වෙසක් පහන් කූඩුවෙන් කියාදෙන බුදු බණ


 

 

තථාගත ගෞතම බුදුපියාණන් වහන්සේගේ උපත, බුද්ධත්වය හා පරිනිර්වාණය යන මංගල සිදුවීම් සිහිපත් කරමින් උතුම් වෙසක් මංගල්‍යයට මෙවර ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව ප්‍රතිපත්ති පූජාවට වඩා ආමිස පූජාවට මුල් තැන දී කටයුතු කරන්නට සුදානම්ව සිටිති.   


සුපුරුදු ලෙස ශ්‍රී ලංකාවේ සතර දෙන ශඩ්වර්ණ බෞද්ධ ධජ ඔසවා තිබෙනු දැකිය හැකිය. ඇතැම් තැනක බෞද්ධ ධජය කණපිට ඔසවා ප්‍රදර්ශනය කර ඇති අයුරුද දැක ගත හැකිය. එයද කනගාටුදායක සිද්ධියකි. ත්‍රෛමංගල්‍යය වෙනුවෙන් බෞද්ධ ධජවලට අතිරේකව පහන් කූඩුවක් දුගී පැලකත් මහා මන්දිරයකත් බුදුන් වහන්සේට පූජාවක් ලෙස ප්‍රදර්ශනය කිරීම මෙරට බෞද්ධ ජනතාව මහත් බැතියෙන් කරන සිද්ධියකි. අන්‍ය ආගමිකයින් ද පහන් කූඩුවක් එල්ලා ත්‍රෛමංගල්‍යයට එකතු වන අයුරු ද අප දැක ඇත. 


ශ්‍රී ලංකාව පුරාම විවිධ වර්ගයේ පහන් කූඩු දකින්නට පුළුවන. ඒ අතර අටපට්ටම් කූඩුව, නෙළුම් මල ඇතුළු (තරු , ගුවන් යානා, නැව්, ත්‍රීවිල්) ඇතැම් දෙනා සකසා ප්‍රදර්ශනය කරනු අපි දැක ඇත්තෙමු. ඊට අතිරේකව මහා පරිමාණයේ දර්ශනීය කූඩු ද වෙසක් මංගල්‍යය වෙනුවෙන් නිර්මාණය කොට මාසයක් පමණ ප්‍රදර්ශනය කිරීමද අපේ රටේ පුරුද්දක් කොට ගත්තකි. මෙම පහන් කූඩු අතර වැඩි වශයෙන් ශ්‍රී ලංකාව පුරාම දැක ගත හැක්කේ අටපට්ටම් කූඩුව වේ. ඒ එම අටපට්ටම් කූඩුව පහසුවටත් ඉතා චාම් ලෙසත් සකස් කර ප්‍රදර්ශනය කිරීමට ඇති හැකියාව නිසාය. ඒ නිසාම බහුතර බෞද්ධයෝ අටපට්ටම් කූඩුව නිර්මාණය කිරීමට වැඩි කැමැත්තක් දක්වති. 


එහෙත් මෙම අටපට්ටම් කූඩුව අනෙකුත් පෙර සඳහන් කළ කූඩුවලට වඩා බුදු දහමේ උත්තරීතර දර්ශනය ඇතුළත්ව පෙර දවස හෙළ කලා ශිල්පීන් අතින් නිමවූවක් බව පෙනෙන්නට තිබේ. සංසාර ගමනත් අවසානයේ දී නිවන පිළිබඳවත් මෙම අටපට්ටම් කූඩුව දෙස බලද්දි අපට කියා දෙන පණිවිඩය අති මහත්ය. 

 

 


අටපට්ටම් කූඩුවේ (විවිධ වර්ණවලින් යුතු රැළි මාලාව) (ලෝභය, ද්වේශය, මෝහය) අපට කියා දෙන්නට සමත් වේ. කූඩුවේ උඩ සහ යට හිස්ව තබා එයින් උපත හා මරණය ගැන කියා දෙන්නට සමත්ව ඇත. සංසාර ගමන තුළ නැවත නැවත පුනරුත්පත්තිය ගැන කියැවෙන (ජාති, ජරා, ව්‍යාධිය, මරණය) සතර අත සත

රැස් කොටු මගින් පෙන්වා දේ. 


ඊට අතිරේකව ඉහළ පහළ තුන් හුලස් හැඩය ගත් කොටස් අට අපූරුවට අපට කියා දෙන්නේ (ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳවයි.) 


ඒ අරියඅට්ට මග ඔස්සේ (දුක, දුක ඇතිවීම, දුක නැතිකිරීම, දුක නැතිකිරීමේ මාර්ගය) චතුරාර්ය සත්‍යය සිව් දෙස අපට අටපට්ටම් කූඩුවේ ඉතා පැහැදිලව කියා දෙන්නේය.

අටපට්ටම් කූඩුවේ සව්කොළ කඩදාසිය මැද අපට පෙන්නුම් කර දෙන්නේ නිරාමිස ආලෝකයෙන් නිවන බව මනාව වටහා ගත හැකිය. 


ඉතා අඩු වියදමකින් උණබට පතුරු එක් කර සාදන අටපට්ටම් කූඩුව හැර නෙළුම් මල බෞද්ධ සංස්කෘතියේ මහත් පණිවිඩයක් කියා දෙන තවත් අංගයක් වේ. ඒ හැර තරුව ඇතුළු විවිධ හැඩතල ඇති කූඩු බුදුන් වහන්සේ උදෙසා සිදු කරන ආලෝක පූජාවක් දැයි ප්‍රශ්න කළ යුතු වේ. 


කෙසේ වුවත් උණබට පතුරු එකතු කර නිවසේ සෑදු අටපට්ටම් කූඩුව අද ප්ලාස්ටික්වලින් නිමවා වෙළෙඳපොළෙන් නිවසට ගෙනැවිත් එල්වීමට තරම් බෞද්ධයෝ පෙළ ගැසී සිටිති. වෙළෙඳපොළට විදේශීය රටවල්වල විවිධ උත්සවයන් සඳහා භාවිතා කරන පහන් කූඩු ද අද වෙළෙඳපොළ හරහා අපේ නිවෙස්වලට එන්නේ වෙසක් අසිරිය වෙනුවෙනි. ඒ කොතෙක් දුරට යෝග්‍යදැයි සැලකිය යුතු වේ. 


බුද්ධවර්ෂ 2563 වන වෙසක් මංගල්‍යය ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවටත්, ලෝකවාසී බෞද්ධ ජනතාවටත් අති උතුම් දිනයක් වේ. එම දිනය සිහිකර ශ්‍රී ලංකාවේ බොහෝ තැන්වල තොරණ්, දන්සල්, බැති ගී ප්‍රසංග ඇතුළත් වෙසක් කලාප ද බිහි වී ඇත. වෙසක් කලාප තුළින් බොහෝ දෙනා විනෝද වන අයුරු දකින්නට පිළිවන් වන්නේ ඒවා සැණකෙළි සිරි ගන්නා නිසාය. උතුම් ශාස්තෘවරයෙකුගේ උපත, බුද්ධත්වය, පිරිනිවන යන සංස්කෘතික උත්සවය මෙවර අපේ අාධ්‍යාත්මික තත්ත්වය පොහොසත් කරන්නට අවකාශ සැලසී ඇත. ඒ ඉකුත් අප්‍රේල් පාස්කු ඉරු දින සිදු වූ මහා ත්‍රස්ත ප්‍රහාරය නිසාය. 


ප්‍රතිපත්ති පූජාවට මූලිකත්වය දී ඇති මෙවර වෙසක් දින දා අර්ථවත් ලෙස අපේ දූදරුවන් හා එකතුව අටපට්ටම් කූඩුවක් නිර්මාණය කර බුදුන් වහන්සේ දේශනා කළ බුදු දහමට අනුගත වීම තුළ සැබෑ වෙසක් මංගල්‍යයකට එක්වීම කාගෙත් යුතුකම හා වගකීම වන්නේය.

 

 

 

 

 

සටහන :
නුවරඑළිය ෂෙල්ටන් හෙට්ටිආරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි.