සසුනඹර එකලු කළ කොටුගොඩ මහ නාහිමි


උතුම් ධර්මාසනය නිහඬ විය   

 

 

මහා පණ්ඩිත්වයෙන් හෙබි, ධර්මධර, විනයධර මහ තෙරනමක වූ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය කොටුගොඩ ධම්මාවාස මහා නායක මාහිමියෝ පසුගියදා අපවත් වූහ.   


කොටුගොඩ ධම්මාවාස හාමුදුරුවෝ නොවැඩි ගමක් අපේ රටේ තිබිය නොහැකි තරම්ය. එපමණටම ගම් නියම්ගම් පුරා වැඩමවමින් මුළු ජීවිත කාලයෙන් වැඩිම කාලයක් උන්වහන්සේ ධර්ම දේශනාවන් සිදු කළහ. ඒ මධුර වූද රමණීය උච්ඡාරණයෙන් ද යුතු ධර්ම දේශනාවට ඇලුම් නොකළෙකු නැති තරම්ය. එපමණටම ඒ ධර්ම දේශනා විලාසය විශිෂ්ටය. ගමේ උපාසක මහත්තයාගේ සිට රජගෙදර උදවිය දක්වා සියල්ලෝ කොටුගොඩ ධම්මාවාස මහානායක හිමියන්ගේ දේශනාවලට ඇලුම් කළහ.   
පුංචි පැල්පතේ සිට ධර්ම දේශනාවෙන් ජන ප්‍රසාදය ලද හිමිනමක් මෑත කාලයේ මහා නායක පදවියට පත්වී නම් ඒ කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියෝම විය යුතුය. මහානායක පදවි ලදත් උන්වහන්සේ ධර්ම දේශනා කළහ. පසුගිය අවුරුද්දේ ධර්ම දේශනාවක් අවසානයේ ධම්මාවාස හිමියෝ අපූරු කතාවක් කීහ.  
“මීට දශක කීපයකට එහා මා කළ ධර්ම දේශනාවත් අද ධර්ම දේශනාවත් ගත්තම අනිත්‍ය කුමක්දැයි වටහා ගන්නට පිළිවන්.”  


ඒ තුළින් උන්වහන්සේ අදහස් කළ යමක් තිබේ. එනම් දේශිත ධර්මය පිළිබඳ දුබලකමක් නොවේ. එදා දේශනා කළ ගැඹුරු, වාගීශ්වර චතුර හඬ දැන් අබල දුබල වී ඇති අන්දමයි. වයෝවෘද්ධ වීමත් සමග ඒ දුබල බව ලෝකයේ අනිත්‍යය මේ යැයි දකින්නට උන්වහන්සේ ප්‍රකාශ කළහ.  
ලෝකයේ දුක්ඛ ස්වභාවය, අනිත්‍ය, අනාත්ම ස්වභාවය හැමවිටම තේරුම් ගෙන, ලෝකයාට තේරෙන භාෂාවෙන් ප්‍රකාශ කළ මහ තෙරනමක් හැටියට උන්වහන්සේ හැඳිනිය යුතුය. තමන්ගේ වයස්ගත බව තුළින් හඬ ශක්තිය දුර්වල වීම, ගත වාරු අඩුවීම, මේ ආදී ස්වභාවයන් තුළ තමන් වටා සිටින සැමට ලබාදුන්නේ පණිවුඩයකි. එය බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය ස්වභාවයම යැයි අපට සිතේ.   
80 වයස් පිරෙද්දී බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් අමතා,   
‘මා දැන් දිරාගිය කරත්තයක් බඳු යැයි’ වදාළහ. එය වචන කීපයක් වුව අවබෝධ ඇති අයට මහා ධර්ම දේශනයකි.   
කොටුගොඩ ධම්මාවාස මහා නාහිමියෝ ද මේ දුක්ඛ ස්වභාවයම හැම විටම දහම් ඇසූවන්ට මෙනෙහි කරවා දුන්හ.  


අප දන්නා පරිදි කොටුගොඩ ධම්මාවාස මහා නායක හිමියන්ට පසුගිය වසර කීපයක් තනිව ඇවිදීම දුෂ්කර විය. උන්වහන්සේට ඒ සඳහා භික්ෂූන් වහන්සේ නමක් හෝ ගිහි දායකයෙක් වාරු සැපයූහ.   
කාගේ හෝ අත් වාරුවෙන් උන්වහන්සේ ඕනෑම උත්සවයකට, ධර්ම දේශනාවකට වැඩම කළහ. කිසිවිටෙකත් හාමුදුරුවෝ තමන් අසනීප යැයි භාරගත් වැඩ පසෙක ලූ අවස්ථා නැති තරම්ය. එපමණට උන්වහන්සේ ධෛර්යමත්ය. උත්සාහවන්තය. වාරුවෙන් පැමිණ අසුන්ගත වුවත් ඒ අසුනේ මහා දේශකයාණෝ උන්වහන්සේ වූහ. මුළු සභාවට ඒ හඬින් පිරී ගියහ. ඒ මහා යතිවර සඳ සසුනඹරින් බැස ගියහ. ඒ පාඩුව සුළුපටු නැත. ශ්‍රී ලංකා අමරපුර මහා නිකායට පමණක් නොව සමස්ත ලාංකීය බෞද්ධ ප්‍රජාවටම මුදුන් මල්කඩක් බඳු ඒ පින්කෙත නිවීමේ පාඩුව පිරවිය නොහැකි තරම්ය.   


කොටුගොඩ ධම්මාවාස මාහිමියෝ අපවත් වනවිට 88 වැනි වියෙහි පසු වූහ. උන්වහන්සේ උපන්නේ 1933 ජනවාරි 23 වැනිදා මිනුවන්ගොඩ කොටුගොඩ ග්‍රාම​යේ දීය. උන්වහන්සේගේ පියා වැවිලිකරුවෙක් වූ ඇඳවිතාරණගේ හරමානිස් විය. මව සෙලෙස්තිනා රුද්‍රිගු මාතාවය. කුඩා කාලයේ කොටුගොඩ ශ්‍රී රාහුල මහා විද්‍යාලය නමින් අද ප්‍රකට එදා කොටුගොඩ බෞද්ධ මිශ්‍ර පාසලින් මේ කුල කුමරුවා මූලික අධ්‍යාපනය ලද්දේය.   
ළමා කලදීම පැවිද්දට සිත් අලවා සිටි මේ කුමරුවා ලංකාවට නිදහස ලැබුණු අවුරුද්දේ දී 1948 අගෝස්තු 17දා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරයේ දී පැවිදි දිවියට පත්විය. උන්වහන්සේගේ පැවිදි ආචාර්යයන් වූයේ උණවටුනේ ධර්මපාල නාහිමියෝය.   


ඉන් අනතුරුව 1949 වසරේ සිට රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනින් ද්විතීය අධ්‍යාපනය ලබා 1952 වර්ෂයේ කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනට ඇතුළත් වී එම පිරිවෙනින් පවත්වන විනයාචාර්ය සද්ධර්මාචාර්ය විභාගය ඉහළින් සමත් වන්නට කොටුගොඩ ධම්මාවාස හිමියන්ට හැකියාව ලැබිණ.  
එකල සිංහල, පාලි, සංස්කෘත, ත්‍රිපිටක ධර්මය පිළිබඳ කීර්තිමත්, වියත් පඬි රුවනක් වූ පලන්නෝරුවේ විමලධම්ම හිමියන්ගෙන් එකී විෂයන් පිළිබඳ උන්වහන්සේ පාණ්ඩිත්වය ලබා ගත්හ. ඊට අමතරව ධර්ම විනය හා ශබ්ද ශාස්ත්‍රාදිය උගත්තේ යටිපහුවේ මේධානන්ද, වලානේ සට්ඨිසර, මාහෝ සුමේධ නාහිමිවරුන් වෙතිනි.   


1954 අවුරුද්දේ දී කොටුගොඩ ධම්මාවාස හිමියෝ කළුගඟේ උදකුක්ඛේප සීමා මාලකයේ දී උපසම්පදාව ලැබූහ. එතැනින් පසු මහානාහිමියෝ තමන් උගත් ධර්ම ශාස්ත්‍රය ලෝකාර්ථය පිණිස යෙදැවීමට අදිටන් කර ගත්හ. එවක් පටන් මේ දක්වාම අවුරුදු 66ක් පමණ කොටුගොඩ හාමුදුරුවෝ දෙස් විදෙස් පුරා ධර්ම ප්‍රචාරයෙහි වැඩම කළහ.  


1955 වර්ෂය වන විට ලංකාව සුදු අධිරාජ්‍යයෙන් නිදහස ලබා වසර කීපයක් පමණක් ගතවී තිබිණ. දිගු කාලයක් තිස්සේ ඉංග්‍රීසින් හුරු කළ බොහෝ දේ මිනිස්සු ග්‍රහණය කරගෙන උන්හ. මේ නිසා කලක් යනතුරු අප මහා නාහිමියෝ ජාතිමාමකත්වය බෞද්ධාගමික මමත්වය. භාෂා ශාස්ත්‍ර දියුණුව වෙනුවෙන් මහා කැපවීමක් කළහ. ඒ සඳහා ලංකාවේ ගම් නියම් ගම් පුරා ධර්ම ප්‍රචාරයට වැඩම කළහ. ඒ අති උදාර කාර්යභාරය අපවත් වන තුරුම කරන්නට තරම් උන්වහන්සේ ශක්තිවන්ත වූහ.   
උන්වහන්සේ ඉංග්‍රීසි භාෂාව ද හොඳින් උගෙන ලෝකයේ බොහෝ රටවලට ධර්ම ප්‍රචාරයේ වැඩම කළහ. නේපාලය උන්වහන්සේ නිතර වැඩම කළ රටකි. නේපාලයේ අමෘතානන්ද මහා නායක හිමියන් ද නේපාල ජාතික අශ්වඝෝෂ නාහිමිද, නේපාලයේ මෛත්‍රී හිමියන් ද හා එක්ව නේපාලයේ යෙදුණු ධර්ම දූත මෙහෙවර අදත් එරට විශිෂ්ටත්වයෙන් සලකනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස කොටුගොඩ ධම්මාවාස හිමියන්ට නේපාල රජය මගින් කත්මණ්ඩු නුවර, ස්වර්ණපුර චාරුමතී රාජමහා විහාරය පූජා කළහ. එයම උන්වහන්සේගේ මහා පාණ්ඩිත්වයට, මහා ධර්ම ප්‍රචාරයට වටිනා සන්ධිස්ථානයක් වන්නේය.   
කොටුගොට ධම්මාවාස හාමුදුරුවෝ ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය, සිංගප්පූරුව, ඇමරිකාව, මියන්මාරය (බුරුමය), සයිබිරියාව, ඉන්දුනීසියාව, රුසියාව, මොංගෝලියාව ආදී රටවල් ගණනාවක ධර්ම ප්‍රචාරණ කටයුතුවල යෙදුණහ.  


1967 මැයි 14 දා තම ගුරු හිමියන් වූ උණවටුනේ ධර්මපාල නාහිමියන් අපවත්වූ පසු ගල්කිස්ස ධර්මපාලාරාම විහාරයේ විහාරාධිපතිත්වයට පත්වූහ. ​කොටුගොඩ හාමුදුරුවෝ අපවත් වනතුරුම වැඩ සිටියේ ගල්කිස්ස ධර්මපාලාරාම විහාරයේය. එම විහාරය සැදැහැති සාධු ජනයාගේ සිත නිවන මනෝරම්‍ය පින්බිමක් ලෙස අංගසම්පූර්ණ කරන්නට උන්වහන්සේ මඟ එළි කළහ.   


දෙහිවල බෞද්ධ සංගමය පිහිටුවා එයින් පන්සිල් සුරකින දැහැමි සමාජයක් ඇති කරනු වස් උන්වහන්සේ සුවිශාල මෙහෙවරක් කළහ. සෑම වෙසක් පෝයටම කොටුගොඩ මහා නාහිමියෝ පොතක් ප්‍රකාශයට පත් කිරීම පුරුද්දක් කරගෙන තිබිණ. එය දෙහිවල බෞද්ධෝදය සංගමය හරහා සිදු කෙරිණ.  
කොටුගොඩ හාමුදුරුවෝ හැම විටම අටුවා කතා, අට්ඨකතා, ජාතක ආදී ධර්ම ග්‍රන්ථත් හුදී ජනයා නොඇසූ බණ කතා දේශනාවේත් අති දක්ෂ වූහ. ත්‍රිපිටක දැනුමින් බහුශ්‍රැත වූහ. බණ ශාලාවේ දේශනයකට අසුන් ගත්විට උන්වහන්සේ දේශනා කරන්නේ උපාසක උපාසිකාවන් පෙර නොඇසූ බණ කතාවකි.   
උන්වහන්සේ ලියූ පොතක් දෙකක් පෙරළා බලන්න. ඒ පොත්වල ඇත්තේම පුදුම තරම් ශ්‍රද්ධාව උපදින සාරවත් කතා පෙළකි. ඒ අතර කීපයක් ලෙස කතපුඤ්ඤ මාතාවක්, පුණ්‍ය මහිමය, පිරිණිවන් මංචකය, කෝසල රාජ සිහින, කේතුමතී රාජධානිය, මෛත්‍රී බුදු පියාණෝ, දෙලොව දියුණුවට මඟ, නිවනට මඟ, තථාගත ලක්ෂණ දැක්විය හැකිය.   


