ලිංගික අධ්‍යාපනය පාසල් දරුවන්ට දිය යුත්තේ කුමන වයසේදීද?


 

“මල් කියන්නේ කාට කාට ළමයින්ටයි පාට පාට.. එවැනි පාට පාට මල් කැකුළු වැනි දරු දැරියන්ට බාල ළමා වයසේදී සිටම ලිංගික අධ්‍යාපනයක් ලබා දීම ඔවුන්ට අපචාරයක් නොවන්නට ලබා දෙන ආරක්ෂක රැකවරණයක්, මෙවලමක් බව දරුවන් සම්බන්ධයෙන් සැබෑ ලෙසම කතා කරන බොහෝ දෙනා පෙන්වා දෙති.   
ලිංගික අධ්‍යාපනය දීම යනු ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව ළමයින් පෙළඹවන්නක් නොවන බවත්, බාල වයසේ සිටම ලිංගික අධ්‍යාපනය ලබා දීමෙන් බොහෝ අතවර වළක්වා ගත හැකි බවත් ඒ සම්බන්ධයෙන් විවිධ පර් යේෂණ කරන විද්වතුන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, නීතිඥවරුන් මෙන්ම දරුවන් සමග නිරන්තරව හිඳින ගුරුවරුන් ඇතුළු පිරිස් පවසති.   


එම අධ්‍යාපනය ලබා දීම දරුවන් ලිංගික ක්‍රියාකාරකම් කෙරෙහි පෙළඹවන්නක් ලෙසට ඇතැම් පිරිස් ගෙන යන මතයන් මිත්‍යවක් බව ද ඔවුන්ගේ අදහස ය. එසේම ඔවුන් මෙහිදී පෙන්වා දෙන කාරණා අතර දරුවන්ට වැඩිම අපයෝජනයන් අපරාධයන් හිංසනයන් සිදුවෙන්නේ පවුලේම අයගෙන්, ඥාතීන්ගෙන්, සමීප හිතවතුන්ගෙන්, අසල්වැසියන්ගෙන් වෙන අතර මේ පිළිබඳව දරුවන් දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බව ය.   


මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අයේෂා ලොකුබාලසූරිය මහත්මිය කියා සිටියේ, ළමයෙකුට ලිංගික අධ්‍යාපනය ලබා දිය යුතු නිශ්චිතම වයසක් කිවනොහැකි වුවත් කුඩා කාලේදී සිට අවශ්‍ය පණිවිඩය දරුවාට ලබා දිය යුතු බවයි.   


ලිංගික දැනුම දෙන විදිහයි වෙනස් වෙන්න ඕනෑ. නැතුව අපිට කියන්න බැහැ අවුරුදු 18-19 වෙනකම් ඉන්න ඕනෑ කියලා. එහෙම එකක් නැහැ. කුඩා වයසේ සිට කියන්න පුළුවන්. ලිංගිකත්වය කියන එක ගොඩක් අය හිතාගෙන ඉන්නේ ලිංගික ක්‍රියාව කියලා. ඒක එහෙම නෙමෙයි. ලිංගිකත්වය කියන එකේ මහා ලොකු පරාසයක් තියෙනවා. ඒ නිසා ඒ දේවල් ඒ ඒ වයසේදී කියන්න ඕනෑ එක එක විදිහට. ඒ දරුවට ඒ වයසේදී තේරුම් ගන්න පුළුවන් විදිහට පණිවිඩය දෙන්න ඕනෑ. මේ ඇයගේ අදහසය.   


මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරිය කියා සිටියේ, සමාජ සාරධර්ම පිළිබඳ අවබෝධයක් ද දෙමාපියන් විසින් දරුවන්ට ලබා දීම අවශ්‍ය බව ය.   


