සතුන් වත්තට එතෙරින් පැමිණි අලුත් අමුත්තෝ


 

මේ අසිරිමත් නත්තල් සමයේ දී ජෙරුසලම් දේශයෙන් සහ නෙදර්ලන්තයෙන් අපූරු අමුත්තෝ රැසක් ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.   


දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ලැබුණු මෙම දුර්ලභ ගනයේ සුදු මොනර ජෝඩු දෙක සහ අළු කැන්ගරු ජෝඩුව මේ දිනවල මහජනතාව සඳහා ප්‍රදර්ශනය කෙරේ.   


මෙම කැන්ගරු ජෝඩුව ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයේ ටිච්ස් ෆැමිලි (Tisch Family) සත්වෝද්‍යානයෙන් මෙරටට පරිත්‍යාග කර ඇති අතර සුදු මොනර ජෝඩු දෙක නෙදර්ලන්තයෙන් සත්ව ආනයනකරුවෙකු හරහා මෙරටට ගෙනැවිත් තිබේ.   


'Macropus Giganteus' යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අළු කැන්ගරුවන් මෙරට දී දැකගත හැකිවන්නේ දෙහිවල සත්ව උද්‍යානයේ දී පමණකි. නෙදර්ලන්තයෙන් මෙරටට ලැබුණු සුදු මොනරු සිව්දෙනා 'Pavo Cristatus' යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලැබේ.   


මේ පිළිබඳ වැඩි විස්තර කතා කිරීමට දෙහිවල සත්ව උද්‍යානයේ අධ්‍යාපන නිලධාරි නිහාල් සෙනරත් මහතා සම්බන්ධ කරගත්තෙමු.   


මේ අලුත්ම සතුන් අතරින් අළු කැන්ගරු ගැන කතා කරමු?   


අළු කැන්ගරු ජෝඩුව ගෙනාවේ ඊශ්‍රායලයෙන්. (Macropus giganteus) යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ක්ෂීරපායි ගනයට අයත් මොවුන් ඉතාම විරල සත්ව විශේෂයක්. මොවුන්ගේ පිරිමි සතුන් කිලෝ ග්‍රෑම් 50 - 66ක් බරකින් යුක්තයි. ගැහැනු සතා කිලෝ ග්‍රෑම් 17 - 40 බරකින් යුක්තයි.   


ක්ෂීරපායී පන්තියට අයත් මේ සතුන් පෙනුමෙන් කුඩා වුවත් හරි ශක්තිමත්.   


 කැන්ගරු කියන්නෙ විශේෂ සත්ව කාණ්ඩයක්. කැන්ගරු ගැහැනු සතුන් තමා බිහි කළ පැටවුන් ස්වභාවිකව උදරයේ තියෙන පැස තුළ තමයි තබාගෙන ඉන්නේ. ඒක උදරයේ තියෙන මල්ලක් වගේ ව්‍යූහයක්. හමෙන්ම හැදුණු පටලයක්. එයින් පැටවාට උණුසුමත් ආරක්ෂාවත් ලැබෙනවා ඒකයි විශේෂය. 

 
මෙහිදී විශේෂ කාරණයක් තමයි පැටවුන් ලැබෙන්නේ ඉතාම නොමේරු අවධියේ. කැන්ගරු ගැහැනු සතෙක් සාමාන්‍යයෙන් වනාන්තරවල අවුරුදු 10ක් පමණ ජීවත් වෙනවා. නමුත් සත්ව උද්‍යානවල ජීවත් වන කාලය ඊට වැඩියි. අවුරුදු 20ක් පමණ ජීවත් වෙනවා. ඒ සත්ව උද්‍යානවල ලැබෙන විශේෂ සැලකිලි නිසා.   


උන්ට ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳ මේ සත්ව භාරකරුවන් සහ වෛද්‍යවරුන් නිරන්තරයෙන් අවධානයෙන් සිටින්නෙ. ඉතින් සුළු රෝගී තත්ත්වයකට පවා කලට වෙලාවට අවශ්‍ය ප්‍රතිකාර කරනවා. ඒ වගේම ඔවුන්ට දිනපතාම සමතුලිතව කෑම ලැබෙනවා. බොහොම මානසික සුවතාවකින් ජීවත් වෙනවා. ඒ වගේම වනාන්තරයක දී වගේ අනතුරු සිදුවන්නේත් නැහැ. සතුරන්ගෙන් ද පීඩාවක් නැහැ. ඒ නිසා සත්ව උද්‍යානවල ජීවත් වන කාලය වැඩියි.   


 කැන්ගරු මවකගේ ගැබ් කාලය දවස් 36ක් පමණ වෙනවා. ඉන්පසුව තමයි පැටියෙක් බිහිවෙන්නෙ. නොමේරු ළදරු අවධියක් ඇති මේ පැටවකුගේ සාමාන්‍ය බර ග්රෑම් දෙකකටත් අඩු බවයි සටහන් වෙන්නෙ.   


පැටවා අම්මාගේ උදරයේ තියෙන රෝමවලින් එල්ලී ඇවිල්ලා පැස ඇතුළට ඇතුළු වෙනවා. මේ පැස තුළ සිට තමයි පැටවාට කිරි උරා බොන්න අවස්ථාව තියෙන්නෙ. එහි තමයි මේ අම්මගෙ තන පුඩු තියෙන්නේ. ඒ විදියට මාස දෙක තුනක් මේ පැස තුළ පරිසරයට හුරුවන තුරු පැටියා ජීවත් වෙනවා. මාස 9 කින් පසු මේ සතුන් තරමක් විශාලයි. ඉන්පසුව පැසෙන් එළියට පැමිණ මේ පැටව් වටපිට නිරීක්ෂණය කර අවබෝධය ලබා ගන්නවා.   


මොවුන් සර්ව භක්ෂකයි. තණකොළ, ළපටි ශාක කොටස් කෑමට ගන්නවා. හදිසි අනතුරක් ව​ගේ සංඥ‌ාවක් දැනුණු විගස අම්මා සංඥ‌ා කරනවා. පැටියා පරිසරයට හොඳ සංවේදී බවක් ඇති පැටියා වහා අම්මගේ පැස තුළට එනවා.   


මේ පැටවුන්ට ස්වාධීනව ජීවත් වෙන්න කටයුතු කරන්නෙ මාස 18 කට පසුවයි. උගේ විශේෂ ලක්ෂණ තමයි හොඳින්ම කන් ඇසීම. ගඳ සුවඳ හොඳින් දැනීම සහ හොඳ ඉවක් ඇති බව. ඒ වගේම වේගයෙන් දුවන්න පුළුවන්. පැයට කිලෝමීටර් 60, 70 ක් වේගයෙන් දුවන්න පුළුවන්   


දිවීම සඳහා මොවුන් පාවිච්චි කරන්නේ පසුපස පාද දෙක පමණයි. මොවුන්ගේ ඉදිරිපස පාද හරිම කුඩායි. එය පාවිච්චි කරන්නෙ නැති තරම්.   
ශක්තිමත් බවින් අධිකයි. ශරීරයේ සමබරතාව රැකගන්න මේ සතාගෙ දිගු වලිගයත් උදව් කරගන්නවා.   


 අපේ සත්ව උද්‍යානයට මේ අළු පාට කැන්ගරුවන් දෙදෙනා ලැබුණෙ පරිත්‍යාගයක් විදියට. දෙහිවල සත්ව උද්‍යානයේ මෑතක් වනතුරු හිටියා මීට වුරුදු 51කට පමණ පෙර දී ගෙනා රතු කැන්ගරුවො දෙන්නෙක්. ඒ සතුන් දෙදෙනා මියගියා. මේ අළු කැන්ගරුවො සත්ව උද්‍යානයට ප්‍රථම වතාවටයි ගෙනාවේ.   

 

 


දැන් මේ සත්තු අපේ රටේ විදියට හුරුවෙලා ද ඉන්නේ?   


මේ කැන්ගරු ජෝඩුවට අවුරුදු දෙකක් පමණ වෙනවා. මොවුන් මීට මාසෙකට පමණ පෙර තමයි ලංකාවට ගෙනාවෙ. සාමාන්‍යයෙන් සතුන් පිටරටින් ගෙනාවම රෝග නිවාරණය සඳහා ප්‍රදර්ශනයට යොමු කරන්නෙ නැහැ. වෙනම ආරක්ෂිතව තියලා තියෙනවා. ඒ රෝගී තත්ත්ව ඇතිවෙන්න පුළුවන් ද බැලීමට සහ ලංකාවෙ දේශගුණයටත් ආහාර රටාවටත් හුරුවන තුරු මාසයක් පමණ වෙනම තියාගන්නවා. නිරෝගිකමෙන් කාලය ගෙවෙනවා නම් කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. මේ සතුන් දෙහිවල සත්ව උද්‍යානයට ගෙනෙන්නට පෙර එතෙක් රඳවා ගෙන හිටියේ හම්බන්තොට සෆාරි උද්‍යානයේ. මේ සතුන්ගේ සම්භවය ඕස්ට්‍රේලියාවෙ. ඕස්ට්‍රේලියාවේ ජාතික සත්වයා ලෙස නම් කරලා තියෙන්නේ කැන්ගරුවා. ඒ රටේත් හැමතැනම නැහැ. නැගෙනහිර කලාපයේ තමා ජීවත්වෙන්නේ. ඕස්ට්‍රේලියාව සහ ලංකාව අතර විශාල දේශගුණික වෙනස්කමක් නැහැ.   


මේ සතුන් දැන් මෙහි හොඳට ඇවිදිනවා. දුව පනිනවා, කෑම කනවා නිදහසේ ජීවත් වෙනවා. තෘණ, පැළෑටි, කුඩා ඇට වර්ග, ධාන්‍ය වර්ග, පලතුරු වර්ග තමයි ආහාරයට ගන්නෙ. 

 
මේ සතුන් බලාගන්න වෙනම වැඩපිළිවෙළක් තියෙනව ද?   


දැනට මේ සම්බන්ධව සිටින හොඳම භාරකරුවන් සහ වෛද්‍යවරුන් තමා යොදවලා තියෙන්නෙ. මේ සතුන්ට අවශ්‍ය පහසුකම් සපයන්න නිරන්තරයෙන් අවධානයෙන් ඉන්නවා. කෑම ගන්නා ප්‍රමාණය වුණත් පශු වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ නියමිත පරිදි තමා දෙන්නේ. මේ කැන්ගරුවා ගොඩක් අහිංසක සතෙක්. කාටවත් කරදරයක් නැහැ.   


මේ සතුන් ලංකාවට ගෙනෙද්දි විශේෂ දේවල් සිද්ධ වුණා ද?   


එහෙම විශේෂයක් නැහැ. එතරම් ලොකු සත්ව විශේෂයක් නෙමෙයිනේ. ප්‍රවාහනය කරද්දී වුණත් ලොකු කරදරයක්, බාධාවක් වුණේ නැහැ.   


සුදු මොනරු ගැන කතා කළොත්?   


නෙදර්ලන්තයෙන් අපේ රටට ලැබුණු 'Pavo Cristatus' යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන මේ මොනරු මීට වසර ගණනකට පෙර සත්ව උද්‍යානයේ සිටියා. ලංකාවට ඉතා දුර්ලභයි. නෙදර්ලන්තයෙන් සත්ත්ව ආනයනකරුවෙකු හරහා තමයි මිලදී ගැනීමක් කරලා තියෙන්නේ. මේ සත්ත්ව හුවමාරුවක්වත්, පරිත්‍යාගයක්වත් නෙමෙයි. සුදු පැහැති මොනරුන්ට පක්ෂීන් අතරේ හොඳ වටිනාකමක් තියෙනවා.   


මේ සත්තු මෙහි දේශගුණික වෙනස්කම්වලට ගැළපෙනවා ද?   


