වසර 43කට පසු ක්‍රෙම්ලිනයෙන් බුහුමන් ලැබූ ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා


 

ඒකමානීයව පසුපසට මෙන්ම ඉදිරියට ද දෝලනය වෙමින් ගලා ආ ලෝකයේ දේශපාලන ගමන්මඟ බලවත් විපර්යාසයකට ලක් කළ සිදුවීම් ගණනාවක්ම ඉතිහාසය තුළ අපට හමුවේ. 1959 ජනවාරියේදී ජුලි 26 ව්‍යාපාරය හරහා කූටප්‍රාප්තිය කරා ළඟාවූ කියුබානු විප්ලවය 1949 දී මා ඕ සේතුං නායකත්වය දුන් චීන විප්ලවය මෙන්ම ඒ සියල්ලටම මාළිමාවක් වූ 1917 ඔක්තෝබර් විප්ලවය ඒ අතර ප්‍රමුඛ වැදගත්කමක් ගනී. මේ වනවිට ලොව පුරා සමරමින් සිටින්නේ එහි සියවැනි සංවත්සරයයි. 


ව්ලැඞ්මීර් ඉලිනොවිව් ලෙනින් හා ලියොන් ට්‍රොට්ස්කි ප්‍රමුඛ බොල්ෂේවික් විප්ලවවාදීන් විසින් රුසියාවේ සාර් පාලනය පෙරළා දමමින් ලෝකයට සමාජවාදී මාවත විවර කරද්දී ශ්‍රී ලංකාව පැවැතියේ බි්‍රතාන්‍ය යටත් විජිත පාලනයේ ගොදුරක් ලෙසය. ඒ අනුව සියවසකට එපිට ශ්‍රී ලාංකීය ජන සමාජයට රුසියානු විප්ලවයේ උණුසුම බොහෝ සෙයින් දුරස්විය. මේ රටේ ප්‍රධානතම සිංහල පුවත්පතක් එම ඓතිහාසික සිදුවීම වාර්තා කර තිබුණේ ලෙනින්ගේ නම පවා වැරැදි ලෙස සටහන් කරමිනි. එම වාර්තාවේ සිරස්තලය වූයේ “ලෙමින් නැමැති මැරයෙක් රුසියාවේ බලය අල්ලයි” යනුවෙනි. එයද සෙන්ටි මීටර් කිහිපයක් වූ කුඩා පුවතක් ලෙසිනි.


ලෝකයේ විශාල භූමි භාගයක් හිමිකරගෙන සිටි රටක වැඩවසම් රදල වාදය හා ධනවාදය පරාජය කරමින් ලෝක ඉතිහාසයේ පළමු කම්කරු රාජ්‍යය පිහිටුවීම විසිවැනි සියවසේ වැදගත්ම සිදුවීමක් ලෙස සැලකිය හැකිය. ලෙනින්ගේ ද ඔහුගේ අනුප්‍රාප්තිකයා වූ ජෝසප් ස්ටාලින්ගේ නායකත්වය තුළ ද ලෝක බලවතෙකු ලෙස සෝවියට් සමාජවාදී සංගමය නැගී සිටිමින් බලගතු රාජ්‍යයක් ලෝක සිතියමට එක්වෙද්දීත් 1948න් පසු නිදහස් ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය තීන්දු කරන ලද්දේ බි්‍රතාන්‍යයට රිසිවෙන ආකාරයටය. ශ්‍රී ලංකාව හා සෝවියට් දේශය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනගා ගැනීම සඳහා එක්දහස් නවසිය පනස් හයේ දේශපාලන පෙරළිය වෙනතෙක් බලා සිටින්නට සිදුවූයේ එහෙයිනි. 


