සංචාරකයන් නැතිව වේළෙන නුවරඑළිය


 

 

නුවරඑළිය මෙරට පුංචි එංගලන්තය ලෙස නම් කළේ එම නගරය ඇතුළු අවට කඳුකර ප්‍රදේශයේ සුවදායක දේශගුණික තත්ත්වය නිසාය. 


1828 ඉංග්‍රීසි ජාතිකයින් විසින් ආරම්භ කළ නුවරඑළිය මල් උපසංස්කෘතියට, එළවළු උපසංස්කෘතියට, පෙයාර්ස් උපසංස්කෘතියට, අර්තාපල් උපසංස්කෘතියට අනුගතව අද වන විට සංචාරක ව්‍යාපාරයට මුළුමනින්ම නතු වූ නගරයකි. මෙනුවර බහුතර ජනකොටසක් සංචාරක ව්‍යාපාරයේ කුමන හෝ ස්ථානයක රැඳි තම ජීවනෝපාය සරි කර ගනිති. 


ශ්‍රී ලංකාවට එන විදේශීය සංචාරකයන් හට මෙන්ම දේශීය සංචාරකයන්හට ද නුවරඑළියේ නතර වී පහසුකම් සහිතව තම නිවාඩුව ගත කිරීමට හෝටල් හා ලැගුම් හල් සැකසීම ප්‍රධාන කොටගත් සියලුම සේවාවන් 2019-04-21 ත්‍රස්තවාදීන් විසින් සිදුකළ බෝම්බ ප්‍රහාරය නිසා නතර විය. මේ මොහොත වන විට අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය සිදුව මාසයක් ගතව ඇත. මාසයක් ගත වුවද නුවරඑළිය නගරය එක තැනක නතර වී ඇති සේයාවක් පෙනේ. නගරයේ ප්‍රධාන හෝටල් දේශීය හා විදේශීය සංචාරකයින්ගෙන් හිස්ව ඇත.

 
පාස්කු දින ප්‍රහාරය නිසා විවිධ වූ සමාජ මාධ්‍යය ඔස්සේ ඉදිරි මාස කිහිපයට කාමර වෙන් කර ගෙන සිටි සංචාරකයෝ ඒ සියල්ලම අවලංගු කර ගෙන ඇති බව නුවරඑළිය මහා පරිමාණ හෝටල්වල කළමනාකාරිත්වය සඳහන් කරයි. ඇතැම් හෝටල් උදා වූ තත්ත්වයට මුහුණ දීම සඳහා දේශීය සංචාරකයින්ට 50%ක, 30%ක වට්ටම් ලබාදීමට පියවර ගෙන ඇත. මේ අනුව මධු සමය ගත කිරීමට එන නවක විවාහ පත් වූ මනාල මනාලියන්ට විශේෂ වරප්‍රසාද ලබාදීමට පියවර ගෙන ඇති බවද වාර්තා වේ. 


අප්‍රේල් වසන්ත උත්සවයට පසු සුපුරුදු ලෙස මෙවර වෙසක් උත්සවයට ලැබුණු දින තුනක නිවාඩු සමයේ දී ඇතැම් මහා පරිමාණ හෝටල්වල සැලකිය යුතු හෝටල් කාමර ප්‍රමාණයක් දේශීය සංචාරකයින් වෙන් කර ගත් බව ද හෝටල් හිමියෝ සඳහන් කරති. ගෙවුණු වසර 10ක කාලය තුළදී අප්‍රේල් වසන්තයට එකතු වන දේශීය සංචාරකයින් මෙන් ම වෙසක් දිනයන් හි ද නුවරඑළිය දේශීය සංචාරකයින් ගෙන් පිරී ඉතිරි ගිය අතර මෙවර එහි ද විශාල අඩුවක් පෙන්නුම් කරන්නට විය. 

