විවාහවී මාස එකහමාරෙන් ඩෙංගු මදුරුවාට බිලිවූ රොෂාන්


ඒ පෙම්වතුන් යුවළගේ සිතුම් පැතුම් ඉටුවූයේ වෙසක් මහේ දහඅට වෙනිදාය. මාඔය නිම්නයේ සොඳුරු නවාතැනකදී මංගල උත්සවය ජයටම ගත් ඔවුන් මව්පිය නෑදෑ හිත මිතුරන්ගේ ආශිර්වාදය මැද සොඳුරු යුග දිවියට පිවිසියේ සසර පුරා පතා ආ ආදරයේ ප‍්‍රාර්ථනා සපථ කර ගනිමිනිි.   


රංග සහ මහේෂා පෙම්වතුන් බවට පත්වී මාපිය අාශිර්වාදයෙන් එකම කැදැල්ලක ජීවත්වූයේ මාස එක හමාරක් වැනි කෙටි කාලයකි. ඔවුන්ගේ ඒ සොඳුරු කැදැල්ල සුනු විසුනු වී ගියේ රංග හදිසියේම ඩෙංගු මාරයාට බිලිවීම නිසාය.  


මාවනැල්ල උඩුමහනේ පදිංචි පී.ජී.ආර්. රෝෂාන් අකිල කුමාර නොහොත් රංග නමැති විසිහත් හැවිරිදි විවාහක තරුණයා ඉකුත් (04 දා) ඩෙංගු රෝගයෙන් මියගිය පුවත සැලවීමත් සමඟ මුළුමහත් මාවනැල්ල ප‍්‍රදේශයම කම්පාවට පත්ව ඇත.  


මාවනැල්ල නගරයේ මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන ආයතනයක සේවය කළ පී.ජී.ආර්. රෝෂාන් අකිල කුමාර නොහොත් රංග මාවනැල්ල උඩුමහනේ පදිංචි වී සිටි අයෙකි. ජී.ආර්. විජේසේකර සහ පී.ජී. නයනා ප‍්‍රියානිගේ එකම පිරිමි දරුවා වන රංගට බාල නැඟණියක් ද වේ. ඇය ශ්‍යාමලි කාවින්දිය.  


රංදිවෙල මහා විද්‍යාලයේ අධ්‍යාපනය හැදෑරූ ඔහු කලක් කොළඹ සිය ඥාතියකුගේ මෝටර් රථ අමතර කොටස් අලෙවි සලක සේවය කළ අතර පසුව මාවනැල්ල නගරයේ ලුම්බිණි මෝටර්ස් ආයතනයේ සේවයට එක්විය.  


මව්පිය ආශිර්වාදයෙන් පසුගිය මැයි මාසයේ දහඅට වැනිදා රංග සහ මහේෂා විවාහ දිවියට පත්වූහ. සතුටින් සෙනෙහසින් යුගදිවිය ආරම්භ කළ රංග සිය මව සහ නැඟණිය සමඟ ආදරණීය බිරිඳ ද නිවසේ නවතා දිනපතා රැකියාවට යාමට පුරුදු වී සිටියේය.  


නිහඬ නිහතමානි අයෙකු වූ රංගට හිතමිතුරන්ගෙන් අඩුවක් නොවීය. වෙ​ෙළඳ ආයතනයට පැමිණෙන කවරකු සමඟ වූවද ඉතා කුළුපගව ඇසුරු කළ ඔහු කවරකු සමඟ වුවද මුව පුරා සිනාසී කතා කිරීමට පුරුදුව සිටියේය.  