ඒ අනුව ශ්‍රී ලංකාව සෝවියට් දේශය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගන්නේ 1957 පෙබරවාරි මස 18 වැනිදාය. ඒ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා විසින් නොබැඳි පිළිවෙතක් අනුගමනය කරන රටක් ලෙස ශ්‍රී ලංකාවේ විදේශ පිළිවෙත විප්ලවීය පරිවර්තනයකට යොමු කරවීමේ ප්‍රතිඵලයක් ලෙසටය. ඒ අනුව මේ වනවිට ශ්‍රී ලංකා රුසියානු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අරඹා වසර 60ක් සම්පූර්ණ වේ. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයට වසර 100ක් සම්පූර්ණවීම ලොව පුරා වාමාංශික බලවේගයන් විසින් මහත් ආනන්දයෙන් යුතුව සමරන මොහොතකදී සෝවියට් දේශයේ අනුප්‍රාප්තික රාජ්‍යය ලෙස අද වෙනවිට මහා බලවතෙකු ලෙස නැගීඃ සිටින රුසියානු සමූහාණ්ඩුවට මෙන්ම ශ්‍රී ලංකාවට ද තම සුහද සබඳතාවයන් හි හැටවැනි සංවත්සරය සැමරීමට එකවිට භාග්‍යය උදාවී තිබේ. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගේ ගෞරවණීය ආරාධනය පිළිගනිමින් ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තෙදින නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත්වගොස් ඇත්තේ එබැවිනි.


රටක් වශයෙන් සැළකීමේදී මෙම ආරාධනය අංශ කිහිපයකින්ම ඉතා වැදගත්ය. එමෙන්ම සුවිශේෂි වේ. පළමු කාරණය මේ ආකාරයට ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට රුසියාවේ සංචාරයක් සඳහා නිල ආරාධනයක් ලැබෙන්නේ වසර 43කට පසුව වීමයි. මෙයට පෙර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකුට එවැනි අවස්ථා දෙකක් හිමිවී ඇති අතර එම අවස්ථා දෙකෙහිදීම එම සුවිශේෂී වරප්‍රසාදය හා ගෞරවය හිමිව ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය සිරිමාවෝ ආර්. ඩී. බණ්ඩාරනායක මැතිනිය වෙතය. ඒ 1963 සහ 1974 යන වසරවලදීය. එදා එම ආරාධනය ලැබෙන්නේ සෝවියට් දේශයෙනි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට මෙවර ආරාධනා ලැබෙන්නේ සෝවියට් දේශයේ අනුප්‍රාප්තික රාජ්‍ය වන රුසියානු සමූහාණ්ඩුවෙනි.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට සෝවියට් දේශයෙන් එබඳු පිළිගැනීමක් ලැබීමට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් විය. ඉන් මූලිකම සාධකය වූයේ ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වූ කාන්තාව ලෙස ඇය වෙතට යොමුවූ ලෝක අවධානයයි. ඒ සමඟම ලෝක බල කඳවුරේ සාම්ප්‍රදායික ආධිපත්‍යයට නතු නොවූ ප්‍රගතිශීලී දේශපාලන දැක්මක් සහිත නායිකාවකවීම ද විශේෂයෙන්ම නොබැඳි පිළිවෙතක පිහිටා කටයුතු කරමින් එය තුන්වැනි ලෝකයේ ප්‍රබලතම හඬ බවට පත් කරලීම සඳහා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලබාදී ඇති අයෝමය දායකත්වයද ඒ සඳහා බලපෑ අනෙක් ප්‍රධාන හා වැදගත්ම කරුණ විය.


