතාවරණය මඟ හැරී ගිය බැව් දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී තිබේ. ලෝක බලවතුන් එකිනෙකාට වාග් ප්‍රහාර එල්ල කළ ද යුද්ධයකට යෑමට බියය. මන්ද එවැන්නක් ඇතිවුවහොත් ලෝකයම විනාශ කළ හැකි අවි ආයුධ එම රටවල් සතු බැවිනි. ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් උතුරු කොරියාව බිය ගැන්වීමට උත්සාහ කළ ද කිසි විටෙක ප්‍රහාරයක් එල්ල කිරීමට බිය වූයේ එබැවිනි. කෙසේ වුවද උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදාබැලීම් නවතා දැමීමට දකුණු කොරියානු ජනාධිපතිවරයා දිගු කළ සාමයේ හස්තයට හැකි වී තිබේ. 


මේ ​ෙවන විට ලෝකයට හිසරදයක්ව ඇත්තේ ඉරාන න්‍යෂ්ටික අවි සම්බන්ධයෙනි. 2015දී එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිත්‍ය සාමාජිකයන් වන ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ජර්මනිය හා යුරෝපා සංගමය ඉරානය සමඟ න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කළහ. එහෙත් ඉරානය එම ගිවිසුම උල්ලංඝනය කරන බවට ඇමෙරිකාව චෝදනා කළේය. පසුගිය සඳුදා නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණි ප්‍රංශ ජනාධිපතිවරයා ඉරානය සමඟ නව න්‍යෂ්ටික ගිවිසුමක් අත්සන් කළ යුතු බවට තීරණය කර තිබේ. 


ඉන්දු චීන අර්බුද නිමාවට 


මේ අතර ආසියානු බලවතුන් වන චීනය හා ඉන්දියාව තම දේශ සීමා අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට එකඟ වී තිබේ. හිමාලයානු දේශ සීමාවේ ඇති වූ අර්බුදයක් හේතුවෙන් දෙරට අතර හොඳ හිත පලුදු විය. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ චීන සංචාරයේදී චීන ජනාධිපති ෂී ජින් පින් සමඟ පැවැති සාකච්ඡාවලින් පසු දෙරට අතර සියලු ප්‍රශ්න සාමකාමීව විසඳා ගැනීමේ තීරණයට එළැඹ තිබේ. 


‘එක් තීරයක් එක් මාවතක්’ යන්න චීන ජනාධිපති ෂී ජින් පින්ගේ සංකල්පයකි. එය ආසියාව, යුරෝපය සහ මැද පෙරදිග සම්බන්ධ කරන පැරණි සේද මාවතට යළි පණ දීමකි. මෙම ව්‍යාපෘතිය යටතේ චීනය විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීමට නියමිතව ඇති අතර ඉන්දියාව සමඟ කිසිදු ව්‍යාපෘතියකට අත්සන් තබා නොමැත. සමුද්‍ර සේද මාවත යළි ශක්තිමත් කිරීම මඟින් ඉන්දියානු ආර්ථිකයේ වර්ධනයක් ඇති විය හැකි වුව ද එමඟින් ඉන්දීය සාගරයේ ඉන්දියාව සතු සමුද්‍රීය බල ප්‍රක්ෂේපයට චීනයෙන් තර්ජනයක් එල්ල කෙරෙනු ඇතැයි ඉන්දියාව සැක කරයි. 


ඉන්දියාව තම සීමා මායිම් අසුරන වාතාවරණයක් තුළ දෙරට මායිම් අතර විශාල මාර්ග පද්ධතියක් සංවර්ධනය කිරීමට චීනය සමත් විය. ඒ අනුව දේශසීමා ආරක්ෂාව හා රැකවරණය සම්බන්ධයෙන් දැනට ඉන්දියාවට ඇති හැකියාවට වඩා වැඩි වාසියක් චීනයට අනිවාර්යයෙන්ම අත් වනු ඇත. මේ පිළිබඳ සවිඥානික වී ඇති චීනය, දේශ සීමා අසල මාර්ග සංවර්ධනය සහ යටිතල පහසුකම් දියුණු කිරීම සම්බන්ධ කටයුතුවලට ඉන්දියාවට බාධා ඇති කරයි. මෙවන් ගැටලු නිරාකරණය සඳහා ඇති කරගත් දේශ සීමා ආරක්ෂණ ගිවිසුම අත්සන් කිරීමෙන් පසු වුව ද මෙම තත්ත්වය මඟ හැරී නොමැත. මෙම ගිවිසුම සම්බන්ධයෙන් චීන අර්ථ නිරූපණය කුමක් වුවද ඉන්දියාවද තම සීමා මායිම් සංවර්ධන කටයුතු අත්හැර දමා නොමැත. මෙය ඉන්දියාවට හා දකුණු ආසියාවට සම්බන්ධවීමට චීනය දරන උත්සාහය පාලනය කිරීම සඳහා ඉන්දියාව ගෙන යන ක්‍රියාමාර්ගයක් විය හැකිය. නායකයන් දෙපළ මෙකී දේශ සීමා අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට ගත් තීරණය අනුව දෙරට අතර සාමය වර්ධනය වනු ඇත. අවි අමෝරා ගන්නවාට වඩා සාකච්ඡා මාර්ගයෙන් සියලු ප්‍රශ්නවලට විසඳුම් සෙවීම ලෝක සාමයට වඩාත් හිතකර විය හැකිය. 

 

 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා