වප් මස ග‍්‍රහ ගමන ඔබට කරන බලපෑම !


මේෂ ලග්නය   

 

මේෂ ලග්නය හිමි ඔබගේ යෝගකාරක ග‍්‍රහයින් සුබාසුබ මිශ‍්‍ර බලයෙන් ගමන් කිරීම සිදුවන මෙම මාසය තුළ ඔබගේ අත්‍යවශ්‍ය කටයුතු කෙරෙන් ද සුබා සුබ මිශ‍්‍ර බවක් ගොඩනැගේ. මෙම මස මුල්දින 15ට වඩා අවසන් දින 15 තුළ වැඩි වශයෙන් යහපතට කටයුතු පිළියෙළ වේ. එබැවින් එහිදී ධන ලාභ ලැබේ. සිත් සතුටට කරුණු සැලසේ. අපේක්ෂිත මුදල් ලාභ ලැබේ. ගෙදරට අවශ්‍ය බඩු ලැබේ. ඒවා මිලදී ගැනීමට ඉඩ ලැබේ. තඹ, පිත්තල, යකඩ ආදී බඩු ලැබේ. උගත් අයගේ ආශ‍්‍රයෙන් ඈත්වීම සිදුවුවත්, ලාභ ප‍්‍රයෝජන ලැබෙන කාලයකි. සතුරන්ගෙන් නිදහස ලැබේ. මෙම කාලයේ දී ඔබට විරුද්ධව එන සතුරෝ පරාජය වෙති. තිබුණ දුෂ්කරකම් මග ඇරෙයි. වෙළෙඳ ව්‍යාපාරවලින් දියුණුව ලැබේ. දේපල පිළිබඳ දියුණුවට ද කටයුතු සිදුවෙයි. 


ආර්ථික හා රැකියාවේ තත්ත්වය 

ඔබ මෙම ඔක්තෝබර් මස මුල් දින 15 තුළ ගනුදෙනු කටයුතු හා ඉපැයීම් මාර්ගවල ගැටලු ඇති නොවන අයුරින් කටයුතු කරන්න. ඔබට එතරම් මුදල් ලාභ නොලැබෙන බවක් අන්‍යයන්ට පෙනුණත් අන්‍යයන්ට පැහැදිලිව නොපෙනෙන මාර්ගවලින් යම් යම් මුදල් ලාභ හිමිවේ. අවසන් දින 15 තුළ ධනය දේපළ කෙරෙන් සැලකිය යුතු වර්ධනයක් ගොඩනැගේ. අඩපණ තත්ත්වයේ පැවැති ඉපැයීම් මාර්ගවල ප‍්‍රගතියක් ද ඇති වේ. 


ඔබගේ රැකියා ව්‍යාපාර කටයුතු දැඩි පීඩාවකින් තොරව සාමාන්‍ය තත්ත්වයකින් කෙරෙනු ඇත. අන්‍යයන් යටතේ රැකියා ව්‍යාපාරවල නිරත වන මේෂ ලග්න හිමියන්ට තරමක සිත් තැවුල් මතු කළත් ස්වයං ව්‍යාපාර ආදියේ නිරත වන්නන්ට ඒවායේ වැඩි දියුණුවක් සැලසේ. රැකී රක්ෂා තනතුරු ලැබීම ද ගෙවල් ඉඩම් පිළිබඳ දියුණුව ද ඇති කරයි. 

 
ප්‍රේම දිවිය හා යුග දිවිය 

විශේෂයෙන් ඔබ මෙම මාසය තුළ ආදර සබඳතා හා විවාහ කටයුතුවලදී සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න. ඔබගේ ප්‍රේමවන්තයා ප්‍රේමවන්තිය මෙන්ම සැමියා බිරිඳ අතර සැකයේ බීජය හටගැනීම නිසා දෙදෙනා අතර අමනාපකම් ඇතිවීමේ ප‍්‍රවණතාවක් ද ඇත. 

 

වෘෂභ ලග්නය

ඔබගේ ලග්නයට අනුව ග‍්‍රහ ගමන සුබදායක අයුරින් පවතින මෙම ඔක්තෝබර් මාසය තුළ සැලසුම් සහගතව ක‍්‍රමවත්ව දෛනික කාර්ය කටයුතුවල නිරත වීමට හැකියාව ලැබේ. ජීවන පරිසරය සැනසිලිදායක වන මාසයකි. සමාජයෙහි තම තත්ත්වය උසස් වේ. විවාහකයන්ට තම දූ දරු ශිෂ්‍යයන් පිළිබඳ ප්‍රීතිය ගෙන දේ. ප්‍රීතිමත් වාසනාවන්ත කාලයකි. අලුත් ඥාති මිත‍්‍රයන් ලැබේ. ධන ලාභ ද ලැබෙනවා ඇත. සතුරන්ගෙන් කරදර ඇති නොවේ.

බලාපොරොත්තු ඉෂ්ට වෙන මාසයකි. සතුරන් පරාජයට පැමිණේ. වැඩිහිටියන්ගෙන් හා උසස් අයගෙන් ගරු සැලකිලි ප‍්‍රශංසා ලැබෙන සතුට සැනසීම ඇතිවන මාසයක් බවට මෙම මාසය පත් වේ. 


ආර්ථික හා රැකියාවේ තත්ත්වය 

ඔබගේ විශේෂ ධන භාවය බලවත්ව තිබෙන බැවින් අවශ්‍ය දෙයට අවශ්‍ය වේලාවට මිල මුදල් ලැබේ. එමෙන්ම මූල්‍ය දුෂ්කරතා මතු නොවේ. ඉඩකඩම්, නිවාස, චංචල දේපළවලට සම්බන්ධ ප‍්‍රශ්න විසඳී, ඊට අදාළ දියුණුවක් ද ගොඩනැගේ. දේපළ ප‍්‍රශ්න ගැටලුවකින් තොරව විසඳෙන මාසයක් වන්නේය. 


ඔබට මෙම මාසයේ තම රැකියා ව්‍යාපාරික කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට පසුබිම සැකසේ. රැකියා ඉල්ලුම්පත් ලැබේ. තරග විභාග සම්මුඛ පරීක්‍ෂණාදියෙන් ද  ජයග‍්‍රහණ අත්වී විරැකියාවට පිළියම් සොයගැනීමටත් අවස්ථාව සැලසේ. විදෙස් රැකියාවකට බලපෑ බාධා පහව යයි. මීට අදාළ කාර්යයන්හි සතුටුදායක ආරංචි ලැබෙනු ඇත. තමා අපේක්‍ෂා කළ දේ වෙනස් වී ගොස් අපේක්‍ෂා නොකළ මාර්ගයන්ගෙන් රැකියා හා ව්‍යාපාරික කටයුතුවලට ශුභදායී වටපිටාවක් සැකසෙන්නේය. 


ප්‍රේම දිවිය හා යුග දිවිය 

ප්‍රේම දිවියේ කටයුතුවලට බලපෑ විරුද්ධවාදිකම් පහව යයි. කල් යැල් ඇද ඇද පැවැති විවාහ ගිවිසුමක් පොරොන්දුවක් ඉටුවන තැනට කටයුතු පිළියෙල වේ. විරුද්ධ ලිංගිකයන් වැඩිපුර මුණගැසෙන මාසයකි. ඥාතීන් මගින් විවාහ යෝජනා ගෙන එනු ඇත. තමා වෙනුවෙන් නිවෙසේ මංගල උත්සව සූදානම් වීමක් සිදු වේ. ආදර හා යුග දිවිය කෙරෙන් තෘප්තිමත් දෑ ඇති වන්නේය. 

 

 

මිථුන ලග්නය

ඔබගේ ලග්නයට අනුව බුධ ගුරු බලයෙන් යුක්තව හැසිරෙන මෙම මාසය ශුභ ඵල ගෙනදෙයි. එමෙන්ම මෙම මාසයේ ඔබ අලුත් වැඩකට සම්බන්ධවීම ද පෙන්නුම් කරයි. එන ඕනෑම අභියෝගයක් මැඬගෙන තමාගේ ජයග‍්‍රහණය සලසා ගැනීමටත් ඔබට මෙම මාසයේ හැකියාව ලැබෙන්නේය. කරගෙන ආ වැඩ කටයුතු ද අමුතුවෙන් ආරම්භ කරන වැඩ කටයුතු ද දියුණුවට පත් වේ. එසේම ධන ධාන්‍ය ලාභ ලැබෙන කාලයකි. නම හොඳ වේ. ප‍්‍රශංසා ලැබේ. ආදායම් වැඩි වේ. සමාජයෙහි හොඳ තත්ත්වයක් ලැබේ. සමාජයට ප්‍රිය වේ. යම්යම් බඩු වර්ග හෝ මිල මුදල් පිළිබඳ ලාභ ලැබේ. වාසනාවන්ත සතුටුදායක කාලයකි. 


ආර්ථික හා රැකියාවේ තත්ත්වය 

මිල මුදල් අතින් අග හිඟ ඇති නොවන මාසයකි. එමෙන්ම ක‍්‍රමයෙන් ආදායම වැඩිකර ගැනීමටත් කටයුතු සකසා ගනී. ඔබ ඉපැයීම් කටයුතුවලදී දුර දිග බලා කටයුතු කරන නිසා අස්ථිර ලෙස වැඩි ආදායම් ලබනවාට වඩා ස්ථිර ලෙස ඊට වඩා අඩු ආදායම් වුව ලැබීමේ අටියෙන් මෙම මස තුළ ඉපැයීමේ කටයුතුවල නිරත වේ. අයකර ගැනීමට තිබූ මුදල් ලැබෙනු ඇත. 


කර්මස්ථානාධිපති බලයෙන් යුක්ත බැවින් ඔබ මෙම මස වැඩිපුර සිතන්නේ තමා නිරත රැකියා ව්‍යාපාරික කටයුතු කෙරෙහිය. එබැවින් ඔබට මෙම මාසයේ තම රක්‍ෂාව ගැන උසස් දැනුමක් ලැබීමටත් රක්‍ෂාවෙන් උසස් වීමටත් අවස්ථාව උදාවේ. තම රැකියාව හා ව්‍යාපාරය එක්තරා පිළිවෙළකට අවුල් සහගත තත්ත්වයකින් තොරව කරගෙන යාමට පවත්වාගෙන යාමට අවශ්‍ය දෑ පිළියෙල වේ. 


ප්‍රේම දිවිය හා යුග දිවිය 

විවාහ කාරක සිකුරු ශුභ යෝග බලයෙන් යුක්තව මෙම මස තුළ හැසිරෙන නිසා ඔබගේ ප්‍රේම දිවියේ හා විවාහ දිවියේ කටයුතු ප‍්‍රශ්න බාධාවලින් තොරව සිදුවනු ඇත. දින කිහිපයක් මුළුල්ලේ සිතෙහි හටගෙන තිබූ ප්‍රේමාන්විත හැඟීමක් තම විරුද්ධ ලිංගිකයාට ප‍්‍රකාශ කිරීමේ අවස්ථාව උදා වේ. නව ආදර සබඳතා ගොඩනැගේ. විවාහ යෝජනා ගෙන එනු ලබන මාසයක් ද වන්නේය. මේවායේ කාර්ය කටයුතුවලට බෙහෙවින් ශුභ ඵල ඇති කරයි. පවුලේ සමගිය හා වාසනාව ද ගෙදර දොර සැනසීම ද ඇතිවන සිදුවන මාසයකි. 

 

 

කටක ලග්නය 

ඔබගේ ලග්නාධිපති හා යෝගකාරක ග‍්‍රහයන් බලයෙන් යුක්තව හැසිරෙන මෙම මාසය තුළ ඔබගේ අරමුණු සැලසුම් බොහෝ දුරට ඉටුකර ගැනීමට අවස්ථාව සැලසෙන්නේය. එහෙත් කලබලයට නොසොයා නොබලා දෛනික කටයුතුවල නිරත නොවන්න. සතුරු බාධක යෙදුණත් ඒවා මැඩගෙන කටයුතු කළ හැකි පසුබිමක් ඇතිකෙරේ.

ප්‍රීතිමත් හිතවතකුගේ ආශ‍්‍රයක් ඇති වේ. ප්‍රීති උත්සව බලන්නට ලැබේ. පසුගිය දිනවල තමාගෙන් ඈත්ව සිටි සහෝදර සහෝදරයන් තමා ළඟට පැමිණේ. නැතහොත් තමාට ඔවුන් සොයා යාමට සිදු වේ. මිත‍්‍රයන්ගේ ආශ‍්‍රය ද උපකාර ද ලැබේ. ලාභ ප‍්‍රයෝජන ලැබේ. සමාජයෙහි උසස් වේ. තමාගේ බලය පැවැත්වීමට හැකි වේ. ගරු සැලකිලි ලැබේ. වස්ත‍්‍රාභරණ ලැබේ. සැප පහසුවට අවශ්‍ය දේ හිමි වේ. සාමාන්‍ය දියුණුවද නියමයි. 


ආර්ථික හා රැකියාවේ තත්ත්වය 

මෙම මාසය තුළ අඩපණව පැවති ඔබගේ ඉපැයීම් මාර්ග ශක්තිමත් කරගත හැකි වන්නේය. අමතර ආදායම් මාර්ගයක්ද සලසා ගැනීමට අවස්ථාව උදා වේ. පොදුවේ අතට මිල මුදල් ලැබෙන වැඩපිළිවෙළක් සැකසෙන අතර බොහෝ දුරට ප‍්‍රධාන මූල්‍ය අවශ්‍යතා රැසක් ඉටුකර ගැනීමටද ඉඩප‍්‍රස්ථා සැලසේ. උරුම හිමිකම් පිළිබඳව පැවති ගැටලු නිරවුල් වන තැනට කටයුතු සිදු වේ. කුමන අයුරින් හෝ අතමිට මිල මුදල් ගැවසෙන මාසයක් බවට මෙම මාසය පත්වනු ඇත. එසේම මෙම මස තුළ ආර්ථීක තත්ත්වය උසස් කර ගැනීමට අවස්ථාව සැලසේ. යම් යම් මුදල් ලාභ වී ණය ගනුදෙනු අපේක්‍ෂා සඵල වේ. 


ඔබගේ රැකියා හා ව්‍යාපාරික කටයුතු කෙරෙහි වැඩිදියුණුවක් සැකසෙන අතර රාජකාරියට හා ව්‍යාපාරික ස්ථානවලට අදාළව පැවති ගැටලුකාරී ස්වභාවයක් හා අවිනිශ්චිතතාවයක් පහව ගොස් තෘප්තිමත් භාවයෙන් රාජකාරිවල නිරත වීමට පසුබිම සැකසේ. අලුත් රැකියා අපේක්ෂිත ඔබට උත්සාහ ගතහොත් නව රැකියා ලාභ හිමිකර ගත හැකිය. එසේම මෙම මස තුළදී ඔබට ජීවනෝපාය මාර්ගවලට සම්බන්ධිත දෑ පිළිබඳ දියුණුවක් ඉදිරියට යෑමක් ඇති කරලීමේ පෙර නිමිති පහළ වන්නේය. රැකියා අපේක්‍ෂා ඉටුවේ. රාජකාරිය ද ක‍්‍රමවත්භාවයට පත් වේ. රැකී රක්‍ෂා රාජකාරිමය වශයෙන් අමතර බලතල ලැබේ. රැකියාවට අදාළ වැඩ කිහිපයක යෙදීමට ද ඉඩ තිබේ. 


ප්‍රේම දිවිය හා යුග දිවිය 

මෙම මාසය තුළ ඔබගේ ආදර සබඳතා හා යුග දිවියේ කටයුතු කෙරෙන් සුබදායී වෙනස්කම් රැසක් සිදුවේ. කලක් අතහැර දමා තිබූ පෙම් සබඳතාවක් නැවත ගොඩනැගෙන යමක් සිදුවේ. අවිවාහකයනට මංගල යෝජනා ගෙනඑනු ලැබේ. ආලය පිළිබඳ කටයුතු පහසුවෙන් ඇති කර ගත හැක. සහකරු සහකාරියගේ පවුලේ අයගෙන් බලාපොරොත්තු වූ යමක් ලැබීමෙන් සිතට සතුටක් ගෙනදේ. ප්‍රේම දිවිය හොඳින් ගතවේ. ආදර සබඳතාවක හෝ විවාහ දිවියේ පැවැති ප‍්‍රශ්නයක් පවුලේ ඥාතියකු මාර්ගයෙන් විසඳා ගත හැක. ඒ එසේ නමුත් අනපේක්‍ෂිත සබඳතාවන්ට නතු නොවන්න. 

 

සිංහ ලග්නය 

ඔබේ ලග්නයේ යෙදෙන ග‍්‍රහ බලය අනුව ඔබට ඔක්තෝබර් 15 තෙක් සිය දෛනික කාර්යය කටයුතු කරගෙන යාමට සිදුවන්නේ නොයෙකුත් කරදරයන් මෙන්ම බාධා මධ්‍යයේය. ඉන්පසු කාලයේදී යහපතට කටයුතු පිළියෙල වේ. උත්සාහවල ප‍්‍රතිඵල අත්කර ගත හැකි වේ. පොදුවේ ඔබට මෙම මාසය ශුභාශුභ මිශ‍්‍ර ඵල සහිතයි. 


ආර්ථික හා රැකියාවේ තත්ත්වය 

ධන - අය භාවාධිපති වූ බුධ පීඩාවකින් තොර නිසා ඔබට මෙම මාසය ඉපැයීම් මාර්ග කෙරෙන් අයහපත් නොවේ. ඇනහිට තිබූ ආදායම් තත්ත්වය යහපත් අතට පත්වේ. අමතර ආදායම් මාර්ග කෙරෙහිද අවධානය යොමු වේ. ඔක්තෝබර් මුල් දින 10 තුළ අනවශ්‍ය ගමන්වලට හා විනෝදාස්වාදයට වැඩිපුර වියදම් කිරීමෙන් වළකින්න. 


මුල් සති දෙක කර්මස්ථානාධිපති තරමක් දුර්වලව යන නිසා ඔබ මෙම මස තුළදී කැපවීමෙන් රැකියා කටයුතුවල නිරත වන්නේ නම්, රැකියා ව්‍යාපාරාදියේ කිසියම් ප‍්‍රගතියක් අත්පත් වන තැනට කටයුතු පිළියෙල කරගත හැක. නව රැකියා අවස්ථා හෝ ස්ථාන වෙනස්කම් කෙරේ බලපෑ බාධාවක් පහව යයි. රැකියා හා රාජකාරියට බාධාකාරී පසුබිමක් ඇති නොවුණත් මෙම මස තුළ මේ කෙරෙන් එතරම් තෘප්තිමත් භාවයක් ඇති නොවේ 


ප්‍රේම දිවිය හා යුග දිවිය 

විවාහ කාරක සිකුරු හා ලග්නාධිපති රවි සුබ අශුබ මිශ‍්‍ර නිසා ඔබගේ ආදර සබඳතා හා විවාහයට අදාළ කටයුතු කෙරෙන් ශුභාශුභ මිශ‍්‍ර ඵල ගෙන දෙන්නේය. නව ආදර සබඳතා හා විවාහ යෝජනාදිය ගොඩනැගුණත් නොසොයා නොබලා හැඟීම්වලට වහල් වී ක්‍ෂණික තීරණ මත යම් යම් නිගමනයන්ට නොඑළඹෙන්න. යුග දිවි ගෙවන්නන්, තම විරුද්ධ ලිංගිකයා සමඟ කටයුතු කිරීමේදී මතබේද ප‍්‍රශ්න ඇති කර නොගන්න. කෙසේ නමුත් මෙම ඔක්තෝබර් අඟ සති දෙක තුළදී ආදර සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් සිතට සතුට උපදවන කාර්යයන් රැසක් ගොඩනැගෙනු ඇත. 

 

 

කන්‍යා ලග්නය 

 

 

 

 

කන්‍යා ලග්නය හිමි ඔබට මෙම මස තුළ ඔබගේ දෛනික කාර්යය කටයුතු කළයුතු වන්නේ නොයෙකුත් අවහිර මෙන්ම බාධා මධ්‍යයේය. පොදුවේ මෙම මස පුරා ග‍්‍රහ ගමන තරමක් අශුභව ගමන් කරන නිසා මෙම මාසය තුළ සෑම දෙයක් කෙරේම සැලකිලිමත් වන්න. දෛනික වැඩ කටයුතු ක්‍රියාකාරකම්වලට තමන් බලාපොරොත්තු වන තරමේ සහයෝගයක් පවුලේ අයගෙන් හා අපේක්‍ෂිත පුද්ගලයන්ගෙන් නොලැබේ. ශුභාශුභ මිශ‍්‍රඵල මාසයකි. තමාට හෝ අඹුදරු ආදී පවුලේ කෙනෙකුට අසනීපයක් පීඩාවක් වැනි දෙයක් හෝ සිත් තැවුලට හේතු වන දෙයක් හෝ සිදුවීමේ ඉඩක් ද පවතී. අවධානයෙන් කටයුතු කරන්න. උත්සාහයේ උනන්දුවේ තරමට ප‍්‍රතිඵල නොලැබීම නිසා දැඩි ලෙස කලකිරීමට වුව පත්වේ. වගකීමකින් තොරව තමන්ගේ දැඩි තීරණ යටතේ ක‍්‍රියා කිරීමට නොයන්න. කලබලකාරී ගතියත් නොඉවසීමත් නිසා වැඩ කටයුතු අවුල් කර ගැනීමට ඉඩ තිබේ. 


ආර්ථික හා රැකියාවේ තත්ත්වය 

පසුගිය දිනවල පසුබැස හා අඩපණව තිබූ ධනෝපායන මාර්ගයන්හි ක‍්‍රමවත් වර්ධනයක් මෙම ඔක්තෝබර් 15න් පසු ඇතිවන්නේය. යම් යම් මුදල් හා ද්‍රව්‍යමය ලාභ ද එතැන් සිට හිමිවන තැනට කටයුතු පිළියෙල වේ. ණය ගනුදෙනුවකින්ද නිදහස් වීමටත් අවස්ථාව සැලසේ. ඔක්තෝබර් මුල් සති දෙකේදී ගනුදෙනුවලදී පරිස්සම් වන්න. 
විශේෂයෙන් ඔක්තෝබර් 15 තෙක් කාලය තුළ ඔබේ වෘත්තීය හා වෙළෙඳ ව්‍යාපාරාදී කටයුතුවලට විවිධ බාධක අවහිර පැන නැගුනත් තම ආත්ම ශක්තියේ බලය හේතු කොට ගෙන ඒවා මැඩගෙන ඉදිරියට යා හැක. විශේෂයෙන් රැකියා ව්‍යාපාරාදී කටයුතු ඔබට මෙම මස තුළදී කරගෙන යාමට සිදු වන්නේ බාධා ප‍්‍රමාදතා හා විරුද්ධවාදීකම් මධ්‍යයේය. ඒ කෙරෙන් සැලකිල්ලෙන් විමසිල්ලෙන් කටයුතු කරන්න. 


පේ‍්‍රම දිවිය හා යුග දිවිය 

ඔබ මෙම මස තුළදී පේ‍්‍රම සබඳතා හා විවාහ කටයුතු කෙරෙන් වඩාත් ප‍්‍රවේශම් වී ක‍්‍රියා කරන්න. පවතින ආදර සබඳතා හා විවාහ යෝජනා වෙනස් වී යෑමටත් ඉඩ ඇත. එසේ නැතහොත් ඒවායින් සිතට කරදර වුව ඇති කරයි. නුසුදුසු සබඳතා ගොඩනැගීමට ඉඩ පවතින බැවින් විමසිලිමත් වන්න. තමා ඇසුරු කරන විරුද්ධ ලිංගිකයාගේ විවිධ කටයුතු උදෙසා කාලය ශ‍්‍රමය ධනය වැනි දේ වැඩි වශයෙන් වැය කිරීමට සිදුවන මාසයකි. කෙසේ නමුත් රහස් සබඳතා පහසුවෙන් ගොඩනැගීමේ අවකාශයක් පවතින නිසා ඊට නතු නොවන්න. 