කොටුගොඩ මහ නාහිමියෝ 1992 වර්ෂයේ සිට දිගු කලක් අමරපුර සංඝ සභාවේ මහා ලේඛකාධිකාරීන් වහන්සේ වූහ. ඉන්පසු උන්වහන්සේ ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරයට පත්වූහ. එම පදවිය නිකායේ අනුනායක පදවියට සමානය.   
මේ අතර කාලයේ උන්වහන්සේට 2007 වසරේ දී බුරුම රාජ්‍යයෙන් අග්ගමහා පණ්ඩිත උපාධිය පිරිනැමිණ.  
මහා නාහිමියෝ සද්ධර්ම කීර්ති ශ්‍රී, ත්‍රිපිටක විශාරද, ප්‍රවචන කීර්ති ශ්‍රී ශාසන භෝභන, ශ්‍රී සුමංගල විද්‍යාවතංස, මහෝපාද්‍යාය ගෞරව නාම ලැබූහ. ඒ සියල්ලක් තුළම ගෞරව නාම නිස උන්වහන්සේ බැබළුනා නොව, ගෞරව නාම උන්වහන්සේ නිසා බැබළුණු බව කිව යුතුමය.   


කොටුගොඩ ධම්මාවාස මහ නාහිමියන් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක පදවියට පත් වූයේ 2017 වර්ෂයේය. එම පදවිය නිකායේ සියලු පාර්ශ්වවල ප්‍රධානම මහානායක පදවියයි. එම මහා නායක පදවිය ද කොටුගොට ධම්මාවාස හාමුදුරුවෝ නිසා බැබළුණු බව කීමට දෙවරක් සිතිය යුතු නැත.   
උන්වහන්සේ මහා නායක පදවි ලැබුව ද මහෝපාද්‍යාය, අග්ගමහා පණ්ඩිත උපාධි ලැබුව ද කිසි කලෙකත් කාටවත් හමුවී දෙයක් කතා කිරීම දුෂ්කර නොවින. පන්සලේ වැඩ සිටිනවා නම් අනිවාර්යෙන්ම පන්සලේ පොදු දුරකතන අංකයට ගත්විට ඒ අන්තයෙන් බොහෝම නිවුණු ඉවසිලිමත් හඬකින්, ‘මේ.... කතා කළේ’ යැයි අසනු ඇසේ. ඒ සාමාන්‍ය ස්වභාවයයි. එපමණටම නිරහංකාර, මහා ශ්‍රේෂ්ඨ සංඝ සෝබන ලක්ෂණ උන්වහන්සේ තුළ පිරී තිබිණි.   


ඒ යතිවර මඟ මෑත කාලීන සියලු නිකාය භික්ෂූන්ට මහා ආදර්ශයක් බව කිව යුතුය. ඕනෑම කෙනෙකුට ධර්මපාලාරාම විහාරයට ගියා නම් මහා නායක මාහිමියෝ හමුවීමට අපහසු නොවිණ. ඒ අයගෙන් දුක සැපය විමසීම ද උන්වහන්සේට හුරුවක් විය.   


මහා අල්පේච්ඡ ගුණයක්, පොඩි මිනිහාගේ ජන හදවත දැකිය හැකි ගුණයක් උන්වහන්සේ සතු වූහ. සාමාන්‍යයෙන් දාන වේලාවට කොයි ගෙයින් ගෙනාවත් ඒ දානය උතුම්කොට සලකා දන් ශාලාවේ සිට වැළඳීම දායකකාරකාදීන්ගේ සියලු ආගමික යුතුකම් ඉටු කිරීම, කොයිතරම් උසස්ව පැවතියාදැයි, ගල්කිස්ස අවට ඕනෑම දායකයෙක් සාක්ෂි දරනු ඇත. 

 
උන්වහන්සේ කලක් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කුලපතින් වහන්සේ වූහ. ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා මහෝපාද්‍යායන් වහන්සේ වූහ. මෙවැනි මහා පදවි රාශියක් දරන්නට ​කොටුගොඩ හාමුදුරුවෝ භාග්‍යවන්ත වූහ.  


ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක, අග්ගමහා පණ්ඩිත, මහෝපාධ්‍යාය, කොටුගොට ධම්මාවාස මහ නාහිමියෝ වැනි සංඝ සෝභන ගුණෙන් යුතු, මෙකල භික්ෂු පරපුරටම ආදර්ශයක් වූ මහා පාණ්ඩිත්වයේ ලකුණක් වූ සංඝ පීතෘන් අහිමිවීම ලංකාවාසී නොව ලෝකවාසී බෞද්ධයාටම මහා පාඩුවක් බව සඳහන් කළ යුතුව ඇත.   

 

සටහන - අසංක ආටිගල