වෙරළේ දුවලා පුහුණුවෙලා පදක්කම් ගෙන ආ දැරිය


 

කළු මරක්කලගේ පාරමී වසන්ති ප්‍රනාන්දු තවමත් 17 වන වියේ පසුවන හිරිමල් යෞවනියකි. ඇය උපන්නේ හලාවත, අඹකඳවිල, සරප්පුවත්ත ධීවර ගම්මානයේය. මෙම දියණිය ඉකුත් 15 දා ශ්‍රී ලංකාව බැබළවූ දිරිය දියණියක් බව මුළු ලොවටම පෙන්නුම් කළාය. ඒ ආර්ජන්ටිනාවේ දී පැවැති තෙවැනි ලෝක යොවුන් ඔලිම්පික් මලල ක්‍රීඩා තරගයේ දී ය. එහිදී මේ දිරිය දියණිය වසර 10ට පසුව මෙවන් තරගාවලියක දී මේ රටට තවත් පදක්කමක් ගෙනාවාය. 


මීටර් 2000 බාධක දිවීම තරගය යටතේ ඇයට ලෝකඩ පදක්කමක් හිමිවී ඇත. 


2001 දී උපත ලද ඇගේ පියා ධීවරයෙකි. ඔහු තෙප්පම් කබලකින් දෑතේ වීරියෙන් හබල් ගා මුහුදු ගොස් අල්ලාගෙන එන මාළු කීයකට හරි විකුණා ලබන මුදලින් තම දරු තිදෙනා පෝෂණය කළේය. ඔහුගේ නම කළුමරක්කලගේ අන්තෝනි ටියුඩර් ප්‍රනාන්දු ය. වයස අවුරු 49කි. ඔහුගේ බිරිඳ මග්ගමගේ රීටා මාගරට් සිල්වාය. ඔහුගේ වයස අවුරුදු 43කි. 


රීටා මාගරට් සිල්වා මහත්මිය අපට හමුවනවිට සිය දිරිය දියණියගේ හපන්කමින් ප්‍රීතියෙන් පීනාගොස් සිටියාය. 


“මගේ දරුවන්ගෙන් ලොකු ළමයා පුතෙක්. එයා නිශාන්ත පැතුම්. ඊළඟට ලොකු දුවයි. ඇය නිශාන්ති දිල්හානි ප්‍රනාන්දුය (21). ලොකු දුව ක්‍රීඩාවට දක්ෂයි. ඒ නිසාම එයා ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගවලට සහභාගිවෙලා ජයග්‍රහණයන් ලබා තියෙනවා. ඇගේ දක්ෂතාව නිසාම ලොකු දුවට කුලියාපිටිය මැදි මහ විදුහලට ශිෂ්‍යත්වයක් ලබා ගත හැකි වූවා. මේ වනවිට ලොකු දුව සබරගමුව විශ්වවිද්‍යාලයේ ක්‍රීඩාව සම්බන්ධ උපාධි පාඨමාලාවක් හදාරනවා. 


මගේ පොඩි දුව තමයි පාරමි වසන්ති මාරිස්ටෙලා. එයාට තවම අවුරුදු 17ක්. අක්කා වගේම එයත් පුංචි කෙල්ලක්. මුලින්ම පාසල් ගියේ හලාවත, අඹකඳවිල සාන්ත රෝගුස් විදුහලටයි. ලොකු දුව දුවන්න පුහුණු වුණේ අඹකඳවිලි වෙරළ දිගේ. එයාලා අධ්‍යාපනය ලබපු පාසලට ක්‍රීඩා පිටියක් තියා ක්‍රීඩා පුහුණු කරවන්න ගුරුවරුත් හිටියේ නැහැ. ඉන්න ගුරුවරුන්ගෙන් උපදෙස් අරන් ලොකු දුව වෙරළ දිගේ දුවමින් පුහුණුවීම් කළා. 
මේ කාලයේදී ලොකු දුවගේ තනියට පොඩි දුව පාරමිත් වැල්ලේ දිව්වා. අක්කයි නංගියි වැල්ලේ දුවලා අවශ්‍ය පුහුණුව අරන් තමයි තරගවලට ගියේ. ඒ පාසල් මලල ක්‍රීඩා තරගාවලි සඳහායි. කුලියාපිටියේ පැවැති එවන් තරගයකදී කුලියාපිටිය මැදි විදුහලේ ක්‍රීඩා ආචාර්ය ජනිත ජයසිංහ මහතා මගේ දුවලා දෙන්නගේ දස්කම් දැකලා විදුහල්පති එච්. එම්. එන්. හේරත් මහතාව දැනුම්වත් කළා. මගේ දුවලා දෙන්නටම ක්‍රීඩා ශිෂ්‍යත්ව ලබාදීලා කුලියාපිටියෙ පාසලේ දොරටු විවෘත කර දුන්නා. 


පාරමි දුවගේ ක්‍රීඩා කෞශල්‍යයන් ගැන දැන ගත් අධ්‍යාපන අමාත්‍යංශයත් ඇයට ශිෂ්‍යත්වයක් දුන්නා. ඒ අනුව ඇයට මාසිකව රුපියල් 2500 ක පෝෂණ දීමනාවක්ද ලැබුණා. 


පාරමි දුව පුහුණුවීම් සඳහා යන්නේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයටයි. එහේට යන්න වාහනවලට විශාල වියදමක් යනවා. අපි හරි දුප්පත්. මගේ මහත්තයා මුහුදු රස්සාවට ගිහින් හොයා ගෙන එන සොච්චම් මුදලින් තමයි අප හැම වියදමක්ම දරා ගන්නේ. අපි පදිංචි මෙම නිවසත් මගේ මහත්තයාගේ මාපියන්ගෙන් ලද එකක්. මෙම නිවසත් අබලන්. ඉතා සුළු වර්ෂාවකදී පවා තෙමෙනවා. ඒ විතරක් නොවෙයි, තද වැස්සක් ආවාම අවට භූමියත් වතුරෙන් යටවෙනවා. 


දුවලා දෙදෙනාගේ වියදම් සැරයි. අතේ මුදල් නොතිබූ අවස්ථාවලදී අප රට වටේ ගොස් ණය අරන් දරුවන්ගේ ක්‍රීඩා කටයුතුවලට වියදම් කරනවා. අන්තිමේදී අපි පදිංචි නිවස අඹකඳවිල ග්‍රාමීය බැංකුවට උකස් තියලා රුපියල් දෙලක්ෂ පනස් දහසක් අරගන්න සිදුවුණා. 


අක්කා වගේම පාරමි දුවත් විදේශ රටවල් ගණනාවකට ගියා මලල ක්‍රීඩා තරගවලට. එහිදී දුව ජයග්‍රහණ රැසක් අරන් තමයි මව්බිමට ආවේ. 2018 වසරේ පැවැති ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට ගිය පාරමි දුව එහිදී රන් පදක්කමක් දිනාගෙන ආවා. එම අවස්ථාවේදී දුව ඇතුළු ශ්‍රී ලාංකික කනිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකට බලධාරීන් විවිධ පොරොන්දු දුන්නා. 


සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මට ෆෝන් කරලා වෙන්න ඕනෑ මොනවාදැයි ඇසුවා. මම කීවා, අපේ නිවස ගැන. එවිට ඇමැතිතුමා පොරොන්දු වුණා. ඉක්මනට ගෙයක් දෙනවා කියලා. එය ලැබේවි කියන පොරොන්දුව මත අපි ඉන්නවා. 


දුව පසුගිය 15 දා රාත්‍රි මට ෆෝන් කරලා කීවා අම්මේ බලන්නකෝ මට රන් පදක්කමක් ගන්න බැරිව ගියානේ මට ලැබුණේ ලෝකඩ පදක්කමක් කියලා පදක්කමත් පෙන්නුවා. අපේ පවුලේ අයට මෙම පදක්කමත් වටිනවායි කීවාම දුව දුක්වෙමින් කීවා අම්මේ ඊළඟ යොවුන් මලල ක්‍රීඩා තරගය තියෙන්නේ 2020 දී මම ඒකට ගිහින් රන් පදක්කමක් අරන් එනවාමයි කියලා. 

 

පාරමීගේ මව සහ පියා

 


අපේ දුව ආර්ජන්ටිනාවට ගියේ දහසකුත් එකක් දුක් කන්දරාවන් මැදයි. අපේ ඔළුව ගිනි අරන් ති​ෙයන්නේ උකස් කළ මෙම නිවස බේරා ගැනීමටයි. ඒ සඳහා රුපියල් ලක්ෂයක් අවශ්‍ය වුණා. කොහොම හරි අපි නොදන්න මහත්තයෙක් අපේ ගෙදරට ඇවිත් දුව ගැන ආඩම්බර වෙලා අපේ නිවසේ උකස බේරලා ගෙය නිදහස් කරලා දුන්නා. ඒ මහත්තයා එංගලන්තයේ ඉන්නේ ලංකාවේ ගෙවල් තියෙන්නේ බොරලැස්ගමුවේ. එයා දුවට ක්‍රීඩා සපත්තු දෙකක්ද තෑගි දීලා ගියා. අපේ අඹකඳවිල පල්ලියේ පියතුමා දුවට යන්න කලින් රුපියල් දස දහසක මුදල් පරිත්‍යාගයක් කළා. උන්වහන්සේ දුවගේ ජයග්‍රහණය වෙනුවෙන් නිතර යාච්ඤා කළා. 


මගේ දුවගේ කලින් ජයග්‍රහණයන් නිසා හිටපු වයඹ ධීවර ඇමැති සුමල් තිසේරා මහත්තයා මගේ මහත්තයාට අලුත් තෙප්පමක් දුන්නා, සියයට පනහේ සහනාධාරයක් මත. ඒක මුහුදට දාන්න බැහැ. එංජිමක් නැහැනේ. මගේ මහත්තයා හැමදාම මුහුදු යන්නේ හබල් ගාමින්. තෙප්පමේ අපට බෝට්ටුවක් එංජිමක් ලැබේනම් කිසිවකුටත් අත නොපා දුවලගේ ක්‍රීඩා කටයුතුත් දියුණු කර ගෙන ඉන්න පුළුවන්” යයිද කීවාය. 


පාරමී දුවගේ මවද හෘද රෝගියෙකි. එහෙත් ඇය ගෙදරට සීමාවවී නොසිටින්නීය ඇයද උත්සාහ කරන්නේ සිය පවුලේ ආදායම වැඩි කර ගැනීමටය. මව මෙන්ම පාරමී දියණිය ද නිතර රෝගීව බෙහෙත් ලබා ගන්නා බවත් පාරමීගේ මව පැවැසුවාය. 


2018 වසරේ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදී රන් පදක්කම ලබා පැමිණි අවස්ථාවේදී අපේ රටේ ක්‍රීඩා බලධාරින් රැසක්ම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ විවිධ පොරොන්දු ලබා දෙනු ලැබුවත් අද මේ දක්වා එම පොරොන්දු ඉටු කර නැත්තේ එම පොරොන්දු ලබා දුන්නේ අපේ රටේ දේශපාලකයන් නිසා විය යුතු යයි සිතේ. 


තවමත් හිරිමල් පාසල් සිසුවියක සේ ගත කරන මෙම පුංචි කෙල්ල ලක් අම්මාට ආඩම්බරයක් වුවත් අපේ රටේ ඇතැම් දේශපාලකයින් මාධ්‍යය ඉදිරියට පැමිණ මේ කෙල්ලද රවටා ඇති බව පෙනේ. 


ඇය මෙම වසර අවසානයේදී සිය දිවියේ වැදගත්ම කඩඉමකට මුහුණ දීමට නියමිතව ඇත. ඒ දෙසැම්බර් මස පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමයි. එම කඩ ඉම පැනීමට ඇයට මුලින්ම හොඳ ශක්තියක් ලැබේවායි පතමු.

 

 

හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු