වේවැල්තලාව වත්තේ තේ දළු ගෙන යන කේබල් කාර්


 

​මෙවර අපගේ ක්‍රියාද‌ාමය වූයේ වේවැල්තලාව ඉසව්වට පියනැගීමය. පුද්ගලික වතුයායක් වූ නිසාවෙන් සංචරණයට එහි පිවීසමට තහනම් නමුත් “සොබාසිරි කණ්ඩායම” සඳහා ඒ සඳහා අවසරය ඔවුන් ලබා දුන්නේ නොපැකිළවය. එම නිසාම පෙර කතිකා කරගත් පරිදි අප නඩය නියමිත දිනයේ කොළඹ කොටුවෙන් පාන්දරින් ගමන ඇරඹිමු. බක් මහේ අසිරිය ගෙවෙද්දී වෙසක් පුන් සඳ බැබලෙන සඳ කොළඹ සිට හයිලෙවල් මාර්ගය අවිස්සාවේල්ල හරහා හැටන් පාර දිගේ යටියන්තොටට පිවිසියේ දෙහෝරාවක කාලයක් තුළය.   


පසුව අප අමනාවෙල සීපෝත් මාර්ගය ඔස්සේ කි.මී. 13 කණුව පසුකොට හල්ගොල්ල වතුයාය හා කර්මාන්ත ශාලාව පිහිටි ප්‍රදේශයට පැමිණියේ මීදුම් සළු ගිරි ශිඛර මතින් ඈත්මෑත් වන්නටත් මත්තෙනි. වංගු ගැසී කඳු අතරින් වැටී ඇති මෙම පටු මාර්ගය අවට තේ හා රබර් වගවලින් සරුසාරය වී ඔය ඇල්ල, වලල්පොළ ඇල්ල, කිතුල් ඇල්ල සහ ඕලූ ඇල්ල මෙම මාර්ගයේදී දැකිය හැකිය. ඕලු ඇල්ල යනු මීටර 200ක් පමණ උසැති ලංකාවේ පස්වන උසම දිය ඇල්ල ලෙස හඳුන්වනු ලබන ලංකාවේ තිබෙන වෙනස්ම ආකාරයේ නිර්මාණයකි.   


අපට එම ඕලු ඇල්ල ඉහළම කොටසට ගොස් සැඟව තිබෙන අවශේෂ කුඩා දිය ඇළි 2 ක් දැකිය හැකිවිය. ඕලු ඇල්ල නිර්මාණය කරන ජලකඳ ගමන් ගන්නා ආකාරයක් වේවැල්තලාවට කඳු මුදුනින් ප්‍රථම පියවර කඩා වැටෙන ආකාරයක් අද අපට දැකිය හැකිබව අප දැනගෙන සිටියෙමු. මීදුම් අඳුර ගිලිහී යන හෝරාවේ හිරු කිරණ කඳු මුදුන් අතරින් එබෙන්නට වෙර දරන කල නඩය ක්‍රම ක්‍රමයෙන් ගමන ඇරඹුවේ ගමනාන්තය වන ස්වාධීන රූපවාහිනී කුලුනු පිහිටි එම ප්‍රදේශයේ යා හැකි අවසන් ස්ථානය බලාය. අම්පාන යෝජිත වන රක්ෂිතයට අයත්වන එම ඉසව්ව වේවැල්තලාව නම් මහා සානුවේ අවසානයයි. වේවැල්තලාව යනු නැවුම් තේ වගාවක් සිදු කරන ප්‍රදේශයක් වන අතර දිවයිනේ වැඩිම වර්ෂාපතනයක් වාර්තා කරන ප්‍රදේශවලින් එකකි. ප්‍රදේශයේ උස් ස්ථානයක වැජඹෙන වෑවිය තලාව නිතරම මීදුම මගින් වැසී තිබෙන ජල පෝෂක රමණීය පරිසරයක් පිහිටි භූමියක පිහිටා ඇත.

