විදුලි සෝපානයට බිලිවුණු රගර් ක්‍රීඩකයා


අපේ රටේ පමණක් නොව ලෝකයේ නන් දෙසින් අපට අකල් මරණ ගැන අසන්නට ලැබීම අද සුලභ වී තිබේ. එවැනි අකල් මරණවලට ගොදුරුවූවන්ගෙන් විශාල පිරිසක් ඒ ඒ රටවලට වැදගත් සේවයක් කරන ලද වෘත්තිකයන්, කලාකරුවන් හෝ ක්‍රීඩකයන්ය. අපේ රටේද එවැනි මරණ වසරකට එකක් දෙකක් හෝ අසන්නට ලැබේ. ඇතැම් මරණ සිය දිවි නසාගැනීම්ය. ඇතැම් මරණ විවිධ අනතුරුවලින් සිදුවූ ඒවාය. ඉඳහිට ඝාතනවලින්ද මෙවැනි අකල් මරණ සිදුවේ. අපේ රටට දක්ෂ ක්‍රීඩකයන් කීප දෙනෙකුම මෙවැනි අකල් මරණ නිසා දැයට අහිමි විය. 


2012 මැයි 17 වැනි දා නාරාහේන්පිට ශාලිකා ශාලාව අසළ මාර්ගයේ රිය අනතුරකට ලක්ව ගිනිගත් වාහනයක් තුළ රගර් ශූරයෙකු වූ වසීම් තාජුදීන් මිය ගොස් සිටියේය. රිය අනතුරක් සේ එකල සලකනු ලැබූවද එය ඝාතනයක් බව පසුව හෙළිදරව් විය. තවමත් එම නඩුව අධිකරණයේ විභාග වෙමින් පවතී. යතුරුපැදි ධාවන ශූරයෙකු වූ ආනන්ද වෙඩිසිංහ මරණයට පත්වූයේ 2017 වසරේ අප්‍රේල් මාසයේදී නුවරඑළියේ පැවති ධාවන තරගයක් අතරතුර අනතුරට ලක්වීමෙනි. 


රිය අනතුර සිදුව සෑහෙන වෙලාවක් ගත වනතුරු ගිලන් රථයක් ගෙන්වා ගැනීමට අසමත් වීමත් ධාවන තරගය මඳකට හෝ නැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු නොකිරීමත් කනගාටුදායක තත්ත්වයකි. ලංකාවේ සිටි ප්‍රධානම පෙළේ ධාවන ශූරයෙකු වූ ආනන්ද වෙඩිසිංහට ඔවුන් තැබූ වටිනාකම එයින් පැහැදිලි විය. වෙඩිසිංහ යනු එවැනි අනතුරකට ලක්ව මියගිය පළමු වැනියා නොවේ. ඩිල්ෂාන් ධනපාල, රංජිත් මහානාම වැනි ක්‍රීඩකයන්ද ඊට පෙර එවැනි මරණවලට ලක්ව තිබේ. එහෙත් මේ මරණ අවම කරගැනීම සඳහා තරග සංවිධායකයින් මනා සැලැස්මක් සහිතව කටයුතු කරන්නේද යන ප්‍රශ්නය තවමත් ඉතිරිව තිබේ. 


කොළඹ 02, නවම් මාවතේ සමාජ ශාලාවක් පිහිටි ගොඩනැගිල්ලක විදුලි සෝපානය කඩා වැටීමෙන් අනතුරට ලක්ව මියයාමට තවත් රගර් ක්‍රීඩකයෙකුට සිදුවිය. ඒ පසුගිය 29 වැනි දා අලුයම 1.30ට පමණය. ඔහු කෝකිල සමන්දන්පෙරුමය. 24 හැවිරිදි කෝකිල වැඩිමහල් සහෝදරයෙකු හා බාල සහෝදරියක සිටින පවුලක මද්දුමයා විය. බත්තරමුල්ල, උතුරු තලංගම, 154/1 නිවසේ සිය මව, පියා හා සහෝදර සහෝදරියන් සමඟ සතුටින් කාලය ගත කළ කෝකිල හිටි තමන් හොරු ගෙන ගියා සේ පවුලට අහිමිවිම ඔවුන් කෙසේ නම් දරා ගන්නද? කෝකිලගේ මව රැකියාවක නිරත නොවූ අතර පියා විදේශ ගතව රැකියාවක නිරත වූයේය. 