 

 

තුලා ලග්නය 

තුලා ලග්නය හිමි ඔබට මෙම මාසය ශුභාශුභ මිශ‍්‍ර ඵල සහිතයි. එදිනෙදා කටයුතුවල නව මුහුණුවරක් ඇති වුවත්, තම කැපවීම මතම සිය අරමුණු සැලසුම් ඉටුකර ගැනීමට සිදුවන්නේය. ඒ නිසා ඔබ අනවශ්‍ය දේවලින් බැහැරව අවශ්‍යතාවට පමණක් මුල් තැන දී කටයුතු කරන්න. මුල් දින 15 පසුවන තෙක් ග‍්‍රහ බලය එතරම් බලවත් නොවේ. ඔබට ශුභාශුභ මිශ‍්‍ර ඵල ගෙන දෙන්නේය. මෙම මස අවසන් දින 10 දී ගෙදර දොර නවීකරණයක් කිරීමට හෝ අලුත් වාසස්ථානයකට යෑමට හෝ පසුබිමක් සැකසේ. අවනම්බුවක් හෝ ලැජ්ජාවක් ගෙන දීමට තිබූ දෙයකින් මිදීමට ද හැකි වන්නේය. විශේෂයෙන් මෙම මස පුරාම මෙන් කලබලයට කටයුතු නොකරන්න. 


ආර්ථික හා රැකියාවේ තත්ත්වය 

ධනෝපායන මාර්ගවලට අවහිර බාධා ඇති නොවුණත්, ඔක්තෝබර් මුල් සති දෙක අනපේක්‍ෂිත වියදම් ගෙන දෙන තත්ත්වයක් ගොඩනැෙඟ්. නිශ්ඵල ගමන් බිමන් නිසා හෝ බාහිර විවිධ කරදර නිසා හෝ නිකරුණේ මිල මුදල් වියදම් වේ. උරුම හිමිකම් ප‍්‍රශ්න වුව මතු කෙරේ. ඔබට යම් යම් මුදල් ලාභ ගෙන දුන්නත් මෙම මස තුළදී නාස්තිකාර වියදම් වැඩි වෙයි. එසේම ආර්ථිකමය වශයෙන් ලැබීමට තිබූ ඵල ප‍්‍රයෝජන අවස්ථා කිහිපයක් ද මග හැරී යාමට පුළුවන. 
කෙසේ නමුත් ඔබට මෙම මාසයේදී මිල මුදල් හා දේපළමය ලාභ ප‍්‍රයෝජනයන්ට බලය සැකසේ. අවසන් දින 15 අපේක්‍ෂා කළ ණය ගනුදෙනු හා වෙනත් ගනුදෙනු සාර්ථක ෙව්. 


රාජකාරිය තෘප්තිමත්ව කරගෙන යාමට ඉඩ ලැබේ. රැකියා හෝ ව්‍යාපාරික ස්ථානයන්ට අදාළ ස්ථාන වෙනස්වීම්වලට හෝ ඉඩ ඇත. මෙම මාසය තුළදී මූල්‍ය ක්‍ෂේත‍්‍රයට අදාළව හෝ රැකියා කටයුත්තකට අදාළව හෝ පැවති පොරොන්දු ගිවිසුමක් සාර්ථක ෙව්. එනමුදු ඔබ මෙම මස තුළදී ආර්ථික හා රැකියා ව්‍යාපාරාදියේ ප‍්‍රගතිය උදෙසා සිත කය දෙකම එක සේ වෙහෙසා ක‍්‍රියා කරන්න. 


ප්‍රේම දිවිය හා යුග දිවිය 

පසුගිය කාලය තුළ ආදර කටයුතු විවාහ යෝජනා කෙරෙන් සිතට ඇතිවී තිබූ අසහන සිත්තැවුල්වලින් මිදී කටයුතු කිරීමට මෙම මාසය තුළ පසුබ්ම සැකසේ. එමෙන්ම මේවාට බලපා තිබූ වැඩිහිටි විරෝධතාද නැතිවී ඔවුනගේ ආශිර්වාදයද ලැබේ. ඔක්තෝබර් 10න් පසු නව සබඳතා ඇති වේ. ප‍්‍රශ්නකාරී ස්වභාවයට, මතභේදයට ලක්ව පැවති ප්‍රේම සබඳතාවේ කාර්යයන් නැවතත් සාමකාමී තත්ත්වයට පත්වේ. කෙසේ වෙතත් හැඟීම්වලට මුල්තැනක් නොදී ඊට නතු නොවී, ආත්ම ගෞරවය රැකෙන පරිදි සමාජයේදී හැසිරෙන්න. 

 

 

වෘශ්චික ලග්නය 

ඔක්තෝබර් මස මුල් දින 15 තුළ ඔබගේ කාර්ය කටයුතු සැලසුම් කළ පරිදි කෙරෙනු ඇත. බලවත් අය ඇසුරු කිරීමටත් ඉඩකඩ ලැබේ. අවසන් දින 15 තුළ කාර්යය කටයුතුවලට යම් යම් අවහිර බාධාවන් සිදු වුවත් කඩාකප්පල්කාරී දෑ සිදු නොවේ. ඥාණාන්විතව ක‍්‍රියා කරන්න. වැඩ කටයුතුවලට යම්යම් බාධා අවහිර ඇති කළත් තම අපේක්‍ෂා බලාපොරොත්තු කෙසේ හෝ ඉටු කර ගත යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කිරීම නිසා ප‍්‍රයෝජනවත් වැඩ කටයුතු රැසක්ද ක‍්‍රියාත්මක කළ හැකි වේ. අවශ්‍යතාවනට ප‍්‍රමුඛත්වයක් දී කටයුතු කරන්න.

 
ආර්ථික හා රැකියාවේ තත්ත්වය 

ඔබට ලැබීම් අතින් යහපත් වුවත් මුදල් අවශ්‍යතාවන් ඉටු වුවත් මිල මුදල් ඉතිරියක් නොවන අයුරින් වැය පක්‍ෂය අධික වෙයි. උරුම හිමිකම් පිළිබඳව පැවති ගැටලු නිරවුල් වන තැනට කටයුතු සිදුවේ. කුමන අයුරින් හෝ අතමිට මිල මුදල් ගැවසෙන මාසයකි. ආර්ථීක තත්ත්වය උසස් කර ගැනීමට අවස්ථාව සැලසේ. ණය ගනුදෙනු අපේක්‍ෂා සඵල වීමක් මෙම මස මුල් දින 20 තුළ සිදුවේ. ඒ එසේ නමුත් අවසන් දින 10දී හදිසි තීරණ ක‍්‍රියාවට නැංවීම හේතුවෙන් ද යම් යම් මුදල් අවහිරතා මතුවේ. උරුම හිමිකම් ගැටලු මතුවීමටත් ඉඩ ඇති බැවින් සැලකිල්ලෙන් ක‍්‍රියාකරන්න. 


රැකියා ව්‍යාපාරාදියට අදාළ වැඩ කොටස් සාර්ථක වන්නේ නමුදු කරදර හේතුවෙන් රැකියා රාජකාරිය පැහැදිලි මනසින් කිරීමට අසීරු වේ. එමෙන්ම අවසන් සති දෙකේ දී රැකී රක්‍ෂා තනතුරු හානියකටත් මං සැලසීමටත් පිළිවන් බැවින් ඉවසීමෙන් අවධානයෙන් කටයුතු කරන්න. රැකියා ව්‍යාපාරාදිය කෙරෙන් ශුභාශුභ මිශ‍්‍ර ඵල සහිතයි. මෙම මස මුල් දින 20 තුළ ජීවනෝපාය මාර්ගවලට සම්බන්ධිත දෑ පිළිබඳ දියුණුවක් ඉදිරියට යෑමක් ඇති කරලීමේ පෙර නිමිති පහළ වන්නේය. රැකියා අපේක්‍ෂා ඉටු වේ. රාජකාරිය ද ක‍්‍රමවත්භාවයට පත්වේ. රැකී රක්‍ෂා රාජකාරිමය වශයෙන් අමතර බලතල ලැබේග. රැකියාවට අදාළ වැඩ කිහිපයක යෙදීමටත් ඉඩකඩ සැලසේ. 


පේ‍්‍රම දිවිය හා යුග දිවිය 

යුගදිවියේ හා ප්‍රේම දිවියේ හටගෙන තිබූ අර්බුදකාරී තත්ත්වය සමනය වේ. ආලය පිළිබඳ කටයුතු පහසුවෙන් ඇති කර ගත හැක. පේ‍්‍රම දිවිය හොඳින් ගතවේ. අවිනිශ්චිතව පැවති ආදර සබඳතාවක් හෝ විවාහ පොරොන්දු ගිවිසුමක් ස්ථීර තහවුරු කර ගැනීමට පසුබිම සැකසේ. යුග දිවිය සාමාන්‍ය පරිදි ගතවේ. කෙසේ නමුත් අවසන් දින 10 දී අනපේක්‍ෂිත සබඳතාවලට නතු නොවන්න. එසේම අවස්ථාවාදීන්ගේ හා ප‍්‍රයෝගකාරීන්ගේ කූඨ උපක‍්‍රමවලට හසුවීමෙන් වැරදි ක‍්‍රියාවනට මෙන්ම විවිධ අතවරවලට ලක්වීමටත් ඉඩ තිබෙන බැවින් ඉවසීමෙන් දූරදර්ශීව කටයුතු කරන්න. මේවායේදී නොසොයා නොබලා කටයුතු කිරීමෙන් වළකින්න. 

 

 

ධනු ලග්නය 

ඔබගේ ලග්නාධිපති ගුරු බලයෙන් යුක්තව ශුභ යෝගයකින් ද සිටින මෙම මාසය සිතේ සතුටට කටයුතු පිළියෙල වන්නේය. සැප පහසුවට අදාළ දේ ලැබෙන මිතුරු මිතුරියන් හා වැඩියෙන් ආශ‍්‍රයට යොමුවන මාසයකි. උත්සාහයන්හි ප‍්‍රතිඵල අත්පත් වනු ඇත. එසේම අපේක්‍ෂිත හා සැලසුම් කරන දෑ ඵ් අයුරින්ම සාර්ථක වන මාසයක ද වනු ඇත. 


ආර්ථික හා රැකියාවේ තත්ත්වය 

ධන අය භාවාධිපතීන් බලයෙන් හැසිරෙන මෙම මාසය තුළ ඔබගේ ආර්ථිකය වර්ධනය කර ගැනීමට මංපෙත් විවර වනු ඇත. ගනුදෙනුවලින් නොසිතූ වාසි ප‍්‍රයෝජන අත්වේ. යටපත්ව පැවති හිමිකම් හා අයිතිවාසිකම් ලැබෙන මාර්ග විවර වේ. කෙසේ නමුත් විනෝදයට බරව කටයුතු කරන්නට යෑමෙන් නිෂ්ප‍්‍රයෝජන හා අධික වියදම්ද යෙදෙන අවස්ථා ගොඩනැගේ. පොදුවේ තැන්පත් ධනයට යමක් එකතු කර ගත හැක. 


නව රැකියාවක් ලබා ගැනීමට හා නියුතු රැකියාවේ හා ව්‍යාපාරයේ දියුණුවට අදාළ වන වැඩකොටස් සාර්ථක කර ගත හැකි මාසයකි. ව්‍යාපාරයේ වැඩිදියුණුව උදෙසාද නව වෙනසකට කටයුතු පිළියෙල වේ. මේවාට බලපෑ රහස් සතුරු කරදර විරුද්ධවාදීකම් යනාදියත් පහව යයි. රැකියා ව්‍යාපාරය කෙරෙන් තෘප්තිමත්භාවයක් ද ඇතිවෙයි. විශේෂයෙන් මෙය විදෙස් රැකියා ලාභ හිමිවන මාසයකි.  


