වෛද්‍යවරයකුවීම අතහැර තාත්තාගේ සංකල්පය ජාත්‍යන්තරයට ගෙන ගිය පුතා


අභියෝග ජයගත්  මිනිස්සු

අනුර හේමචන්ද්‍ර

 

පවුලේ තෙවැන්නා වූ සරත් හේමචන්ද්‍ර දශක කීපයකට පෙරදී කොළඹට පැමිණියේ වැඩිමහල් සහෝදරයාගේ ව්‍යාපාරයට සම්බන්ධ වී වැඩ කිරීම වෙනුවෙනි. සිය පියාණන් හදිසියේ අසනීප වූ හෙයින් සරත් සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයින් දෙදෙනාහට ආර්ථික ගැටලුවලට මුහුණදීමට සිදුව තිබිණි. සරත්ගේ ලොකු අයියා කොළඹට සේන්දු වී ව්‍යාපාරයක් ඇරඹියේ එනිසාය. එළැඹ තිබුණේ ගිම්හාන සමයයි. ආර්ථික අපහසුතා හමුවේ පීඩාවට පත්ව සිටි සරත් කොළඹ ඇවිත් අයියාගේ සාප්පුවේ සේවයට එක්විණි. නිර්මාණශීලිත්වයද කළමනාකාරීත්වයද උපතින්ම උරුම කරගෙන සිටි සරත් විටෙක අයියාගේ සාප්පුවේ කළමනාකරු ලෙසද කටයුතු කළ අතරේ සරත් සමයේ සිහිනයක වෙළී සිටියේය.   


සරත් සමයේදී දිවා කාලය කෙටිය, රාත්‍රිය දිගුය, එමෙන්ම සිසිල්ය, ගස්වල පත්‍ර රන් වන් පැහැයට හැරෙන්නේ සරත් සමයේදීය. ඉන්පසු ක්‍රම ක්‍රමයෙන් මේ පත්‍ර හැලෙන්නට පටන් ගනී. ශේෂ වූ ශාක කඳන් දක්නට ලැබෙන්නේ නටබුන් ලෙසිනි.   


‘‘මම මගේ ජීවිතයට වසන්තය උදාකර ගත්තෙමි’’   


නිර්මාණශීලී වූ සරත් එදා එලෙසින් දුටු සිහිනය විය.   


සරත් සමයේදී එදා දුටු සිහිනය ආදරණීය වසන්තයක් බවට පත්කර ගැනීමට ඒ නිර්මාණශීලී මිනිසාට පසු කලෙක හැකි විය. ඔහු සරත් හේමචන්ද්‍රය. නැතහොත්, වෝග් ජුවලර්ස් නිර්මාතෘවරයාය.   


එදා 1962 දී පමණ ස්වර්ණාභරණ ක්ෂේත්‍රය වෙනුවෙන් සරත් ඇරැඹී වෝග් ආයතනය අද ස්වර්ණමය ගමනක යෙදී සිටී. අද ඔහු ජීවතුන් අතර නැත. එහෙත් විශ්වයේ කොතැනක හෝ සිට ඔහුට සතුටු විය හැක්කේ, ඔහුගේ වැඩිමහල් පුතු අනුර හේමචන්ද්‍ර වෝග් නාමය අන්තර්ජාතික තලයට ගෙනැත් ඇති නිසාය.   


‘‘එදා අපේ තාත්තා වෝග් ආයතනය පටන් ගත්තේ වර්ග අඩි 400ක පමණ කඩ කාමරයකදීයි. රන් ආභරණවලට එදා බෙහෙවින් ප්‍රකටව තිබුණේ කොළඹ හෙට්ටිවීදියයි. හැබැයි තාත්තා හැමෝම කරන දේ නොකර අභියෝගයක් භාරගෙන තිබෙනවා. තාත්තා තමාගේ මේ ස්වර්ණාභරණ ආයතනය පටන් ගත්තෙ පළමු හරස් වීදියේදීයි.   


අංක 74 පළමු හරස් වීදිය, පිටකොටුව ඊට අයත් ලිපිනයයි. එදා වෝග් ජුවලර්ස් මුල්ම සාප්පුව ආරම්භ කරන විට මට වයස අවුරුදු හතරක් විතර ඇති. සාප්පුව ආරම්භ කරද්දී හාමුදුරුවරු වඩමවා පිරිත් කිව්ව හැටි මට මතකයි. මගේ මතකය දිව යන්නේ එතැන් සිටයි. සාප්පුවේ වැඩ කරගෙන යන අතරේ දවල් කෑමට තාත්තා ගෙදර ආවා. ඒ විදියට ගෙදර ඇවිත් පුංචි මාවත් සාප්පුවට එක්කගෙන ගියා. ඒක ඉතා නුවණක්කාර වැඩක් කියලා මට ඒත්තු ගියේ පසු කාලෙකදීයි. හැබැයි එදා මට කිසි දෙයක් තේරුණේ නැහැ. මම කළේ සාප්පුවේ දුව පැන ඇවිදිමින් තාත්තාගෙ වැඩවලට බාධා කළ එකයි. හැබැයි තාත්තාට වුවමනා වුණේ ව්‍යාපාර පරිසරයක අත්දැකීම මට ලබා දෙන්නට වෙන්න ඇති. ඇත්ත වශයෙන්ම ඒ අත්දැකීම් පසු කාලයකදී බෙහෙවින්ම වැදගත් වුණා.’’   


සරත් සහ චන්ද්‍රා යුවළගේ ලොකු පුතා වන අනුර හේමචන්ද්‍ර වෝග්හි අතීතය සිහිපත් කරන්නේ එලෙසිනි. 1962 වසරේදී වර්ග අඩි 400ක කඩ කාමරයකදී එදා වෝග් ජුවලර්ස් ඇරඹියේ රුපියල් 4000ක ප්‍රාග්ධනයක් යොදා බැව් සඳහන් වේ. ඒ කාලයේ පිටකොටුව කෙසේ වීද? අපි අනුර හේමචන්ද්‍රයන්ගෙන් පිටකොටුවේ අතීතය ගැන විමසීමු.   


‘‘අද පෝය දවසට පිටකොටුව කොහොමද? අන්න ඊටත් වඩා එදා ජනශුන්‍යයි. හරිම නිස්කලංක පරිසරයක් තිබුණෙ. එදා හොරෙක් ඇවිත්, එය විශාල පුවතක් වුණා. ඒ අතීතය දිහා බලද්දී හරිම පුදුමයි’’   


එවැනි අතීතයක් ඇති වෝග් ජනතාව අතර ප්‍රකට වුණේ, නිරන්තරයෙන් ලබාදුන් ප්‍රචාරණයන් නිසාය. 1962 ඇරඹි වෝග් 1963 වෙන විට ප්‍රචාරක කටයුතු දිගටම කරගෙන ගියේය.   
‘‘මංගල මුදු මාල වළලු’’ දැන්වීම නිර්මාණය වූවේ 1963 වසරේදීය.   


‘‘තාත්තා නිතරම විශ්වාස කළේ වෝග් නාමය ජනතාව අතරට යා යුතුය කියලයි. තාත්තා ඒවා කළේ අලුත් විලාසිතා මෝස්තර හඳුන්වා දෙන අතරේදීයි. ඒ කාලයේ අද වගේ මාධ්‍ය පුළුල්වෙලා තිබුණෙ නැහැ. ප්‍රධානම ප්‍රචාරක මාධ්‍ය ලෙස තිබුණේ පුවත්පත් සහ ගුවන් විදුලිය විතරයි. කරුණාරත්න අබේසේකර සූරීන් තාත්තාගෙ හිතවතෙක්. එදා එතුමා තමයි ‘‘මංගල මුදු’’ දැන්වීම සඳහා පිටපත රචනා කළේ. ටී.එෆ්. ලතීෆ් මහතා ඊට සංගීතය නිර්මාණය කළා. මේ දැන්වීම ප්‍රචාරය වීමත් සමඟ වෝග්, ර​ෙට් අස්සක් මුල්ලක් නෑර ජනප්‍රියත්වයට පත්වූවා. ඊට අමතරව තවත් බොහෝ දේ සිදු කළා. ඒ දිනවල පැවැත් වූ රූප සුන්දරී තරගවලටත් එවැනි ඉසව්වලට නිරන්තරයෙන් අනුග්‍රහය ලබා දුන්නා. ටිකෙන් ටික වෝග් ප්‍රතිරූපය ජනගත වුණේ ඒ විදියටයි’’   


