වතුකරයේ ‘කොටි’ භීතිකාව


 

 

තලාතුඔය මහ මැදගම ගලපාමුල ප‍්‍රදේශයේ පදිංචි මුතුබණ්ඩා ගොවි මහතා කුඩා කල සිටම දක්ෂ ගොවියෙකි. ඔහු පවුල් පන්සල් වූ පසු එම වෘත්තියේම නියැළී තම අඹු දරුවන් රැක බලාගත්තේ සිතේ නිදහසිනි. 
 ඒත් ඔහුට තම ගම්මිරිස් වගාව තුළදී මහත් බියකරු සිද්ධියකට මුහුණදීමට සිදුවූයේ නොසිතූ මොහොතකය. 


 එම සිද්ධියේ කම්පනය සමඟ තලාතුඔය ප‍්‍රාදේශීය රෝහලේ ප‍්‍රතිකාර ලබන මුතුබණ්ඩා මහතා සිද්ධිය විස්තර කළේ දෙනෙත් ලොකුකරගෙනය. 


 ‘‘මම වත්තේ ගම්මිරිස් කඩ කඩා ඉන්නකොට එකවරම දැක්කා ඈතින් කොටියෙක් යනවා. කළු පුල්ලි තියෙන ඌ හොඳට වැඩුණු සතෙක්. අපේ අම්මා මුත්තා කාලේවත් අපේ ගම්වලට මේ සතුන්ගෙන් කරදර තිබුණේ නෑ. මම ඒ ගැන හිත හිතා ගලක් උඩට නැගලා ගම්මිරිස් කඩ කඩා ඉන්නකොට පස්සෙන් ආව කොටියා එකවරම මගේ ඇඟට පැන්නා. 


 මම ජීවිත ආසාවෙන් උගෙන් බේරෙන්න පොර කෑවා. එතකොට අපි දෙන්නම ගලෙන් පහළ දෙපැත්තට වැටුණා. ඒ නිසා මට ගෙදරට දුවන්න පුඵවන් වුණා. නැත්තම් මගේ කෑලිවත් ඉතුරු වෙන්නෑ. ඒත් මට තුවාලයි. පස්සේ මම මේ රෝහලට ඇතුළත් කළා’’ 


 මේ සිදුවීමෙන් ප‍්‍රදේශය පුරා මහත් භීතියක් හටගෙන තිබූ අතර එම ප‍්‍රදේශයේ කොටින් පලවා හැරීම සඳහා කීර්තිබණ්ඩාරපුර වනජීවී කාර්යාලය මගින් එම ප‍්‍රදේශයට අලිවෙඩි පවා ලබාදීමට පියවර ගෙන තිබුණි. 
 මේ නාවලපිටිය බාර්කේපල් වත්තේ පදිංචිකරුවන් මුහුණ දෙන තත්ත්වය පැහැදිලි කරන සිරිල් ඇන්තනී මහතාගේ අදහසයි. 


 ‘‘මේ පැත්ත තේ වතු තියෙන පළාතක්. ඒත් දැන් මේ වැඩි හරියක් කැලෑ වෙලා. අපේ ඩිවිෂන් එකේ වෙස්ටෝල්වත්ත විතරක් අක්කර 1200 ක් තිබුණා. දැන් අක්කර 100 ක විතර තමයි තේ තියෙන්නේ. ඉතිරි ඒවා කැලේට යටවෙලා. ඉතින් මේවා කැලෑ වුන ගමන් මේ පළාතේ දැන් කොටියෝ බෝ වෙලා. දැන් අවුරුදු 05 ක් විතර මිනිස්සු වතු පාරවල්වල ගමන් බිමන් යන්නේ හරිම බයෙන්. අපේ ළමයි තනියෙන් ඉස්කෝලවලට යවන්න විදිහක් නෑ. කොයි වෙලාවේ කොටියෝ පනියිද දන්නෑ. ගෑනු කට්ටිය දලු කඩනකොට කොටියා පැනලා සෑහෙන දෙනෙක් තුවාල වෙලා. 


 ගෙවල්වල එළුවෝ, හරක්, බල්ලෝ හදන්න බෑ. කොටියා ගෙවල් ළඟමට ඇවිත් උන් කනවා. මේ ගැන කාට කීවත් අපට විසඳුමක් නෑ.’’ 


 මේ පැවසෙන්නේ උඩරට ප‍්‍රදේශයේ කඳුකර ගම්මාන හා වතු ජනතාවගේ අලුත්ම දුක් අඳෝනාවයි. 


 අතීතයේ සිට සුන්දර කඳුකරය මිනිසාට චමත්කාර අත්දැකීමක් ගෙන දී තිබුණි. 


 ගහකොළ, දියඇලි සමඟ මෙහි දේශගුණික තත්ත්වය ගත සිත පුබුදුවාලන්නක් විය. 


 අනාදිමත් කාලයක සිට මෙම කඳුකර ප‍්‍රදේශය තුළ මිනිසුන් ජීවත්ව සිට ඇති අතර, ඉඳහිට ඇති වන ස්වභාවික විපතකින් මිස අලි, කොටි, වළසුන් වැනි රුදුරු සතුන්ගෙන් කඳුකර ගම්මානවලට භයානක උපද්‍රවයක් සිදු වූ බවට වාර්තා වී නොමැත. 


 එම අවධියේ මෙම ප‍්‍රදේශ තුළ රක්‍ෂිත හා ස්වභාවික වනාන්තර නිසි ලෙස පැවතීම හා ඒවාට මිනිසාගෙන් හානි සිදු නොවීම ගම්මානවල ජීවත් වූ මිනිසුන්ට සැනසිල්ලක් උදා වීමට හේතු වී තිබුණි. 

 

 

 නමුත් පසුකාලයේ දී මෙම කඳුකර ප‍්‍රදේශ තුළ තේ වැනි වැවිලි භෝග සඳහා කදිම තෝතැන්නක් බවට හඳුනාගැනීමත් සමග මුළු කඳුකරයම එළිපෙහෙළි වූයේ රක්‍ෂිත හා ස්වභාවික වනාන්තර පවා ශේෂ කරවමිනි. 
 මේ සමඟ රටේ ආර්ථිකය ද ශක්තිමත් කරවමින් ජනාවාස ද පුළුල් වී ගිය අතර, මේ ප‍්‍රදේශය තුළ ජනගහනය ද වර්ධනය විය. 


 මෙලෙස කඳුකරයේ තේ වගාව පැතිර ගිය ද වර්තමානය වන විට මේ තේ වගා බිම් කැලෑ බවට පත් වෙමින් පවතී. 


 ඒ සමඟ වනසතුන් ද වර්ධනය වී ඇති අතර, තේ වගාව සමඟ තිබූ ගම්මානවල ජීවත් වන්නවුන්ට මෙන්ම ඒ අවට ගම්මානවල ජීවත් වූවන්ට අද වනසතුන් නිසා මහත් විපතක් ගෙන දී තිබේ. 


 රිළවුන්, ඌරන්, ඉත්තෑවුන්, වැලි මුවන්, හාවුන් මෙන්ම කොටියා හා දිවියා ද මෙසේ ගම්වැදීම නිසා භවභෝග පමණක් නොව මිනිස් ජීවිතවලට පවා හානි පැමිණ තිබේ. 


 මෙයින් වඩාත් භයානක වී ඇත්තේ කොටියා ගම් වැදීමය. 


 ලංකාවට ආවේණික කොටියා විශාල ලෙස බෝවී ගම්වැදී ගෘහාශ‍්‍රිත සතුන් දඩයම් කිරීම හා මිනිසාට පහර දීම නිසා අද වන විට කඳුකරයේ බොහෝ ප‍්‍රදේශ තුළ කොටි මිනිස් ගැටුමක් ඇති වී තිබේ. 


 වියළි කලාපය තුළ පවතින අලි මිනිස් ගැටුමට සමාන මෙම ගැටුම නිසා දුර්ලභ සතෙකු වන ලංකාවට ආවේණික කොටියාගේ ජීවිතයට විශාල තර්ජනයක් ඇති වී තිබෙන අතර, මිනිසාට ද බරපතළ හානි පැමිණ තිබේ. 
 කොටි පවුලේ උප විශේෂ 09 ක් සිටින අතර, එයින් කහපාට පසුබිමේ කළු පුල්ලි සහිත කොටියා (Panthara Pardus Kotiya) මෙසේ ලංකාවේ ව්‍යාප්ත වී සිටී. 


 දැනට ශ‍්‍රී ලංකාවේ වනාන්තර තුළ කොටි ගහනය 700 ක් පමණ වන බව වනජීවී අංශ අනුමාන කරන අතර, එයින් 150 ක් පමණ ජනාවාස ආශ‍්‍රිතව කඳුකර ප‍්‍රදේශය තුළ ජීවත් වන බව ගණන් බලා තිබේ. 
 කෙසේ වෙතත් 1956 වසරේ දී සත්ව විද්‍යාඥ දැරණියගල මහතා මුල්වරට සිදුකළ පරීක්‍ෂණ අනුව මෙම සතා පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කර තිබේ. 


 ඔහුට අනුව මෙම සතාගේ ව්‍යාප්තිය කලාප තුනකට වෙන්කර තිබේ. ඒ අනුව මධ්‍යම කඳුකරය, වියළි කලාපය හා තෙත් කලාපය තුළ මොවුන්ගේ බෝවීම සිදු වී තිබේ. 


 විශේෂයෙන්ම මෙම කොටියාගේ ප‍්‍රහාරයන්ට ලක් ​ෙවන්නේ වතු ජනයා හා ගම්බද ජනයා වන අතර, එම ප‍්‍රදේශවල මිනිස් ක‍්‍රියාකාරකම් නිසා පසුගිය වසර පහ තුළ මෙම සතුන් ද 30 ක් පමණ මියගොස් තිබෙන බව වනජීවී සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලි වේ. 

 

 

 එසේම, කොටින්ගේ පහර දීම්වලට ලක්ව එක් කාන්තාවක් මිය ගොස් පුද්ගලයන් 40 කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබේ. 


 මෙම සතුන්ගේ වර්ධනය වාර්තා වී ඇති ප‍්‍රදේශ වන්නේ, ගම්පොළ, ගලහ, පුපුරැස්ස, මිල්ලගහමුල, නාවලපිටිය, ෆෙන්රෝස්වත්ත, කැටඹුලාව, බාර්කේපල්, කොටගල, හැටන්, නෝර්වුඩ්, බගවන්තලාව, ගිනිගත්හේන ආදී ප‍්‍රදේශ වලය. 


 මෙම ප‍්‍රදේශවල කොටි වර්ධනය ඇතුවා සේම ඌ අනතුරට පත්වීම හා මියයෑමද වාර්තා වේ. 


 ඒ ලෙස කොටින් උගුල්වලට හසුවීම් හා වස තබා මැරීම විශාල ලෙස වාර්තා වී තිබේ. මෙම අවස්ථා අතරින් ශෝක ජනක කොටි මරණ 05 ක්ම වාර්තා වූයේ ගම්පොළ බලප‍්‍රදේශයෙනි. මෙයින් මිල්ලගහමුල ප‍්‍රදේශයේ උගුලකට හසු වූ කොටියෙකු දිනක් පුරා උගුලේ පැටලී වනජීවී නිලධාරීන් පැමිණීමට ආසන්න මොහොතේ මිය ගිය අතර, එලෙසම මොරහේන හා ගලහ ප‍්‍රදේශවල කොටි දෙදෙනෙකු ද මියගොස් තිබුණි. 

 

 ඒ අතර, පුපුරැස්ස මණිකට්ටුව ප‍්‍රදේශයේ කොටියෙකු උස ගසක් උඩ මිය ගොස් සිටියේ කවුරුත් පුදුමයට පත් කරවමිනි. එම සතා උගුලකට හසුව එය කඩාගෙන කම්බිය සමඟ මෙම ගස මුදුනට නැග සිටිය දී කම්බිය ගසේ පැටලීම නිසා ඌ මෙසේ ගස උඩම මිය ගොස් සිටියේය. 


 කොටියෙකුගේ වඩාත් ශෝකජනක මරණය සිදු වූයේ වනජීවී වෛද්‍යවරුන් හා නිලධාරීන් ඉදිරියේය. ඒ ගම්පොළ කහවත්ත ප‍්‍රදේශයේ දීය. 


 මෙහි උගුලකට හසු වී සිටි තරුණ කොටියෙකු ඉන් මුදාගැනීමට නිර්වින්දනය කිරීමට උත්සාහ කිරීමේ දී ඖෂධ අධිමාත‍්‍රාවක් වැදී එම කොටියා මිය ගිය අතර, වනජීවී අමාත්‍යවරයාගේ අනින් මේ පිළිබඳව පරීක්‍ෂණයක් ද සිදු කෙරිණ. 

 

 මිනිසුන් අනතුරට ලක්වූ ප‍්‍රධාන අවස්ථා 25 ක් වාර්තා වී ඇති අතර ඒ අතුරින් නාවලපිටිය, පොලිස් වාර්තා හා රෝහල් වාර්තා මෙන්ම හදිසි මරණ පරීක්‍ෂණ වාර්තා අනුව නාවලපිටිය බාර්කේපල්වත්තේ ෆෙන්රෝස් රක්‍ෂිතයේ දී කොටියෙකුගේ පහර දීමකට ලක්වීමෙන් මියගිය කාන්තාවක් අතර, එහි දී 17 හැවිරිදි තරුණයෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව පෙනී යයි.. 


 රක්‍ෂිතයේ තණකැවීමට යවා තිබූ තම කිරි හරක් රැගෙන ඒමට යාමේ දී මොවුන් දෙදෙනා මෙසේ කොටියාගේ පහර දීමට ලක් ව ඇති අතර, තරුණයා ගම්මානය දෙසට දිව යාමත් සමඟ කොටියා එම කාන්තාව ඇදගෙන යන අයුරු මිනිසුන් දැක ඇති බව ඇගේ මරණ පරීක්‍ෂණයේ දී හෙළි වී තිබේ. 


 

 එම සිද්ධියෙන් පසුව නුවරඑළිය වන ජීවී නිලධාරීහු එම ප‍්‍රදේශයේ සිටි කොටියා අල්ලා දෙහිවල සත්වෝද්‍යානයට භාර දීමට කටයුතු කළ බව වනජීවී වාර්තා වලින් හෙළි වේ. 


 කොටි ප‍්‍රහාරයට ලක් වූ උත්තරදේවී නැමැති 29 හැවිරිදි මෙම කාන්තාව 2014 ජූලි මස ජීවිතක්‍ෂයට පත් වූ අතර, ඇයගේ සිරුර රැගෙන ඒමට නාවලපිටිය පොලීසිය හදිසි මරණ පරීක්ෂක මල්ලිකා හේවාරත්න මහත්මිය සහ වතු ජනතාව එම රාත‍්‍රියේම කැලයට ගියේ කාන්තාවගේ සිරුර එම රාත‍්‍රිය තුළ වනසතුන්ගේ ගොදුරක් බවට පත්වීමට ඇති ඉඩ කඩ නිසාය. 


 මීට අමතරව ගලහ, ගිනිගත්හේන, දියගල, බගවන්තලාව, බොගවානා වත්ත, කොටගල, කොස්ටාවත්ත, පුපුරැස්ස, නාවලපිටිය ආදී ප‍්‍රදේශ කිහිපයකම මිනිසුන් මෙම කොටි ප‍්‍රහාර වලට ලක්ව රෝහල් ගත කොට ප‍්‍රතිකාර සිදු කර ඇති බවට රෝහල් වර්තා තිබේ. 


 කොටි මිනිස් ගැටුමේ උච්චතම අවස්ථාවට එළඹෙමින් ගම් වැදී සිටින කොටින් පලවා හැරීම සඳහා වනජීවී නිලධාරීන්ට මැදිහත් වීමට පවා සිදුව තිබේ. 


 ඒ අනුව හැටන්, කොටගල, රොසිටා වතුයායේ තේ වතු ආශ‍්‍රිතව සැරිසරන කොටින් රක්‍ෂිතවලට පලවා හැරීම සඳහා නුවරඑළිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් මෙම දෙසැම්බර් මස 13 වැනි දින විශේෂ මෙහෙයුමක් දියත් කොට අලි වෙඩි ගසා එම සතුන් පලවා හැර ඇත්තේ ගම්වාසීන් ද සහභාගී කරගෙනය. එමෙන්ම මෙම වත්තේ සිදු වූ කොටි ප‍්‍රහාරයකට ගොදුරුව එකවර හත් දෙනෙකු තුවාල ලැබූ අතර ගම් වැදුණු මෙම සතා අල්ලා ගැනීමට වනජීවී දෙපාර්තමේන්තුව ද බොහෝ වෙහෙසක් ගත්තේ ය. 


 මෙම වතුයායේ කොටින් විශාල ලෙස සැරිසැරීමත් සමඟ වතු කම්කරුවන් කොටි ප‍්‍රහාර වලට ලක්ව රෝහල් ගත කිරීම හා ගෘහාශ‍්‍රිත සතුන් ගොදුරු බවට පත් වීම නිසා කම්කරුවන් වතුවල දෛනික වැඩකටයුතුවලට යාම පවා ප‍්‍රතික්‍ෂේප කර තිබුණි. 


 වනජීවී දෙපාර්තමේන්තුවේ හැටන් කලාපයේ හා උඩවලව කලාපය ඇතුළු ස්ථාන රැසක සේවය කරමින් හා කොටින් පිළිබඳ ගවේෂණ සිදු කරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමඟ කටයුතු කර අත්දැකීම් බහුල වනසත්ව අඩවි ආරක්‍ෂක අනිල් ජයන්ත විතානගේ මහතා, මේ පිළිබඳව අප සමග මෙසේ සඳහන් කළේය. 


 ‘‘ මුලින්ම කිව යුතුයි අපේ රටේ අය කොටියා හා දිවියා පටලවාගෙන ඉන්න බව. සමහර අය කියනවා ලංකාවේ කොටි නෑ කියලා. මේවා සමාජ ගත වන මත. කොටියා (Panthara Pardus Kotiya) කියන්නේ විද්‍යාත්මක පරීක්‍ෂණ වලින් ලංකාවට ආවේණික කොටියායි. සමෙහි කහපාට පසුබිමේ කළුපාට පුල්ලි තිබෙන්නේ ඌටයි. 


 කෙසේ වෙතත් මෙම සතාගේ පහර දීම වාර්තා වී ඇතත් මරණ වාර්තා වීම අවමය. නාවලපිටියේ සිදු වූ මරණයත් සැක සහිතයි. උගේ ආහාර රටාව සොයා යාමේ දී යම් අවස්ථාවක මිනිසුන්ට පහර දී පලාගිය අවස්ථා ඇති වෙලා තිබෙනවා. ලෝකයේ දුර්ලභ සතුන් අතර දෙවෙනි තැනට පත්ව ඇති මේ සතා ආරක්‍ෂා කළ යුතුව තිබෙනවා. 


 පරිසරවේදිනියක් මෙන්ම කොටින් පිළිබඳ ගවේෂණයක යෙදෙන අග්නිදිග විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනියක් වන නිමල්කා සජීවනී මහත්මිය කොටියාගේ චර්යාවන් පිළිබඳ මෙසේ පැවසුවාය. 


 ‘‘ලංකාවට ආවේණික මෙම සතා පිළිබඳව අප දීර්ඝ ගවේෂණයක නිරත වී සිටිනවා. ඒ වගේම මිනිසා මෙම සතා සමඟ කෙසේ කටයුතු කළ යුතු ද යන්න අප වැඩමුළු මගින් මිනිසුන්ට යම් දැනුමක් ලබා දෙනවා. මිනිසා මෙන්ම කොටියා ද ආරක්‍ෂා වන අයුරින් මෙම ගැටුමට විසඳුමක් දිය යුතු වෙනවා. එසේ නොවුනහොත් නොනවතින කොටි - මිනිස් ගැටුම ඇතිවේවි. මේ සඳහා වගකිවයුතු ආයතනයක් මැදිහත්විය යුතුයි ඇය වැඩිදුරටත් පැවසුවාය.’’ 


 කෙසේ නමුත් කඳුකරය තුළ මෙලෙස කොටි ගහනය ඉහළ යාමත් සමඟ කොටි හමේ වටිනාකම දන්නා ජාවාරම්කාරයන් මෙම කොටින් මරා හම අලෙවි කිරීමේ ජාවාරමක් පේරාදෙණිය පොලීසිය අනාවරණය කරගෙන තිබෙනවා. 


 ඒ ලෙස ලක්‍ෂ ගණනකට අලෙවි කිරීමට සූදානම් වූ කොටි හමක් සමඟ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර ඔවුන්ට දඬුවම් දීමද සිදුකොට තිබේ. 


 එමෙන්ම කොටියා සම්බන්ධයෙන් වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන ආ අපූරු යෝජනාවක් නිසා 2016 මැයි මස නාවලපිටිය පස්බාගේ කෝරළේ සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී මහත් හාස්‍යයට ලක්වීමේ සිදුවීමක් ද ඇතිවිය. 

 එම යෝජනාව ගෙන ආ වනජීවී නිලධාරි බී.ආර්.එම්.කේ. බුලත්ගම මහතා පවසා සිටියේ බාර්කේපල් ප‍්‍රදේශයේ කොටිගහනය වර්ධනය වීමෙන් ජන ජීවිතයට එල්ල වී ඇති තර්ජනය වළක්වා ලීම සඳහා එම ප‍්‍රදේශය තුළ මීටර් 300 ක් දිගට, අඩි 12 ක් උසට ආරක්‍ෂිත වැටක් සැකසීම යෝග්‍ය බවය. ඒ සඳහා රුපියල් ලක්ෂ 50 ක් වැය වන බවද ඔහු පෙන්වා දුන්නේ ය.  

 

මෙහිදී කමිටු සම සභාපති මහනුවර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පවසා සිටියේ ‘‘මේ වැටවල් ගැහිල්ල ප‍්‍රායෝගික නෑ. මේ සතා බළල් ගණයට අයත් එකෙක්. බළලා පිළිබඳව වැටහීමක් තියෙනවා නම් මෙහෙම ප‍්‍රායෝගික නොවන යෝජනා ගේන්න එපා. ඌට ගොදුර පිළිබඳව ඉව වැටුනොත් සීමා මායිම් නැතිව උඩින් නැගලා එනවා. අඩි 20 - 30 ගස් නගින කොටියාට මේ අඩි 12 පැනගන්න බැරිද? මේ වගේ යෝජනා ගෙනත් මිනිස්සු හිනස්සන්න එපා. සත්ව චර්යාවන් පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන්න.’’ 