ප්‍රේම දිවිය හා යුග දිවිය 

ඔබගේ ආදර සබඳතා හාවිවාහයට අදාළ කටයුතු කෙරෙන් සිතට සතුට දනවන දෑ සිදුවේ. තම ඇසුරු කරන පෙම්වතා/ පෙම්වතිය සමග ප‍්‍රීතිමත් ගමන් බිමන් යෑමටත් අවස්ථාව සැලසේ. මීට අදාළ බලාපොරොත්තු හා සැලසුම් ඉටුකර ගැනීමටත් හැකිවනු ඇත. විශේෂයෙන් මෙම මස තුළ ඔබගේ යුගදිවියේ හා ප්‍රේම දිවියේ කටයුතු සම්බන්ධයෙන් නවෝදයක් ඇති වේ. මංගල යෝජනා ස්ථිර තහවුරු වෙයි. 

 

 

මකර ලග්නය 

ඔබගේ ලග්නාධිපති ශනි හා ලග්න නැකත් අධිපතීන් ශුභ යෝග බලයෙන් යුක්තව ගමන් කරන මෙම මාසය පැහැදිලි ශුභඵල රාශියක් ගෙන එනු ලැබේ. උද්යෝගයෙන් ක‍්‍රියාශූරත්වයෙන් කටයුතු කරමින් අරමුණු සැලසුම් සාර්ථක භාවයට පත්කර ගනී. සිත තුළ පැවති අදහසක් ඉටුවෙයි. අමනාපව සිටි පිරිසක් මිත‍්‍ර වන තැනට කරුණු යෙදේ. එදිනෙදා කටයුතු සිතැඟි පරිදි ඉටු කර ගැනීමට නම් ඥානාන්විත වන්න. ප‍්‍රමාණවත් හොඳක් උදාවන නමුත් තීරණ ගැනීමේදී හා වැඩ ආරම්භ කිරීමේදී දුර්වලතාවන්ට මුහුණ දීමට සිදුවේ. උනන්දුවෙන් කැපවීමෙන් කටයුතු කරන්න. 


ආර්ථික හා රැකියාවේ තත්ත්වය 

මූල්‍ය ක්ෂේත‍්‍රයේ බලපෑ ප‍්‍රශ්න ගැටලු රැසක් නිරාකරණය වනු ඇත. ක‍්‍රමානුකූලව වැඩි මහන්සියක් නැතිව ආදායම් ලැබෙන විදියට කටයුතු පිළියෙල වේ. ආදායම අඩු වැඩි වූවාට හිත ස්ථිරව තබා ගෙන දෛනික කටයුතුවල නිරත වීමට හැක. බොහෝ විට උරුම හිමිකම් අයිතිවාසිකම් වැනි දෑ ඔබට මෙම මාසය තුළ හිමිවේ. 


ගත වූ මාසයට වඩා උනන්දුවෙන් උදේයෝගයෙන් රැකියා හා ව්‍යාපාරික කටයුතුවල නිරත වීමට හැකියාව ලැබේ. රැකියාව කෙරේ උනන්දුව වැඩිවීම නිසා රාජකාරිය ගැන උසස් දැනුමක් ලැබීමටත් හැකිවන්නේය. තනතුරු නිලතල ආදී අපේක්ෂා බාධාවකින් තොරව ඉටුවනු ඇත. විශේෂයෙන් තරග විභාග සම්මුඛ පරීක්ෂණාදියටත් කැඳවීම් ලිපි ලැබේ. කුමන අයුරින් හෝ විරැකියාවට පිළියමක් ලබාගත හැකි මාසයක් වන අතර ව්‍යාපාරික හා රාජකාරි ස්ථානයන්ට අදාළව බලපෑ අසහනදායී වටපිටාව පහව යයි. 


ප්‍රේම දිවිය හා යුග දිවිය 

ඔබට මෙම මාසය තුළ අදහස් කළ අන්දමට හෝ සැලසුම් කළ පරිදි ආදර සබඳතා හෝ විවාහ කටයුතු සිදුවීම නිසා හිතට සහනය සතුට ඇතිවන්නේය. කල්යල් ඇද ඇද පැවති විවාහ යෝජනාවක් හෝ පෙම් සබඳතාවයකට අදාළ කටයුත්තක් ස්ථිරව තහවුරු වන අන්දමේ යමක් සිදුවේ. ගමන් බිමන් හේතුවෙන් ඇති වන දැන හැඳුනුම් මුල්කොට කරදර ඇතිවීමේ ඉඩක් ඇතත් තම කටයුතු ක්‍රියාව ලිංගික විරුද්ධ පක්‍ෂයෙන් විශේෂ උදව් උපකාර ලැබෙන බව පැවසිය හැක. පැවති අමනාපකම් විරසක වීම් සංසිඳේ. ආදර හා විවාහ දිවිය තුළ සතුට දනවන දෑ සිදුවේ. 

 

 

කුම්භ ලග්නය 

ඔබගේ ලග්නාධිපති ශනිගේ හා යෝගකාරක ග‍්‍රහයන්ගේ ශුභාශුභ මිශ‍්‍ර බලය හේතුකොට ගෙන ඔබටද මෙම මාසය ශුභාශුභ මිශ‍්‍ර ඵල ගෙන දෙන්නේය. අපේක්‍ෂා හා බලාපොරොත්තු කෙසේ හෝ ඉටුකර ගත යුතුය යන දැඩි අධිෂ්ඨානයෙන් ඔබ මෙම මාසය තුළදී ක‍්‍රියා කරයි. මුල් දින 15 තුළ වැඩ කටයුතුවල ප‍්‍රමාදතාවන් සිදුවේ. 


ආර්ථික හා රැකියාවේ තත්ත්වය 

ඔබට මෙම මස තුළ ආර්ථිකමය හා දේපළමය වශයෙන් සුළු වශයෙන් හෝ යම්යම් ලාභ ප‍්‍රයෝජන සැලසුණත් ආදායම් තත්ත්වයේ කිවයුතු තරම් වැඩිදියුණුවක් පෙන්නුම් නොකරයි. විනෝදාස්වාදයට අනවශ්‍ය ලෙස වියදම් නොකරන්න. උරුම හිමිකම් ප‍්‍රශ්නවල නොපැටලෙන්න. වියදම් පස වැඩිවන මාසයකි. 


ව්‍යාපාරික කටයුතුවල නිරත වන කුම්භ ලග්න හිමියන්ගේ ආදායම් තත්ත්වයේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කළ ද අවශ්‍ය මෙන්ම අනවශ්‍ය වියදම් බහුල වීම මත එහි ප‍්‍රගතියක් සිදු නොවේ. රැකී රක්‍ෂා රාජකාරී කටයුතුවලට විවිධ බාධා අවහිර ගෙන දුන්නත් ආත්ම විශ්වාසයෙන් ඒවා යටපත් කරගෙන කටයුතු කළ හැකි වන්නේය. අවසන් සතිය රැකියා කටයුතුවලට අයහපත්ම නොවේ. 


ප්‍රේම දිවිය හා යුග දිවිය 

ඔබට මෙම මස තුළ දැන හැඳිනුම් ​ෙප්‍ර්ම සම්බන්ධතා ඇති වුවත්, ඒවායින් සිත සෑහීමකට පත් නොවේ. පවතින හෝ පවත්වන්නට යන ආදර සබඳතාදියට විවිධ බාධා අවහිර විරෝධතා එල්ල වේ. අවිවාහකයන්ට මංගල යෝජනා ඉදිරිපත් වුවත් අනපේක්‍ෂිත අයුරින් ඒවාට ප‍්‍රශ්නකාරී ස්වභාවය ගොඩනැගේ. විවාහයට හා ෙප්‍ර්ම සබඳතාවනට සම්බන්ධ කාරණාවලදී හදිසියට නොසොයා නොබලා තීරණ ගෙන කටයුතු නොකරන්න. 

 

 

මීන ලග්නය 

මීන ලග්නය හිමි ඔබට උනන්දුව උද්යෝගය මැනැවින් ගොඩනැගෙන මාසයකි. එසේම මෙය යහපතට කටයුතු පිළියෙල වන ජයග‍්‍රාහි මාසයක්ද වන්නේය. ගතට සිතට සැපත සතුට ලැබේ. අභියෝග ජය ගත හැකි වන්නේය. අතහැර දමා තිබූ වැඩක් නැවත පටන් ගනී. ඔක්තෝබර් 15න් පසු සිය කාර්යය කටයුතු කරගෙන යාමට සිදුවන්නේ අවිනිශ්චිතතා හා ගැටලු බාධාවන් මධ්‍යයේය. කෙසේ වෙතත් අනුන්ගේ වැඩට සම්බන්ධ නොවී තමාගේ අරමුණ ඉටුකර ගැනීමට වැඩිපුර වෙහෙසෙන්න. වැටීම්, තැලීම්, හදිසි පීඩා වැනි අාබාධ කෙරෙන්ද ආරක්‍ෂා වන්න. 


ආර්ථික හා රැකියාවේ තත්ත්වය 

ගතවූ මාසයට සාපේක්‍ෂව ඔබට මෙම මස තුළදී ආර්ථික අමාරුකම් මතු නොවනු ඇත. එසේම අවශ්‍ය දෙයට කෙසේ හෝ මුදල් ලැබෙනු ඇත. අලෙවි කර ගැනීමට අපහසු වූ නිශ්චල චංචල දේපළක් අලෙවියට මාර්ගය සැකසේ. එනමුදු විනෝදාස්වාදයට අනවශ්‍ය ලෙස වියදම් කිරීමෙන් වළකින්න. 


මෙම මස අවසන් දින 10 තුළ රැකියා ව්‍යාපාරාදියට යම් යම් අවහිර බාධා මතු කළත් සෙසු දිනයන් තුළ බාධක මැඩගෙන කාර්යයන් සාර්ථක කරගත හැක. රැකියා ව්‍යාපාරාදිය පැවති තත්ත්වයට වඩා උසස් තත්ත්වයට පත්කර ගැනීමට කටයුතු පිළියෙල වෙයි. හිතවතෙකු හෝ ඥාතියෙකු මාර්ගයෙන් විරැකියාවටත් පිළියමක් සොයා ගැනීමට හැකිවන්නේය. උනන්දුවෙන් කටයුතු කරන්න. උත්සාහය අත් නොහැරම කටයුතු කරන්න. එමගින් රැකියා ව්‍යාපාරයන්හි අරමුණු සැලසුම් ඉටුකර ගැනීම අසීරු නොවේ. 


ප්‍රේම දිවිය හා යුග දිවිය 

මෙම මස තුළ ඔබේ කේන්දර සටහනේ රවි, ගුරු ගමන් කරන ආකාරය එතරම් යහපත් නොවන නිසා ඔබගේ ආදර සබඳතාවලට හා යුගදිවියේ කටයුතුවලට යම් යම් බාධා අවහිර ඇතිවන්නේය. විවාහ යෝජනාවක් හෝ ප්‍රේම දිවියේ පොරොන්දුවක් ද වෙනස්වීමට ඉඩ ඇත. හොර රහසේ යම් යම් සබඳතාවන් පවත්වන්නට යෑමෙන් අපවාද චෝදනාවලට ලක්වීමටත් ඉඩ පවතින බැවින් ඒවායින් මිදෙන්න. රහස් ගමන් යෑමෙන්ද වළකින්න. පොදුවේ ප්‍රේමදිවියේ හා විවාහ දිවියේ ප‍්‍රශ්න ඇති නොකර ගැනීමට සැලකිලිමත් විය යුතු මාසයකි. 

 

 

 

 

 

 

බෙන්තොට - හේමන්ත වීරසිංහ