සරත් හේමචන්ද්‍රයන් එදා වෝග් වෙත ලබා දුන් ජීවය ගැන අනුර හේමචන්ද්‍ර පුතු සිහිගන්වන්නේ එලෙසිනි.   


වෝග්හි ඒ රන්වන් ගමනේ අමරණීය ගමන ඇරඹෙන්නේ තවත් වසර කීපයකට පසුවය. අංක 528, ගාලු පාර, කොළඹ 03 ස්ථානයෙහි වෝග් ප්‍රධාන ගොඩනැගිල්ල විවෘත කිරීමත් සමගය.   
තාත්තාගේ නව සංකල්ප සහ කළමනාකාරීත්වය නිසා නිතරම අභියෝගවලට බය වුණේ නැහැ. තාත්තාගේ නිහතමානීත්වය නිසා විවිධ මිනිසුන්ගේ සහයෝගය ලැබුණා. මේ විදියට ගොඩ නැගෙන අතරේ, එතුමා තවත් අභියෝගයක් බාර ගත්තා. එදා පිටකොටුවේදී වෝග් වෙනස්ම තැනක ස්ථාපිත කළේ. ඒ විදියටම තවත් අභියෝගයක් ලෙස තමයි වෝග් කොල්ලුපිටියට ගෙනාවෙත්. ඒ කාලයේදී කොල්ලුපිටිය ප්‍රදේශයේ තිබුණෙ කඩ සාප්පු නෙවෙයි. මුළු ප්‍රදේශයම නිවාසවලින් සමන්විතව තිබුණෙ. මේ නිසා බොහෝ දෙනා තාත්තාට කිව්වෙ ඔබ කරන්න හදන්නෙ මහා මෝඩ වැඩක් කියලයි. මේ මෝඩ වැඩේ කරන්න එපා කියලා ලැබුණු විවේචන එමටයි. ඒත් ඉදිරියට තැබූ පියවර එතුමා පස්සට තැබුවෙ නැහැ. ගාලු පාරේ පර්චස් 40ක ඉඩම තාත්තා එදා මිලදී ගත්තෙ පර්සයක් රුපියල් 4000ක මිලට. ඒ කාලයේ කොල්ලුපිටියේ රන්ආභරණ සාප්පු කිසිවක් තිබුණෙ නැහැ. මට මතක විදියට ප්‍රකට ආයතනයක් හැටියට තිබුණෙ ඊ.එච්. කුරේ ගොඩනැගිල්ලයි. ඊට අමතරව වේවැල් බඩු කඩයක් තිබුණා. ඇත්තටම එදා ‘‘වෝග්’’ ගත්ත ලොකුම අභියෝගය එයයි.   


ඊට පෙර ඔබගේ කුඩා කාලයේ අතීතයට ගියොත්? අනුරගේ ජීවිතයේ අතීත මතකය ගැන අපි තව තවත් කරුණු විමසීමු.   


මල්ලිටයි මටයි තිබුණේ සුන්දර ළමා කාලයක්. තාත්තා අපට හරිම ආදරෙයි. තාත්තා ව්‍යාපාර වැඩ කරද්දී, අම්මා අපි දෙන්නගෙ වැඩ කටයුතු සහ ගෙදර පාලනය කරමින් විශාල කැප කිරීමක් කළා. ව්‍යාපාර කළත්, තාත්තා ඒ මත්තෙම නැහුණෙ නැහැ. අපට ආදරේ නිසා හැන්දෑවට අපිට සෙල්ලම් කරන්න එක්කගෙන ගියා. පුරුද්දක් හැටියට තාත්තා ව්‍යායාම් කළා. අපේ නිවස තිබුණෙ මුහුදු සීමාවට සමීපව. ඒ නිසා වෙරළට එක්කගෙන ගිහින් අපි එක්ක සෙල්ලම් කළා. සමහරදාට ගෙදර ඇති කරපු බලු සුරතලාවත් එක්කගෙන ගියා.   