රුසියානු ශ්‍රී ලංකා සබඳතා විමසා බැලීමේදී ඉතා ශක්තිමත් ස්වර්ණමය බැඳීමකට මුලපුරා ඇත්තේ බණ්ඩාරනායකවරුන්ගේ පාලන සමයන්හි දී වීම ද විශේෂත්වයකි. අනෙක් අතට එම සබඳතාවන් පිළිබඳව ශ්‍රී ලංකාවද බලවත් සැලකිල්ලක් හා වැදගත්කමක් දක්වා ඇති බවද පෙනෙන්නට තිබේ. සෝවියට් දේශය සමඟ ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කරමින් රුසියාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස මහාචාර්ය ගුණපාල මලලසේකර වැනි ජාත්‍යන්තර පිළිගැනීමක් හා ගෞරවයක් හිමිව තිබූ විද්වතෙකු පත්කර යැවීමෙන්ම ඒ බව තේරුම්ගත හැකිය. එපමණක් නොව පසුකාලීනව සෝවියට් දේශයේ ශ්‍රී ලංකා තානාපතිවරුන් ලෙස පත්කර යවා ඇති ටී. බී. සුබසිංහ, දොස්තර එම්. වී.පී. පිරිස්, ආචාර්ය නෙවිල් කනගරත්න, ආචාර්ය නිශ්ශංක විජේරත්න, ආර්.සී. ඒ. වැන්ඩගර්ට්, අයි. එම්. අයි. හුසේන් යන චරිත පිළිබඳව සලකා බැලීමේදී ද ඒ බව පැහැදිලි වේ.


ශ්‍රී ලංකාව ප්‍රථම වරට සෝවියට් දේශය සමඟ ද්වීපාර්ශ්වික ගිවිසුමකට අත්සන් තබා ඇත්තේ 1958 වසරේදීය. ඒ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟාගෙන වසරක් ඉක්මවීමට පෙරදීය. දෙරට අතර ඇති කරගෙන ඇති එම ගිවිසුම තුළින් ආර්ථික, තාක්ෂණික හා සමාජ සබඳතාවන් වර්ධනය කර ගැනීම සඳහා එකඟත්වයක් ඇතිකරගෙන තිබේ. එම එකඟත්වය පසුකාලයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික හා සමාජ ක්ෂේත්‍රයන්හී දැවැන්ත පිබිදීමකට බොහෝසේ හේතු සාධක සපයා ඇති බවත් පැහැදිලි වන්නේ පසුකාලීනව සෝවියට් රුසියාවෙන් ශ්‍රී ලංකාව වෙත හිමිකර දුන් ප්‍රතිලාභ සලකා බැලීමේදීය. ඔරුවල වානේ කම්හල, කැලණි ටයර් කර්මාන්ත ශාලාව, පොළොන්නරුවේ උකුකිරි කම්හල, මෝදර පිටි කර්මාන්ත ශාලාව වැනි එම යුගයට සාපේක්ෂව නවීන තාක්ෂණයෙන් යුත් කර්මාන්තශාලා ශ්‍රී ලංකාවේ කර්මාන්ත ව්‍යුහයේ දියුණුව කෙරහි දැවැන්ත පිටුබලයක් ලබාදුන් බව නිසැකය.

එයට අමතරව රුසියානු ශිෂ්‍යත්ව මගින් ලාංකීය තරුණ තරුණියන් සඳහා රුසියාවේ අධ්‍යාපන අවස්ථා විවර කරලීම තුළ වෛද්‍ය, ඉංජිනේරු හා අනෙකුත් විවිධ ක්ෂේත්‍රයන්ට අයත් උපාධිධාරී වෘත්තිකයන් දස දහස් ගණනක් ශ්‍රී ලංකාවට දායාද කර තිබේ. එයට අමතරව දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍රයන්ට අදාළව ද සෝවියට් දේශය මෙන්ම එහි අනුප්‍රාප්තික රාජ්‍යය වන වර්තමාන රුසියාව ශ්‍රී ලංකාව වෙත දක්වා ඇත්තේ දැවැන්ත සහයෝගයකි.


