විශ්ව ශක්තියෙන් ලෙඩ සුව කළ හැකිද?


 

 

කෝර්නල් සරසවියේ ආචාර්ය ඔටෝජාන්ගේ පර්‌යේෂණවලින් පැහැදිලි වූයේ මිනිසාගේ ශරීරයෙන් යහපත් හා අයහපත් කිරණ නිකුත් කරන අතර විශේෂයෙන් රෝගපීඩා අවස්ථාවලදී ද තුවාල පිළිකා වැනි දෑ ඇති විට ද සිරුරින් අයහපත් කිරණ නිකුත් කරන බවකි. (Invisible Radiations of Organism - Otto Rahn Get Bruder Borntraeger, Berlin 1936)   
අපගේ ශරීරයෙන් හඳුනානොගත් යහපත් හා අයහපත් ශක්ති කිරණ විශේෂ නිකුත් කරන බවත් මේවා ගහකොළ, සතුන් හා මනුෂ්‍ය ජීවිතවලට බලපාන බවත් කැනඩාවේ මැක්ගිල් සරසවියේ ආචාර්ය බර්නාඩ් ග්‍රෑඩ්ගේ පර්‌යේෂණවලින් හෙළිවී ඇත. කෙනකුගේ සිතුවිලිවලට අනුකූලව මේ ශක්ති කිරණ යහපත් හෝ අයහපත් ප්‍රතිඵල ඇති කරන බව ඔහු තවදුරටත් පෙන්වා දී ඇත. (A Tele Kinetic Effect on Plant Growth - International Journal of Parapsychology - Vol -5 1964 Bernad Grad) 


නිව්‌යෝර්ක් හි රොචෙස්ටර් සරසවියේ වෛද්‍ය හා දන්ත වෛද්‍ය අංශයේ දොස්තර ගිල්බට් බී. ​ෆොබ්ස් ද ශරීරයෙන් විහිදෙන කෙටි කිරණ මැනීමේ උපකරණ නිපදවා ඇත. (Get Well Naturally - Linda Clark Arco Publishing Company - New York 1965) 


අපගේ ශරීරයෙන් විහිදෙන කිරණ පිළිබඳ පර්‌යෙ කළ අමෙරිකාවේ වෛද්‍ය ඇල්බට් ඒබ්‍රහම්ගේ සොයා ගැනීම් අනුව අපගේ පාරම්පරික විශ්වාස අතර සමාන්තර බවක් විද්‍යමාන වේ. 


එතුමාගේ අදහසට අනුව අපගේ ශරීරයේ ඇති සෛල හා පටක රෝගී වන අවස්ථාවල විවිධ කිරණ තරංග පිට කරන අතර ඊට සමාන සංඛ්‍යාත ඇති තරංග කිරණ බාහිරව එම සෛලයන්ට යොමු කළහොත් එම සෛල සුවපත් කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය. (New Concepts in Diagnosis and Treatment - Albert Abrams Philipolis Press - San Francisco 1916) 


ඔහු විසින් නිපදවන ලද “ඔසිලෝන් ක්ලාස්ට්” නම් උපකරණය ඒ ආකාරයට කිරණ නිකුත් කරමින් රෝගී ශරීරයකින් පිටවන කිරණ වෙනස​්් කර හෝ අහෝසි කර රෝගී තත්ත්වය සුව කරයි. 


​ෙලඩක් හැදුණ විට මන්ත්‍රවලින් මැතිරීම, පිරිත් කීම, පිරිත් නූල් බැඳීම, පිරිත් පැන් ලබා දීම යනාදිය කිරීම පැරණි කාලයේ සිට අද දක්වා සිදුවෙන දෙයකි. උදාහරණයක් වශයෙන් ශරීරයේ යම් තැනක සෑදුණ ගෙඩියක් වැනි දෙයක් ගනිමු. එම ගෙඩිය තුළ ඇති රෝගී සෛලවලින් ඊට අදාළ කිරණ නිකුත් කරයි. එයට මැතිරීම හෝ පිරිත් කියන අය ද ඊට අදාළ ශබ්ද තරංග කිරණ නිකුත් කරයි. ගෙඩියෙන් නිකුත් කරන තරංගයට අදාළ සුවපත් වන කිරණ සමාන වුවහොත් එය සුවපත් වේ. එම තරංගයට අදාළ කිරණ අසමාන වූ විට සුවපත් වීම සිදු නොවෙන්නට ඉඩ තිබේ. විද්‍යාඥයාට මෙම කිරණ මැන ගැනීමට උපකරණ තිබුණත් සාමාන්‍ය මතුරන කෙනාට එය බලා ගැනීමට නොහැකි වීම නිසා නිශ්චිත කිරණය නිකුත් කරන්නට නොහැකි වේ. සාමාන්‍ය පුද්ගලයාගේ මැතිරීම හෝ පිරිත් කීම නිවැරදි වුවද විද්‍යාත්මක උපකරණයක් නොමැති වීම නිසා එය හරියටම බලාගැනීමට නොහැකි වේ. 


මන්ත්‍රයක් හෝ පිරිතක් යනු අපේ මුවින් පිටවෙන ශබ්ද තරංග සමග චිත්ත ශක්ති කිරණ, විද්‍යුත් චුම්බක ධාරා, බයෝ ප්ලාස්මීය ශක්තිය ඇතුළු අනේකවිධ ශක්තීන් මුසුව පිට කරන කිරණ තරංග විශේෂයක් හෙයින් එහි බලයක් ශක්තියක් තිබිය යුතු බවට ඉහත සඳහන් කර ඇති විද්‍යාත්මක පර්‌යේෂණ අනුව පැහැදිලි වේ. අපගේ සිතින් නිකුත් කරන යහපත් චේතනා යහපත් කිරණ පිටකිරීමට උදව් වේ. 


යහපත් කිරණ පිට කරන්න නම් ඉතා හොඳ ගුණධර්මයන්ගෙන් යුක්ත පුද්ගලයන් විය යුතුය. බුදු දහමට අනුව අඩුම වශයෙන් පන්සිල් ආරක්ෂා කර ගනිමින් දසකුසල කර්මයන්හි යෙදුණු පුද්ගලයෙක් වුවහොත් ඔහුගෙන් පිට වන කිරණ යහපත් ලෙඩ සුව කරන කිරණ වන්නේය. ලෙඩ වූ තැනැත්තා ද පන්සිල් හා දසකුසල කර්මයන්හි යෙදෙන්නේ නම් ඔහුට යහපත් කිරණවලින් ප්‍රතිඵල ලබා ගැනීමට පහසු වන්නේය. නමුත් අද මේවා කරන වැඩි දෙනෙකුගේ කිසිම සීලයක්, ගුණයක් නැත. රෝගී වූ තැනැත්තන් ද සීලයක් ගුණයක් ඇති බවක් නොපෙ​ෙන්. එබැවින් එම අසනීප සනීප නොවන්නේ විෂයේ වරද නිසා නොව එය ක්‍රියාත්මක කරන්නා හා ප්‍රතිග්‍රාහකයාගේ සීලය ගුණය නොමැති නිසාය. 


මේ තරම් රජයේ හෝ පෞද්ගලික රෝහල්වල රෝගීන්ගේ පිරී ඉතිරී පවතින්නේ ඇයි? රෝග සුව නොවන්නේ ඇයි? බටහිර විද්‍යාව අසම්පූර්ණව ඉගෙන ගත් වෛද්‍යවරුන්ගෙන් වැඩි දෙනෙකු ළඟ සීලය ගුණය නොමැති නිසාත් තවත් නොයෙක් හේතු නිසාත් ලෙඩ සුව වන්නේ නැත. ලෙඩ සුවපත් වී නොමැති නිසා එක එක අත්භූත ප්‍රතිකාර සොයාගෙන රෝගීන් දිවයයි. සියලු ​ෙරා්ගවලට බටහිර ප්‍රතිකාර නැති නිසා මේ තරම් රෝගීන් සංඛ්‍යාවක් දක්නට ලැබෙන බව පෙනී යයි. 


එක එක්කෙනාගේ කර්ම ශක්තියත් රෝග සුවයට බලපානු ලබයි. 


විශ්ව ශක්ති සංදර්ශන පවත්වන විට දහස් ගණන් සෙනඟ පැමිණේ. ඒ ඒ අයට අනන්‍ය වූ කර්ම ශක්ති ඇත. ඒ සියලු දෙනාටම එක සමානව ප්‍රතිකාර කරන්නට හැකියාවක් නොමැති විය හැකි වෙන්නේ ඒ ඒ අයගේ කර්ම ශක්ති කෙසේ ක්‍රියාත්මක වෙන්නේ දැයි කිව නොහැකි බැවිනි. පස්පව් දස අකුසල් නොකරනවා නම් මේ තරම් රෝගීන් සංඛ්‍යාවක් බිහි නොවන බව නම් ස්ථීර වශයෙන්ම කිව හැකි වේ. 


අපට වරදින්නේ විෂයේ වරද නිසා නොව එය ක්‍රියාත්මක කරවන්නා හා ප්‍රතිග්‍රාහකයාගේ චර්යාවේ වරද නිසාය. මස් මාංශ කමින් මත්පැන් පානය කරමින් විවිධ දුස් චරිතවල යෙදෙන මිනිසාට විශ්ව ශක්තිය කෙසේ නම් යහපතක් උදාකරවයිද. යක්ෂ, ප්‍රේත, භූත ශක්තීන්ගෙන් අයහපතක් සිදුවන බව නම් ඊට අනුකූල වන බව කිව හැක. 
මිනිසෙකුට ලෙඩ හැදෙන්නට, මරණයට පත් වෙන්නට බලපාන්නේ එකම හේතුවක් නොවේ. ගිරිමානන්ද සූත්‍රයේ ලෙඩක් හැදෙන්නට හේතු 49ක් පමණ සඳහන් වේ. චක්කු රෝගො (ඇසෙහි) උපදිනා රෝගය, සෝත රෝගො (කනෙහි උපදනා රෝගය), සාණ රෝගො (නාසයේ උපදනා රෝගය, දිවෙහි උපදනා රෝගය, කයෙහි උපදනා රෝගය,  හිසෙහි උපදනා රෝගය, කනෙහි පිටත හටගන්නා රෝගය, මුඛයේ උපදනා රෝගය, දන්ත රෝගය, කාසය, ශ්වාසය, පීනසය, දාහය, උණය, කුසෙහි උපදනා රෝගය, මූසය, රක්ත අතීසාරය, ශුලය, විසුම්කාය, කුෂ්ඨය, ගඩුයා කිලාසය, සොයය, අපස්මාරය, දදය, කණඩුතිය, මසුකසය, නියෙන් කැසූ තැන වන රෝගය, විචර්විකාවය, රත්පිතය, මධුමේහය, අංසං නම් රෝගය, පිළිකාය, භගන්දලාය, පිතෙන් වන රෝගය, සෙමෙන් වන රෝගය, වාතය කිපීමෙන් ඇති වන රෝගය, තුන්දොස් කිපීමෙන් ඇති වන රෝගය, ඍතු පෙරළීමෙන් වන රෝගය, විෂම පරිහාරයෙන් වන රෝගය, උපක්‍රමයෙන් වන රෝගය, කර්ම විපාකයෙන් වන ආබාධ, සීතය, උෂ්ණය, ක්ෂුධාය, පිපාසය, ආහාර මළය, මුත්‍රය ආදී වශයෙන්. 
බුදු දහමින් යමක් වෙන්නට හේතුව එකක් දෙකක් නොව හේතු ගණනාවක් වශයෙන් ඉදිරිපත් කිරීම ඉතා සාධාරණ බවක් පෙන්වයි. බටහිර හෝ පෙරදිග වෛද්‍යවරුන් හට මේවා ගැන දැනගැනීම වැදගත් නොවන්නේද? විවිධ හේතු නිසා මෙම රෝග ඇති වන විට කර්ම විපාකයෙන් ඇති වෙන රෝගයන්ට එම කර්ම ක්ෂය කර ගැනීමට දාන ශීල භාවනා වැදගත් වනු ඇත. විශ්ව ශක්තිය පස්සේ හෝ මිනිසුන් දුවන්නේ මේවා ගැන නිසි වැටහීමක් නොමැති නිසාය.  


යම්කිසි රෝගියෙකුට බෝධි පූජාකොට පිරිත් සජ්ඣායනය කොට සෙත් පැතීමේදී සිදු වන්නේ ද එක්තරා විදිහක විශ්ව ශක්ති ක්‍රමයෙන් ලෙඩුන් සුවපත් කිරීමකි. සංයුක්ත නිකායේ බොජ්ඣංග සංයුක්තයෙන් උපුටා ගෙන ඇති බොජ්ඣංග සූත්‍ර තුනක් වන මහා කස්සප සූත්‍රය මහා මොග්ගලාභ සූත්‍රය, මහා චුන්ද සූත්‍රය යන සූත්‍ර තුනේම දක්වන කරුණු එකම ඒවා වෙන්නේ ඒවායින් සත්ත බොජ්ඣංග ධර්ම විස්තර වෙන හෙයිනි. 


එනම් සති, ධම්ම විචය, වීරිය, පීති, පස්සදධි, සමාධි, උපේක්ඛා යන ධර්මය. මහා කස්සප තෙරුන්, මොග්ගල්ලාත තෙරුන් හා චුන්ද තෙරුන් යන ස්ථවිරයන් වහන්සේලා රෝගීව දැඩි වේදනාවෙන් පෙළෙමින් සිටින විට එතැනට වැඩම කළ බුදුහු සුව දුක් විමසා වේදනාව දැඩි වනු මිස සුව අතට නොහැරෙන බව රෝගී තෙරුන් පැවසූ පසු බුදුහු තමන් සප්ත බොජ්ඣංග ධර්මය අවබෝධ කර ගත් බව කියා ඒවා නම් වශයෙන් දක්වති. එම දේශනය අවසානයේදී එම රෝගී තෙරනුවෝ සුවය ලබති. 


​ෙම් අනුව බොජ්ඣංග සූත්‍ර පිරිත් වශයෙන් වැදගත් වෙන්නේ රෝගීන් සුව කිරීමටය. එසේ සුවය ලැබූ රෝගී භික්ෂූන් රහතුන් මෙන්ම ප්‍රධාන ගණයේ ශ්‍රාවකයින් ද වීම මෙම සූත්‍ර පිරිත් වශයෙන් ප්‍රතිකාර ලෙස භාවිත වීමට විශේෂ හේතුවක් වී යැයි සැලකිය හැකිය. ගිරිමානන්ද සූත්‍රයේ වෙනස වන්නේ එහිදී ආනන්ද ස්ථවිරයන් වහන්සේ බුදුරාජාණන් වහන්සේගේ උපදෙස් පරිදි රෝගීවූ ගිරිමානන්ද ස්ථවිරයන්ට දසසඤ්ඤා විස්තර වශයෙන් එකින් එක පහදා දීමයි. දසසඤ්ඤාව අසා ඒවා මෙනෙහි කිරීමෙන් අනතුරුව ගිරිමානන්ද ස්ථවිරයෝ සුවපත් වූහ. 


රතන පිරිතේ මුල් පාඨ ආශිර්වාද කාරකයාගේ සහ ආශිර්වාද පාඨයේ බලයෙන් සෙත සලසන අතර, මෙම සූත්‍ර රෝගියාට සූත්‍රයේ අන්තර්ගතය මෙනෙහි කරන්නට සැලසීමෙන් සෙත සැලසීමය. මෙම පාඨ බුදුරදුන් විසින් රෝගීන් සුවපත් කිරීමේ අරමුණින් දෙසන ලද ශාන්තිකාරක පාඨ බවට සැකයක් ඇති කර ගැනීමට හේතුවක් නැත. තවත් සැලකිය යුතු කරුණක් නම් බොජ්ඣංග සූත්‍රවල අන්තර්ගතය නිවන් මඟට අයත් මානසික ධර්ම විස්තර කරනසුළු වීමය. ඒ අනුව දැඩි ශාරීරික වේදනාවක් ඇති විටක නිවන් මඟට අයත් මානසික ස්වභාවය මෙනෙහි කිරීම මනෝචිකිත්සාවක් ද වෙයි. 


(පිරිතෙහි පරිණාමය - ආචාර්ය ගැමුණු සිරි ගමගේ - පොත - 2003)  


මෙය ද විශ්ව ශක්තියෙන් රෝග සුව කිරීමක් වන්නේය. එම උදාහරණවලින් පෙනී යන්නේ ශක්තිය මුදාහරින කෙනා සහ ප්‍රතිග්‍රාහකයා යන දෙදෙනාම ඉතාම උසස් සීල ගුණයෙන් යුතු තැනැත්තන් වීමය. එක එක්කෙනාට ධර්මයේ බලයෙන් මේවා කළ හැකි වුවද සංදර්ශන ආකාරයෙන් දහස් ගණනකට එකවිට රෝග සුවපත් කළ හැකි දැයි මට නොතේරේ. 
නවීන විද්‍යාඥයින්ගේ සොයා ගැනීම් අනුව අපගේ ශරීරයේ සෑම සෛලකින්ම ලේ බිංදුවකින්ම යම්කිසි ශක්ති කිරණ විහිදී යන බව මීට ඉහතදී මා සඳහන් කර ඇත. අපගේ යහපත් චේතනාවලට අනුව යහපත් කිරණ තරංග විවිධ වර්ණවලින් පිටවන අතර අයහපත් චේතනාවන්ගෙන් දුර්වර්ණ තරංග පිටවී යයි. 


උදාහරණයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ බුදු වී 4 වැනි සතියේ රතනාගාරයේ වැඩසිට පට්ඨාන වැඩීමේදී සවනක් ඝන බුදු රැස් ප්‍රබලව විහිදෙන්නට පටන් ගත් බව සඳහන් වෙයි. නිතර සමාධිගත මෙත් කරුණා ගුණයෙන් පිරුණු බුදු හිමියන්ගෙන් පිට වූ රශ්මි වළල්ලෙහි නොසැලෙන මනස පෙන්වන ලක්ෂණ නිසැකව තිබූ අතර බුදු රැස් මාලාව නමින් හැඳින්වෙන රැස් වළල්ලෙහි නිල්, කහ, රතු, තැඹිලි, සුදු ආදී වර්ණවලින් යුත් රැස් දහරා පිටවිය. අද කිරිළියත් උපකරණය මගින් අපේ ශරීරවලින් ද පිටවන වර්ණ කවරේදැයි බලා ගැනීමට හැකි වී ඇත්තේ විද්‍යාත්මක පර්‌යේෂණ හා විද්‍යාත්මක උපකරණ නිපදවා ඇති නිසාය. 


බුදුරජාණන් වහන්සේලාගේ හා රහතන් වහන්සේලාගේ සිතුවිලි ඉතා පිරිසිදුය. නිරන්තරයෙන් විහිදුණේ ඉතා යහපත් ශක්ති කිරණ තරංගය. සිතුවිලිවලට අනුව සෑම සෛලයකින්ම සෑම ලේ බිංදුවකින්ම මෙම කිරණ විහිදී ඇත. එම උතුමන් වහන්සේලා පිරිනිවීමේදී භෞතික ශරීරය පිච්චී ගිය ද ඉතිරි වී ඇති ධාතූන් වහන්සේලාගේ තැන්පත් වී ඇත්තේ ද යහපත් කිරණ තරංගයන් නිකුත් කරන ශක්ති ගබඩා වී ඇති කුඩා ප්‍රපංඡයන්ය. 


බුදුරජාණන් වහන්සේලාගේ සහ රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා වන්දනා කරන විට ද ජීවමාන ඒ උතුමන් වහන්සේලාගේ ගුණය ද එම ධාතූන් වහන්සේලා තුළ ඇති බව අප දැන ගතහොත් ඒ වන්දනාවෙන් උපරිම ඵල ලබා ගත හැක. නමුත් බෞද්ධ ජනතාව ධාතු වන්දනාව ආවාට ගියාට කරන අය වැඩිය. ප්‍රතිඵල උදා කර ගන්නට ඒ ජීවමාන බුදුරජාණන් වහන්සේලාට හා ජීවමාන රහතන් වහන්සේලාට පූජා වේවා යන වේතනාවෙන් තමන් පූජා කරන කවරක් හෝ පූජා කළහොත් එයින් ලැබෙන පින ද බලවත්ය. තමන්ට සෙතක් ශාන්තියක් ද එයින් උදා වෙනවා සත්‍යයය. එය ද විශ්ව ශක්ති ක්‍රියා ප්‍රතික්‍රියාවකි. මේවා ගැන නිසි අවබෝධය ලබා, දුවන්නන්වාලේ දුවන්නේ නැතිව තමා සීලයෙන් ගුණයෙන් යුතුව ක්‍රියාකරනවා නම් තමන්ට එහි සුභ ප්‍රතිඵලයක් ඇතිවීම එකාන්ත වශයෙන් සත්‍ය වේ.

 

 

මනෝ විද්‍යා උපදේශක 
ආචාර්ය ජී. හල්ගස්වත්ත