 කෙසේ නමුත් මෙම සතාගේ ආහාර රටාව අනුව එළුවෝ, ගවයන්, බල්ලන් වැනි සතුන් විශාල ලෙස දඩයම් කිරීම නිසා මිනිසාගේ ආර්ථිකයට ද එය විශාල ලෙස බලපා තිබේ. එය ගම්බද හා වතු දිළිඳු ජනයාට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් වන අතර කොටියාගේ හිරිහැර නිසා බිඳවැටී ඇති සමාජ ආර්ථික තත්ත්වයද සමඟ ජීවිත අවදානම ද බෙහෙවින් ඉහළ ගොස් තිබේ. 


මෙම ගැටලුව විසඳීමට වග කිව යුතු අංශ සමඟ රජයද මැදිහත් විය යුතු බව ජනතාව බලාපොරොත්තු ​ෙවන අතර එසේ නොමැති වුවහොත් තම ගම් බිමි හැර දමා යාමට සිදු​ෙවන අවදානමක් මතුව ඇති බවද මොවුන් පෙන්වා දේ. 


දැනටමත් මෙම ව්‍යසනය මැඩපවත්වන ලෙස රජය හා වග කිවයුතු අංශවලට බල කරමින් මෙම වතු ජනයා උද්ඝෝෂණ, වර්ජන අදී අරගලවලට පවා පෙලඹී ඇති අයුරු දක්නට තිබේ. 


වනජීවී නිලධාරීන් ඇතුළු වගකිවයුතු අංශ මෙම සත්වයා බේරා ගැනීමේ කටයුතුවලට පමණක් මුල්තැන දෙන අතර තර්ජිත මිනිසුන් පිළිබඳව අවධානයක් නොදක්වන බවට ද චෝදනා එල්ල වී තිබේ. 


මෙම හේතුව නිසා සිදුව ඇත්තේ මිනිසුන් විසින් තම ජීවිත හා ගෘහාශ‍්‍රිත සතුන් බේරා ගැනීම සඳහා කොටියාගේ පැමිණීම වළක්වා ලීමට විවිධ උපක‍්‍රම යෙදීමය. ඒ අතර වස තැබීම, උගුල් ඇටවීම බහුල අතර එයින් දුර්ලභ සතෙකු වන මෙම සත්වයාගේ ජීවිතය අනතුරට ලක්ව තිබේ. 


සත්වවේදීයෙකු වන කේ.ජී. ගුණරත්න මහතා කොටි මිනිස් ගැටුමේදී දෙපාර්ශ්වයම බේරෙන ක‍්‍රමයක් ද යොජනා කර සිටී. 


‘‘වන සත්ව තුරුලතා ආඥා පනත අනුව දැඩි ආරක්ෂිත සත්වයෙකු ​ෙවන කොටියා බේරා ගැනීම පිළිබඳව මැදිහත් විය යුතුවා මෙන්ම මිනිසාද බේරා ගැනීමට මැදිහත් විය යුතුයි. මන්ද මිනිසා බේරා ගැනීමට යාම නිසා කොටියා ඉබේම බේරෙනවා. මේ නිසා කොටි ගැවසෙන ප‍්‍රදේශවල මිනිස් වාස භූමි ඇත්නම් වහාම මේ සතා ආරක්ෂිත ස්ථානවලට ඉවත් කළ යුතුයි. ඒ සඳහා නිර්වින්දන ක‍්‍රම අනුගමනය නොකර කූඩු මගින් මෙම සත්වයා අල්ලා ගත යුතුයි. 


මෙම කටයුත්ත ප‍්‍රදේශයේ ජීවත්​ෙවන මිනිසාට දැනෙන ආකාරයෙන් සිදුකරනවා නම් මිනිසා කොටියා පිටුපස නොයාවි. 

 

 

 

 

ගම්පොල
සුරංග රාජනායක