 


ක්‍රම ක්‍රමයෙන් හොඳින් සකසා තිබූ මග දෙපස මැදින් වැටී තිබුණ ගල් බොරලු පිරි අබලන් මාර්ගය දිගේ නඩයම ඉහළට ඇදෙන්නට විය. කිලෝමීටර 2 ක් පමණ ගිය පසු තේ වතු මැදින් සුන්දර තේ දලු නෙළන්නියන්ගේ දවසේ වැඩ මුරය අරඹන සිනා කඳ මැදින් ගමන් කරමින් එක්තරා ස්ථානයකට ළඟා වුණෙමු. එය දවසේ ප්‍රථම අංගය වූ නිතරම ජලය වැටෙන විශාල කළු ගල් පර්වතයකි.   


එය Dripping Rock කියා හඳුන්වන අතර කුඩා කෝවිලක් වැනි වන්දනා ස්ථානයක් එහි සදා තිබෙයි. ක්ෂණයෙන් හටගත් වර්ෂාව නිසා අප එම ගල් පර්වතයට මුවා වූයේ වැස්සෙන් නොතෙමී සිටීමටය. නියං කාලයක වුවද මෙම ගල් පර්වතය මුදුනින් ජල බිංදු පහළට වැටෙන ක්‍රියාවලිය නවතින්නේ නැති බව මගතොට හමුවූ කම්කරුවෝ පැවසූහ. තවද මෙම ගලෙන් වැටෙන දිය බිංදු හා දහරාව සෘජුවම අප ගමන් ගතයුතු මාර්ගයේ වංගුව අසලදී පතිත වේ.   
කෙසේ හෝ වර්ෂාව මඳක් පෑව්වද කාලය නිසාවෙන් වැහිකබා හැඳගත් අප මඳ වැස්සේම ගමන නැවත ඇරඹුවෙමු. තවත් දුර යන විට අපට දක්නට ලැබුණේ අද දවසේ දෙවන අංගය වන අප බලාසිටි කේබල් කාරය විය. විශාල ​ෙක්බල් කඳු මුදුනක සිට පහළට ඇදී ඇති අතර අතර මැද සවි කළ කුලුන මත පිහිටි වෘත්තාකාර සම්බන්ධතා මගින් සම්බන්දවී තේ දලු ගෝනි ගුවනින් එහා මෙහා ගෙන යාමට කටයුතු සලසා තිබෙයි.   


එම කේබල් කාර් හා ආශ්‍රිත ප්‍රදේශවල තිබූ සුන්දරත්වය වචනයට පෙරළිය නොහැකි තරම්ය. කඳු මුදුනක මීදුමෙන් වැසී ඇති අරත ඒ මැදින් වැටුණු කේබල් දිගේ අැටවුම පමිණෙන්නේ ගුප්ත ලොවකින් යමක් පැමිණෙනවා සේය. වර්ෂාව මධ්‍යයේ වුව නඩයම එය නොතකා කේබල් කාර් ක්‍රමයේ අසිරිය වින්දෙමු. තවද එම පද්ධතිය ස්ථානගතව තිබූ මඩුව වෙතද අප සැම ගිය අතර එය හොදින් නිරීක්ෂණයකොට එහි තොරතුරුද දැක ගත්තෙමු.   


අතීතයේ මෙම ප්‍රදේශය අයිති බ්‍රිතාන්‍ය ජාතිකයින් මෙම උස් සානුවේ සිට පහළට තේ දලු ඉක්මනින් ගෙන යා හැකිලෙස මෙම කේබල් කාර් ක්‍රමයට ඇටවුම් සකසන ලදී. කුඩා දරුවෙකුට හෝ දෙදෙනෙකුට නම් මෙම ඇටවුමේ වාඩිවී මෙලෙස ගුවනින් යා හැකි මුත් වැඩිහිටියන්ට එය සිදු කළ නොහැකිය. බොහෝ අයටද සිතුණේ අපටත් මෙම අත්දැකීම ශ්‍රී ලංකාවේ සංචාරකයන් ප්‍රවාහනයට සංචාරක ආකර්ෂණීය ස්ථාන තුළ පිහිටුවා නම් කියාය.   


