වසර හතළිස් හයක් බස් නැවතුම්පොළේ


1971 මේ රටට සුවිශේෂ වර්ෂයක් වන්නේ ශ්‍රී ලංකාවේ පළමු වන තරුණ කැරැල්ල ඇති වූ වර්ෂය බැවිනි. එදා ඇරඹී එම කැරැල්ලේ සෙවණැලි මෑතක් වන තුරුම විවිධ ස්වරූපවලින් අපි අත්වින්​ෙදමු.


මහනුවර පූජාපිටිය බොක්කාවල නගරයට නුදුරු උඩහිඟුල්වල පදිංචිව සිටි පුස්සේගොඩ ගෙදර ලොකු බණ්ඩා 1971 වන විට අවුරුදු 23 ක තරුණයකුව සිටියේය. භීෂණයේ සෙවණැලි ඔහු පසුපසද එන්නට වූයේ ඔහුද නොදැනුවත්මය. ඒ නිසාම මේ අගාධයට ඇද නොවැටීමේ අරමුණින් තරුණ ලොකු බණ්ඩා නිවසින් පිට වන්නේ යන එන මඟක් නොදැනය.      

    
වසර 46 කට පෙර මෙලෙස පාරට බැස්ස ලොකු බණ්ඩා කෙළින්ම වැටුණේ බොක්කාවල නගරයටය. එදා පටන් පසුගිය 14 වනදා දක්වා බොක්කාවල නගරයේ බස් නැවතුම්පොළ සිය නවාතැන කර ගත් ලොකු බණ්ඩාව නගරවාසීන් හඳුන්වනු ලැබුවේ ‘බණ්ඩා’ යන නමිනි.  

 

මහජන ගෞරවය සඳහා දේහය බස් නැවතුම්පොළේ තැන්පත් කර තිබූ අයුරු

 

එදා පටන් නගරවාසීන්ගේ උදව් උපකාර මැද බස් නැවතුමේ ජීවත් වූ බණ්ඩා නගරයේ විවිධ වෙ​ෙළඳ ආයතනවලට වැඩ කර දී සිය ජීවිකාව කරගෙන ගියේය. එසේ සිටියදී සිය 69 වන වියේ දී පසුගිය 14 වනදා සවස ඔහු දින කිහිපයක් අසනීපයෙන් සිට සිය ජීවිතයෙන් සමු ගත්තේය. මේ වන විට නගරවාසීන් ඔහුට බස් නැවතුම්පොළේ කාමරයක්ද සකස් කර දී තිබූ අතර ඇඳක් මෙට්ටයක් ඇතුළු පහසුකම්ද සපයා දීමට ඔවුහු පියවර ගෙන තිබුණහ.  


වසර 46 කට පෙර නිවසින් පිටත්ව පැමිණ බස් නැවතුම්පොළේ තනිවම කල් ගෙවූ බණ්ඩා මිය යාමෙන් පසුව ඔහුගේ ඥාතීන් පිළිබදව සොයා බැලීමේදී සොහොයුරියන් දෙදෙනෙකු ඉදිරිපත් වූ නමුත් ඔවුන් සමඟ ද ඔහු කිසිදු සබඳතාවක් පවත්වා නොමැති බව අනාවරණය විය.  


වසර 46ක්ම නගරයේ ජීවත් වූ බණ්ඩාගේ අවසන් කටයුතු ඉතා ගෞරවාන්විතව සහ චාම්ව කරන්නට නගරවාසීහු පියවර ගත්හ. පූජාපිටිය ප්‍රා‍දේශීය සභාවේ හිටපු මන්ත්‍රී චාමර විජේරත්න මහාගේ සහ නගරවාසීන්ගේ ඉල්ලීමක් අනුව මහනුවර නුවර මල්ශාලාව මගින් වටිනා පෙට්ටියක් නොමිලයේම ලබා දුන් අතර දේහය සුසාන භූමිය කරා ගෙන යාම දක්වා වූ සියලු ප්‍රවාහන කටයුතු ද ඔවුහු නොමිලයේම ඉටු කර දුන්හ.   

 

 

හාරිස්පත්තුව ගලසියපත්තුව හදිසි මරණ පරීක්ෂක එල්.බී.ඩබ්ලිව්. සේනාරත්න මහතා විසින් බොක්කාවල රෝහලේදී පවත්වනු ලැබූ හදිසි මරණ පරීක්ෂණයෙන් පසුව ඔහුගේ දේහය ඔහු වසර 46ක්ම ජීවත් වූ බස් නැවතුම්පොළේ අවසන් ගෞරවය සඳහා නගරවාසීන් විසින් තැන්පත් කර තිබූ අතර ඔහුගේ දේහයට එහිදී විශාල පිරිසක් අවසන් ගෞරව දැක්වූහ. ඉන් අනතුරුව ඔහුගේ අවසන් කටයුතු සිදු කරනු ලැබුවේ වෑවල සුසාන භූමියේය.  


බොක්කාවල ග්‍රාම නිලධාරි ඒ.ජී. ඥානතිලක සහ උඩහිඟුල්වල ග්‍රාම නිලධාරි එස්.එච්.ඩබ්ලිව්.එම්. සුනිල් යන මහත්වරු පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් මංජුලා මඩහපොල මහත්මියගේ උපදෙස් මත අවශ්‍ය සියලු සහයෝගයන් ලබා දුන්හ. පූජාපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී චාමර විජේරත්න මහතාත් බොක්කාවල නගරයේ වෙ​ෙළඳ සංගමයේ සාමාජිකයෝ, ත්‍රීරෝද රථ සංගමයේ සාමාජිකයෝ ඇතුළු නගරවාසීහු ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට සිය පූර්ණ දායකත්වය ලබා දුන්හ.

 

 

හාරිස්පත්තුවේ - මොහොමඩ් ආසික්