 

ග්‍රෙගරි වැවේ සංචාරක බෝට්ටු හුදකලා වී

 

 


සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ මහා පරිමාණ හෝටල්වලට අතිරේකව ලැගුම් හල් ද විශාල ප්‍රමාණයක් නුවරඑළියේ දකින්නට පිළිවන. ඒත් සමගම තමන් පදිංචි නිවසෙහි කාමරයක් දෙකක් කුලියට දී අාදායමක් උපයා ගත් නාගරිකයෝ ද සංචාරක ව්‍යාපාරය බිඳ වැටීම නිසා මහත් කනස්සල්ලට පත්ව සිටිති. 


දේශීය හා විදේශීය සංචාරකයින්ට ප්‍රවාහන පහසුකම් සැපයු කුලී රථ හිමියෝ ද තමන්ගේ ආදායම් මාර්ග ඇහිරියාම පිළිබඳ මැසිවිලි නගති. නුවරඑළිය ඇතුළු ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල්වලට අවශ්‍ය (චයීනිස් එළවළු) හා පලතුරු නිෂ්පාදනය කළ ගොවියෝ ද අලෙවිකරුවෝද මෙම ඇදවැටීම නිසා දැඩි අපහසුතාවකට ලක්ව සිටිති. ප්‍රධාන පෙළේ හෝටල්වල චයිනීස් එළවළු නිෂ්පාදනය කළ ගෙවිලියක් පැවසුවේ තමන් සතියකට වතාවක් චයිනීස් එළවළු තොගයක් අලෙවි කර රුපියල් 15000/-ක පමණ ආදායමක් උපයා ගත්තත් එම ආදායම් උපයාගත් වගාබිම් විනාශවෙමින් පවතින බවයි. 


නුවරඑළියට එන දේශීය හා විදේශීය සංචාරකයින්ට ආශ්වාදයක් ගෙන දුන් හෝර්ටන්තැන්න, ජාතික වනෝද්‍යානය, හක්ගල උද්භිද උද්‍යානය, නුවරඑළිය ග්‍රෙගරි උද්‍යානය, නුවරඑළිය වික්ටෝරිය උද්‍යානය යන ප්‍රදේශවල අප්‍රේල් 21 දින ත්‍රස්ත ප්‍රහාරය නිසා සංචාරකයින්ගෙන් පැමිණීම 90% කින් පමණ අඩුවීමක් පෙන්නුම් කරන බව උද්‍යාන පාලකයින් මෙන්ම සේවකයෝද සඳහන් කර සිටියහ. 


වසර 30 ක් උතුරු නැගෙනහිර පැවති යුද්ධය හමුවේ ද නුවරඑළියේ සංචාරක ව්‍යාපාරය කිසිදු බාධාවකින් තොරව පැවති අතර එම වකවානුවේ දේශීය සංචාරකයින් බහුතරයක් නිවාඩු ගත කිරීමට නුවරඑළිය තෝරා ගත්තේ දැඩි ආරක්ෂාවක් නුවරඑළිය තුළ පවතින බව ඔවුන් විශ්වාස කළ නිසාය. තිස් වසරක යුද්ධය අවසන්වීමත් සමගම ගෙවුණු වසර 10 ක කාලය තුළ මහා විශාල හෝටල් සංකීර්ණ ගණනාවක් නුවරඑළියට එකතු විය. අද ද මහා පරිමාණයේ හෝටල් ගණනාවක් නුවරඑළිය නගරයේ ඉදිවෙමින් පවතී. ඊට නොදෙවෙනි ලෙස ලැගුම්හල් ද නුවරඑළියේ වැඩි විය. 

 

නුවරඑළියේ පාළුවට ගිය සංචාරක ආකර්ෂණය දිනාගත් තැපැල් හල

 

 


සංචාරක ව්‍යාපාර හා බද්ධව Rooms Available නමින් උපසංස්කෘතියක් ද නුවරඑළියට ආදේශ විය. ඇතැම් විදේශ සංචාරකයින් ද ඒ ඔස්සේ පෞද්ගලික නිවාසවල කාමරයක දෙකක ලැගුම් ගන්නා අයුරු ද ඉකුත් කාලයේ දී දකින්නට ලැබුණු සුලභ දසුනකි. 


මෙම සංචාරක ව්‍යාපාරයත් සමගම පෙර සඳහන් කළ පරිදි ආදායම් උත්පාදන මාර්ග ගණනාවක් නුවරඑළියට උරුම වී තිබුණි. විශේෂයෙන්ම ග්‍රෙගරි උද්‍යානයේ බෝට්ටු සවාරි, ආහාර පාන සඳහා සැකසුණු කඩ කාමර, අඹේවෙල කන්දේ ඇළ ජලාශය ආශ්‍රිතව ව්‍යාපාර කටයුතු, සති අන්ත දිනයන්හි දි නුවරඑළිය නිෂ්පාදිත එළවළු තැන් තැන්හි අලෙවි කරමින් ආදායම් උපයා ගත් අයද, ස්ට්‍රෝබෙරි අලෙවිය ද, පලතුරු අලෙවියද, උණුසුම් ඇඳුම් විකිණීමේ ද යෙදුණු සියලුම දෙනාගේ දෛනික ආදායම මේ වන විට බිඳ වැටී ඇත. 
ගෙවුණු දශකයක තුළ කුමන ආර්ථික ගැටලු මෙන්ම සාමාජික, දේශපාලනික අනේකවිධ ප්‍රශ්න රට තුළ මතු වුවත් සති අන්ත දිනයන් හි දි නුවරඑළිය නගරය දේශීය සංචාරකයින්ගෙන් පිරි ගියේය. දීර්ඝ නිවාඩුවක් ලද මොහොතකම නුවරඑළිය සංචාරකයින්ගෙන් පිරි පැවතිණ. නුවරඑළියේ සලකුණ ලෙස විශ්වාස කරන නුවරඑළියේ ප්‍රධාන තැපැල් කාර්යාලය මෙම වකවානුවේ පස්වරු කාලයේ දී විශේෂයෙන්ම විදේශිකයින්ගෙන් පිරී ගිය සංචාරක ආකර්ශන ස්ථානයක් විය. අද එම ස්ථානය පාළුවට ගොස් ඇත. 
අප පෙර සඳහන් කළ නුවරඑළියේ අාකර්ෂණීය ස්ථාන අද හිස්ව පවතී. නුවරඑළිය තුළ රාජ්‍ය සේවාවේ නියුක්තවූවන්ගෙන් අඩු නගරයක් වන අතර අතිබහුතරය ගොවිතැන ප්‍රධාන කරගත් ව්‍යාපාර කටයුතුවල මෙන්ම අද දවසේ සංචාරක ව්‍යාපාරයට අනුගත වූවෝ වෙති. මේ හේතුව නිසා නුවරඑළියේ හුදු මහත් ජනතාවගේම ආර්ථික තත්ත්වය බිඳ වැටී ඇති බව ඒ ඒ ක්​ෂේත්‍රයන් හි නිරතවූවන්ගෙන් විමසීමේ දී ලැබෙන ප්‍රතිචාර වේ. 


කෙසේ වුවත් මහා පරිමාණ හෝටල් මෙන්ම ලැගුම්හල් හිමියෝද සංචාරක ව්‍යාපාරය සම්බන්ධ විවිධ ක්ෂේත්‍රවල නියුතු වූවෝ අද දවසේ දී තමාගේ ජනජිවිතය යළි ගොඩනගා ගැනීමට මහත් ආශාවෙන් හා බලාපොරොත්තු සහගතව පසුවෙති. ඒ සඳහා සෘනාත්මක සිතුවිලිවලින් මිදී ධනාත්මක සිතුවිලි කා තුළත් ජනිත විය යුතුව ඇත. එවිට නුවරඑළිය යළි සංචාරකයින්ගෙන් පිරුණු නගරයක් කිරීම අපේ අපේක්ෂාවයි.

 

 

 

 

 

ඡායාරූප හා සටහන :
නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි