වන අලි ප්‍රහාරයට ලක්වූ ගෙයක සිටි පිරිසක් බේරාගත් හැටි


 

පසුගිය පළමු වැනිදා අලුයම 3ට පමණ ලුණුගම්වෙහෙර උඩමත්තල පිහිටි පී. ජයරත්න මහතාගේ නිවෙස දෙසින් ඇසුණු විලාප හඬින් අවට සියලු ගම් දෝංකාර දෙන්නට වීය. ගතවූයේ විනාඩි පහක් හයක් පමණ කාලයකි. අසල්වැසි සියලු දෙනා නිදි ඇඳුම පිටින්ම ජයරත්න මහතාගේ ගේ අසලට පැමිණියේ කුමක් සිදු වී ද යන්න සොයන්නටය.   


ජයරත්න මහතාගේ නිවෙස අසලට පැමිණි අසල්වැසියන්ට දකින්නට ලැබුණේ හිත් පිත් නුහුලන දෙයකි. ඒ මහා සද්දන්තයකු ඇවිත් ජයරත්න මහතාගේ මුළු නිවෙසම හිතු හිතූ පරිද්දෙන් කුඩු පට්ටම් කරමින් සිටින අයුරුය. වන අලියා නිවෙස කඩන විටත් නිවෙසින් තිදෙනකු එළියට පැන දිවි බේරා ගත් නමුත් නිවෙසේ සිටි ජයරත්න මහතාගේ බිරිඳත් බාල දියණියත් ගේ තුළ සිරවී සිටියෝය. වන අලියා නිවෙස වටා ඇවිදිමින් සිටීම නිසා බියෙන් නිවෙසින් එළියේ සිට ජයරත්න මහතා සහ දරුවන් දෙදෙනා සමඟ ගම්මු කෑ කෝ ගසමින් අලියා එළවීමට උත්සාහ කළහ. වන අලියාට කොටුව නිවෙස තුළ සිටි ජයරත්න මහතාගේ බිරිඳ හා දියණිය මරණ බයෙන් විලාප නැගූහ. පැය කිහිපයක් මෙලෙස නිවෙස අවට රැඳී සිටි වන අලියා එළවා ගැනීමට ගම්මුන්ට දැඩි වෙහෙසක් දරන්නට සිදු විය.   


නිවෙසේ නිදා සිටි පස්දෙනකුගේ ජීවිත බේරුණේ පූරුවේ පිනකට මෙනි. වන අලි ප්‍රහාරයට ලක්ව විනාශ වී ඇත්තේ අංක 132/2/1, උඩමත්තල, ලුණුගම්වෙහෙර පදිංචි ආර්. ඩබ්ලිව්. පී. ජයරත්න මහතාගේ නිවෙසයි.   
තමන් මුහුණ දුන් සිදුවීම පිළිබඳව පී. ජයරත්න මහතා දෑසින් කඳුළු සලමින් මෙසේ විස්තර කළේය.   

 

නිවෙස කඩා දමා ඇති අයුරු.


“මේ නිවෙසේ ජීවත් වෙන්නේ ඒ පුතාලා දෙන්නයි, දුවයි, මායි මගේ බිරිඳයි. අපේ ගම්වලට හැමදාම වගේ අලි එනවා. දවල්ට කොච්චර මහන්සි වෙලා වැඩ කළත් අපි රෑට නිදා ගන්නේ හරිම අවධානයෙන්. පසුගිය පළමුවැනිදාත් පාන්දර 3ට විතර තමයි අලියා ආවේ. පූරුවේ පිනකට තමයි බිරිඳගෙයි දරු තුන්දෙනාගෙයි ජීවිත බේරුණේ.   


අපේ ගෙවල්වලට කිලෝමීටරයක් විතර දුරට වන්නට මළගෙදරක් තිබුණා. මන් මේ දවස් ටිකේම එහෙට ගිහින් ඒ තියෙන වැඩපළ කරලා දුන්නා. ගොඩක් වෙලාවට මළගෙදර ගියාම ආයේ එන්නේ උදේට තමයි. නමුත් එදා පාන්දර 1.00ට විතර මට හිතුණා අද ගෙදර යන්න ඕනේ කියලා. කොහොම හරි පාන්දර 1.30ට විතර වගේ මං ගෙදරට ගිහින් වත්ත වටේටත් ටෝච් ගහලා ඇවිත් නිදා ගත්තා. පැය එකහමාරක් විතර යනකොට මට ගේ පිටි පැත්තේ මොකෙක් හරි ඉන්නවා සද්දේ ඇහුණා. මං හිතුවේ හරක් පැනලා වෙන්න ඇති කියලයි. මං ටෝච් එකත් අරගෙන එළියට යන්න හදනකොට බිත්තිය අයිනේ ඇඳේ නිදා සිටි පුතා ‘ඇයි තාත්තේ කියා’ මගෙන් ඇහුවා. ‘පුතේ වත්තට හරක් පැනල ද කොහෙද’ කියලා කියාගෙනම එළියට යන්න දොර ඇරියා. ඒත් එක්කම මගේ ලොකු පුතයි පොඩි පුතයි දෙන්නමත් නැගිටලා මගේ පස්සෙන් එළියට එන්න ආවා. කවදාවත් නිදාගත්තම අලි ඇවිත් උස්සගෙන ගියත් මේ දෙන්නා නැගිටින්නේ නෑ. නමුත් එදා දෙන්නම නැගිටලා මගේ පස්සෙන් එළියට එන්න ගෙයින් එළියට බැස්සා විතරයි මහා සද්දයක් එක්ක පුතා නිදාගෙන හිටිය තැන බිත්තිය පෙරළුණා.   


බැලින්නම් මහා සද්දන්ත අලියෙක් ගේ ළඟ. මායි පුතාලා දෙන්නයි එළියට පැනගත්තා විතරයි අලියා හයියෙන් කෑ ගහමින් ගේ වටේම ඇවිද ඇවිද කැඩුවා. ඒ වෙනකොට ගේ ඇතුළේ නිදා සිටි මගේ නෝනයි දුවයි ගේ ඇතුළේ හිරවෙලා. අපට කෑ ගහනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබුණේ නෑ. ඒ අතරේ පුතා වනජීවී එකටත් කෝල් කළා. ගෙදර ඉඳන් කිලෝ මීටර් 6ක් වගේ දුරිනුයි වනජීවී කාර්යාලය තිබුණේ. නමුත් ඒ අයට දැන් එන්න විදියක් නෑ කියලා කිව්වා කියලා පුතා කිව්වා. කොහොම හරි ගේ ඇතුළේ හිරවෙලා හිටිය නෝනයි දුවයි බේරගනියෝ කියා කෑ ගහනවා. ගම්මුත් ගේ වටේම ඉඳගෙන අලියා එළවන්න කෑ කෝ ගැහුවා. නමුත් පැය දෙකක් තුනක් විතර යනකම් අලියා එළවගන්න බැරි වුණා. අලියා ගේ වටේ ඇවිද ඇවිද ගේ කඩනවා. අලියා කුස්සිය පැත්තට ගිහින් ඒ බිත්තිය කඩනවත් එක්කම මන් මැරුණත් කමක් නෑ කියලා දුවලා ගිහින් නෝනයි දුවයි හිර වෙලා හිටිය කාමරේ ජනේලය කඩලා අත් දෙකට දෙන්නා උස්සලා අරගෙන මං දිව්වා.   

 

නිවෙස කඩා දමා ඇති අයුරු.

 


මට හිතාගන්නවත් බෑ මං කොහොම ද ඒක කළේ කියලා. විනාඩි පහක්වත් මට මේ ඔක්කොටම තිබුණේ නෑ. අලියා කුස්සිය කඩලා නැවත ගේ ඉස්සරහට එන්න කලින් මන් දුවයි නෝනවයි අරගෙන උස්සගෙන ආවා. ඒ ගත්ත පාරට දුවගේ කකුලකටයි නෝනගේ අතකටයි සුළු තුවාලත් සිදු වුණා. තව එක විනාඩි පහක් පරක්කු වුණා නම් ඒ දෙන්නවම ගේ ඇතුළේ මරලා දමනවා.