කෝකිලත් ඔහුගේ අයියා ෂේන් සමන්දන්පෙරුමත් ඉගෙන ගත්තේ කොළඹ වෙස්ලි විද්‍යාලයේය. ඔහු රගර් ක්‍රීඩාවට යොමු වුණේ හතර වසරේ ඉගෙනුම ලබමින් සිටියදීය. එතැන් සිට 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 19න් පහළ ලෙස ඔහු පාසල් කාලය නිමා වන තෙක්ම පාසලේ රගර් කණ්ඩායම නියෝජනය කළේය. එපමණක් නොව 2012දී ඔහු 19න් පහළ රගර් කණ්ඩායමේ නායකයා බවටද පත් විය. ඔහු කණ්ඩායමේ නායකයා විය. කෝකිල වර්ණලාභී ක්‍රීඩකයෙක් බවට පත්වුණේ කණ්ඩායමේ නායකයා වීමටද පෙරය. එනම් 2011 වසරේදීය. 


ක්‍රීඩාව වගේම ඔහු අධ්‍යාපනයත් අතහැර ගත්තේ නැත. සාමාන්‍ය පෙළ විභාගය හොඳින් සමත් වූ ඔහු උසස් පෙළ වාණිජ අංශයෙන් හැදෑරුවේය. උසස් පෙළ විභාගයට පෙනී සිටි ඔහු ඉන් සමත්ව කාර්මික විද්‍යා පාඨමාලාවක් හදාරා ට්‍රැක්ටර් සමාගමක රැකියාව කළේය. 


පාසලේ දහනවයෙන් පහළ රගර් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතරතුරම 19න් පහළ ජාතික කණ්ඩායම නියෝජනය කිරීමටද කෝකිලට වාසනාව හිමි විය. ඒ වන විට ඔහු පෙන්වා තිබූ දක්ෂකම් නිසාම වසර ගණනාවක් තිස්සේ පාසලේ දක්ෂතම ක්‍රීඩකයා බවටද පත් විය. එකොළහෙන් පහළ, දහතුනෙන් පහළ, දහනවයෙන් පහළ දිගින් දිගටම දක්ෂතම ක්‍රීඩකයා වූයේ කෝකිලමය. ජාතික කණ්ඩායම නියෝජනය කරන අතර ඔහු ක්‍රීඩා සමාජයක් සමඟ ද සම්බන්ධ විය. ඔහු පළමුව සම්බන්ධ වූ ක්‍රීඩා සමාජයෙන් ඉවත්වූයේ පුහුණුවීම්වලට කාලය වෙන්කිරීමේදී ඇති වු ගැටලුවක් අනුව බව පැවසේ. 


කෙසේ වුවද 2013 සිට ඔහු සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරග රැසකට සහභාගී විය. සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට කෝකිල වැනි ක්‍රීඩකයෙකු අහිමි වීමද දැරිය නොහැකි පාඩුවකි. කවුරුත් ඔහුව ආදරේට ඇමතුවේ මාකෝ කියාය. 


සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයේ රගර් කණ්ඩායමේ කළමනාකරු මුස්ටාක් ජිෆ්රි මහතා අප සමඟ අදහස් දක්වමින් මෙසේ පැවසීය. 


කෝකිල අපට හිටිය දක්ෂ ක්‍රීඩකයෙක්. නිහතමානී ගතිගුණ තිබූ ඔහු වැනි ක්‍රීඩකයෙකු අහිමිවීම අපට දරන්න බැරි පාඩුවක්. 2013 සිටම ඔහු අප සමඟ සිටියා. තරග රැසකට සෙල්ලම් කළා. සමහර තරග ජයග්‍රහණය කළා. කොහොම වුණත් ඔහු කැපවීමෙන් සෙල්ලම් කළ ක්‍රීඩකයෙක්. 


සිය මල්ලි පිළිබඳ මතකය අවදි කළ ෂේන් සමන්දන්පෙරුම මහතා මෙසේ පැවසීය. 


අපේ පවුලේ හිටියේ මමයි මල්ලියි, නංගියි, අම්මයි තාත්තයි. මල්ලියි මායි දෙන්නම ඉගෙන ගත්තේ වෙස්ලි විද්‍යාලයේ. එයා ඇත්තටම ඉගෙනීමට වඩා වැඩි ඉඩක් තිබ්බේ ක්‍රීඩාවලට. එයා 13න් පහළ සිටම දිගින් දිගටම පාසලේ දක්ෂතම ක්‍රීඩකයා වුණා. එයා 2013 තමයි සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජයට සම්බන්ධ වුණා. මමත් හිටියේ ඒ ක්‍රිඩා සමාජයේම තමයි. මම 2014 සිට 2017 දක්වාම එම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළා. එයා 2017 වෙනකල් සෙල්ලම් කළේ මාගේ නායකත්වය යටතේ. ඊට පස්සේ විදේශ ගත වීමට තිබු නිසා මම ක්‍රීඩාවෙන් සමුගත්තා. ඒත් මල්ලි දිගටම සෙල්ලම් කළා. ඇත්තටම එයාගේ අහිමිවීම අපේ පවුලට පාඩුවක් දුකක් වගේම රටටත් පාඩුවක්. 


කෝකිල මුහුණ දුන් අනතුර සිදුවුයේ පසුගිය 29 වැනිදා අලුයම කාලයේදීය. ඔහු බිම් මහලේ සිට සමාජ ශාලාව පිහිටි නව වන මහලට ගමන් කිරීම සඳහා විදුලි සෝපානයට ගොඩවූයේ යාළුවෝ කීප දෙනෙක්ද සමඟය. ඒ අවස්ථාවේ තවත් දොළොස් දෙනෙක් ගමන් කළ බව පැවසේ. සෝපානය ඉහළට ගමන් කරමින් සිටින අතරතුර හිටිගමන්ම පහළට කඩා වැටී තිබේ. එයින් එහි සිටි සියලු දෙනා කළබල වූහ. සමහරු එහි වීදුරු ආවරණයට පහර දී බිඳ දැමුවේ එළියේ සිටින්නෙකුට තමන් මුහුණ දී ඇති තත්ත්වය පෙන්වා දීමට සිතාගෙන වන්නට ඇත. 


පිටත සිටි අය එහි තහඩු කපා ඔවුන් එළියට ගන්නට වෑයම් කළද ඒ වන විටත් කෝකිල එහි දොරක සිර වී බරපතළ ලෙස තුවාල ලබා සිටියේය. තවත් දෙදෙනෙක් තුවාල ලබා සිටි අතර ඔවුන් සියලු දෙනා රෝහල් ගත කරනු ලැබිණ. එහෙත් කෝකිලගේ ජීවිතය බේරාගැනීමට නොහැකි විය. 


මෙම සෝපානය කඩාවැටීම සම්බන්ධයෙන් විවිධ මත වී තිබේ. ඇතැමුන් කියන්නේ සෝපානය පරණ එකක් බවය. තවත් කෙනෙක් කියන්නෝ සෝපානයේ සිටි පිරිස වැඩිවීම නිසා කඩා වැටුණ බවකි. එහෙත් පිරිස වැඩි වුයේ නම් සෝපානය ගමන් ආරම්භ කරන්නේ නැත. බර වැඩි බවට සංඥා නොකරම එය ගමන් කළේ නම් සෝපානයේ තාක්ෂණික දෝෂයක් තිබුණා විය හැකිය. සෝපානය නිසි කලට නඩත්තු කර තිබුණේද යන ප්‍රශ්නයක්ද මතු වේ. 


මේ හේතු කිසිවක් නොවේ නම් හේතුව කුමක්ද? මේ සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ අවසන් කර නැත. අධිකරණයෙන් එහි පරීක්ෂණ සිදුකර වාර්තාවක් සපයන ලෙස රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවට භාර දී තිබේ. පොලිසිය එහි පරීක්ෂණ සිදුකරමින් දැනට ගොඩනැගිල්ලේ හිමිකරු, සමාජ ශාලාවේ හිමිකරු, සේවකයින්, ඒ අවස්ථාවේ සෝපානයේ ගමන් කළ අය ඇතුළු විසි දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබේ. එහෙත් තවමත් අවසන් නිගමනයකට එළැඹිය හැකි වාර්තාවක් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවෙන් ලැබී නැත. 


වාර්තාව කුමක් වුවද රටට කීර්තියක් ගෙන දෙන ක්‍රීඩකයන් මෙලෙස අකල්හි වියෝවීම රටකට ඉමහත් පාඩුවක් බව නම් සත්‍යයකි. මේ සිදුවීමේදී කාට කෙසේ වගකීම භාරගන්නට සිදුවේදැයි අපි නොදනිමු. එහෙත් පොදුවේ රටට අහිමි වන ක්‍රීඩකයින් ගැන සලකා බලන විට ක්‍රීඩකයින් තමන්ගේ ආරක්ෂාව ගැන සැළකිලිමත් විය යුතුවා සේම, රටක් ලෙසද ඔවුන් රැකගැනීම සම්බන්ධයෙන් මීට වඩා සැළකිල්ලක් දැක්විය යුතුව ඇත.

 

 

 

සටහන : මුදිතා දයානන්ද 
ඡායාරූප :
ඉෂාන් සංජීව, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ 
හෝමාගම ප්‍රියන්ත ජයලත්