වැඩිහිටි නිවාසයේ මංගල උත්සවය


රුපියල් ලක්‍ෂ ගණන් වැයකර තරුපහේ හෝටල්වල මැති අැමතිවරුන් ඇතුළු ලොකු ලොකු දේශපාලනඥයන් සාක්‍ෂියට තබා මංගල උත්සව පවත්වන නූතනයේ එවැනි විවාහ අපේක්‍ෂකයන්ට හොඳ ආදර්ශයක් සැපයූ යුවළක් ඉකුත්දා අපට හමුවිණි.  


මෙම ආදර්ශමත් යුවළ වූයේ චලනි සහ විමුක්තියි.  


ඇල්පිටිය බටුවන්හේන් පදිංචි ඇම්.ජී. ප්‍රේමචන්ද්‍ර සහ එම මහත්මියගේ ආදරණීය දියණිය චලනි කඩවත පදිංචි රත්නප්පුලිගේ විමලසේන සහ එම මහත්මියගේ ආදරණීය පුත් විමුක්ති යන යුවළගේ අති’නත ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙන් දිවා භෝජන සංග්‍රහය සහ මංගල උත්සවය පැවැත්වුණේ කුරුඳුගහහැතැප්ම අබේසේකර වැඩිහිටි නිවාසයේදීය.  


මංගල කේක් කපා යුවළ එකිනෙකා කේක් කවා ගැනීමෙන් පසු දෙමව්පියන්ට කේක් කවනු ලැබීය. ඉන්පසු කේක් කවනු ලැබුවේ වැඩිහිටි නිවාසයේ සිටි වැඩිහිටි අම්මලා තාත්තලාටය.  


මංගල ඇඳුමින් සැරසුණු මේ යුවළ මංගල මල්කළඹක් ගෙන වැඩිහිටි නිවාසයේ එහා මෙහා යද්දී මේ වැඩිහිටියන්ටද තම අතීතය මෙන්ම තම දරුවන්ද සිහිපත් වෙන්නට ඇත.  


මේ යුවළ වැඩිහිටියන් හා අබේසේකර වැඩිහිටි නිවාසයේ වැඩබලන පාලක ටී.පී.ජී. චන්ද්‍රලාල් ද අල්විස් මහතා ඇතුළු පිරිස සමඟ සමූහ ඡායාරූපද ගත්හ.  


ඥාතීන් පිරිවරාගෙන ඥාතීන් හා ගතකරනවාටත් වඩා මේ යුවළ මුල්තැන දුන්නේද වැඩිහිටියන්ටය.   


වැඩිහිටියන්ගේ දිවා ආහාරයද මේ යුවළ අතින් බෙදා වැඩිහිටියන්ට පිරිනැමීමෙන් පසු චන්ද්‍රලාල් මහතා සියලු දෙනාට පිංපැමිණවීම හා ස්තුතිය සිදුකළ අතර වැඩිහිටියෝද සුපුරුදු පරිදි පිංදීමෙන් දවල් ආහාරය පිළිගත්හ.  

 

එසේම වැඩිහිටියෝ පැමිණ සිනහපිරි මුහුණින් දෑත් අල්ලා නව යුවළට සුබ පැතූහ. එය බලා සිටින්නන්ට සතුට මෙන්ම දෑසට කඳුළක්ද එක්කළ අවස්ථාවක් විය. ඒ අතීතය සිහිපත් වීමෙනි.  


මේ යුවළගේ ඥාතී මිත්‍රාදීන්ද ඔවුන්ගේ ආරාධනයෙන් මෙම උත්සව අවස්ථාවට සහභාගි වූ අතර නව යුවළත් එම ඥාති මිත්‍රාදීනුත් දිවා භෝජන සංග්‍රහය භුක්ති විඳිනු ලැබුවේ වැඩිහිටි නිවාසය පසෙක සකස් කර තිබූ තාවකාලික උත්සව ශාලාවේ සිටය.  


දිවා භෝජනය ඇතුළු සංග්‍රහ කටයුතුත් එම තාවකාලික ගොඩනැගිල්ල සකස් කිරීමත් නිසාල් පොන්නම්පෙරුම මහතා ඇතුළු ඔහුගේ කාර්ය මණ්ඩලය විසින් සිදුකරනු ලැබීය.  
උත්සවයේ රසාංගයක් ලෙස බටහිර සංගීත වාදන හා ගායන සිදුකළත් අසලම බාලිකා විදුහලක් පිහිටා ඇති නිසා එ්වා සිදු කළේ පාසල් වේලාවෙන් පසුවය.  
සවස සිය මංගල ගමනට සුදුසු ඇඳුමකින් සැරසුණු මේ යුවතිපතීහු සිය දෙමව්පිය නෑ හිතවතුන්ගෙන් මෙන්ම වැඩිහිටියන්ගෙන්ද සමුගෙන මංගල රථයක නැගී මංගල ගමන පිටත් වූහ.   


මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක්වූ විමුක්ති හා චලනි යුවළ කියා සිටියේ තමන් දෙදෙනා කථිකා කරගෙන තමන්ගේ වුවමනාවටම තම මංගල උත්සවය මේ අයුරින් පැවැත්වීමට සංවිධානය කරගත් බවයි. එසේම ඊට සහයෝගය දැක් වූ සියලු දෙනාටම මේ යුවළ සිය ස්තුතිය පළකළහ.  


වැඩිහිටි නිවාසයේ වැඩ බලන පාලක චන්ද්‍රලාල් ද අල්විස් මහතාද කියා සිටියේ මෙවැන්නක් මෙම ස්ථානයේ සිදුවූ පළමු අවස්ථාව මෙය බවත් මොවුන් දෙදෙනා කළ ඉල්ලීමට ඉඩදී තමන්ද ඉතා කැමැත්තෙන් ඊට සහයෝගය ලබාදුන්නේ මෙය නූතන සමාජයට ඉතාම ආදර්ශමත් කටයුත්තක් නිසා බවය.   

 

නව යුවළ දෙමව්පියන්ට කේක් කවද්දී

චන්ද්‍රලාල් මහතා ඇතුළු වැඩිහිටියන් සමඟ නව යුවළ

නව යුවළ වැඩිහිටියන්ට කේක් කවමින්

 


මත් හා දුම්වැටි හැර මංගල උත්සවයක සියලු අංගෝපාංග මෙහි තිබූ අතර ඊට සහභාගි වූ පිරිසද ඉතා සැහැල්ලුවෙන් හා සතුටින් කා බී කාලය ගත කළ අයුරුද එහිදී දැකගත හැකි විය.  


නව යුවළ මංගල ගමනට පිටත්ව යද්දී මව්පිය ඥාතීමිත්‍රාදීහු මෙන්ම අබේසේකර වැඩිහිටි නිවාසයේ වැඩිහිටියෝද නව යුවළට සුභ පැතූහ.  


මෙහි නේවාසික වැඩිහිටියන් 28 දෙනෙක් සිටිති. කාර්ය මණ්ඩලය හතර දෙනෙකි. 

 


සටහන ඡායාරූප : ‍ඇල්පිටිය
චන්ද්‍රසිරි ගුණසේකර