“ලිංගික අධ්‍යාපනය කියන දේ එක එක වයසේදී එක එක විදියට දෙන්නයි තියෙන්නේ. එතකොට සමහර දේවල් ගත්තහම පොඩි කාලෙදිම කියන්න පුළුවන්. හැබැයි ඒ කියන විදිහට නොමෙයි අපි ලොකු කාලෙදි කියන්නේ. ඒක වෙනස් වෙනව. උදාහරණයක් විදිහට කිවිවොත් ලිංගික අපයෝජනයකින් වැළකිලා ඉන්න කියන එක ගැන, අපි පොඩිම කාලේ එනම් අවුරුදු 5 ට අඩු කාලෙදිත් කියන්න පුළුවන්. එයාගේ ශරීරය අල්ලන්න පුළුවන් කාටද, කවුරු හෝ අතගාන්න එනවා නම් ඒ ගැන අම්මට තාත්තට කියන්න ඕනෑ අන්න ඒ වගේ පොඩි පොඩි මැසේජර්ස් දෙන්න පුළුවන්. නමුත් ලොකු වෙනකොට ඊට වඩා වෙනස් දේවල් දැන ගන්න ඕනෑ. වයස 10 -12 වෙනකොට ළමයා දැනගන්න ඕනෑ කොයි වගේ දේවල්ද එයා ප්‍රතික්ෂේප කරන්න ඕනෑ කියලා. අපි හිතමු කවුරු හෝ නොදන්න කෙනෙක් හෝ දන්න කෙනෙක් වුණත් ඇවිල්ලා අනවශ්‍යව ළංවෙන්න හදනවා නම් ඒවායින් ඈත්වෙන්නේ කොහොමද කියලා දැනුම්වත් කරලා තියන්න ඕනෑ.   


 අපි කරපු රිසර්ච් එකකදි ආවා අවුරුදු 14 වෙනකොට සියයට 10 ක් ලයිෆ් ටයිම්. ඒ කියන්නේ ඒ අවුරුදු 14 ඇතුළත කවදා හෝ ලිංගික අපයෝජනයකට ලක් වෙලා තියෙනවා. ඒ කියන්නේ සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. කවදා හෝ ලක්වෙලා තියෙනවා. එහෙම නම් පොඩි වයසේදිත් ඒක වෙනවා නම් අපි කියා දෙන්න ඕනෑ කොහොමද ඒ වගේ දේවල්වලින් වැළකෙන්නේ කියලා. ඊට පස්සේ තව ටිකක් ලොකු වෙනකොට අපි ඒ ළමයාට කුසලතා දෙන්න ඕනෑ. කොහොමද ඒ වගේ දේවල්වලින් වැළකෙන්නේ කියලා. ඊට පස්සේ තව ටිකක් ලොකු වෙනකොට අපි කියන්න ඕනෑ එයාට කවුරු හෝ සමග සම්බන්ධයක් ඇති කරගෙන තියෙනවා නම්, ඒ කෙනා එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ කියලා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට කිව්වොත් පෙම්වතෙක් ඉන්නවා නම්, ඔහු කතාකරනවා නම් හෝටලයකට වැනි තැනකට තනියම යන්න කතා කළොත් ඒක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒ වගේ එක එක වයසට දෙන්න ඕනෑ පණිවිඩ සහ කුසලතා වෙනස්. අපයෝජනය ගැන විතරක් නෙවෙයි ලිංගිකත්වය ගැන කතා කරනකොට වුණත් අපි ලිංගික ක්‍රියාව ගැන කතා කරනකොටත් ඒවා අපි පොඩි වයසෙදි කතා කරන්නේ නැහැ. ලිංගික ක්‍රියාව ගැන කතා කරන එක ගැන අපිටත් තීරණය කරන්න අමාරු වුණා. මොකද ඒක සංස්කෘතියත් සමග බැඳිලා තියෙන දෙයක්. එතකොට අපි පාසල් දරුවට මොනවද කියන්නේ කියන එක ගැන ලොකු ප්‍රශ්න එන්න පුළුවන් නිසා අපි ඒ පොත් සහ 12 පංතියේ උගන්වන්න යන ඒවා සියලුම දේවල් ලිංගිකත්වය ගැන උගන්වන විෂය පථය අපි පාර්ලිමේන්තුවට දාලා තමයි තීරණය කළේ 12 වැනි ශ්‍රේණියේදි තමයි උගන්වන්නේ. පාර්ලිමේන්තුවේ ‘විමෙන්ස් කොමිටි’ කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි කළේ. තුසිතා විජේමාන්න මන්ත්‍රීතුමිය තමයි ඒකේ සභාපතිතුමිය. ඒ මන්ත්‍රීතුමිය ඇතුළු සියලුම විද්වත් මණ්ඩලය එකතු වෙලා තමයි 12 වැනි වසරට දාලා, තීන්දුවකට ආවා, 12 වසරේ ළමයින් කරන විට ඒක ගැටලුවක් නොවුණොත් තව අඩු වයසකට ගන්න පුළුවන්ද කියලා බලනවා කියලා. එහෙම තමයි අපි තීන්දු කළේ ඒ ගත්තු සියලුම දේවල් ගැන. එනම් පවුල් සැලසුම් ක්‍රම ගැන, ලිංගික ක්‍රියාව පිළිබඳ. ඒ හැම දෙයක්ම ඒකට අඩංගුයි.   
ලිංගික ක්‍රියාවල්, පවුල් සැලසුම් ක්‍රියා බොහොම සංවේදී කාරණා නිසා අපි ඒවා අනුමත කරගෙන තමයි පොතට දාලා තියෙන්නේ. 12 වසර දී කියන එක අපි අවුරුද්දෙන් අවුරුද්ද බලලා වටපිටාව අනුව තව අඩු වයසකට ගේන්න අපි උත්සහ කරනවා. ඒ කියන්නේ අපි හිතනවා 9 වසරේදි වගේ තියෙනවා නම් හොඳයි කියලා. අපිට දැනෙන විදියට. නමුත් දරුවන්ගේ සංස්කෘතිය රැක ගැනීම රටේ පුරවැසියන්ටත් අයිති දෙයක් හින්දා අපිට ඒ අයගේ ප්‍රතිචාරත් අනුව තමයි ඒක අඩු කරන්න පුළුවන් වෙන්නේ යැයි ඇය පවසන්නීය.   
කෙසේ වුවද අප දන්නා පරිදි බොහෝ විට පාසල් අධ්‍යාපනය තුළ ලිංගික අධ්‍යපනයේ දී ශරීරයේ ඉන්ද්‍රියන් පිළිබඳව දැනුවත් කිරීමක් කර තිබුණ ද ලිංගික ක්‍රියා, එහි අනිසි බලපෑම් පිළිබඳව සඳහනක් නැත. එහිදී වෛද්‍යවරිය ඒ පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් මෙසේ පැවසුවා ය.   


