වැව් බැඳි රටේ වකුගඩුවේ විලාපය


සිත රිදවන මේ ශෝකාලාපය මෙසේ පටන් ගනිමු.  


දහසක් හීන මල් මැද....  
පියමං කළෙමි විදුහල් මෑණි වෙත  
කෙළිදෙලෙන් සිත පිරුණ මුත්  
ජීවන ගමන යන්නට වැර දරන  
ද‌ා බිඳු කඳුළු වපුරා  
කේඩෑරී වූ මහපොළව සමඟ ගැටෙනා  
මාගේ මාපිය දෙපළ දෙස  
කඳුළු වෑහෙන දෙනෙතින් බලා උනිමි මම  
පෑනට පැන්සලට සමුදී  
අත්වැලක් වූයෙමි ඔවුන්හට  
කැදැල්ලක් තනා ගන්නට  
සිහින මැවූ මට දෝරේ ගැලූ අවාසනාව නිසා  
තුරුණු වියේදීම  
සැතපෙන්නට සිදුවිය... රෝහලේ ඇඳ මත  
තවත් මා වැනි යුවතියන්හට  
එපා කිසිද‌ා මෙවන් රෝදුක් වන්නට  
මම ජීවිතය යදිමින්... දෙවියන් බඳුවූ වෛද්‍යවරුනි  
ඔබ නැත්නම් මා  
මෙලාකටත් වකුගඩු මරුවා ළඟ....  


මේ දුක් ගීතය ගයමින් වකුගඩු මාරයා එනතුරු තවමත් කල් බලමින් සිටින්නී මැදවච්චිය කොඩියබැන්ද වැවේ නව යොවුන් වියේ අනුෂ්කා සඳමාලි දියණියයි.  


“දිනෙන් දින අපෙන් ඈත් වී යන දේශීය ආහාර රටාව වෙනුවට ක්ෂණික ආහාර රටාවට යොමුවීම ද වකුගඩු මාරයා අපේ ගේ දොරට කැන්දන් ඒමට අපම තනාදෙන පියගැට පෙළකි. දේශීය පරිභෝජන රටාව තුළ තිබූ කුරහන්, මුංඇට, මෙනේරි, උඳු, කව්පි වැනි විසෙන් තොර පෝෂණීය ආහාර අපෙන් ගිලිහී ඒ වෙනුවට ක්ෂණික නූඩ්ලස්, ක්ෂණික ඉඳිආප්ප පිටි, ක්ෂණික පොල්කිරි සහ විවිධ රසකාරක වර්ග මෙන්ම පැණිබීම වර්ග ද අපේ ගෙතුලට පැමිණ ඇත. මේවා කාලයක් තිස්සේ අනුභව කිරීමෙන් වකුගඩු මාරයා කය තුළට රිංගා අභ්‍යන්තර ඉන්ද්‍රියන් ගිල දමයි. මගේ සැමියා වකුගඩු මාරයා විසින් සදහටම ගිල ගනු ලැබුවේ මේ කෘත්‍රීම ආහාර පාන වටේටෝරු නිසාය.”   


වකුගඩු රෝගයෙන් මියගිය සිය සැමියා වූ පී.එන්. සේනාරත්න වෙනුවෙන් මෙසේ දුක් කඳුළු හෙළන්නී මැදවච්චියේ ටී. ඉනෝකා කුසුම් කුමාරි මහත්මියයි.  


අත්වැල් බැඳන් ඔබ හා - අලුත් ගමනකට මුලපිරූ මුත්  
වැඩිදුරක් ඔබ සමඟ - යාමට නොහැකි විය  
ඔබ සද‌ාකාලික ගිලන් ඇඳට ඇද දැමීමට  
වකුගඩු මාරයා සමත් වී ඇත  
මම ඔබට තවමත් ආදරය කරමි  
සද‌ාකාලික ඔබ ළඟම හිඳ - ඔබ රැක බලාගමි  
සසර සරණ තුරා ඔබේ සෙවණැල්ල සේ   
මම ඔබ පසු පසින් එමි  
ශ්‍රාවස්තිපුර වකුගඩු රෝගීව සිටින ඊ.එම්. සෝමසිරි සිය ආදරණීය සැමියා වෙනුවෙන් මෙසේ දුක් ගී ගයන්නී සද‌ාදරණීය බිරිඳ එච්.පී. රම්‍යලතාය.  