 ඔව්. මේ ආසියානු කලාපෙ ජීවත්වන සත්තු ජාතියක්. ලංකාවෙත් වනාන්තර ආශ්‍රිත මොනරු සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. මේ සුදු මොනරුන්ගේ විශේෂ වෙනස්කම් ඇත්තේ නැහැ. අනිත් මොනරු එක්ක ගැවසෙමින් කාලය ගත කරනවා. කනවා, පියාඹනවා. ධාන්‍ය වර්ග, වෙනත් ඇට වර්ග, පලතුරු, කෘමි සත්තු, කුඩා ක්ෂීරපායි සත්තු, උරගයින් ආහාර වශයෙන් ගන්නවා. මේ සත්තු 4 දෙනාට අවුරුදු එක හමාරක් වගේ වයසයි. ආයු කාලය අවුරුදු 10ක් 20ක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් සත්ව උද්‍යානවල මේ සතුන් අවුරුදු 50ක් පමණ ජීවත් වෙන බව තොරතුරු අනාවරණය වෙනවා.   


ඉන්දියාවේ වැඩි වශයෙන් මේ සුදු මොනර විශේෂය වාසය කරනවා.   


මොනර බිත්තර 4ක් 8ක් වගේ සංඛ්‍යාවක් වරකට ද‌ානවා. ඒත් එක්කම මේ සත්තු සුදු පැහැය දක්වලා තියෙන්නේ ඔවුන්ගේ වර්ණ වතිකා නොමැති වීමෙන්. ඒ නිසා තමයි ඔවුන්ට සුදු වර්ණය ලැබිලා තියෙන්නේ. 

 
මේ සතුන් කූඩු කළාම ප්‍රශ්නයක් වුණේ නැද්ද?   


 නැහැ. මේ කැලෑවල ජීවත්වුණු සතුන් නෙමෙයි. නෙදර්ලන්තයේ සත්ව උද්‍යානයක් හරහා තමයි මේ සත්තු හුවමාරු වෙන්නෙ. කූඩු කරපු සත්තු තමයි මේ. දැන් මේ සත්තු අනිත් සාමාන්‍ය මොනරු එක්ක එක කූඩුවල හවුලෙ ඉන්නෙ. ප්‍රශ්නයක් නැතිව හොඳින් නිදහසේ ජීවත් වෙනවා. තවම මේ සුදු මොනරුන්ගේ පිල් කලබ ඇවිල්ලා නැහැ. තවම පොඩි සතුන් නිසා අවුරුදු 3ක් 4ක් ගියාට පසුව තමයි පිල් කලබ එන්නෙ.   


මේ වෙද්දි බොහෝ දෙනෙක් එනවා මේ සත්තු දැකබලා ගන්න. ගිය සති අන්තයේ 15000 ක් පමණ පිරිසක් ආවා. දැන් මේ සතුන් මිනිසුන්ටත් හුරුවෙලා ඉන්නවා.   


ප්‍රශ්නය:- පසුගිය කාල​යේ රාවයක් ගියානෙ සත්තු වත්තෙ වටිනා සතුන් සේවකයන්ගෙ නොසැලකිල්ල මත මියැදුණා කියලා. හිපෝ කෙනෙක්ගෙ ඇඟ ඇතුළෙ කාසි බොහොමයක් තිබුණා කියලා රාවයක් ගියා? මේ සතුන්ට කරදරයක්, හිරිහැරයක් නොවන විදියට ජීවත් වීමට සුදුසු පරිසරයක්, ක්‍රමවේදයක් තියෙනව ද?   


 පිළිතුර:- මේ සත්තු බලන්න ආවම මිනිස්සු එක එක දේවල් කන්න බොන්න දෙනවනෙ. එහිදී මේ හිපෝ මිනිස්සු දකිද්දි විශාල වශයෙන් කට අරිනවා. ඉතින් මිනිස්සු මේ සතාට කුමක් හෝ දෙයක් කෑමට වීසි කරනවා. ඒ විදියට තමයි කාසි පවා ඒ සතාගෙ කටට ද‌ාලා තිබුණේ. සමහර පිරිස් අහිංසක සතුන් පීඩාවට පත්කර අනවශ්‍ය සතුටක් අරන් තියෙනවා.   


 ඒ වගේ තර්ජන දැන් නම් නැහැ. මේ සත්තු බලාගන්න යොදවලා ඉන්න පිරිස මේ සතුන් ගැන විශේෂ අවධානයක් යොමු කරනවා.

 

 

සටහන :  ධනු විජේරත්න