කාලය කෙමෙන් ගතවෙද්දී හිටිහැටියේම රංගට උණ රෝගය සෑදුණේ මීට සති දෙකකට පමණ පෙරය. එය එතරම් ගණන් නොගත් ඔහු පෞද්ගලික වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගෙන සුපුරුදු පරිදි රැකියාවට යෑමට සූදානම් විය. එහෙත් වෙනදාට වඩා තම ඇඟට අමුත්තක් දැනෙන බව සිය බිරිඳට පවසා නිවසින් පිටව ගිය රංග වෙ​ෙළඳ ආයතනයේ වැඩි කාලයක් රැඳී නොසිට ආපසු නිවසට ආවේ ඇඟට දැනෙන තෙහෙට්ටු ගතිය නිසා ටිකක් හෝ විවේක ලබාගැනීමටය. සවස් කාලය වන විට රංගගේ උණ ගතිය වැඩි වී ඇති බව ඔහුගේ බිරිඳට දැනුණි.  


එ් නිසාම ඇයගේ පෙරැත්තය මත රංගව රෝහලට රැගෙන යෑමට ඈ උත්සහ ගත්තත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමට රංග තුළ තිබූ අකමැත්ත නිසාම ඇගේ එම උත්සාහය ව්‍යාර්ථ විය.  


රෑ බෝ වූ විට උණ රෝගය වැඩි වී වමනය දැමීම නිසා රංගව මාවනැල්ල රෝහලට ඇතුළත් කිරීමට මහේෂිකාත් රංගගේ මවත් කටයුතු කළහ.  


දින දෙකක කාලයක් රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබමින් සිටි රංගව ඉකුත් හතර වෙනිදා ඩෙංගු රෝගය නිසා අවසන් ගමන් ගියේ සිය ආදරණීය බිරිඳ, මව, පියා, නැඟණිය ඇතුළු හිත මිතුරන් සැවොම හඬවමිනි. සිය ආදරණීය සැමියාගේ අකල් වියෝවෙන් හඬා වැලපෙන මහේෂා මධුෂාණි මෙසේ පැවසූවාය.   


මමයි රංගයි විවාහ වුණේ පසුගිය මැයි මාසේ 18 දා. අපි දෙන්නා අවුරුදු හතරකට වැඩි කාලයක් ආදරය කළා. ගෙවල්වල කැමැත්තෙන් අපි කසාද බැන්ඳා. අදට මාස එකහමාරක් විතර ඇති. රංග වැඩට ගියාහම මමත් නංගිත් අම්මත් ගෙදර ඉන්නවා. එයා මගේ හැම අඩුපාඩුවක්ම හොයලා බැලුවා. සැමියෙක් විදිහට හැම යුතුකමක්ම එයා ඉටු කළා.  


ගොඩාක් සතුටින් අපි දෙන්නා ජීවත් වුණේ. තිස්වැනිදා රෑ උණ හැදෙන්න වගේ කියලා කිව්වා. පස්සේ පළමු වැනිදා උදේ වැඩට ගියා. ගිහින් එකොළහට විතර ගෙදර ආවා. ඒ ඇවිල්ලා ප‍්‍රයිවෙට් තැනකින් බෙහෙතුත් ගත්තා. දවස් දෙකක් විතර ගෙදර හිටියේ. ඉරිදා රෑ එයාට ටිකක් අමාරු වුණා. වමනෙත් ගියා. පස්සේ අම්මයි මමයි එයාව ඉස්පිරිතාලෙට එක්කගෙන ඇවිත් නැවැත්වූවා. පසුවදත් ඇවිත් අපි එයාව බැලුවා. ඒත් හතර වැනිදා යනකොට අපිට එයා බලන්න බැරිවුණා. මට ඒ සිද්ධිය දැක්කට පස්සේ දරාගන්න බැරි වුණා. මම ගොඩාක් ඇඬුවා. එදා දවල් වෙලා අපි හැමෝම දාල එයා ගියා. ඇයි දෙයියනේ මාව තනිකරලා ගියේ. මම මේ දුක කොහොම ඉවසා ගන්නද.?  


