වන අලි සහදුම්රිය ගැටුම


 

දුම්රියට ගොදුරු වන වන අලි සම්බන්ධයෙන් පුළුල් කතා බහක් ආරම්භ වී ඇතත් දුම්රියට අලින් බිලිවීම තවමත් අවසන්ව නැත. ගෙවී ගිය සතිය ආරම්භයේදී ද උතුරු දුම්රිය මාර්ගයේ දී තවත් අලි තිදෙනෙක් කෝච්චියට බිලි වූහ.  


හක්කපටස් පිපිරීම, විදුලිය වැදීම, කුණු වූ ආහාර හා පොලිතින් අනුභවය වැනි අනතුරු මෙන්ම දුම්රියේ ගැටීම වැනි සිද්ධීන්ගෙන් ඉකුත් වසරේදී අලි දෙසීයක් පමණ මරණයට පත් වී ඇත.  


 හඹරණ, හතරැස්කොටුව, තලපත්කන්ද හා මනම්පිටිය, වැලිකන්ද, පූනානි, ගල්ගමුව, අලි අනතුරු බහුලව සිදුවන ප්‍රදේශ ගණනට අයත් වේ. පොළොන්නරුව, ත්‍රිකුණාමලය ප්‍රදේශ භාර වනජීවි පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතා සමඟ අප කළ විමසුමකදී ඒ මහතා මෙම අදහස් පළකළේය.   


අලි දුම්රියෙහි ගැටීම බොහෝ විට සිදුවන්නේ එකම ප්‍රදේශයක් කේන්ද්‍ර කොටගෙන බව අප හඳුනාගෙන තිබෙනවා. දුම්රිය මාර්ගය හා ප්‍රධාන මාවත් අතර මෙම අනතුරු සිදුවෙනවා. මෙය මින්නේරිය, කවුඩුල්ල ජලාශවල වතුර පිරෙන සමය නිසා වැඩි වශයෙන් වෙනත් කැලෑ වෙත ළඟාවීමට මෙලෙස ගමන් කිරීම අනතුරු බහුල වීමට හේතු වී තිබෙනවා. වැව්වල වතුර පිරෙන සමයට අලින් මින්නේරිය රක්ෂිතයෙන් ඉවත්ව වැව් සහිත ප්‍රදේශ වෙත සංක්‍රමණය වෙනවා. අලින් පාර හරහා මාරු වන ස්ථානවල බිම්ගත මාර්ග හෝ රේල් පාරට උඩින් ඉදිකෙරෙන මාර්ග මෙම ගැටලුවට විසඳුමක් ලෙස පෙන්වා දිය හැකියි.  


දුම්රියේ හඬට අලින් සංවේදී වන අවස්ථා මෙන්ම එසේ සංවේදී නොවෙන අවස්ථා ද තියෙනවා. දුම්රියේ වේගය පාලනය කිරීමේ ක්‍රමවේද විධිමත් නම් අනතුරු බොහොමයක් වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා. වනජීවි පශු වෛද්‍ය සමීර කලිඟුආරච්චි මහතා පැවසීය.  


 අලින් මිය යෑම, බරපතළ අනතුරුවලට ලක්වීම මෙන්ම දුම්රියට හා දුම්රිය මාර්ගයට අලාභහානි සිදුවීම වැළැක්වීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය මගින් විශේෂ කමිටුවක් පත්කෙරිණි. එම කණ්ඩායම මහව, ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුර, තලෙයිමන්නාරම සහ කන්කසන්තුරෙයි දුම්රිය මාර්ග ආශ්‍රිතව නිරීක්ෂණයේ යෙදී ඇත. එහිදී සොයාගත් තොරතුරු අනුව කමිටුව නිර්දේශ කරනුයේ ‘දුම්රිය රියැදුරන්ට මාර්ගය පැහැදිලිව පෙනෙන පරිදි මාර්ගය දෙපස මීටර් තිහක් දක්වා ළඳු කැළෑ ප්‍රදේශ එළිපෙහෙළි කිරීම.’ ‘වේග සීමා නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම’, ‘අලි ඇතුන් මාරුවීම සඳහා උඩින් මාර්ග ඉදිකිරීම යනාදී යයි.  
 මීට අමතරව දුම්රිය පාලම් සහ බෝක්කු සහිත ස්ථානවල අලි ඇතුන්ට මාරුවීම සඳහා පවතින බාධා ඉවත් කොට මාර්ග ඉදිකිරීම, දුම්රිය මාර්ගයට ඇතුළු වන තැන විදුලි වැට, රේල් පීලි බාධක ඉදිකිරීම, පූර්ව අනතුරු ඇඟවීම් පද්ධති ආදිය ක්‍රියාත්මක කිරීම ද මේ උපදෙස්වලට අයත්ව තිබේ.  


කමිටුව ලබාදී ඇති නිර්දේශ පිළිබඳවත් අලි - දුම්රිය ගැටුමේ වත්මන් තත්ත්වය පිළිබඳවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා දැක්වූ අදහස් මෙසේය.  


 අලි - දුම්රිය ගැටුම විසඳීමට දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් අවශ්‍ය වෙනවා. රියැදුරන් අධික වේගයෙන් දුම්රිය ගමන් කරවීම මෙයට ප්‍රධාන හේතුවක් වෙනවා. අවධානයෙන් තොර වීම මෙන්ම සංඥා පහන් හා විදුලි පහන් නොමැති අවස්ථා බහුල වීමත් මෙම ගැටලුවට හේතු වී තිබෙනවා.  


ඇතැම් දුම්රිය රියැදුරන් දුම්රියේ වේග මැනුම් මීටරය වැනි තාක්ෂණ උපාංග නොමැතිවීම ආදී සුළු මට්ටමේ කරුණු ඉදිරිපත් කරමින් මෙම ප්‍රශ්නය මඟ හරිනවා. GPS තාක්ෂණය අද බහුලව භාවිත වෙනවා. (Global Positioning System) ගෝලීය ස්ථානගත කිරීම් පද්ධතියට අනුගත වූවා නම් ස්මාර්ට් ජංගම දුරකථනය ඔස්සේ වේගය මැන ගැනීමේ හැකියාව තියෙනවා. දුම්රියකට එවැනි තාක්ෂණික උපාංගයක් නොමැති වීම කනගාටුවට කරුණක් වෙනවා. අලි දුම්රියේ ගැටී මියයෑම සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන්ම වගකිවයුතු පාර්ශ්වය ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව අප නම් කරනවා.  


 එමෙන්ම වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව ද යම් යම් පියවර ගෙන තිබුණත් ඒවා මෙම ගැටලුවට ස්ථීරසාර විසඳුම් වශයෙන් හඳුනාගත හැකි වන්නේ නැහැ. අධික වේගයෙන් එන දුම්රියක් අලියකු දුටුවිට එකවරම නතරකිරීමේ හැකියාවක් නැහැ. අලි මෙලෙස දුම්රිය මාර්ග හරහා මාරුවීම් සිදුවන්නේ වසරේ ඇතැම් කාලසීමාවන්ට පමණයි. මෙම කාලසීමාවලට පමණක්වත් දුම්රිය වේගය අවම කොට ධාවනය කිරීම, රියැදුරන් යෙදවීමේදී සැලකිලිමත්වීම වැනි පියවර යෙදවිය හැකියි.  


 සංඥා පද්ධති හොරුන් ගැලවීම වැනි දෑද සිදුවී තිබෙනවා. ආරක්ෂිත වැටවල් භාවිත කිරීම, තල් වැට යෙදීම වැනි ස්වභාවික උපක්‍රම භාවිත කිරීමත් මෙහිදී කළ හැකි​ වෙනවා. අවද‌ානම සහිත ප්‍රදේශවල දුම්රිය ධාවන වේගය පාලනය කිරීමේ අවශ්‍යතාවය මෙහිදී යළි යළිත් ඉස්මතු කළ යුතු වෙනවා.  


 අලි කියන්නේ වනජීවි දෙපාර්තමේන්තුවේ හෝ වෙනත් යම් පිරිසකට සීමිත වූ සම්පතක් නොවේ. රටක් වශයෙන් අප සැමට අලි සම්පත වැදගත් වෙනවා. ඔවුන් රැකීම අපගේ යුතුකම වෙනවා. වගකිවයුතු ආයතන ප්‍රශ්නයෙන් ගැලවී යෑම, කඹ ඇදීම මෙම ගැටලුව තවදුරටත් උග්‍ර කරවීමට හේතු වී තිබෙනවා.  


 ඉන්දියාව වැනි රටවලත් දුම්රියේ ගැටී අලි මියයෑම සිදුවෙනවා. නමුත් එකවර පහ හයක පිරිසක් මෙලෙස මියයැම එවැනි රටවල සිදුවන්නේ නැහැ. එක් අනතුරක් සිදුවී සතියක් දෙකක් තුළ තවත් එවැනිම අනතුරක් සිදුවීම දුම්රිය රියැදුරන්ගේ අනවධානය නිසා සිදුවන්නක්.  