මං කිසි වරදක් නොකළ නමුත්
පිය සෙනෙහස මට අහිමි වුණා  
අක්කා අම්මා අයියා සමඟින්
නිම නෑ දැන් මා හඬන තරම්  
පැදුරෙන් බිමකට නොවේ තාත්තේ
ඊටත් පහළට ඔබ වැටිලා  
හිරු සඳු වී ඔබ යළි පායනවද
අපේ ගෙදර දැඩි අඳුර නිවා  
වකුගඩු දෙක නොව ජීවිතයම වුව
දෙන්නට මා තව පුංචි වැඩියි  
අප කළ වරදක් නැතිව වුවත්
වකුගඩු මරු ඔබ රැගෙන ගියා   
වකුගඩු රෝගයෙන් මියගිය සියා පියාණන් වූ ඒ.ආර්. රත්නසේකර වෙනුවෙන් මෙසේ දුක් කඳුළු හෙළන්නේ මීගලෑව පලුගස්වැව ආදරණීය පුතා කෝලිත රත්නසේකර.  


“මගේ පියාණන් වසරක පමණ කාලයක සිට වකුගඩු රෝගයෙන් පෙළෙයි. අපට දැන් ජීවත් වීමට ක්‍රමයක් නැත. නෑදෑයන්ගේ සහ ගමේ අයගේ පිහිටෙන් බඩ ගින්දර නිවා ගනිමින් දවස ගතකරමු. මගේ පියාණන් මේ වනවිට අනුරාධපුර වකුගඩු රෝහලේ සතියට දෙවරක් රුධිර කාන්දුකරණය කරයි. අපට අද ජීවත් වීමටත් වඩා ගැටලුවක් වී ඇත්තේ පියාණන් සතියකට දෙවරක් අනුරාධපුර රෝහලට ගෙනයාමය.”  


වකුගඩු රෝගයට ගොදුරු වී සිටින සිය පියාණන් වූ ලයනල් දසනායක වෙනුවෙන් මෙසේ කඳුළු සලන්නී ආදරණීය දියණිය විමර්ශනී මනෝරිකා.  


හේනේ පැල් රැක්කේ තනියෙන්ද  
කුඹුර වටේ වැට බැන්දේ තනියෙන්ද  
මැදියම් රැයේ නිදි වැරුවේ තනියෙන්ද  
තුන්යම් වෙලේ කවි කීවේ තනියෙන්ද  
දෙවියන් බුදුන් ඇදහැව්වේ ඉහළින්ම  
ගොවිතැන් කළේ හැම දෙවියන් පුදමින්ම  
ගමනක් ගියේ බුදුසරණයි කියමින්ම  
එනමුත් මුහුණ නොබැලුවෙ ඇයි දෙවියන්ම  
කියනා සීපද නෑ දැන් ඇසෙන්නේ  
කරනා වගා නෑ දැන් මට ඵල දෙන්නේ  
යදිනා දෙවියන්ද නෑ දැන් බලන්නේ  
වකුගඩු මාරයා සමඟයි වෙහෙසෙන්නේ  


මැදවච්චිය කිරිගල්වැව වකුගඩු රෝගී ගොවියකු වූ කේ. සමන්ත රාජකරුණා මෙසේ සීපද කියමින් ඇඳමත වැතිරී සිටියි.  


“පවුල ජීවත්කළ මගේ පියාණන් දැන් වකුගඩු රෝගීව ඇඳමත වැතිර සිටී. මම පවුලේ වැඩිමල් දරුවා. මට බාල තව තිදෙනෙක් සිටිති. අපේ පවුල ගොවිතැනින් ජීවත් කරවූ පියාණන් දැන් ලෙඩ ඇඳේය. අපි තාමත් පුංචි දරුවෝය. අපට දැන් ජීවත් වන්නට මගක් නැත. පියාණන්ට වකුගඩුවක් බද්ධ කළ යුතුය. අපිට එය කර ගැනීමට හයියක් නැත. අපේ වකුගඩු බාරගන්නේ නැත. රුධිර කාන්දුකරණයට දවස් හතරෙන් හතරට අනුරාධපුර වකුගඩු රෝහලට යා යුතුයි. අපේ පියතුමා තව ටිකකලක් ජීවත් කරවීමට අපට කළ හැකි එකම දෙය දවස් හතරකට වරක් පියාණන් අනුරාධපුර වකුගඩු රෝහලට ගෙනයාමය.”  


