විග්නේෂ්වරන්ට සුබ පතන්න තමිල්නාඩුවෙන් ආ “විමුක්ති කොටියා”


 

උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටියේ සී.වී. විග්නේෂ්වරන් මහතාය. ඔහු නියෝජනය කළේ දෙමළ ජාතික සන්ධානයයි. එහෙත් පසුගිය වකවානුවේ ඔහු හා දෙමළ ජාතික සන්ධානය අතර විවිධ මත ගැටුම් ඇති විය. එහි ප්‍රතිඵලය වූයේ විග්නේෂ්වරන් දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව නව පක්ෂයක් නිර්මාණය කිරීමය. එය තමිල් මක්කල් කුට්ටනී (දෙමළ ජනතා සන්ධානය) ලෙස නම් කර තිබේ. අනාගතයේ නව පක්ෂයෙන් දේශපාලනයට පිවිසීම ඔහුගේ අරමුණය. 


විග්නේෂ්වරන්ගේ අනාගත දේශපාලනයට සුබපැතීම සඳහා ඉන්දියානු දේශපාලනඥයකු වන තොල් තිරුමාලවන් මහතා පසුගියදා යාපනයට පැමිණියේය. ඔහු යාපනයේ කිට්ටු උද්‍යානයේ පැවැති වාර්ෂික පැළ ප්‍රදර්ශනයටද විග්නේෂ්වරන් සමඟ සහභාගි විය. එම අවස්ථාවේ විග්නේෂ්වරන්, තිරුමාලවන් ඇතුළු එයට සහභාගී වූ සියලු ආරාධිතයන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ජාතික පුෂ්පය ලෙස සැලකුණු නියඟලා මලෙහි ලාංඡනයක් පැලැඳ සිටීම විශේෂ සිදුවීමක් විය. 


තොල් තිරුමාලවන් යනු කවරෙක්ද? තිරුමාලවන් ඉන්දියානු දේශපාලන ක්‍රියාධරයෙකි. 15 වැනි ලොක් සභාවේ මන්ත්‍රීවරයකු වන ඔහු විඩුතලෙයි චිරුතයිගල් (විමුක්ති පැන්තර්) පක්ෂයේ සභාපතිවරයාය. 1990 වැනි කාලයේ ඔහු දේශපාලන කරළියට පිවියේ දළිත් නායකයකු ලෙසිනි. ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සියලු දෙමළ ජාතික ව්‍යාපාරවලට ඔහු සහය පළ කළේය. රසායන විද්‍යාව පිළිබඳ උපාධිධරයකු වූ ඔහු මදුරාසි නීති විද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හිමිකර ගත්තේය. රජයේ අධිකරණ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ සේවය කළ ඔහු දේශපාලනයට පිවිසියේ 1999 වසරේය. 


ඔහුගේ දේශපාලන දිවියට අඩිතාලම වැටුණේ දළිත් (කුලහීනයන්ගේ) අයිතිවාසිකම් උදෙසා සටන් කළ සංවිධානයක් වූ ඉන්දියානු ‘දළිත් පැන්තර් ඔෆ් ඉන්දියා’ නම් සංවිධානයේ කැඳවුම්කරු වූ මලෙයිසාමි හමුවීමත් සමඟය. 1989 මලෙයිසාමිගේ අභාවයෙන් පසු එම සංවිධානයේ නායකත්වයට පත් වූයේ තොල් තිරුමාලවන්ය. සංවිධානයේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව ඔහු තමිල්නාඩුවේ මදුරෙයි ප්‍රදේශයේ ගම්මානවල සංචාරය කරමින් දළිත් ජනයා මුහුණ පා ඇති ගැටලු පිළිබඳ සොයා බැලීය. 


