වාහනය පෙරැළී කොත්මලේ ඔයට බ්ලි වූ යුවළ


තම කාර්යාලයේ අලුතින් සේවයට පැමිණි තරුණිය පිළිබඳව වසන්ත අන් අයට වඩා හිතන්නට පටන් ගත්තේය. තමා පිළිබඳව උනන්දු ​ෙවන තරුණයා පිළිබඳව පසුව ඇය ද විමසිලිමත් වූවාය.  


මීට වසරකට, දෙකකට පෙර එකම සේවා ස්ථානයක දී දැන හඳුනාගත් මේ දෙදෙනාගේ දැන හැඳුනුම්කම වඩාත් දුරදිග ගොස් තිබුණි. කාටත් නොතේරෙන මොහොතක මේ තරුණ ජීවිත දෙකම පසුගිය සතියේදී කොත්මලේ ඔයට බිලි විය.  


වසන්ත රතිචන්ද්‍ර වනසිංහ 33 හැවිරිදිය. දෙදරු පියකු වූ ඔහු සේවය කළේ‍ ගම්පහ ප්‍රදේශයේ පිහිටි සමුපකාර ආයතනයකය. එහි ක්ෂේත්‍ර නිලධාරියකු ලෙස සේවය කළ ඔහු පදිංචිව සිටියේ යක්කල ප්‍රදේශයේය. හලාවතගේ පියුමිශානි ප්‍රසාදි පෙරේරා 23 හැවිරිදිය. පියකරු පෙනුමකින් යුතු ඇය උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසුව සේවයට ගියේ ගම්පහ පිහිටි මෙම සමුපකාර ආයතනයටය.  


පවුලේ වැඩිමහල් දරුවා වූ ඇයට තවත් බාල සහෝදරයින් දෙදෙ​ෙනක් වූහ. බස්රථ රියැදුරකු වූ ඇගේ පියාත්, ඇඟලුම් හල් සේවිකාවක වූ මවටත්, ශක්තියක් දෙන්නට ප්‍රසාදි සමුපකාර ආයතනයේ රැකියාවකට ගියාය. ඒ මීට වසරකට, දෙකකට පමණ පෙරදීය.  


ඇය එහි සිටි සියලු දෙනාගේ සිත් දිනා ගත්තාය. වසන්ත ද තම රාජකාරිය අකුරටම ඉටු කළ වැඩි කතා බහක් නැති නිහඬ චරිතයකි. එහෙත් දෙදෙනාට ද හොරා ඔවුන් තුළ සමීප සබඳතාවක් වැඩෙමින් තිබිණි.  
වසන්ත රැකියාවට පැමිණියේ යතුරු පැදියෙනි. වාහනයක් ගැනීමේ සිහිනයක් ද ඔහුට තිබිණි.  


ප්‍රසාදි ණය මුදලක් ද ලබාගෙන අලුත් මෝටර් රථයක් මිල දී ගත්තාය. රතු පැහැති කුඩා මෝටර් රථය පදවාගෙන යාමට රියැදුරු බලපත්‍රයක් ද ඇය ලබාගත්තාය. ‘‘මේ අලුත් වාහනයේ දුර ගමනක් යන්නට ඇත්නම්’’ ඇය සිතන්නට ඇත. එහෙත් දුර ගමන යන්නේ කා සමග ද? ගැටලුවක් එහි නොවීය. ‘වසන්ත සමග නුවරඑළියේ යනවා’ එය යෝජනා කළේ ඇය ද? ඔහු ද යන්න ගැටලුවක් වුවත් පසුගිය 18 දින දෙදෙනා මේ සුන්දර ගමන සඳහා දින දා ගත්හ.  


මේ සුන්දර ගමන තමන්ගේ ඉරණම විසඳන ගමන බව දෙදෙනාම නොදැන සිටියහ. 18 දිනය ඉරිදා දිනයක් වූ නිසා දෙදෙනාම නිවෙස්වලට බොරුවක් කිව යුතුව තිබිණි. ‘‘අම්මේ අපේ ඔෆිස් එකෙන් මළ ගෙදරක යනවා. නුවරඑළියේ පාන්දරින්ම යන්න ඕනෑ’ ප්‍රසාදි තම මවට කීවාය.  


විවාහකයකු වූ වසන්තට ප්‍රසාදි තරම් පහසුවෙන් ගෙදරට බොරුවක් කීම තරමක අපහසු විය. ඒ ඉරිදා දිනයේදී තම වැඩිමහල් දරුවා පුද්ගලික පන්තිවලට රැගෙන යාමද ඔහුට පැවරී තිබූ නිසාය. වසන්තගේ බිරිඳ වූ සුරේකා රත්නායකට වසන්ත පිළිබඳව මීට මාස දෙකතුනකට පෙර සිට යම් සැකයක් ඉපදී තිබීම ද, වසන්තට බොරු කීම එතරම් පහසු නොකළේය.  


‘‘මේ රස්සාව කරලා හරියන්නේ නෑ. මම හිතාගෙන ඉන්නෙ රට ගිහින්වත් වැඩිපුර සල්ලි ටිකක් හොයාගන්න. කුරුණෑගල ඒජන්සියකට යන්න තියෙනවා හෙට. ඒ වැඩේ කොහොම හරි කරගන්න පාන්දරින්ම යන්න ඕනෑ’’ වසන්ත එසේ කියද්දීත් බිරිඳට යම් සැකයක් දැනිණි. එහෙත් ඇය ඒ බව වසන්තට නොපෙන්වූවාය.  


අලුයම 1.30ට පමණ වසන්ත නිවසින් පිටත්වූයේ යතුරු පැදියෙනි. ඔහු යතුරුපැදියෙන් ගොස් පැය තුනකට පසුව ප්‍රසාදි නැඳුන්ගමුවේ පිහිටි තම නිවසින් පෙ.ව. 4.30ට පිටත් වන්නේ තම මෝටර් රථයෙනි.  
එදින හවස 3.00ට පමණ නුවරඑළියේ ලිඳුල - තලවකැලේ මාර්ගයේ ලෝගිවත්ත ප්‍රදේශයේ පටු මාර්ගයක් හරහා ගමන් කරමින් සිටි දෙදෙනා සහිත මෝටර් රථය ගමන් කරමින් තිබුණි. එම මාර්ගය ඔස්සේ සීරුවෙන් වාහනයක් ගමන් කළ යුතු වන අතර ඊට අඩි 300ක් පහළින් පිහිටියේ කොත්මලේ ඔයයි.  


ගතවූයේ නිමේෂයකි.  


ප්‍රසාදි විසින් පදවාගෙන ආ මෝටර් රථය ක්ෂණයකින් කොත්මලේ ඔයට පෙරළිණි. කිසිවක් හිතාගන්නට හෝ කාලයක් නොතිබුණි. ඉදිරිපස අසුන්වල ආසන පටිද පැළඳ සිටි දෙදෙනාම සමග මෝටර් රථය කොත්මලේ ඔයේ අඩියටම වැටිණි.  


නුවරඑළිය බලා පැමිණි දෙදෙනා මෙම අතුරු මාර්ගය ඔස්සේ ගමන් ගත්තේ ඇයිද යන්නත්, ගැටලුවකි. එසේම වසන්ත විවාහකයකු බව හොඳින්ම දන්නා ප්‍රසාදි ඔහු සමග මෙවැනි ගමනක් ඒමට තීරණය කිරීම ද ප්‍රශ්නකාරීය. තම දරුවන් දෙදෙනාට මෙන්ම බිරිඳට ද ආදරයෙන් සිටි වසන්ත ගත් තීරණය ද බොහෝ දෙනාගේ විමතියට කාරණයකි.  


රිය අනතුරින් මියගිය දෙදෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ නුවරඑළිය මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය කේ. මුදිත කුඩාගම මහතා විසින් වාර්තා කර තිබුණේ මරණකාරිය වූ ශානි ප්‍රසාදිගේ පාදය බිඳීගොස් සිහිසුන් වී ඉන් අනතුරුව ජලය පෙවී මියගොස් ඇති බවය. මරණකරු වූ වසන්ත වනසිංහගේ හිසට බරපතළ තුවාල සිදුවී මියගොස් ඇති බවද එහි සඳහන්ව තිබිණි.  


මියගිය මේ දෙදෙනාම උසස් අධ්‍යාපනයක් ලද්දෝ වෙති. එහෙත් බුද්ධියට හා සත්‍යයට නිසි තැන ලබානොදී හැඟීමකට පමණක් මුල් තැන දී කටයුතු කිරීම නිසා මෙම තරුණ ජීවිත දෙක අකාලයේ මිලින වී ගිය බව පැහැදිලිය. මිලින වී ගියේ මෙම ජීවිත දෙක පමණක් නොවේ. වසන්තගේ ජීවිත කුරුලු කූඩුවද මේ සිද්ධියෙන් අසරණ තත්ත්වයට පත් වී තිබේ.  

 

 

 

 

දොම්පේ අජිත් මදුරප්පෙරුම