“ලිංගික ක්‍රියාව ගැන සහ පවුල් සැලසුම් ක්‍රම ගැන විතරයි අපි පරක්කු කරලා තියෙන්නේ. එසේ පරක්කු කරලා තියෙන්නේ එක පැත්තකින් අපි හිතාමතාම මේ සංස්කෘතියත් එක්ක ගැටෙන ප්‍රශ්න ඇති කරගන්න බැරි නිසා ඒක මගහරවා ගැනීම සඳහායි කරලා තියෙන්නේ. මම එක පැත්තකින් හිතනවා ක්‍රියාව ගැන සම්පූර්ණයෙන්ම කියා දෙන්න ගියොත් මේ ගොල්ලෝ එක පැත්තකින් ඒව අත්හදා බලන්න ඉඩ තියෙනවා. එහෙම කලාතුරකින් තමයි වෙන්න පුළුවන් වෙන්නේ. නමුත් එහිත් අවදානමක් තියෙනවා. ඒ නිසා වයස තීරණය කිරීම බොහෝම පරිස්සමින් කළ යුතු දෙයක්. ඒ නිසයි පාර්ලිමේන්තු ගිහිල්ලාම විද්වත් කමිටුවක් කැඳවලා ඒ හරහාම මේ තීන්දුවක් අරගෙන තියෙන්නේ ඒක හැමෝටම සාධාරණයක් ඉෂ්ට වෙන නිසයි. මේක තව වයස අඩු කරන්න ඕනෑ සීමාව මොකක්ද කියන එක වටපිටාව අනුව අපිට අඩු කරන්න පුළුවන්. මොකද කාලයෙන් කාලයට දරුවන්ගේ හැසිරීම් රටා වෙනස් වෙන්න පුළුවන්. තියෙන අවදානම වෙනස් වෙන්න පුළුවන්. මොකද සමාජ මාධ්‍ය ජාලා සමඟ දරුවෝ වැඩි වශයෙන් ඉන්නවා. මනෝ සමාජයීය කුසලතා දියුණු කරගැනීමට අලුතින් වැඩසටහනක් ආරම්භ කළා. පළමුවැන්න කළුතර දිස්ත්‍රික්කයේ. එය සාර්ථක වුණා. ගුරුවරු ඒ වැඩසටහන වැලඳ ගත්තා මෙය දරුවන්ට ලබා දිය යුතුයි කියලා. මේ තුළ සියලු අවදානම් ගැන කතා කරලා ඒවායින් වළකාගෙන දරුවාව සතුටින් තියන්න මොකක් ද පාසල ඇතුළේ කරන්න ඕනෑ කියලා ඒ ගැන කතා කරනවා. ඒවා කෙරෙනවා නම් දරුවා වෙනත් අයහපත් දේවල් කෙරෙහි ඇදී නොගොස් දරුවා සතුටින් ඉඳීවි කියලා.”   


කෙසේ වුවද ගැහැනු දරුවා සිය අම්මාගෙන්, වැඩිහිටි ඥාතිවරියකගෙන් හෝ දැනුවත් වීමක් ලබා ගන්නා නමුත් පිරිමි දරුවා අත්හැරුණු ස්වභාවයක සිටින බව ද මෙහිදි පෙනී යන තවත් කාරණයකි. අප ඒ පිළිබඳව ද ඇගෙන් විමසුවෙමු.   


“දැන් දැන් දෙමව්පියන් තේරුම් අරන් ඉන්නේ නව යොවුන් වයසේ දි ලිංගික දැනුම පිරිමි දරුවන්ටත් ලබා දිය යුතු බව. විෂය පථය තුළ දෙගොල්ලන්ටම එකම දේ උගන්වන නිසා දරුවාට අවදානම්වලින් බේරෙන හැටි ගැන උපදෙස් ලැබෙනවා. දැනුම ගැන ඒ නිසා ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ප්‍රශ්නය තියෙන්නේ දැනුම තිබුණත්, කුසලතා තිබුණත් එම අවස්ථාවේදී එවැනි අවස්ථාවක් ලැබුණහම දරුවා හැසිරෙන පිළිවෙළ තමයි අපිට කලින් ඉඳලම කියන්න බැරි. ඒක හැමෝටමත් නෙවෙයි. මේ අවදානම් හැසිරීම වැඩි පොඩි කාලේ ඉඳලම මොනවාම හෝ ප්‍රශ්න ඇතිවුණු ළමයින්ටයි. ඒ වගේම බුද්ධිමය හැකියාව අඩු දරුවන්. මේ හැම දෙයක්ම බලපානවා. හැබැයි අපිට තියෙන දත්ත අනුව නම් තාමත් අපේ ලිංගික හැසිරිම්වල යෙදීම ගැන පාසල් ඇතුළේ තියෙන තත්ත්වය බැලුවහම ගැහැනු ළමයින්ගේ ඉතාමත් අඩුයි. සියයට 2 ටත් වඩා අඩුයි. පිරිමි දරුවන්ගේ ඒ වගේම අඩු සංඛ්‍යාවක් තියෙන්නේ. හැබැයි මේක නිශ්චිත කරලම කියන්න අමාරු වෙන්නේ දරුවන් ඇත්තම කියනවද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. නමුත් වෙන රටවල තරම් අපේ දරුවන් ලිංගික හැසිරීම්වලට තාම යන්නේ නැහැ ඉස්කෝල ඇතුළේ සිටියදී. එහෙත් එළියට ගිහිල්ලා යනවා. තව වැදගත් පණිවිඩයක් අපිට තියෙනවා වැඩිහිටියන්ට කියන්න. අපේ සමාජයේ මේවාට වැළකෙන්න තියෙන සාරධර්ම කියන ඒවාට තැනක් දෙන්න ඕනෑ කියන එක.   