1992 දළිත්වරුන් දෙදෙනකු ඝාතනය වීමත් සමඟ ඔහුගේ සටන්කාමීත්වය පැන නැඟිණි. එහි ප්‍රතිඵලය වූයේ තමිල්නාඩුවේ ප්‍රධානතම දළිත් නායකයන් දෙදෙනාගෙන් අයෙකු බවට ඔහු පත්වීමය. ඔහුට බිම් මට්ටමින් විශාල සහයක් ලැබිණි. රජයේ සේවකයකු වශයෙන් සිටියදී දේශපාලන ක්‍රියාකාරකම්වල නිරතවීම මත 1997දී ඔහුගේ සේවය අහිමි කෙරිණි. 1999දී ඔහු මහා මැතිවරණයට ඉදිරිපත් විය. 1999 වන තෙක් කිසිදු මැතිවරණයකට ඉදිරිපත් නොවූ එම පක්ෂය 1999 මැතිවරණයට චිදම්බරම් හා පෙරම්බලූර් යන ප්‍රදේශවලින් තරග වැදිණි. තිරුමාලවන් තරග වැදුණේ චිදම්බරම් ප්‍රදේශයෙනි. ඔහු ඡන්ද 225,000ක් ලබා ගැනීමට සමත් විය. 


හින්දු ජාතිකවාදය විවේචනය කළ ඔහු දෙමළ අනන්‍යතාවයේ වැදගත්කම අවධාරණය කළේය. තිරුමාලවන් එල්.ටී.ටී.ඊය ඇතුළු ශ්‍රී ලංකාවේ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම්වලට සහය දැක්වූවෙකි. ඉන්දියානු සහය ශ්‍රී ලංකා හමුදාවට ලබා දීම පිළිබඳව හා එල්.ටී.ටී.ඊයට එරෙහි හමුදා මෙහෙයුම් සම්බන්ධයෙන් ඔහු විරෝධය පළ කළේය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයා වෙනුවෙන් පෙනී සිටින ලෙසට තමිල්නාඩු රජයට බලපෑම් කළේය. ශ්‍රී ලංකාවේ දෙමළ ජනයාට අසාධාරණයක් සිදුවන බැව් පවසමින් 2009 ජනවාරි 15 දින චෙන්නාහිදී උපවාසයක නිරත විය. එහෙත් ඉන්දියානු රජය එයට ප්‍රතිචාර නොදැක්වීම මත සිව් දිනකට පසු උපවාසය අතහැර දැමීමට ඔහුට සිදු වූ අතර පසුව හර්තාලයක නිරත විය. 2009 ඔක්තෝබරයේ වවුනියාවට පැමිණි ඉන්දියානු දේශපාලනඥයන් දසදෙනා අතර ඔහුද විය. 


ඉන්දියානු සහ විදේශ ක්‍රිස්තියානි මිෂනාරි ආයතනවලින් විශාල වශයෙන් අරමුදල් එම පක්ෂයට ලබාගන්නා බවට 2003දී තිරුමාලවන්ගේ සමීප සගයකු ඔහුට චෝදනා කළේය. තිරුමාලවන් යනු කුලයක් මුල්කරගත් පක්ෂයක නායකයෙකි. තමිල්නාඩුවේ කුල අතර ප්‍රචණ්ඩත්වය ව්‍යාප්ත කිරීමට ක්‍රියාකරන බවට ඔහුට චෝදනා එල්ල වී තිබේ. විශේෂයෙන් උතුරු තමිල්නාඩුවේ වන්නියාර්වරුන් හා දළිත්වරුන් අතර ඇවිළ ගිය ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා ඔහුගේ සහය හිමි වූ බවට චෝදනා නැඟිණි. 


දෙමළ සන්ධානයෙන් ඉවත්ව වෙනම ගමනක් යෑමට සැරසෙන විග්නේෂ්වරන්ට සහය පළ කිරීමට පැමිණියේ එල්.ටී.ටී. ඊයට සහය දැක්වූ මෙම දේශපාලනඥයාය. විග්නේෂ්වරන්ගේ අරමුණ ඇතැම්විට එල්.ටී.ටී.ඊයට පක්ෂපාතී දෙමළ ජනයාගේ ඡන්දය ලබාගැනීම විය හැකිය. එයට උත්තේජනයක් ලෙස තොල් තිරුමාලවන් යාපනයට කැඳවූවාද යන්න සැක සහිතය. 

 

 

ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා