විවාහ ​යෝජනා දී තරුණියන් රැවටූ ඉංජිනේරු පෙම්වතා


ඇසට නොපෙනෙන කාන්තා අතවර

 

අපේ රට දැඩි ආගමික නැඹුරුවක් සහිත රටක් වශයෙන් සැලකේ. බැලූ බැල්මට හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිමය. කුරුස සහිත ස්ථම්භයන්ය. කෝවිල්, පල්ලි හතරවටේය. එහෙත් සමාජයේ අපරාධ නම් වැහිවැහැලා ය.   


මෙවරත් පොලිස් පැමිණිලි පො​ෙතන් ගෙනහැර දක්වන්නේ එබඳු කතා පුවතකි. 

 
ඇය ‘පාරමී’ යනුවෙන් හඳුන්වමු.   


පවුලේ වැඩිමහල් දියණිය ලෙස උපත ලැබූ පාරමීට සහෝදරියන් දෙදෙනෙකි. ඉතා වැදගත් පරපුරක මව්පියන්ගේ රැකවරණය මැද හැදී වැඩුණු ඇය චරිතවත් ලෙස කල් ගෙව්වා ය.   
මධ්‍යම පළාතේ පාසලක අධ්‍යාපනය ලැබූ ඇයගේ එකම අරමුණ වූයේ ද හොඳින් ඉගෙන ගෙන නම්බුකාර රැකියාවක නිරතවීම ය.   


ඒ අරමුණ එලෙසින්ම ඉටුකර ගැනීමට පාරමී විශ්වවිද්‍යාල උපාධියක් දක්වාම ගමන් කරමින් තම සිහින පැතුම් මල් ඵල ගන්වා ගත්තා ය. 

 
ස්ථාවර තත්ත්වයකට එනතුරු බාහිර දේවල් කිසිවකට ඇය සිත යොමු කළේ නැත. අවැසි වූයේ ජීවිතය ජය ගැනීම පමණි. ඒ සිතූ පැතූ අයුරින්ම ජීවිතය ජය ගැනීමට ඇයට හැකිවූයේ රජයේ ආයතනයක ඉහළ මට්ටමේ රැකියාවක් ද ලබාගනිමිනි.   


කාලය ගෙවී යන්නට විය. ජීවිතේ සෑම කඩඉමක්ම ජයගත් පාරමීගේ ඊළඟ ආශාව වූයේ තාරුණ්‍යයේ මූලික අවශ්‍යතාව වන පෙම් රජ දහනේ කිරුළ පැලඳීමට ය.   
යෝජනා කෙතරම් පැමිණියද ඒවාට පිළිතුරු නොදුන් පාරමීට අවශ්‍ය වූයේ තමාට හොඳින්ම ගැළපෙන පුද්ගලයකු මව්පිය ආශිර්වාදය මත හිමිකර ගැනීමට ය.   
නිවසට බරක් නොවී තමාට සුදුසු සහකරුවෙකු සොයා ගැනීමට අැය වගබලාගත්තා ය. 

 
පාරමීට විවේකයක් ලැබෙන හැම මොහොතකම අන්තර්ජාලයේ සැරිසැරීම විනෝදාංශයක් කරගෙන තිබිණි. දිනක් අන්තර්ජාලයේ සැරිසරමින් සිටින විට නොදැනීම මංගල සේවා ජාලයක් දැක ගන්නට හැකි විය. 

 
එමඟින් සුදුසු සහකරුවෙකු සොයා ගැනීමට හැකිවේ යැයි සිතූ ඇය ඒ පිළිබඳ පිරික්සන්නට වූවා ය.   


ඇයගේ ප්‍රේමය පණ ලබන්නට වැඩි කාලයක් ගතවූයේ නැත. එහි තිබූ එක් යෝජනාවක් නෙත ගැටී තදින්ම එය ඇ​යගේ හද බැඳ ගන්නට විය. ඔහු රුවන් ය. වෘත්තියෙන් ඉංජිනේරුවෙකු ලෙස සටහන්ව තිබිණි.   


සිය ජීවන සහකරුවා ලෙස ඉංජිනේරු පෙම්වතා ඇය තෝ්රාගත්තේ ඔහුගේ තොරතුරු අන්තර්ජාලයෙන් සොයා බැලීමෙන් අනතුරුව ය.   


මෙම මංගල සේවාවට අය කරන මුදල ද ගෙවූ මේ දෙදෙනා බොහොම සාමකාමී පෙම්වතුන් ලෙස ජීවිත ගමන එක්ව යන්නට සැරසුණෝ ය.

   
උසස් ජීවන ඉලක්කයක් කරා යාමටම හීන මැවූ පාරමීට ඉංජිනේරුවරයෙකු හා විවාහවීමට ලැබීම ඇයට පෙනුණේ රුවන් තම ඉරණම විසඳන්නට ආ දෙවි​ කෙනෙකු ලෙස ය.   
දිනෙන් දින දෙදෙනාගේ ප්‍රේමය මෝරා යන්නට විය. ඉංජිනේරු පෙම්වතා ගැන තම නිවසට පැවසීමට ද පාරමී අමතක නොකළා ය. සිය නිවසින් ද අකමැත්තක් නොදැක්වූයේ ඇය කිසිවිටෙකත් වැරදි තීරණ නොගන්නා නිසා ය.   


ඇය ඔහු ඉල්ලූ සෑම දෙයම නිර්ලෝභීව පිදුවා ය. ප්‍රේමයෙන් මුසපත් වූ අවස්ථාවක පාරමී ජීවිතයේ එතෙක් රැකගත් වටිනාම දේ ද ඔහුට පුදන්නේ ඔහු තමාගේ අනාගත සහකරු බවට වූ විශ්වාසය නිසා ම ය.   


සියල්ල උඩුයටිකුරු වන්නේ ඉන් අනතුරුව ය.


 කාර්යාලයේ වැඩ නිමවන වෙලාවට සෑම දිනකම ඒ ස්ථානයට රුවන් පැමිණීමත් ඉන් අනතුරුව ඇයගේ නවාතැනට ද ගොස් කතාබහ කර ඒමත් පුරුද්දක් කරගෙන තිබිණි.   
එක් දිනක පාරමීගේ කාර්යාලයේ පැවැත්වීමට නියමිත හදිසි රැස්වීමක් සඳහා ඇයට නියමිත වේලාවට ඒමට නොහැකි බව දැනුම්දීමට ඔහුට දුරකථන ඇමතුමක් දුන්නත් ඇමතුම විසන්ධි වී තිබිණ.   


පසුව පාරමී සතුව තිබූ තොරතුරුවලට අනුව රුවන් සේවය කරන ආයතනයට ඇය දුරකථන ඇමතුමක් දුන්නා ය. එම ආයතනයෙන් පවසා තිබුණේ එවැනි පුද්ගලයෙකු එම ආයතනයේ නොමැති බව ය.   


පසුව ඔහු ගැන තොරතුරු විමසා බැලීමේ දී මෙතෙක් ඉංජිනේරුවරයෙකු ලෙස පෙනී සිටිමින් තමා ඉදිරියේ ඔහු රඟපා ඇති බව ඇයට හෙළිකරගන්නට හැකි විය.   
පාරමීගේ ප්‍රේම ලෝකය ඇගේ දෙපාමුල කැඩී බිඳී යන්නට ගතවූයේ නිමේෂයකි. ප්‍රේමයෙන් මුළාවුණු පාරමීට හඬනවා හැර කරගන්නට කිසිවක් නොවී ය. විවාහ ජීවිතය පිළිබඳ දහසකුත් බලාපොරොත්තු පොදි බැඳ​ෙගන සිටි ඇයට අවසානයේ සිදුවූයේ පොලිසියේ පිහිට පැතීමට ය.   


පාරමී කළ පැමිණිල්ලෙන් පසු විමර්ශන කටයුතු ආරම්භ කළ පොලිසිය වෙත මේ පුද්ගලයා පිළිබඳ සියලු තොරතුරු ලැබෙන්නේ ඉන් අනතුරුව ය.   


ඒ පිළිබඳව කතා කිරීමට අප සම්බන්ධ කර ගත්තේ කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ළමා හා කාන්තා කාර්‌යාංශයේ මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති මනෝජ් සමරසේකර මහතා ය.   


අපි මේ සිද්ධියට අදාළ පැමිණිල්ල ලැබුණාම වහාම විමර්ශන කටයුතු ආරම්භ කළා. මේ මෑතකදී සිදුවූ එක් වංචාවක් විතරයි. මේවගේ පැමිණිලි බො​ෙහාමයක් නිතර වාර්තා වෙනවා. මේ සිදුවීමේදී ඉංජිනේරුවරයෙක් විදිහට රඟපා මේ ගැහැනු ළමයා රවටා තිබෙන මේ පුද්ගලයා තවත් ගැහැනු ළමයි කීපදෙනෙකුම රවටා තිබෙනවා.   
මේ පුද්ගලයා මුහුණුපොත හරහා තමන්ගේ ඡායාරූප යොදාගෙන විවිධ නම්වලින් පෙනී සිට තිබෙනවා.   


මොහු සංගීත කණ්ඩායමක සාමාජිකයකු, හෝටල් සේවකයකු, ව්‍යාපාරිකයකු, ඉංජිනේරුවරයකු වැනි විවිධාකාර චරිත ලෙස පෙනී සිටිමින් රූමත් ගැහැනු ළමයින් මුළා කරනවා.   
විවාහ යෝජනා දැන්වීම් පළ කරමින් ගෑනු ළමයි එක්ක කතා බහ කරනවා. හැමෝටම කියන්නෙ හමුවෙන්නට එන ලෙස තමයි. ඒ වගේම මුදල් ඉල්ලනවා. ලිංගික කටයුතුවලටත් කතා කරනවා.   


ඉන්පසු අපි අපේ පොලිස් නිලධාරිනියක් දම්මලා ඒ පුද්ගලයාට කතා කළා. ඔහු එම නිලධාරිනියට කියා ඇත්තේ අපූරු දෙයක්. ඔහුගෙ මව්පියන් වි​ෙදස්ගතවී ඇති බැවින් තම ස​ෙහා්දරිය ළඟ ජීවත්වෙන බවක් පවසා තිබෙනවා.   


අපේ නිලධාරිනියත් දිගින් දිගටම ඔහු සමඟ කතා කළා. ඒ කතා කරද්දි ටික කාලයක් යන්නටත් පෙර මෙය දැඩි ආදර සම්බන්ධතාවක් බවටත් පත්වුණා. ඒ අපේ නිලධාරිනියගෙ රුව දැකලාවත් නැතිව.   


ඒ කතාකරන එක අවස්ථාවක අපි යෙදවූ නිලධාරිනියක් වයස අඩු කෙ​ෙනක් බවත් තවම පාසල් යන බවටත් ඔහුට පැවසූ විට එයත් ප්‍රශ්නයක් නොමැති බව තමයි මේ පුද්ගලයා පවසා ඇත්තේ.   


මේ විදියට දිගටම කතාබහ කරලා බොහොම සූක්ෂම විදියට සැලසුම් කරලා අපි​ මේ පුද්ගලයාව අත්අඩංගුවට ගත්තා. පසුව ඔහුගේ දුරකථනයේ දත්ත පරීක්‍ෂා කරලා බලද්දී මේ පුද්ගලයා ඉතා නපුරු විදියට විවිධ පළාත්වල කාන්තාවන්ට සිදුකළ දේවල් දකින්නට ලැබුණා.   


බොහෝ උගත් කාන්තාවක් වුණත් කොයිතරම් පරෙස්සම් වී හිටියත් මොනතරම් සූක්ෂමව ජීවිතේ සකස් කරගෙන ගියත් වැඩක් නෑ ජීවිතේ රැවටිලිකාරයෙකුට අහුවුණොත්. මේ කතාවෙ ගැහැනු ළමයාත් අපට මේ පැමිණිල්ල කරද්දී අමාරුවෙ වැටිලා ඉවරයි. ඒ විතරක් නෙමෙයි, ඒ ළමයගෙ මුදල්, සමාජ තත්ත්වය හැමදේමත් නැතිවෙලා. මීටත් වඩා දරුණු දෙයක් සිදුවෙන්න තිබුණා මේ දේවල් මේ විදියට හරි සිදු නොවුණා නම්.   


මේ පුද්ගලයාව අධිකරණයෙන් බන්ධනාගාර ගත කරලා මේ වෙද්දී නඩුවක් යනවා. ඒ බාල වයස්කාර දරුවන්ට ලිංගික ක්‍රියාවලට යෝජනා කිරීම යටතේ.   