මහඇලගමුව පහළ වෙල්යායේ වකුගඩු රෝගී කේ.බී.ජී. ආනන්ද බණ්ඩාර සිය පියාණන් වෙනුවෙන් මේ අඳෝනාව කියන්නේ ඔහුගේ 12 හැවිරිදි දරුවා කේ.බී.ජී. සමීර මධුරංග බණ්ඩාරය.  


පොඩිකාලේ මා නැළෙව්වෙ ඔඩොක්කුවේ තියා  
යන ගමනක් මා කරපිට තියාගෙන ගියා  
රෑ තුන්යම නිදිවරලා රැක්ක මා පියා  
දෙවියනි රැක දෙන්න මගේ ආදරණීය පියා  
අම්මත් මමත් අයියත් රැක ගත්තෙ පියා  
අද අසරණයි වකුගඩුවෙන් මගේ පියා  
​රෝගය දරුණු වෙයි දවසින් දවස පියා  
දෙවියනි රැකදෙන්න මයෙ ආදරණීය පියා  
මැදවච්චිය රුවන්පුර වකුගඩු රෝගයෙන් පෙළෙන සමන්ත රාජකරුණා මහතාගේ දියණිය උදේශිකා ලක්මාලි රාජකරුණා දියණිය මෙසේ දුක් ගී ගයන්නීය.  


මීමින්නාවෙල අඹගහවැව වකුගඩු රෝගයෙන් මියගිය එම්. ගුණසේන සැමියා වෙනුවෙන් ආදරණීය ජී. ප්‍රේමා නන්දනී මෙසේ දුක්වන්නීය.  

වැහි කෝඩෙට හිරු සැඟවී   
අහස උසට වී හැඬුවත්  
තුරුලිය හැම නිසොල්මනේ  
නොසැලී නිහඬව සිටියත්  
දැවී නැගෙන දුම් රොටුවැල්  
බලා සියලු දෙන හැඬුවත්  
සමාධියට සම වැදුනෙමි - අනියත බව කර සිහිපත්....  
ඔබගේ රුව යළි දකින්න  
ඔබගේ කටහඬ අහන්න  
නොම එන්නෙමි ඔබේ ලොවට  
ඔබත් සමඟ එක්වීලා සසර ගමන එකට යන්න  
නොහැකිය මට සමාවෙන්න  
කුසල් පුරමු හනි හනිකට  
මේ සසරින් එතෙර වන්න....  


දිවංගත සැමියා බන්දුල සපරගමුව මහතා වෙනුවෙන් දුක්වන ආදරණීය බිරිඳ හේමලතා අයිරාංගනී සපරගමුව.  
මාපියන්ට දරුවනුත් - දරුවන්ට මාපියනුත්  
මෙහි හොඳ පුරවැසියනුත් - අහිමි වී මැරී යන  
වකුගඩු රකුසා පිටුදැකීමට - අපට කළ හැකි දේ බොහෝය  
අපි පටන්ගමු - අරඹමු නිවෙසින්ම  
රසායනික තෙල් පොහොර නොයොද‌ා  
පරිසරයේ පොහොර යොද‌ා   
අත්කර ගමු වස විසෙන් තොර  
රස ගුණයෙන් පිරි ආහාර බඳුනක්  
ඉහළ අස්වැන්නක්  
එයින් නොනැවතී  
මැටි බඳුනේ ආහාර පිසීමට  
පිරිපහදු කළ පානීය ජලයට  
දෙමු ඔවදන් වකුගඩු රැක ගැනීමට  
ගමින් ගමට සහ  
 රජරට මුළු පෙදෙසටම...  
ඉතිං රැකගමු... අපි අපිම  
අනාගත පරපුරම.... මුළු රජරටම  
ගංතිරියාගම ටී.බී. කුලතුංග මහතාගේ දියණිය සුජානි එරංදිකා කුලතුංග මේ සංවේදී සටහන තබන්නීය.  
වකුගඩු වේදනා සම්භාරයක් එක් රැස්කළේ අනුරාධපුරයේ හේමලතා අයිරාංගනී සපරගමුව මහත්මිය
උතුරු මැද සෞඛ්‍ය අධ්‍යාපන අංශයට අපේ ස්තුතිය.

ලිපිය ගොනුකළේ
එප්පාවල රත්න. බී. ඒකනායක