තාත්තා පුරුද්දක් හැටියට ‘‘බැඩ්මින්ටන්’’ ක්‍රීඩාවෙත් යෙදුණා. කලාවටත් හරිම ලැදි සුන්දර චරිතයක්. ඉරිදා දිනවලට චිත්‍රපටයක් එහෙම නරඹන්නත් අපව එක්කගෙන ගියා. ‘‘ගැටවරයෝ’’ චිත්‍රපටය නැරඹීමට ගිය මොහොත මට අද වගේ මතකයි. එහි ඇතුළත් වූ ගීත වලින්....   


ස්වර්ණ විමානෙන්   
එහා ලෝකයට   
ඔරුවට ගොඩ වී   
මා එනවා.......   


ඒ දර්ශනය අදටත් මට මැවී පෙනෙනවා.   


අනුර ස්වකීය ජීවිතයේ කුඩා කාලය එලෙසින් සුන්දරව ගත කළ අතර, පාසල් ජීවිතය පටන්ගත්තේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි. තාත්තා ළමයින් දෙදෙනාගේ පාසල් වැඩ ගැන සොයා බැලීමට පාසලට ද ආවේය.   


වතාවක් තාත්තා එනවිට පංතියේ සර් හිටියෙ නැහැ. ඉතින් තාත්තා සර් එනකල් ළමයින්ට කතා කියා දුන්නා. තවත් දවසක මම ගුරුතුමාට බොරුවක් කියලා මේක තාත්තාගේ අතටම අහුවුණා. ඒත් තාත්තා කවදාවත් මට බැන්නෙ නැහැ. පංතියේ සර් පුදුම වුණා. තාත්තා නිහඬව ජීවිතය අපටම අත්දැකීම් සමග වටහා ගන්න ඉඩ හැරියා. අනුර සහ ඔහුගේ සහෝදරයාට මෙන්ම මවට ඒ සුන්දරත්වයේ සතුට බුක්ති විඳීමට ලැබුණේ හැත්තෑව දශකයේ මුල් භාගය දක්වා පමණෙකි. අනුරගේ තාත්තා හිටිහැටියේම අසනීප වූවේය.   
එය එක්තරා විදියක දෛවෝපගත සිදුවීමකි. අනුරගේ සීයා හට ද වූයේ එදා එවැනිම වූ සිදුවීමකි. ඒ වනවිට අනුරගේ වයස අවුරුදු 14ක් විණි. මල්ලීට අවුරුදු 9ක් වීය. ඉනික්බිතිව චන්ද්‍රා හේමචන්ද්‍ර මාතාවගේ උර මත සියලු වගකීම් පැවරුණි. ස්වාමියාගේ කටයුතු ගැන සොයා බලා ක්‍රියාත්මක වන අතරේ, දරු දෙදෙනාගේ අධ්‍යාපන කටයුතු ගැන මෙන්ම ව්‍යාපාරයේ වැඩ කටයුතු ගැන ද සොයා බලා මහමෙරක් තරමට වූ කර්තව්‍යයක් කිරීමට ඇයට සිදුවිණි. ඇය සියල්ලට උර දුන්නේ අපිරිමිත වූ කැපවීමකින් බව අනුර සඳහන් කරයි.   
අධ්‍යාපනයේදී ඔහු ව්‍යවහාරික ගණිතය විෂයයට අති දක්ෂයකු වූවේය. එනමුත් මව්පියන්ගේ අරමුණ වූයේ පුතුන් දෙදෙනා වෛද්‍යවරුන් වනු දැකීමය. අනුර ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට මුහුණ දුන්නේය. සරසවි වරම් නොලැබූ හෙයින් දෙවැනි වතාවේදීද උත්සාහ කළේය. ඉනික්බිතිව රුමේනියාවට ගොස් වෛද්‍ය උපාධිය සඳහා ඉගෙනීමේ අවස්ථාව සලසා ගත්තේය.   