මේ වන විට කඳු නැගීම අවසන් වී අප කන්ද මතට පැමිණ සිටියෙමු. වර්ෂාව මඳක් අඩුවුවද තවමත් මීදුම් සළු ඔබ මොබ යමින් පැවතුණි. වෘත්තාකාර වූ කඳු ගැට මත තේ යායවත් පිදී ගුරු පාරවල් අතරින් තේ කොටස් බෙදී ඇති දර්ශනය නැවත කන්ද නගින විට දැකීම අතිහය සුන්දරය. මෙම ප්‍රදේශයේ වතු කම්කරු ගම්මානයක් සේම පාසලක්ද පවතින අතර අප දවසේ තුන්වන අංගය සොයා ගමනාන්තය දිගේ ඉදිරියටම ගියෙමු.   


එහිදී අපට විවිධ නාම පුවරු දක්නට ලැබුණි. දෙවන ලෝක යුද සමය සිද්ධියක් සිහිපත් කරන කුලුනක්ද හල්ගොල්ල වතුයාය හා ජෛව විවිධත්වය ගැන සඳහන් තොරතුරුද ඒ අතර විය. පසුව අප දවසේ තෙවන අංගය වූ මෙම කන්දේ උතුරු කෙළවරට කුඩා ලෝකාන්තයක් ලෙස නැරඹිය හැකි ස්ථානය වෙත ගියෙමු. එහි ගිය කල දැවැන්ත ප්‍රවාහයක් දැකිය හැකි වූ අතර මානාවෙළ ප්‍රදේශයේ අවට පිහිටි අවශේෂ කඳු සහ විශේෂයෙන්ම අක්කර පනස් දෙකේ වවුලගන කන්දත් දැක ගත හැකි විය.   


ඉතාමත් ආරක්ෂාකාරී ලෙස එම ස්ථානය සකස්කොට ඇති සේම කුඩා ගිමන්හලක්ද ඒ අසල පිහිටුවා තිබේ. පසුව එම ස්ථානයට මඳක් දුරින් අපට දවසේ සතරවන හා පස්වන අංගවලට පිවිසීමට ඇති බව දැන ගත්​ෙතමු. එනම් අඩි මාර්ගය දිගේ අප ඕලු ඇල්ලේ ඉහළට එනම් සැගවුණු ඇලි 2 බැලීමට අප ගියෙමු.   
කුඩා එල්ලෙන පාලමකින් එහා පැත්තට ගිය පසු අපට දවසේ පස්වන අංගය වූ වවුල් ගුහාව නැරඹීමට ද හැකිවිය. ඕලු ඇල්ලට ජලය ගෙන යන දියපාර ප්‍රථම කඩා වැටීම අප දුටුවෙමු. එම ස්ථානයට ළඟා වුයේ දැඩිලෙස ප්‍රවේසම් වෙමිනි. තවද එල්ලෙන පාලමට යටින් දියකඳ තවත් කුඩා ඇල්ලක් නිර්මාණය කරනු ලබයි. එම ඇළි යුගලය නරඹා අළුපාන රක්ෂිතය දෙසට මඳක් ගිය පසු වවුල් ගුහාවට පිවිසිය හැකියි. ඉතා කුඩා වපසරියක පිහිටි එම ගුහාව ඇතුලත අසුන්ගත හැකිලෙස සකස්කොට තිබේ.   


කෙසේ හෝ දහවල් 2 පසුවන විට නඩයම දවසේ නැරඹිය යුතු අංග සයෙන් පහක්ම නරඹා අවසන් වූයෙන් රැගෙන ආ ආහාර වර්ග භුක්ති විඳීමට වීමි. පසුව නැවතත් ප්‍රදේශය මීදුමකින් වසා ගන්නට විය. පරිසරය කුමන කෝණයකින් බැලුවද අලංකාරය. නැවුම් ඔක්සිජන් ජනනය කරන හරිත පැහැ වෙළාගත් ගස්වැල් රාශියක් මෙම ප්‍රදේශයේ විය. සන්නිවේදන කුලුනු පිහිටි ඉසව්වට තවත් බොහෝ දුරක් ඇති නිසාවෙන් නඩයම හෙමි හෙමිහිට ගමන ඇරඹුයේ දවසේ අවසන් නැරඹුමට ගොස් සමස්ත වේවැල්තලාව නම් පාරාදීසයම නැරඹූ බවට සාක්ෂි බවට පත්වීමේ අටියෙනි. එම නිසාම නඩය අවට පරිසරය සිරි නරඹමින් අබලන් මාර්ගය දිගේ ඉහළට ඇදුණාහ.   


සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් මෙම ප්‍රදේශය පිළිබඳ කෑගලු දිස්ත්‍රික්වාසීන් පවා දන්නේ නැති බව අප පසුව දැනගත්තෙමු. තවද මෙම ස්ථානය බොහෝ දේශීය සංචාරකයන්ට රහසකි. මන්ද නොඉඳුල් පරිසරයේ පැවැත්ම තවදුරටත් ආරක්ෂා විය යුතු නිසාවෙනි. නමුත් විශේෂ අවසරයක් අප ලබා ගන්නේ පරිසරයට කිසිදු අපද්‍රව්‍යයක් හෝ දිරාපත් නොවන ද්‍රව්‍යයක් බැහැර නොකරන ලෙසට වගකීම ගනිමින් සේම එම වගකීම අප නඩයම නිසි පරිදි ඉටුකළ බව සහතිකය.   


පසෙකින් රිටිගහ ඔය නිම්නය වන බුලත්කොහුපිටිය - දේදුගල ප්‍රදේශයත් අනෙක් පසින් මන්නාකැති ඇල්ල පිහිටි කිතුල්ගල මල්වත්ත ප්‍රදේශයත් යටියන්තොට හා නාවලපිටිය දක්වා වන දොළොස්බාගේ ප්‍රදේශත් පිහිටා ඇත. මීදුම රහිත දිනවල නිල් අහස යට බොහෝ ඈතකට විහිදුනු ඉසව් හා කඳු පන්ති දැකගත හැකි අතර වැසි සහිත දිනවලදී කූඩැල්ලන් අධික බවත් තෙත් පරිසරය මත චිරි චිරියේ ගලායන දිය දහරාවන්ගේ මියුරසන් නොමදන සංකලනය වන කාලයක් බවට ගම්වැසියෝ අපට පැවසූහ. අම්පාන යෝජිත රක්ෂිතය යනු වටිනා ඖෂධ හා දැව පිහිටි ඉසව්වක් වන අතර පිවිසීම තහනම් කොට ඇත. එම නිසාම අප කිසිසේත්ම එම වන පියසට ඇතුළු වීමට උත්සාහ නොකළෙමු.   

 


තවත් හෝරාවක කාලයක් තුළ අප දවසේ අවසාන අංගය වූ මෙම ප්‍රදේශයේ පිහිටි උස්ම ස්ථානයට ළඟාවූයෙමු. අනවසරයෙන් ස්වාධීන රූපවාහිනී කුලුන පිහිටි ප්‍රදේශයට ඇතුළුවීම තහනම් වූ නිසාවෙන් කල්තියාම අපි ඊට ද නිසි අවසරය ලබාගෙන තිබුනෙමු. කෙසේ හෝ අප එම ඉසව්වට ගිය අතර සන්නිවේදන කුළුණු ඉතා ආසන්නයෙන්ම දැක ගත හැකිවිය.   


එහි පැමිණි නඩය මඳ වේලාවක් එහි ගත කළහ. ඝන වන පියසකින් වටව තිබෙන ප්‍රදේශය තුළ මෙම කුලුණ ස්ථාන ගතකොට ඇති අතර ඈතින් පෙනෙන කඳු වළලුවල දර්ශන​ෙයන් එදින අපට දැකීමට නොහැකි වූයේ අධික මීදුම නිසාවෙනි. කෙසේ නමුත් අප නැවතත් කන්ද බැසීමට පටන්ගත් අතර එහිදී මීදුම් තත්ත්වය ක්‍රමයෙන් පහව යන්නටත් අඳුර ගලන්නටත් විය. නිවාඩු දිනයක් වූ බැවින් වතු කම්කරුවන් එතරම් පිරිසක් ආපසු යන ගමනේදී දක්නට නොලැබුනු අතර නඩයම ලහි ලහියේ ආපසු ගමන පිටත් වූහ.   


මෙම සන්නිවේදන කුලුණු පිහිටි ප්‍රදේශය තෙක් සෆාරි ජීප් රථයකින් හෝ වෑන් රථයකින් පවා පැමිණිය හැකි ලෙස මාර්ගය පිහිටා ඇති නමුත් එහි පවතින දැඩි අබලන් ස්වභාවය ජයගැනීම සමහර ස්ථානවලදී දුෂ්කර විය හැකිය. තවද පුංචි ලෝකාන්තය හා වවුල්ගුහාව පිහිටි ඉහළ ඕලු ඇලි ප්‍රදේශයට යා යුත්තේ නිතැතින්ම පා ගමනෙනි.   


වැසි සමයේ මෙම ප්‍රදේශවල කූඩැල්ලන් බහුලව වාසය කරන අතර ලිස්සන සුලු අන්තරාද‌ායක ඉසව්වලදී ආරක්ෂාකාරීවීම වැදගත් වේ. එමෙන්ම මෙම ප්‍රදේශයේ ජීවත්ව දුෂ්කර ලෙස තම දිවිය ගැටගසන අහිංසක වතු කම්කරුවන්ගේ දරුවන්හට හැකි ලෙස පාසල් පොත්පත් හෝ උපකරණවලින් යමක් ලබාදීමට හැකි නම් එය ඉතාමත් අගනේය.   


අවට ගම් නගර ආශ්‍රිතව වේවැල්තලාව යනු කන්දක් ලෙස පෙනෙන අතර ඒ මත පිහිටි මෙම සානුව ස්වභාව ධර්මයාගේ අපූර්ව නිර්මාණයක් බව එහි පැමිණි අපි එදින දැනගත්තෙමු. මන්ද මෙය කන්දක් උඩ පිහිටි තවත් පුංචි ලෝකයකට සමාන බැවිනි.   


බස්රථය නැවතූ ස්ථානයේ සිට කුලුණ දක්වා අප වවුල් ගුහාව හා අනෙකුත් අංග නරඹමින් කිලෝමීටර 15කට ආසන්න දුරක් ගමන් කළේ නැවත එම දුරම නැවතත් බසින්නට ඇතිබව සිහිගන්වමිනි. එම නිසාම දුෂ්කර හා දීර්ඝ පා ගමන හේතුවෙන් නැවත අප බස් රථය කරා එන විට වෙලාව රාත්‍රී 9 ට ආසන්නව තිබුණි. කෙසේ හෝ අප හල්ගොල්ල වතුයායෙන් පිටතක ආවේ රාත්‍රී අඳුරත් මීදුම ගලන සීතලත් සමගිනි. අප මීට මඳක් ඉදිරියෙන් පිහිටි ඕලු ඇල්ල නැරඹීමට පැමිණිවගත් වවුලාගල කන්ද තරණයට පැමිණි බවත් කිව යුතුය.   

 


ඕලු ඇල්ල මාර්ගය මතම පිහිටි ඇල්ලකි. ඇල්ලේ දියවර හරහා බැදී පාලම ලෑලිවලින් සෑදූ ආරුක්කු කිහිපයකින් යුත් අලංකාර පාලමකි. වාහනයක් යන විටදී පවා ලෑලි සද්දය ඇසෙන නමුත් එම පාලම ආරක්ෂිත බව කිවයුතුමය. ඕලු ඇල්ල ඉහළ සිට කොටස් 8 කින් පමණ වෙන්ව කඩා වැටෙන ඇල්ලකි. එම නිසාම වර්ෂාව සහිත දිනවල එම ඇල්ලේ ලස්සන කීමට වදන් නොමැති සේය. මීට පෙර අප ඕලු ඇල්ල නැරඹූ අවස්ථාවේ අප එම දිය ඇල්ල දිගේ ඉහළ ​කොටස පාමුලම තැන්නේ දියවර මතිනි. කිරිවන් පෙණ නගමින් ඇතැම් ස්ථානවලින් පනින ජල ක​ෙඳ් වේගය ඉතාමත් වැඩිවිය. තවද ඕලු ඇල්ලේ අසල්වැසියා යනු වවුලගල කන්දය.   


වවුලගල යනු අමනාවෙල රෝහල පසු කොට පිහිටි දේවාලය ද පසුකර ඉදිරියට යන විට මාර්ගයේ වම් පස අතුරු මාර්ගයකට හැරී වී ඔය හරහා ගොස් කන්ද නැගීම ඇරඹිය යුතු කන්දකි. එම කඳු වැටියේ පහළට බෑවුම් වූ ගල් බිත්තිය තනි කළු ගල් තලාවකි. සෘජුවම අංශක 90 ක ආතතියක් සහිත එම බිත්තිය නිතරම අකුණු පාරට ලක්ව කෑලි කැඩෙන ස්ථානයක් වන බැවින් කන්ද පාමුල නිවාස පිහිටා නොමැත. වවුලගල කන්ද ඉහළ අක්කර 52 ක තැන්නකි. මාන පඳුරුවලින් පිරි එම තැන්නේද ගල් කුට්ටි හා ගල් පතුරු එමට කැඩී තිබෙනු දැකිය හැකිය. ඒ නිතරම අකුණු ප්‍රහාරවලට ලක්වන කන්දක් වන හෙයිනි.   
කෙසේ හෝ වේවැල්තලාව නම් සැඟවුණු පාරාදීසය සොයා මුහුණුපොතේ සොබාසිරි (Travel in Sri Lanka - Sobasiri) කණ්ඩායම සමඟ පැමිණි නඩය කේබල් කාර් පිළිබඳ දෑස් හැර දැක බලාගෙන විශාල අත්දැකීම් රාශියක් ලබාගත් අතර ඊට දියඇළි දඩයම, කඳු තරණය, ගුහා සොයායාම, පුංචි ලෝකාන්තය නැරඹීම ආදී ක්‍රියාදාම ඉසව්වලින් සමන්විත වූයේ සංචරණයට කදිම ඉසව්වක් බවට පත්වෙමිනි. සොබාසිරි සමඟ ඕනෑම කෙනකුට මෙලෙස අපගේ ඉදිරි චාරිකා සමඟ සම්බන්ධ විය හැකි අතර ඒ සඳහා අපගේ මුහුණු පොතට සම්බන්ධ විය යුතුවේ. තවත් අප මිනිස් පහස ලැබූ ක්‍රියාදාම චාරිකාවකින් අප නැවත හමුවෙමු.

 

සංචාරක සටහන හා ඡායාරූප :
ශමින්ද රන්ශාන් ප්‍රනාන්දු