සර්ප දෂ්ටනයකින් මියගිය ගම්බද තරුණියකගේ කතාවක්


තරුඑළිය බොඳවී ගිය මහ අහස සිසාරා වැසි අඳුර පැතිර ගොස් තිබිණි. ටික වෙලාවකට කලින් කඩා වැටුණු මහ වැස්ස තුරල්වී වැසි පොද වැටෙමින් තිබිණි.

   
වෙලාව රාත්‍රී අටට පමණ වූයෙන් තරුෂි නේෂිකා සෙව්වන්දි සහ ඇගේ නැගණියත් මවත් නිද‌ා ගන්නට සූදානම් වූහ.

   
විදුලිය නැති ඒ කටුමැටි ගැසූ නිවසේ තිබුණු එකම ඇ‍ඳේ හරස් පොලු දක්නට නොතිබිණි. ඇඳ විට්ටම මත දමා තිබුණ මෙට්ටය ඉස්සරහ කාමරයේ බිම මත එලා ගත් ඔවුන් කුප්පි ලාම්පුව නිවා නින්දට ගියේ ඉදිරි පැය ගැන හෝ හෙට දවසේ කුමකින් කුමක් වේදැයි නොදැනය.   


එහෙත් දෛවෝපගත සිද්ධියක් ළඟ ළඟම සැලසුම් වෙමින් තිබිණි. අඩහෝරාවක් පමණ නින්දේ පසුවූ තරුෂි නේෂිකා සෙව්වන්දිගේ අතක කඩියෙකු කෑවාට සමාන දැඩි වේදනාවක් දැනී ඇය විදුලිපන්දම දල්වා ඒ සතා ගැන සොයා බැලූ නමුත් කිසිදු සතෙකු දක්නට නොවූයෙන් ‘‘අම්මේ මගේ අත කඩියෙක් කෑවා’’ යැයි කී ඇය නැවත නිදාගත්තාය.   
නිවසේ නිතරම විෂ කඩි සිටින නිසා ‘‘කඩියෙක් කන්න ඇති’’ යැයි ඇගේ මවද එය අනුමත කළාය.   


රාත්‍රී 11.00 ට පමණ තරුෂිගේ මව ශාමා ආනන්ද (32) ගේ දකුණු කලවයේ සතෙකු කෑ බැවින් ඇය වහා නැගිට ඒ ගැන සොයා බැලුවාය.   
එවිට අමුතු වර්ගයේ දිගැති සර්පයෙක් මෙට්ටය මතින් ඇදී යනු දුටු ඔවුන් කුස්සියේ තිබුණ දර ලීයක් ගෙන සර්පයාට පහරක් ගසා මෙල්ල කරගෙන ඇත. තම මවට සර්පයෙකු දෂ්ට කර ඇති බැවින් ඇය රෝහලට ගෙන යාමට පියවර ගත් තරුෂි මීටර් තුන්සීයක් පමණ දුරින් පිහිටි තම මිතුරිය අවිශ්කා නෙතුනිගේ නිවස වෙත දිවගොස් ඇත.   
අවිශ්කාගේ පියා නිමල් ඇතුළු එම නිවසේ සියලු දෙනා මෙම සිද්ධිය අසා තරුෂිගේ නිවසට පැමිණ සර්පයා බෝතලයකට දමා මව සහ දියණිය රෝහලට ගෙන යාමට කටයුතු කළහ.   


එහිදී අසල්වැසියෙකු වන තරුෂිගේ සීයා සුනිල් ඇතුලු පිරිසකගේ ද සහය ඇතිව බඩ ඉරිඟුයාය මැදින් වැටී ඇති අඩි පාර ඔස්සේ ඔවුන් ඇළ ඉවුර වෙත පයින්ම කැඳවාගෙන ආහ. වාහනයක් සොයා ගැනීමට අපහසු වූ බැවින් මව සහ දියණිය යතුරුපැදි දෙකකින් තොට්ටම ප්‍රාදේශීය රෝහලට ගෙන ගියහ.   
එම රෝහලේදී මූලික ප්‍රතිකාර දීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර ලබාදීමට ඔවුන් අම්පාර මහ රෝහල වෙත යැවීමට වෛද්‍යවරු කටයුතු කළහ.   
ගිලන් රිය අම්පාර බලා ගමන් කරද්දී සර්ප විෂ ශරීරගතව වැඩි වෙලාවක් ගතවීමෙන් තරුෂි රෝගී වූ අතර ‘‘අම්මේ මගේ ඇස් දෙකම පේන්නේ නැතැ’’යි ඇය අවසන් වරට පවසා ඇත.   


අම්පාර මහ රෝහලට ඇය ගෙනා සැණින් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබාදුන් නමුත් වෛද්‍යවරුන් ගත් උත්සාහය නිෂ්ඵල වූයේ කාගෙත් සිත් කම්පා කරමිණි. තරුෂිගේ නිසලවූ දේහය මෘතශරීරාගාරයේ තැන්පත් කළ අතර ඇයගේ මවගේ ජීවිතය ගලවා ගැනීමට එහි වෛද්‍යවරු සමත්වූහ. 

 
මෙම මරණය සම්බන්ධව හදිසි මරණ පරීක්ෂණය අම්පාර නාගරික හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු ඊ.එම්. ජයවර්ධන මහතා ඉදිරියේ පැවැත්විණි.   


අධිකරණ වෛද්‍ය නිලධාරී දුල්සි අප්පුහාමි මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා මෙය සර්පවිෂ ශරීරගත වීමෙන් වූ මරණයක් බවට නිගමනය කළේය.   
එම හදිසි මරණ පරීක්ෂණයේදී ලබාගත් සාක්ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරිගේ වාර්තාව සලකා බැලූ හදිසි මරණ පරීක්ෂකවරයා මෙය ’’නාගමාපිලෙකු’’ දෂ්ට කිරීමෙන් විෂ ශරීරගත වී සිදුවූ හදිසි මරණයක් බවට තීරණය කළේය.   


මියගිය තරුෂිගේ අවසන් කටයුතු කිරීම සඳහා ඇගේ දේහය සහිත දෙණ ගෙනැවිත් තබන්නට තරම් එම නිවස සුදුසු තත්ත්වයක නොවීය.   
කටුමැටියෙන් සැකසූ බිත්ති සහිත එම නිවසට යාමට පාරක් විදුලිය හෝ ජල පහසුකම් මෙන්ම වැසිකිළියක් පවා නොමැති බැවින් එම පවුලේ පැවති දරිද්‍රතාවය කාගෙත් අවධානයට යොමුව තිබිණි.   


මෑතක සිට සමෘද්ධි සහනාධාර ලැබී ඇති මෙම පවුල ගැන රජයේ වගකිවයුතු නිලධාරීන් නොදැන සිටියා නොවන නමුත් එම නිධාරීන් විසින් රාජකාරියට අමතරව තම සමාජ යුතුකම ඉටුකර නැති බව ප්‍රදේශවාසීන්ගේ කතාබහට ලක්ව තිබිණි.   


මේ සම්බන්ධව දමන ප්‍රාදේශීය ලේකම් උදාර නානායක්කාර මහතා පැවසුවේ මෙම පවුල ගැන ඒ මහතාගේ අවධානය යොමුකර ඇති බවය.   
ඔවුන් පදිංචි ඉඩමේ නීත්‍යානුකූලභාවය තහවුරු කරදීම සඳහා ගෘහමූලිකයා දැනුම්වත් කර ඇති බවද නිවසක් තනා දීම සඳහා දානපති පරිත්‍යාගශීලීන් වෙත්නම් ඔවුන්ගේ සහයද ලබා ගන්නා අතර තම මූලිකත්වය මත කිසියම් සහන ‍වැඩපිළිවෙලක් ඇතිකිරීමට බලාපොරොත්තු ​වෙන බවද ඒ මහතා පැවසීය.   
තරුෂිගේ අවසන් කටයුතු සිදුකළේ ඇගේ නිවසේ සිට කිලෝමීටර් එක හමාරක් පමණ දුරින් පිහිටි ලේ ඥාතියෙකුගේ නිවසේදීය.   
එහිදී හමුවූ ඇයගේ පියා උදිත අනුරාධ අප සමඟ මෙසේ පැවසීය.   


‘‘මහත්තයෝ අපේ ගෙදරට යන්න පාරක් ඉල්ලුවා. ඒ ගැන ලියුම් තුන හතරක්ම දුන්නා. ඊයේ රජයේ නිලධාරියෙක් අපේ ගේ බලන්න ආවා. එක පාරටම උදව් කරන්න අපහසු බැවින් පසුව උදව් කරනවා කීවා. හරිම අමාරුවෙන් තමයි අපි ජීවත් වෙන්නේ. ගෙදරට ලයිට් නෑ, දරුවන් දෙන්නා කුප්පි ලාම්පු එළියෙන් තමයි පාඩම් කළේ. පිට ගෙදරකින් අපි වයරයක් දාගෙන ලයිට් ගත්තා. බලධාරීන් ඇවිත් කීවා ඒගෙදරත් ලයිට් කපනවා කියලා.   
අරක දෙනවා මේක දෙනවා කියලා නිලධාරීන් කීවත් මොකවත් ලැබෙන්නේ නෑ. මම පන්නල්ගම වැවේ මිරිදිය ධීවරයකු ලෙස දවස් කුලියට තමයි වැඩ කරන්නේ. රුපියල් තුන්සීයක් ගානේ හම්බ වෙනවා. ඒකෙන් තමයි දරු පවුල නඩත්තු වෙන්නේ. අපිට කුඹුරු වතුපිටි ඉඩම් නැහැ. තාත්තා සල්ලිවලට ගත්ත අක්කරයක ඉඩමේ තමයි පදිංචිවෙලා ඉන්නේ. ඒකටත් නීත්‍යානුකූල බලපත්‍ර හෝ ඔප්පු නැහැ. අඩුතරමින් ගෙදරට විදුලියවත් තිබුණා නම් මගේ දරුවාට මෙහෙම වෙන්නේ නැහැ.’’   
විදුහල්පතිනී ඩී. නන්දනී පෙරේරා මහත්මිය මෙසේ කීවාය.   

 

දරිද්‍රතාවය ගැන කියන මුළුතැන්ගෙය   

ඔවුන් නිදාගෙන සිටි මෙට්ටය සහ ස්ථානය   

 


‘‘මේ දරුවා නැටුම්වලට වගේම ක්‍රීඩා කටයුතුවලට දක්ෂයි. ඒ වගේම ගායනා කිරීමේ සහජ හැකියාව තිබුණා. ලබන වසරේදී 2020 සාමාන්‍ය පෙළ විභාගය ගන්න හිටියේ. මෑත කාලයේ පන්තියේදී ලොකු උනන්දුවකින් ඇය කටයුතු කළා. ගුරුවරුන්ගේ ප්‍රසාදය දිනාගත්තා. මෙම ළමයා දිහා බැලූ බැල්මට දරිද්‍රතාවයෙන් පෙලෙන පවුලක ළමයෙක් කියලා හිතන්න අමාරුයි.   


ඇය ඒ තරමටම සිත් ගන්නා සුළුයි. මධ්‍යම පන්තික පවුලක ළමයෙක් වගේ පෙණුනා. අපිටත් මෙවැනි ළමයින්ගේ ගෙවල්වලට ගිහින් සැබෑ තත්ත්වය සොයා බලන්න අමාරුයි.   


ඒ සඳහා මෙම පවුල ගැන වගකියයුතු අය සොයා බලන්න ඉඩ තිබුණා’’.   
ඩබ්.ඒ. අවිශ්කා නෙතුනි:-   


‘‘තරුෂි මගේ හොඳම මිතුරියක්. අපි එකම පන්තියේ ඉගෙන ගත්තා. එයාව සර්පයෙක් කාලා තිබුණත් එදා රෑ එයා අපේ ගෙදරට ඇවිත් මගේ තාත්තාට කීවේ සීයේ අපේ අම්මා රෝහලට අරන් යමු කියලා. පසුව කීවා මගේ අතේ දෙපළක්ම සර්පයා කාලා ඉදිමිලා තියෙනවා කියලා.   
එයාගේ ජීවිතයට වඩා අම්මාගේ ජීවිතය බේරා ගන්නයි මුල් තැන දුන්නේ.’’   


මෙම සිද්ධියෙන් පන්නල්ගම ගොවි ජනපදයේ ජනතාව දැඩි ලෙස කම්පාවට පත්ව සිටියහ.   
ඔවුන්ගේ දුක් සුසුම් මැද හා පිටස්තරව පැමිණි විශාල පිරිසක් සහභාගිත්වයෙන් ‘‘එක සී’’ බක්මීටියාව පා‍රේ ඇති පොදු සුසාන භූමියේදී ඇය මිහිදන් කෙරිණි.   

 

 

 

සංචාරක සටහන සහ සේයාරූ - 
හිඟුරානේ නවරත්න සමරතුංග