දුම්රියට අවනත වීම, කාලවේලාව බලා දුම්රිය හරහා පාර පැනීම වැනි නීතිරීති රෙගුලාසි අලින්ගේ පාර්ශ්වයට පැනවීමේ හැකියාවක් අපට නැහැ. ඒ නිසා වගකීම දුම්රිය දෙපාර්තමේන්තුව භාරගත යුතුයි. වසරකට දුම්රිය දෙපාර්තමේන්තුව වැය කරන අතිවිශාල මුදලින් යම් කොටසක් වැයකොට අලින් පාර මාරුවන ස්ථාන ආශ්‍රිතව යටිබිම්ගත හෝ ගුවන් පාලම් වැනි දෑ ඉදිකොට අලින්ගේ ගමනට බාධා නොවන ලෙස ​රේල් පාර පවත්වාගෙන යැමේ හැකියාව තිබෙනවා.   


අලින්ට වගේම අනෙක් වන සතුන්ටත් ගමන් කළ හැකි මාර්ග වෙන වෙනම සැකසීම ලෝකයේ බොහෝ රටවල දැකිය හැකියි. නමුත් අපේ රට තුළ හක්ක පටස් පිපිරී යෑමෙන්ම වසරකට අලින් විස්සකට වැනි ප්‍රමාණයක් මිය යනවා. අලි කැළිකසළ අනුභව කිරීම වැනි තව තවත් ගැටලු තිබෙනවා. විද්‍යාත්මක අලි කළමනාකරණ සැලැස්මක් රටට අවශ්‍ය බව පරිසර යුක්ති කේන්ද්‍රය මගින් පෙන්වා දුන්න ද එය එතරම් තැකීමක් දක්නට ලැබෙන්නේ නැහැ. තනි අලියෙක් දවසකට කිලෝ මීටර් විස්සක වැනි දුරක් ගමන් කරනවා. එවැනි අලි ගාල් කර තැබීම වැනි උපක්‍රමයකින් අලි ගැටලුව මර්දනය කිරීමට විෂය භාර අමාත්‍යවරු ඉකුත් සමයේ උත්සාහ දරනු ලැබුවා. අලින්ට අයත් නිදහස් කලාප නිර්මාණය කිරීම, අලි වැට ඉදිකිරීම වැනි විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කළ හැකියි. ඒ සඳහා වඩාත් පරීක්ෂාකාරීව ගැනෙන තීරණ අවශ්‍ය වෙනවා. හේමන්ත විතානගේ මහතා අවධාරණය කළේය.  


වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අධ්‍යක්ෂ හසිනි සරත්චන්ද්‍ර මහත්මිය අප සමඟ දැක්වූ අදහස් මෙසේය.  


 පසුගිය වසරේ ද අලි බොහෝ පිරිසක් දුම්රියේ ගැටී මියගොස් තිබුණා. ඉකුත් සමයේ අප විවිධ උපක්‍රම මෙයට යෙදවූවා. අවද‌ානම සහිත ප්‍රදේශවල දුම්රිය ගමන් ගන්නා අතරවාරයේ වනජීවි නිලධාරින් යොදවා අප පරීක්ෂණ පැවැත්වූවා. විකල්ප රැසක් යෙදුව ද ඒවා හිතු තරම් සාර්ථක වුණේ නැහැ. ඉදිරියට අප විදයුත් තාක්ෂණ උපයෝගී කරගත් ක්‍රමෝපාය යෙදවීමට අවශ්‍ය පියවර යොදමින් සිටිනවා.  


 රේල් පීලි අතර තණකොළ වැවී තිබෙන නිසා අලින් තණකොළ අනුභවයට පැමිණීමෙන් ඔවුන් දුම්රියේ ගැටීම සිදුවෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවටත් මෙහිදී විශේෂ වගකීමක් පැවරෙනවා. රේල් පාරේ තණකොළ වැවීම වැළැක්වීමට පීලි අතර ගල් ඇතිරීම වැනි උපාය යෙදවිය යුතු වෙනවා.  


 හබරණ, හතරැස්කොටුව, පොළොන්නරුව ආශ්‍රිතව යොදා ඇති විදුලි වැට මිනිස් ක්‍රියාකාරකම් නිසා විනාශ වී තිබෙනවා. මෙය යථා තත්ත්වයට හරවා වන අලි දුම්රියේ ගැටීම වැළැක්වීමට අප අවශ්‍ය පියවර ගන්නවා යැයි හසිනි සරත්චන්ද්‍ර මහත්මිය කීවාය.  


අලි ඇතුන් සුරක්ෂිත කිරීමට කඩිනම් වැඩපිළිවෙළක් අවශ්‍යයි. එම ක්‍රියාමාර්ග ගැනීම සඳහා ව්‍යාපෘති සැකසීමට වැයවන මුදල වෙන්කරදීමට රජය ද ඉක්මන් පියවර ගත යුතුය.  

 

 

සටහන  
සමන්තිකා මාධවි