මියගිය රංගගේ පියා වන පී.ජී.ආර්. විජේසේකර (57) මහතා සිය පුතුගේ අකල් වියෝවෙන් දැඩි සේ කම්පාවට පත්ව සිටී. කුඩා කල පටන් තම පණමෙන් හදා වඩා උස් මහත් කළ රංග පුතු හදිසියේම ඩෙංගු මාරයාට බිලිවෙතැයි මේ පියා සිහිනෙන්වත් නොසිතුවේය.   
එහෙත් දෛවය හැම විටම සුබවාදි වූයේ නැත. ආදරණීය පියාට මවට නැඟණියට බිරිඳට පමණක් නොව නෑදෑ හිත මිතුරන් සැමටම සමුදී රංග මරු තුරුලට ගියේ මාවනැල්ල ප‍්‍රදේශයේ පස්වන ඩෙංගු මරණය සටහන් කරමිනි.  


දෑසින් කඩා හැලෙන කඳුළුකැට පිස දමමින් රංගගේ පියා සිය කටහඬ මෙසේ අවදි කළේය.  


‘‘මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ දුවයි පුතයි. මියගොස් සිටින්නේ මගේ වැඩිමහල් පුතා. එයා කසාද බැඳලා මාස එකහමාරක් ඇති. පුතා වැඩකරන්නේ මාවනැල්ල ලුම්බිණි මෝටර්ස් එකේ. එයාට රථවාහන අමතර කොටස් ගැන හොඳ දැනුමක් තියෙනවා. දැන් අවුරුදු අටක් තිස්සේ පුතා රැකියාව කරනවා. පසුගිය මැයි මාසයේ 18 වෙනිදා තමයි එයා කසාද බැන්ඳේ. පුතා අවුරුදු හතරක් විතර තිබුණු ප්‍රේම  සම්බන්ධතාවකින් තමයි විවාහ වුණේ.  


මහේෂිකා දුවත් එක්ක විවාහ වෙලා එයාලා දෙන්නා සතුටින් හිටියා. මේ අහිංසකයට මෙහෙම දෙයක් වෙයි කියලා මම හීනෙන්වත් හිතුවේ නෑ. මම වැඩ කරන්නේ කොළඹ පෞද්ගලික ආයතනයක රියැදුරෙක් හැටියට. හතරවැනි අඟහරුවාදා මට ගෙදරින් කෝල් එකක් ආවා පුතාට අමාරුවෙලා ඉස්පිරිතාලේ ඉන්නවා කියලා. මම එ් වෙලාවේ හිටියේ වව්නියාවේ. පස්සේ මම කීවා ඉක්මනට එන්නම් කියලා. මම මගින් එනකොට දවල් දොළහට විතර ආරංචි වුණා පුතා අන්තරා වුණා කියලා. පස්සේ තමයි දැනගත්තේ පුතාට ඩෙංගු හැදිලා කියලා.  


මියගිය රංග පුතා ඉස්කෝලේ ගියේ රංදිවෙල මහ විද්‍යාලයට. එයාගේ නංගිත් ඉස්කෝලෙ යන්නේ ඒකට. යාළුවන්ට එයා හොඳ යාළුවෙක්. අම්මටයි මටයි හරිම ආදරෙයි. නංගිටත් ඒ වාගේමයි. එයාගේ නෝනත් එක්ක එයා ජීවිතේ පටන්ගන්න හැදුවා විතරයි.’’  
කුඩා කල පටන් තම ඇකයේ සුරතල් පෑ රංග පුතුගේ නිසල දේහය අසල හඬා වැලපෙන රංගගේ අම්මා වන පී.ජී. නයනා ශ‍්‍රියානි (47) රංගගේ දේහය වැලඳ ගනිමින් හඬා වැළපෙන්නීය. තම සුරතල් පුතා හිටි හැටියේ අකල් මරණයකට ගොදුරුවීම මේ ආදරණීය අම්මාට දරාගත නොහැකි දුකකි. විටක මහා හයියෙන් හඬා වැලපෙන ඇය තව විටක තම සුරතල් පුතුගේ දේහය සිප ගනිමින් ඉකිබිඳින්නීය.  
ඇස් දෙකෙන් කඩා වැටෙන කඳුළු කැට දෙකම්මුල් දිගේ රූරා වැටෙද්දී ඇය සිය පුතු ගැන මෙසේ පැවසුවාය.  


