සමාජ මාධ්‍ය ජාලය කැළඹූ රුවන්වැලි සෑයේ ඩිජිටල් ආලෝක රටාව


වෙසක් පොහොයදා රුවන්වැලි සෑ රදුන් අභියස ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින් පැවති ආලෝක පූජාවකදී, රුවන්වැලි මහා සෑයට බෞද්ධ ආගමට හානියක්, කැළලක් සිදු වූයේ යැයි කියමින්, විවිධ ප්‍රචාරයන් පසුගිය දින කීපය පුරාවට සමාජ ජාල වෙබ් අඩවි තුළ ව්‍යාප්තවීම හේතුවෙන් ඒ පිළිබඳව සමාජයේ දැඩි කතාබහට ලක් විය. 


විවිධ ආකාරයේ ඡායාරූප හා විවිධ ප්‍රකාශ පළවීම හේතුවෙන් මෙරට හා පිටරට වෙසෙන බෞද්ධ හා අන්‍යාගමික ජනතාව වැල නොකැඩී එම ඡායාරූපයන්ට අදාළව තම අදහස් හුවමාරු කරගෙන තිබුණි. එම ආලෝක පූජාවට අදාළව පළ කර තිබූ ඡායාරූප සම්බන්ධයෙන් එක් පිරිසක් තම කැමැත්ත ප්‍රකාශ කරද්දී, තවත් පිරිසක් එයට විරෝධය පළ කරමින් තම මතය ප්‍රකාශ කර තිබුණි. 


මෑත කාලය තුළ රටේ ගැටුම්කාරී තත්ත්වයක් ඇතිවීමට, ජාති ආගම් ප්‍රශ්න දක්වා එය දුරදිග යාමට මෙවැනි ප්‍රචාර ඉවහල් විය. එසේ දිගින් දිගටම ප්‍රචාරයන් ඒ ආකාරයෙන් පැතිරී යද්දී බෞද්ධ ආගමට, රුවන්වැලි සෑයට ආදරය කරන සියලු දෙනාම අප්‍රේල් 30 දා සවස 6.00 ට රුවන්වැලි සෑ රදුන් අභියස එක්රොක් වන ලෙසට ද වාර්තා පළවිය. 


බුද්ධි අංශ නිලධාරීන්හට මේ පිළිබඳව සැලවීමත් සමග ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුවහොත් එය වැළැක්වීමට තැන තැන නොපෙනෙන ආකාරයෙන් එදින පොලිස් නිලධාරීන් ද යොදවා තිබුණි. 


රට පුරා විවිධ සංවිධාන නියෝජනය කරමින් එහි සාමාජිකයන් අනුරාධපුර නගරයේ හා අවට තරුණ පිරිස් ව්‍යාපාරිකයන් පිරිසක්, එදින රුවන්වැලි සෑ රදුන් අබියසට රැස්ව සිටියහ. 


මෙහිදී තමන් රැස්වූ කාරණාව පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, දියසෙන් බළ එකමුතුවේ සභාපති චමිඳු හසන්ත ලංකාදිනායක මහතා මෙසේ පැවසීය. 


අද අපි විශේෂයෙන් අනුරාධපුරයට පැමිණියේ සමාජ මාධ්‍ය හරහා පසුගිය දින කීපය පුරාවටම ඡායාරූප සංසරණය වුණා රුවන්වැලි සෑ රදුන් මූලික කරගෙන. විශේෂයෙන් ආලෝක පූජාවක් සම්බන්ධව ලේසර් කිරණ තාක්ෂණය උපයෝගී කර ගනිමින් විවිධ මල් වැල්, ලියවැල් රටා සහිතව එය පවත්වා තිබුණා. චෛත්‍ය රාජයාණන්ට කර තිබූ විකෘතිතාව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වූ නිසා බෞද්ධ මෙන්ම අන්‍යාගමික ජනතාවගේ සිත්වල දැඩි කනගාටුවක් කනස්සල්ලක් එය සම්බන්ධයෙන් මතුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අපට දුරකථන ඇමතුම් පවා විවිධ පිරිස් ලබා දුන්නා. 


මෙම ආලෝක රටා නිසා චෛත්‍යයේ තිබෙන සුපිරිසිදු භාවය, නිසංසල භාවය නැතිවීම නිසා මෙරට මෙන්ම පිටරටවල වෙසෙන බෞද්ධයන් පවා තම මතය ප්‍රකාශ කර තිබුණා. මේ පිළිබඳව විමසීමට හා දැනුම්වත් කර සංදේශයක් භාර දීමට අපි පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැකීමට බලාපොරොත්තු වුණා. අනුරාධපුර ප්‍රදේශය ගත්තම විශාල බෞද්ධ අනන්‍යතාවයක්, සම්බුද්ධ ධර්මය උදෙසා ඇප කැප වී සිටින තරුණ පිරිසක් අද අප සමග එක්වෙලා සිටිනවා. 

යම් ගැටලුවක් මතු වූ අවස්ථාවක, ප්‍රචණ්ඩකාරී ස්වරූපයට යන සමාජයක, අපි අද ආවේ නායක හාමුදුරුවන් සමඟ සුහදව සාකච්ඡා කරලා උන්වහන්සේට මේ සම්බන්ධයෙන් අපගේ මතය ප්‍රකාශ කර සිටීමටයි. ආමිස පූජාවක් ඇතුළේ නිරාමිස සුවයක් ලැබෙන්න පුළුවන් අතිශය වැදගත් මුදුන්මල්කඩක් තමයි මේ රුවන්වැලි මහා සෑ රදුන්. 


මේ සම්බන්ධයෙන් අප රුවන්වැලි සෑ චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමිපාණන්ගෙන් කළ විමසීමකදී උන්වහන්සේ මෙසේ කීහ. 


පෞද්ගලික මාධ්‍ය ආයතනයක් මගින් වෙසක් පොහෝ දින විවිධ පින්කම් රැසක් රුවන්වැලිසෑය අභියස දී සිදුකෙරුණා. ඒ අතර තිබූ එක් පින්කමක් තමයි ආලෝක පූජාව. මෙහිදී බෞද්ධ කොඩියේ ෂඩ් වර්ණ රටා චෛත්‍යයේ කොතේ සිට පහළටත් පහළ සිට ඉහළටත් අවස්ථා දෙකක දී ප්‍රදර්ශනය කළා. එය ප්‍රදර්ශනය කළේ විනාඩි පහළොවක පමණ කාලයකට පමණයි. මෙම වර්ණ රටාවන් දිස් වීමට ප්‍රථමයෙන් 1, 2, 3, 4, 5, 6 යනුවෙන් කොටස්වලට වෙන්කර තිබුණා. මෙම ෂඩ් වර්ණ රටාවලට අදාළ පරිගණකය සකසා ගැනීමේදී තමයි එම එවැනි ආකාරයෙන් කොටස්වලට බෙදා තිබුණේ. 


ඒ ගැන පරිගණකයෙන් වැඩ කරන බොහෝ දෙනෙක් දන්නවා. ඒ ආකාරයෙන් ඉලක්කම් සහිතව කොටුවලට බෙදා තිබුණේ මිනිත්තු කිහිපයක් පමණයි. ප්‍රදර්ශනය කළ ෂඩ් වර්ණ රටාවන් යම්කිසි දුර ප්‍රමාණයක සිට තමයි සෙවණැල්ලක් මෙන් චෛත්‍යයේ දිස් වීමට සලස්වා තිබුණේ. 


සරලව කියනවානම් එය ප්‍රොජෙක්ටරයක් ආධාරයෙන් තිරයක රූප මැවෙනවා වාගේ වැඩක්. එහෙත් මාධ්‍ය ආයතන එකකට, එකක් තරගකාරීවීම නිසාත්, මෙම ආලෝක පූජාවට මාධ්‍ය ආයතනයක් සම්බන්ධ වූ නිසාත්, වැඩිපුර මේ පිළිබඳ සමාජය තුළ කතාබහක් ඇතිව තිබෙනවා. විවිධාකාරයේ මඩ ප්‍රචාර එල්ල කළා. පසුගිය වසරවල දී චෛත්‍යය උඩට නැගලා විදුලි බුබුළු සහිත වැල් සවි කරලා ආලෝක පූජාවන් පැවැත්වූවා. එම විදුලි බුබුළු නිසා චෛත්‍යය මතුපිට රත් වීමට ද ඉඩ තිබුණා. ඒ නිසා එයද පසුගිය කාලයේ මා නතර කළා. ඒ අවස්ථාවලදී වචනයක්වත් කතා නොකළ බොහෝ දෙනෙක් වර්තමානයේදී කතා කරනවා. 

 

රුවන්වැලි සෑ චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් හට සංදේශයක් භාර දීමට පැමිණි පිරිස  

 

සමාජ ජාල වෙබ් අඩවිවල ප්‍රදර්ශනය කළ ඡායාරූප නිර්මාණය කළ ඒවා බවට ඉතාමත්ම පැහැදිලිව පෙනෙනවා. වෙසක් පොහොය දිනය රාත්‍රිය කියන්නේ ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් පැමිණෙන දිනයක්. නොගැළපෙන යමක් එහි සිදු වූවානම් ඒ පිළිබඳව මුලින්ම මාහට පැමිණිල්ලක් ඉදිරිපත් කරන්නේ පැමිණ සිටි බැතිමතුන්. මේ වනතෙක් එවැනි කිසිම පැමිණිල්ලක් ලැබී නැහැ. සමාජ මාධ්‍ය තුළින් බොරු ප්‍රචාර පැතිරවීම සුදුසු යැයි කියා මා දකින්නේ නෑ. 


පසුගිය කාලයේ නුවර ඇතිවූ සිද්ධීන්වලට මුල් වුණෙත් මේ නිල නොවන මාධ්‍ය මගින් පතුරන අසත්‍ය ප්‍රචාර, මාහට බොහෝ දෙනෙක් පසුව දන්වා සිටියා ෆේස්බුක් එකේ රුවන්වැලි සෑ සම්බන්ධයෙන් විවිධ ප්‍රචාර පළ කරලා තිබෙනවා යැයි කියා සිටියා. මේ චෛත්‍ය රාජයාණන් රැකගැනීමට මා මෙන්ම ජනතාවද කැපවී සිටිනවා. අපි මොනවද කරන්නේ කියා ජනතාව අවධානයෙන් සිටිනවා. කප්රුක් පූජාවක් පැවැත් වුවත්, කීප දෙනෙකුට පමණයි චෛත්‍යයේ පේසා වළලුවලට පමණක් නගින්න දෙන්නේ, 


පළ වූ ප්‍රචාරයන් සම්බන්ධයෙන් තොරතුරු විමසා, සංදේශයක් භාර දීමට තරුණ පිරිසක් මා හමුවීමට පැමිණියා ඒ අයගෙනුත් මා විමසුවේ මල් වැල්, ලියවැල් ඔය කියන ඔය පෙන්වන ආකාරයේ විවිධ රටා සහිත ඡායාරූප ඔබතුමන්ලා පෞද්ගලිකව දුටුවා ද යන්නයි, ඒ අයත් රැගෙනවිත් තිබුණේ අන්තර්ජාලයේ පළ වූ ඡායාරූප, දැකපු කිසිම කෙනෙක් එතැන සිටියේ නැහැ යැයි පැවසූහ. 

 

 

 

 

අනුරාධපුර - බී.ජී. චතුරංග