එම අතීත සුහද සබඳතාවන් තුළ පමණක් නොව වර්තමාන ලෝක බලවතෙකු ලෙසට ද රුසියාව ගොඩනගාගෙන ඇති තමන්ටම අනන්‍ය වූ ශක්තිමත් භාවය තුළ රුසියානු ශ්‍රී ලංකා සබඳතාවන් තවදුරටත් වර්ධනය කර ගැනීම අතිශයින්ම වැදගත්වනු ඇත. ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා වෙතින් ලැබී ඇති ආරාධනය සුවිශේෂී එකක් වන්නේ ඒ අනුවය. මෙහිදී සලකා බැලිය යුතු තවත් වැදගත් කරුණක් තිබේ. මේ රටේ මින්පෙර කටයුතු කළ කිසිදු ජනාධිපතිවරයකුට හෝ සිරිමාවා් බණ්ඩාරනායක මැතිනිය හැර අන් කිසිදු රාජ්‍ය නායකයකුට මේ ආකාරයේ නිල ආරාධනයක් මේ වනතෙක්ම සෝවියට් දේශයෙන් හෝ රුසියානු සමූහාණ්ඩුවෙන් හෝ නොලැබී තිබීමය. විශේෂයෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ විධායක ජනාධිපතිධුරය දරමින් සිටි අවස්ථා දෙකකදීම රුසියාවේ සංචාරය කර ඇතත් ඒවා රුසියානු රාජ්‍යයෙන් ලද නිල ආරාධනා ලෙස සැලකිය නොහැකිය. ඒ නිසා එම අවස්ථා දෙකෙහිදීම මොස්කව් නගරයේදී හමුදා උත්තමාචාර හෝ ක්‍රෙම්ලීන් මන්දිරයේදී රුසියානු ජනාධිපතිවරයා විසින් විදේශ රාජ්‍ය නායකයකු වෙත ලබාදෙන ගෞරවනීය පිළිගැනීමකට මහින්ද රාජපක්ෂ මහතා හිමිකම් නොලැබීය. ඒ කාලසීමාවේ මෙන්ම අද පවා ඇතැමුන් මේ රටේ සාමාන්‍ය ජනතාව වෙත ඒත්තු ගැන්වීමට උත්සාහ කරන බරපතළ මිත්‍යාවක් තිබේ. එනම් මුළු මහත් බටහිර ලෝකයම අතහරිනු ලැබුවද රුසියාව ප්‍රමුඛ ප්‍රගතිශීලී දේශපාලන කඳවුර මහින්ද රාජපක්ෂ මහතා අතනොහරින බවය. එය එසේනම් 2010 සහ 2011 යන වසරවලදී මහින්ද රාජපක්ෂ මහතාගේ රුසියානු සංචාරයන් නිල සංචාරයන් ලෙස ඉහළ පිළිගැනීමට ලක් නොකිරීමට හේතුව කුමක්ද? යන්නය. දෙවරක්ම මේ රටේ විධායක ජනාධිපති ධුරය හෙබවූවෙකුට නොලැබුණ නිල පිළිගැනීමක් සිය පළමු ධුර කාලයෙන් තෙවසරක් ඉක්මවීමට ද පෙර මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබාදීමට කටයුතු කළේ ඇයිද යන්නය.


හේතුව ඉතා පැහැදිලිය. බටහිර හෝ වේවා නැගෙනහිර හෝ වේවා ඕනෑම දේශපාලන බල කඳවුරක් වුවද රාජ්‍යයක් හා රාජ්‍ය නායකත්වයක් ඇගයීමට ලක් කිරීමේදී සලකා බලන්නේ ශරීරයේ උස මහත හෝ ඔවුන්ගේ පුරසාරම් පිළිබඳව නොවන බවයි. ඒ ඒ රාජ්‍ය නායකයන් අනුගමනය කරන්නා වූ ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ග ශිෂ්ට සම්පන්න නූතන රාජ්‍යය සම්ප්‍රදායන්ට කොතරම් අනුගත වන්නේද යන්නය. එය බටහිර මෙන්ම පැරැණි සමාජවාදී කඳවුරට අයත් රාජ්‍යයන්ද පොදුවේ සලකා බලන මිනුම් දණ්ඩකි. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය හැරෙන්නට ශ්‍රී ලංකාවේ වෙනත් කිසිදු රාජ්‍ය නායකයෙකුට ලබාගත නොහැකිවූ ගෞරවයක් රාජ්‍ය නායකයා ලෙස පත්ව තෙවසරක් ගතවීමටත් පෙර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත හිමිවන්නේ ඒ ඇගයීම තුළය.

සුනිල් ජයසේකර