‘‘ඒත් එහෙම වුණාට මගේ හිත කිව්වෙ ව්‍යාපාරය ශක්තිමත් කළ යුතුයි කියලයි. පාසලේදී ඉගෙනීමට අමතරව මම බාහිර ක්‍රියාකාරකම් කරලා තිබුණා. මට මතකයි විවිධ ප්‍රසංග වගේ දේවලදී කඩේ මුදලාලි විදියට මම පෙනී සිටි අයුරු. ​ෙ​ෙවද්‍ය අංශය සඳහා රුමේනියාවට යාමට තේරී තිබුණත් මගේ යටි හිත කිව්වෙ ව්‍යාපාරය ගොඩ නැගිය යුතුය කියලයි. මොකද ඒ වනවිට තාත්තාගේ අකර්මණ්‍යතාව නිසා එතෙක් ආ ගමන අඩපණ වෙලා තිබුණෙ. 1972 වන විට මට මතකයි මිනිස්සු බඩු ගන්න සාප්පුව විවෘත කරන තෙක් පෙළ ගැසී සිටි අයුරු. මේ වාතාවරණය යටතේ මම ගණකාධිකරණය පවා හැදෑරුවා. පසුව මේ ව්‍යාපාරය නැවතත් සක්‍රීයකොට පෙර තිබූ ස්වභාවයටත් එහා ගිය තැනෙකට රැගෙන ඒමේ අයුරින් කටයුතු කිරීමේ වගකීම තාත්තා මාහට පැවරුවා. මේ අතරේ අපි තාත්තා අසනීප තත්ත්වයෙන් බේරා ගැනීම වෙනුවෙන් උපරිමයෙන් කැපව ක්‍රියාත්මක වුණා. එවකට ලංකාවේ හිටපු අතිදක්ෂ වෛද්‍යවරයකු වූ ඩැරල් වයිමන්ගේ සේවය පවා ලබා ගත්තා.  


කෙසේ වෙතත් අනුර හේමචන්ද්‍ර ව්‍යාපාරයේ සුක්කානම අතට ගැනීමට පෙර එතෙක් නිරන්තරයෙන් පවත්වාගෙන ආ ප්‍රචාරණ කටයුතු පවා ඇනහිට තිබිණි. තාත්තාගේ අරමුණ වී තිබුණේත් පුතාලා දෙදෙනාම වෛද්‍යවරු කිරීමට නිසා ව්‍යාපාරයේ ඉදිරි ගමනට ඔවුන් සම්බන්ධ වෙතැයි ඔහු නොසිතන්නට ඇත. එහෙත් දෛවය විසින් අනුර හේමචන්ද්‍ර නමැති නිර්මාණශීලී මිනිසා මේ ව්‍යාපාරය වෙතම රැඳවූවේය. තමාට වෛද්‍යවරයකුවීමට තිබූ මාවත තමා විසින්ම වසාගත් අනුර ඉනික්බිතිව මල්ලිහට ඒ අභිලාෂය සාක්සාත් කර දීමට දෙවැනි පියකුවී කටයුතු කළේය.  


විශේෂඥ වෛද්‍ය පූජිත හේමචන්ද්‍ර අද දිවයිනේ සිටින ප්‍රකට වෛද්‍යවරයකු වන අතර, වෝග් ආයතන ජාලයෙහි අධ්‍යක්ෂ තනතුරක් ද දරන්නේය. තාත්තා නැවතු තැනින් පටන්ගෙන ඒ සංකල්පයට මහා අරුතක් දීමට හැකි වූ පුතුන් හමුවන්නේ ඉතා කලාතුරකිනි. අනුර හේමචන්ද්‍ර යනු තාත්තාගේ ව්‍යාපාර සංකල්පයේ අනාගතයට මහා විශාල ප්‍රයෝගිකත්වයක් ලබාදුන් අපූරු පුතෙකි. අද වෝග් ජුවලර්ස් මෙතරම් දියුණුවකට පත් කරවීම වෙනුවෙන් එදා අනුර මුලින්ම කළ ආශ්චර්යවත් දේ කුමක්ද?  

 

 


වෛද්‍යවරයකුවීම දක්වා ගියේ නම්? අද මේ මොනවත් නැහැ. හැබැයි එදා මම ගත්තෙ නිවැරදිම තීරණයක්. වෝග් ආයතනයෙහි අනාගතය උදෙසා තාත්තා බොහෝ සැලසුම් දියත් කරලා තිබුණෙ. මම මුලින්ම කළේ නව්‍යතාවක් ලබාදී සාප්පුවේ භාණ්ඩ ප්‍රමාණය වැඩි කිරීමයි. ඒ දිනවල සාප්පුව වායුසමනය කරලා තිබුණෙ නැහැ. විදුලි පංකා භාවිතය ගෙනදුන්නෙ අවහිරතාවයක්. ඒ නිසා සාප්පු වායුසමනය කළා. ඒ කාලයේ වායු සමනය කළ සාප්පු ඉදිරියෙන් A/C සැලෝන් කියලා යොදා ගත්තා. දැන්වීම පළ කරණ විටත් වායුසමනය කරන ලදී යනුවෙන් දැන්වීම් පළවුණා. ඒ දිනවල හැටි එහෙමයි. ඒ වෙනස එක්ක සුපුරුදු පරිදි පුවත්පත් සහ ටෙලිවිෂන් දැන්වීම් ප්‍රචාරයත් පටන් ගත්තා. එහිදී බොහෝ කලාකරුවන් වෙතින් අපට ලැබුණෙ ලොකු සහයෝගයක්. පළමු රූපවාහිනී දැන්වීමට පෙනී සිටියෙ සබීතා පෙරේරා ශිල්පිනියයි. එහි රූගත කිරීම් කළේ‍ බම්බලපිටියේ අපේ ගෙදර. නිරංජලා සරෝජිනී ශිල්පිනිය ගැයූ ‘‘ජීවිතයේ මංගල දින’’ ලස්සන ගැයුමට මුළු දවසක් තිස්සේ ඒ දැන්වීම රූගත කළා.  


අනුර හේමචන්ද්‍ර පවසන පරිදි වෝග් ජුවලර්ස් යනු ප්‍රචාරණයේදී දැන්වීම් සමග ගහට පොත්ත මෙන් බැඳී සිටින ආයතනයකි. එහි යටගියාව ගැන සඳහනක් කළොත්, වෝග්හි මුල්ම පුවත්පත් දැන්වීමට එදා පෙනී සිටියේ 1960 රූ රැජින වූ සුසිලා ගුණසේකර ය. ඉන්පසුව ඉවෝන් ගුලාම් හුසේන්, සුන්දරී රොක්වුඩ් යන රූප සුන්දරියන් පෙනී සිට ඇත. සබීතා පෙරේරාගෙන් පටන් ගත් රූපවාහිනී දැන්වීම් නිර්මාණවලදී, දිල්හානි, සංගීතා වීරරත්න ඇතුළු සිනමා තාරකාවන් දිගින් දිගටම පෙනී සිටියේය. සංගීතා වෝග් ජුවලර්ස් දැන්වීමට පෙනී සිටීම එක්තරා විදියක අහම්බයකි. වෝග්හි මෙම රූපවාහිනී දැන්වීම් නිර්මාණකරණය එදා සිදු කළේ තිමති වීරරත්න ප්‍රවීණයා විසිනි. දිල්හානි දායක වූ දැන්වීම රූගත කරමින් සිටි දිනෙක, බැලේ නර්තන පංතියට ගොස් සංගීතා තාත්තා සිටි තැනට ආවාය. එවිට සංගීතා වයස අවුරුදු 15ක් පමණ වූ දැරියක වූවාය.  


‘‘දුව පොඩ්ඩක් මෙහෙට එන්න මේ වළලු ටික දාලා බලන්න’’ යැයි නිකමට වාගේ තිමති දියණියට කීවේය. ඒ අහම්බය සංගීතා හට වාසනාව උදා කර දුන්නේ වසර 15ක් පමණ වෝග්ලා සමඟ ප්‍රචාරණ කටයුතුවලට දායක වීමේ අවස්ථාවය. ඉන්පසු තම ස්වර්ණාභරණ මෝස්තර නිර්මාණකරණයේදී කළ නිරන්තර වෙනස්කම් මෙන්ම ප්‍රචාරණයේද වෙනසක් කිරීමට අනුර හේමචන්ද්‍ර උනන්දු වීය.  


‘‘ඒ වන විට ‘ශාන්ති’ ටෙලිමාලාව ලංකාවේ අතිශයින් ජනප්‍රියව තිබුණෙ. එහි රඟපෑවේ මන්දිරා බේඩි. ඇය ​ඉන්දියානු ශිල්පිනියක්. ඒ නිසා ඇය තෝරා ගැනීමේදී අපට බොහෝ විවේචන එල්ල වුණා. ඇයි ලංකාවේ අය නැද්ද? කියලා සමහර අය අපෙන් ප්‍රශ්න කළා. එහෙත් අපි නිරන්තරයෙන්ම කටයුතු කළේ ශ්‍රී ලාංකීය කලාකරුවනට මුල් තැන දීලයි. එදා රූපවාහිනියේ චිත්‍රපට ප්‍රචාරයට පවා අපි නිරන්තරයෙන් අනුග්‍රහය දැක්වූවා. ඊට අමතරව කලාවේ සම්මාන උළෙල ඇතුළු බොහෝ ඉසව් සඳහා වෝග් ලබා දුන් අනුග්‍රහය ඉහළයි.  
කලාවේ සහ සමාජයේ තවත් ඉසව් සඳහා නිරන්තරයෙන් අනුග්‍රහය දැක්වූ වෝග්, එදා 60 දශකයේ සිටම ශාසනයේ දියුණුවට ද බොහෝ දේ සිදුකර තිබේ. සරලවම කිවහොත් වෝග්ලා සමාජය සමඟ නිරන්තරයෙන් බැඳී වෙළී සිටින ආයතනයකි. වත්මනෙහි සමාජජාලා ඇතුළු බොහෝ දෙනා අතර මේ වෝග් ජුවලරි ආයතන ජාලය කතා බහට ලක්ව ඇත්තේ ‘‘මංගල මුදු මාල වළලු’’ දැන්වීමට භාරතයේ සුපිරි ගායන තරුව සෝනුනිගම් පෙනී සිටි නිසයි.  


‘‘මේ දැන්වීම පරම්පරා කීපයක් අතර නිරන්තරයෙන් ප්‍රකට වූවක්. 35න් උඩ බොහෝ දෙනා කියන්නෙ ඒක බොහොම අපූරු දැන්වීමක් කියලයි. ඊට පල්ලෙහා තාරුණ්‍යයට සහ පතිකුලයට යන මනාල මනාලියන් අතර කතා බහකට ලක්වන දෙයක් කිරීමට අපට අවශ්‍ය වුණා. ඒ අනුව අපේ කණ්ඩායම මේ ගැන සාකච්ඡා වට කීපයක් පවත්වා අවසාන තීරණයකට ආවා. ඒ වෙනස මුලින්ම අපි කළේ කාවින්ධ්‍යා අධිකාරී සහ නදීමාල් පෙරේරා යොදාගෙන. ඉන් පසුව ‘‘සෝනු’’ ගැන මුල්ම සංකල්පය ගෙනාවේ අපේ පුතා. එයා මේ දිනවල උසස් අධ්‍යාපනය ලබමින් සිටින්නෙ එංගලන්තයේ. අපි සාකච්ඡා කරමින් සිටියදී පුතා තමයි කිව්වෙ. එදා සෝනු ලංකාවට ආ වෙලාවේ පැවැත් වූ ප්‍රසංගයේදී ‘‘මේ ජීවනයේ’’ ගීතය හරි අපූරුවට ගායන කළ නිසා මේකට හොඳම කෙනා එයා නේද කියලයි. ඇත්තටම පුතාගෙ ඒ තීරණය කෙතරම් නිවැරදිද කියලා අද අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. මේ විදියට දැන්වීම්කරණ සහ ප්‍රචාරක කටයුතු නිර්මාණකරණයේදී වෝග්හි අධ්‍යක්ෂ තනතුරක් දරන මගේ බිරිඳ සමන්තාගෙන් ලැබෙන උපදෙස් සහ නිර්මාණශීලී අදහස් මෙන්ම දායකත්වය ගැන ද කිව යුතුමයි. තිරය පිටුපස සිට බිරිඳ සමන්තා, පුතා අනුරාධ සහ දියණිය මදාරා ලබාදෙන සහයෝගය මා අගය කළ යුතුමයි.  


වෝග් හි අභිමානය සහ ගොඩනැගීම සිදුව ඇත්තේ එලෙසින් අන්‍යයන්ට ගරු කරමින් සදාචාරාත්මක ගමනක් පැමිණි නිසා යැයි අනුර විශ්‍වාස කරයි. ආර්ථික ගමනේ හිනි පෙත්තට යද්දී බොහෝ දෙනා ටයිකෝටය දක්වා ඇඳුමට මාරු වූවද, අනුර හේමචන්ද්‍ර ජාතික ඇඳුමින් නිරන්තරයෙන් පෙනී සිටියේය.  


‘‘ආර්ථික දියුණුව ඇතිවන තරමට ඊට වඩා ආධ්‍යාත්මික දියුණුව ඇති කර ගන්න’’ යන මතය ඔහු දැඩිසේ විශ්වාස කරන අතර, ප්‍රායෝගිකව එය ක්‍රියාත්මක කරන අපූරු ව්‍යවසායකයෙකි. එමෙන්ම ශ්‍රී ලාංකීය ස්වර්ණාභරණ කලාවට මහාර්ඝ වටිනාකමක් ගෙන දුන් අපූරු නිර්මාණකරුවෙකි. මෙහි වත්මන් සභාපතිත්වය ඔහුගේ මව වන චන්ද්‍රා හේමචන්ද්‍ර මාතාව හොබවන අතර, කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දරන්නේ අනුර හේමචන්ද්‍රය. ඔහුගේ එකම සොහොයුරු වෛද්‍ය පූජිත හේමචන්ද්‍ර අධ්‍යක්ෂ ධුරයක් දරන අතර, බිරිඳ සමන්තා ද අධ්‍යක්ෂවරියක වන්නීය.  


අවුරුදු 34ක් එක දිගට සෑම සතියකදීම අනුර බෝධි පූජා පැවැත්වීම සිදු කරයි. එමෙන්ම සෑම පෝය දිනකදීම ඔහු සිල් සමාදම් වෙයි.  


‘‘මේ විදියට මනස පිරිසිදු කර ගත්තෙ නැත්නම් කය නිරෝගී නැත’’ යනු ඔහු විශ්වාස කරන දෙයකි.  


‘‘අනුන් කරන දේ ගැන කලබල නොවී තමුන් සමග නිතර තරග කරන්න’’ එවිට ඔබට ඔබ සොයා ගත හැකිය යන්න ඔහුගේ විශ්වාසයයි. මෙලෙසින් වූ චින්තනයක් ඇතිව අභියෝග ජයගත් අනුර හේමචන්ද්‍ර ඔබ කවුද? කියා යමෙකු ඔහුගෙන් විමසුවහොත් ඔහු ලබා දෙන පිළිතුර වන්නේ,   


‘‘දේශීයත්වය ඉහළින් අගය කරන, සිංහල බෞද්ධ ව්‍යාපාරිකයකු යනුවෙනි’’

 

 

සටහන / ඡායාරූප :
සඳුන් ගමගේ