එහෙත් වයස සම්පූර්ණ අයට එහිදී අසාධාරණයක් වෙනවා. එය නීතියෙ අඩුවක් නෙවෙයි. මොකද, ​බොහෝ කාන්තාවන් වංචාකාර දූෂකයන්ට අසුවුණත් ඒ පාර්ශ්වයෙන් කියනවා නම් අදාළ කාන්තාවන්ගෙ කැමැත්තත් ඇතිවයි සියල්ල සිදු වුණේ අකමැත්තෙන් කිසිවක් කළේ නෑ කියලා කරන්න දෙයක් නෑ.   


ශ්‍රී ලංකාවෙ නීතියෙ තියෙනවා වයස සම්පූර්ණ කාන්තාවක් තම කැමැත්තෙන් පුද්ගලයෙකු සමඟ සම්බන්ධවෙලා කැමැත්ත ඇතිව සම්බන්ධතාවක් පැවැත්වුවොත් එය අපරාධ චෝදනාවක් යටතේ අධිකරණයට යන්න බෑ. ඒ නිසා එය සම්පූර්ණයෙන් සිවිල් පැත්තට යනවා. ඇයට වුණු හානියට වන්දියක් ගන්න එක සිවිල් අධිකරණය හරහා කරගන්න ඕනැ දෙයක් වෙනවා.   


අද බොහෝ කාන්තාවො අන්තර්ජාලයේ සිටියදී ඒ හරහා දරුණු විදියට විවිධ වංචාකාරයන්ට අහුවෙනවා. අන්තර්ජාලය, ජංගම දුරකථන පරිහරණය කිරීමේ දී කාන්තාව ඉතාමත් කල්පනාකාරී විය යුතුමයි. තොරතුරක් නොදැන විශ්වාසනීයත්වයක් ​නොමැතිව කිසිම කෙනෙක් සමඟ අන්තර්ජාලය හරහා, ජංගම දුරකථන හරහා හදිසියේ දුම්රියේ, බස් රියේ මුණගැහෙන කිසිවෙක් සමඟ සම්බන්ධව තීන්දු තීරණ ගැනීම ඉතා භයානකයි.   


එවැනි තීන්දු තීරණ ගැනීමට පෙර කල්පනාකාරී විය යුතුයි. විශේෂයෙන්ම වැඩිහිටියන්ගෙ දැනුම්වත්කම ඇතිව මේ කටයුතු කළ යුතුමයි.   


‘‘ෆේස් බුක්’’ වැනි සමාජජාලා වෙබ් අඩවිවල සැරිසරන සියලු දෙනාම නිර්ව්‍යාජ පුද්ගලයෝ නොවෙති. වෙනත් අයගේ නම් ඡායාරූප භාවිත කරමින් රඟපාන රුවන්ලා වැනි විවිධ පුද්ගලයන් ඔබටත් හමුවිය හැකිය.   


එවැනි අය බොහෝ විට මුදල් වංචාකාරයන්, ළමා අපයෝජකයන්, ස්ත්‍රී දූෂකයන් වැනි විවිධ අපරාධකරුවන් විය හැකියි. ඔවුන් ඔබට මිතුරු ලෙසින් මුණගැසී මුළාවට පත්කර ඔබගේ ජීවිතයත් අඳුරු කළ හැකියි.   


ඒ නිසා ඔබ වඩාත් පරිස්සම් විය යුතුයි. මෙය තරුණ සිහිනවලට වංචා කරන්නන් පිළිබඳ එක් කතාවක් පමණකි. මෙවැනි සැඟවුණු සිදුවීම් තවත් ​බොහෝ තිබිය හැකිය. මේ ​මොහොතේදීත් සිදුවෙමින් තිබිය හැකිය. ඒවා දුර දිග ගියද කරන්නට දෙයක් නොමැත. කළ හැක්කේ සමාජ අවබෝධය ලබාගැනීම පමණ ය. දිනෙන් දින මේවා මර්දනය කිරීම වෙනුවට වර්ධනය වීම රටේම අවාසනාවකි.   


‘පිපෙනා මලකට ගලනා දොළකට   
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි   
කොයි ලොව යන්නේ මරණින් පස්සේ​   
පින් පව් එනවා අපි පසු පස්සේ​’ 

 
අපට කීමට තිබෙන්නේ එපමණකි. තීරණ ඔබ අතේ ය.

 

 

සටහන - ධනු විජේරත්න