ලුණුගම්වෙහෙර වනජීවී එකේ අයට අපි කෝල් කරලා කිව්වා. නමුත් ඒ අය පළාතකවත් ආවේ නෑ. එන්න විදියක් නෑ කියලා තමයි ඒ අය කිව්වේ. වැඩි දවසක් යන්න කලින් ජීවිත දෙක තුනක් වන අලින්ට ගොදුරු වෙනවා. මම හිටියේ නැති නම් මේ හතරදෙනාම අද අලියගෙන් මැරුම් කනවා. පින් සිද්ධ වෙනවා බලධාරීන් දැන්වත් මේ ගැන හිතලා මේ අලි වැට ශක්තිමත්ව හදලා දෙනවා නම්. අපේ ජීවිත පුදුම තරමේ අවදානමකයි තියෙන්නේ.”   යැයි ඔහු පැවැසුවේය


ජී.එම්. පියන්තිකා මහත්මිය (47) තමන් මුහුණ දුන් අත්දැකීම මෙලෙස විස්තර කළාය.   


“අපේ මහත්තයා මළගෙදර ගිහින් එනකොට පාන්දර 1.30ට විතර ඇති. ඒ ඇවිත් නිදාගෙන පැය එකහමාරකට විතර පස්සේ හරක් ඇවිත් කියා මහත්තයා දොර ඇරගෙන එළියට ගියා. ඒත් මට සැක හිතුණා අලි ද දන්නේ නෑ ඇවිත් ඉන්නේ කියා. කෝකටත් කියා මං දුවටත් කතා කළා. දුවට කතා කර අපි දෙන්නත් එළියට එන්න කියලා හදනකොටම ගේ ඉස්සරහා පැත්තේ බිත්තිය බිමට පෙරළුණා. මහත්තයයි පුතාලා දෙන්නයි ඒ වෙනකොට එළියට ගිහින්. ඒ අය කෑ ගහලා කිව්වා එළියට බහින්න එපා අලියා ඉන්නවා කියලා. අලියා ගේ පෙරළනකොට අපි දෙන්නට කර කියා ගන්න දෙයක් නැතිව ගියා. මං දුව බදාගෙන විලාප තිබ්බා ‘බුදු මහත්තයෝ අපිව බේරගන්න’ කියා. මගෙයි දුවගෙයි විලාපෙට අහල සියලු ගම්වල මිනිස්සු එතනට එකතු වුණා. ගමේ මිනිස්සු ටික ආවේ නැති නම් අපි දෙන්න එතනම මරනවා. මහත්තයා අපි හිරවෙලා හිටිය කාමරේ ජනේලය කඩලා අත් දෙකට එක පිම්මට උස්සලා ඇදගෙනම දිව්වා. අලියා කෑ ගහගෙන පස්සෙන් ආවා. අපි හැමදාමත් ජීවත් වෙන්නේ මරණ බයෙනුයි. මීට පෙරත් අවස්ථාවක මේ විදියටම අලියා අපේ ගේ කැඩුවා. එක රුපියලක්වත් වන්දි ලැබුණේ නෑ. අපි පුදුම තරම් අසරණ වුණා ඒ වෙලාවෙත්. දැනුත් අපි පුදුම තරම් අසරණ වුණා. අපිට කන්න බොන්න පවා අහල පහළ ගෙවල්වලිනුයි ගෙනත් දුන්නේ. අපේ ජීවිත රැකගන්න උදව් කළ සියලු දෙනාට මං පිං දෙනවා.”   


මව සමඟ නිවෙසේ සිරවී සිටි ඉමේෂා දිල්රුක්‍ෂි මෙම වසරේ උසස් පෙළ සිසුවියකි.   


ගම්මුන් එක් රැස්ව අලි වෙඩි හා රතිඤ්ඤා දමා පැය දෙකකට පමණ පසුව වන අලියා ගමින් පන්නා දැමිණි. වන අලියා ගමට පැන තවත් නිවෙස් කිහිපයක්ම කැඩීමට උත්සාහ කර ඇති අතර ගම්මුන් එක්ව එය ව්‍යර්ථ කර තිබේ. මේ අවස්ථාවේදී ගම්මුන් පැවැසුවේ වන අලි ගැටලුව සඳහා ස්ථිරසාර විසඳුමක් ලබා දීමට හැකියාව තිබියදී බලධාරීන් එය නොකරන බවයි. වන අලි ගම් වැදීම නතර කිරීමට විදුලි වැට ඉදිකළ යුතු ක්‍රමවේද භාවිත නොකරමින් වනජීවී ඉහළ නිධාරීන්ට ඕනෑ විදියට පමණක් විදුලි වැටවල් ඉදිකිරීමෙන් ප්‍රතිඵලයක් නොවන බවත් ඔවුහු පෙන්වා දෙති.

 

 

 


සටහන : 
සූරියවැව දිලීප් ජයසේකර