මටයි තාත්තටයි හිටපු එකම පිරිමි දරුවා මේ විදිහට අපි තනිකර දාලා යයි කියලා කවදාවත්ම හිතුවේ නෑ. ඇයි දෙයියනේ මගේ අහිංසකයා මේ විදිහට අපිව දාලා ගියේ. එයාගේ හැම කැමැත්තකටම හැම සතුටකටම අපි ඉඩ දුන්නා. පුතා කසාද බැන්දෙත් එයා යාළුවෙලා හිටපු දුව එක්කමයි. එයා අපිට කිසි දෙයක් හැංඟුවේ නෑ. හැම දෙයක්ම මටයි තාත්තටයි කියනවා. පුතාගේ වෙඩින් එක ගත්තෙත් පුතාගේ කැමැත්ත අනුවයි. ඒ දෙන්නගේ විවාහ ජීවිතේට මාස එක හමාරක් ඇති පුතා නැති දුකෙන් මහේෂා දුව අඬනවා බලා ඉන්න බෑ. ඒ අහිංසක දුවට විතරක් නොවෙයි අපිටත් මේ දුක දරාගන්න බෑ.  


ගිය බදාදා පුතාට ලෙඩ හැදිලා තියෙන්නේ. සිකුරාද රෑ උණ ගත්තා. සෙනසුරාද‌ා එයා වැඩට ගියා. ගිහිල්ලා උණ හින්ද බෙහෙතුත් අරගෙන ගෙදර ආවා. දවස් දෙකක් විතර ගෙදර හිටියා. එහෙම ඉඳලා තමයි ඉස්පිරිතාලේ නැවැත්වූවේ.  


රංග මියගිය දිනම මාවනැල්ල නගරයේ ඩෙංගු මර්දන වැඩසටහනක් ද ක‍්‍රියාත්මක වෙමින් පැවැතුණි. කෑගල්ල දිස්ත‍්‍රික්කයේ ඩෙංගු අධි අවදානම් කොට්ඨාසය ලෙස පළමු තැනට පත්ව ඇත්තේ මාවනැල්ල වන අතර, මෙම කොට්ඨාසයේ ඩෙංගු රෝගය මැඩ පැවැත්වීම සඳහා කෑගල්ල දිසාපතිවරයාගේ සහ දිස්ත‍්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ ප‍්‍රධානත්වයෙන් මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය, පොලිසිය, ප‍්‍රාදේශීය සභාව, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය, අධ්‍යාපන කාර්යාලය ඇතුළු සියලුම රාජ්‍ය ආයතන හා සිවිල් සංවිධාන එක්ව හත්සියයක බළ ඇණියකින් සමන්විත කණ්ඩායමක් ඉකුත් (04) දවස පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක‍්‍රියාත්මක කළේය.  


මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ ඩෙංගු රෝගීන් 977ක් වාර්තා වී ඇති බව මාවනැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ගාමිණි සමරසිංහ මහතා පවසයි.  


මාවනැල්ලේ ඩෙංගු මරණ 5ක් වාර්තා වන අතර ඩෙංගු මදුරු කීටයන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය නිවාස, ව්‍යාපාරික ස්ථාන හා පෞද්ගලික ආයතන 31ට මාවනැල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයේ නඩු පවරා රුපියල් එක්ලක්ෂ දහඅට දහසක් දඩ නියමකර ඇතැයි වෛද්‍ය සමරසිංහ මහතා පවසයි.  


ඉතා ශීඝ්‍රයෙන් මාවනැල්ල ප‍්‍රදේශයේ පැතිර යන ඩෙංගු රෝගය නිසා ​ෙම් වනවිට මාවනැල්ල මූලික රෝහලේ ද ඩෙංගු රෝගීන්ගෙන් වාට්ටු පිරී ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.  

 

අරණායක - ප‍්‍රදීප් කුමාර ධර්මරත්න, මාවනැල්ල - බණ්ඩාර ජයරත්න