උදාහරණයක් කිව්වොත් අපි පොඩිකාලේ ගත්තොත් ගෑනු ළමයෙක් පිරිමි ළමයෙක් එක්ක යාළු වෙනවා කියන එක සමාජ සම්මතයක් නෙවෙයි. නමුත් දැන් ඒක විලාසිතාවක් වෙලා. නව යොවුන් වියට ඇවිල්ලා නම් යාළුවෙන්න ඕනෑ. ඊළඟට තවත් දුරට ඇවිල්ලා එයා ලිංගික දේකට ඉල්ලීමක් කළොත් ඒකට එකඟ වෙන්න ඕනෑ තැනට එනවා. එහෙම යන්න දෙන්න නරකයි. අපි හැම වෙලාවෙම අපේ සමීක්ෂණයකදී ඇහුවා ලිංගික කටයුතුවලට ඉල්ලීම් කරද්දී 18-24 අයගෙන් අපි ඇහුවා. ඔවුන් කියා තිබුණා බෝයි ෆ්‍රෙන්ඩ් කතා කළත් අපි යන්නේ නැහැ කියන කොටසේ සියයට 60 ක් සිටියා. හේතුව සමාජ සම්මතය එහෙම නොවෙන හින්දා. එහෙම සමාජයේ එකඟතාවක් නැහැ කියල පෙන්වීමම ළමයාට ආරක්ෂාවට සාධකයක් වෙනවා.   

 

 

මේ අතර මේ පිළිබඳව අදහස් දක්වමින් විවෘත විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාරිනී හරිනි අමරසූරිය මහත්මියගෙන් ද විමසීමක් කළෙමු.   


“ගොඩක් වරද්දගෙන තියෙන එකක් තමයි මේ ලිංගික අධ්‍යාපනය කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ ලිංගික ක්‍රියාවක් ගැන දෙන අධ්‍යාපනයක් කියලා. ලිංගික අධ්‍යපනය කියලා කියන්නේ ලිංගික සෞඛ්‍ය ලිංගිකත්වය. තමන්ගේ ශරීරය මේ සියල්ල පිළිබඳව ශරීරය වෙනස්වෙන පිළිවෙළ වයසත් සමග ශරීරයේ සිදුවන වෙනස්කම් සියල්ල ඒ සමග වෙන මානසික වෙනස් වීම් සාමජයේ ඒ පිළිබඳව තියෙන අදහස්, මත ඒ වගේ පුළුල් දෙයක්. ලිංගික ක්‍රියාවක් ගැන කියලා දෙන එක නෙවෙයි. ඒක පුළුල් මාතෘකාවක්. ඒ පුළුල් මාතෘකාව සියලුම දරුවන් දැනගත යුතු දෙයක්. මොකද ඒ අයගේ ශරීරය පිළිබඳව ඒ කියන්නේ අපි මනුෂ්‍යයන් හැටියට අපේ ඇඟ වෙනස් වෙනවා. අපේ ලිංගිකත්වයක් කියා දෙයක් තිබෙනවා. ලිංගික සෞඛ්‍ය කියා දෙයක් තිබෙනවා. ඒ සියලු දේ ගැනම අපි දැනුම්වත් විය යුතුයි. ඒ නිසා ඒ පිළිබඳව, ඒ වයස අනුව, ඒ වයසට සුදුසු දැනුම පොඩි කාලේ ඉඳන්ම ලැබිය යුතුයි. ඒ ලිංගික අධ්‍යාපනය පිළිබඳව අවශ්‍ය දැනුම ඒ අනුව පොඩි කාලේ ඉඳන්ම ළමයෙක් දැනගන්න ඕනෑ. කොහොම ද පිරිසිදු වෙන්නේ. මොකක්ද පෞද්ගලිකත්වය කියන්නේ. තමන්ගේ ශරීරය කොහොමද වෙනස් වෙන්නේ වෙන කෙනෙකුට වඩා, ශරීරය බලාගැනීමට තමන්ට තියෙන වගකීම. ඒ වගේ දේවල් පොඩි කාලේ ඉඳන්ම ළමයෙකුට සුදුසු කාලේ දැනගන්න ඉඩ දෙන්න ඕනෑ. අවුරුදු 05-06 සිට ඒ දැනුවත් කිරීම ටිකෙන් ටික කළ යුතුයි. දරුවෙකුට එහෙම දෙයක් කිව්වම එය තේරුම් ගැනීමට පුළුවන් දවසේ ඉඳන්ම ඒක තේරුම් ගන්න ඕනෑ. එතකොට අවුරුදු 10-11-12-13 විතර වෙනකොට අර ගෑනු ළමයින් ඔසප් වීම වෙනවා පිරිමි ළමයින්ට වෙන ක්‍රියාවලියක් වෙනවානේ. ඉතින් ඒ කියන ක්‍රියාවලිය දැන් සිද්ධ වෙනවා. ඇයි ශරීරය වෙනස් වෙන්නේ? ඒ වෙනස් වුණාම මොකක් ද වෙන්නේ? ඒ දැනුම දෙන්න ඕනෑ. ඒ විදියට වයසින් වයස අවශ්‍ය දැනුම ලබා දිය යුතුයි. ඒක මහලොකු මැජික් එකක් නෙවෙයි.   


ඇය පෙන්වා දෙන අන්දමට ලිංගික දැනුම මූලික වශයෙන් ලබා දිය යුතුව ඇත්තේ පාසලෙන් ය. එය අධ්‍යාපනයේ කොටසක් ද විය යුතුය. එහි ජීව විද්‍යාත්මක පැත්තක් ද ඇත. එසේම එහි සමාජමය කොටසක් මෙන්ම සංස්කෘතික කොටසක් ද ඇත. මේ කාරණා තුනම දැනගත යුතුව තිබේ.   


“ලිංගිකත්වය කියන එක අපි ශරීරය පිළිබඳව කරන ජීව විද්‍යත්මක දෙයක්ම නෙවෙයිනේ. ලිංගිකත්වය කියන එක ශරීරය ගැන යමිකිසි දෙයක් තියෙනවා නම් ඒවා සමාජයෙන් සහ සංස්කෘතියෙන් වෙන් කරලා අපිට හදාරන්න බැහැ. උදා: ගැහැනු ළමයෙක් සුදු වෙන්න ඕනෑ කියන එක, ශරීරය හැඩයකට තියෙන්න ඕනෑ කියන එක ජීව විද්‍යාත්මක කරුණක් නෙවෙයි. ඒක සංස්කෘතික කරුණක්. ලිංගිකත්වය පිළිබඳව, සමජය සංස්කෘතිමය වශයෙන් ලිංගිකත්වය ස්ත්‍රීන්ගේ ලිංගිකත්වය දිහා බලන විදියත් එක්ක. ඒවා තුළින් තමයි ඇත්තටම කාන්තාවන්ට ගැහැනු දරුවන්ට වෙන වෙන ප්‍රශ්නත් වෙන්නේ. ඒ ලිංගිකත්වය පාලනය වෙන විදිහ. ලිංගිකත්වය නිසා පීඩනයට පත්වෙන හැටි මේවා සියල්ල එකිනෙකට සම්බන්ධයි. මේක ජීව විද්‍යාත්මකව පැත්තක් තියෙනවා, සංස්කෘතික පැත්තක් තියෙනවා, සමාජීය පැත්තක් තියෙනවා. ඒක හරියට ඕනෑම ළමයෙක් දැනගත යුතුයි. අපේ සමාජයේ තියෙන ප්‍රශ්නවලින් සියයට 75 ක් තියෙන්නේ ඔය වගේ දේවල් නිවැරදිව අපි උගන්වන්නේ නැති නිසයි. විවෘතව කතා කරන්නේ නැති නිසා. සාකච්ඡා කරන්නේ නැති නිසා. අපි පවුල් ප්‍රශ්න ගැන කතා කරනවා. ලිංගික අතවර ගැන කතා කරනවා. ඒවා අපි කතා කරන්නේ ප්‍රශ්නය වුණාට පසුවයි. අපේ සමාජයේ ඔය තියෙන ප්‍රශ්න බාගයකට මුල අපි හරි ලිංගික අධ්‍යාපනයක් ලබා නොදීම නිසයි. මේක පුළුල් මාතෘකාවක්. ලිංගික අධ්‍යාපනය කියලා කියන්නේ මේ ලිංගිකව හැසිරෙන එක ගැන දෙන දැනුමක් කියලා තමයි මේ ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඒක වැරදියි. ඒක ඉතාමත් පුළුල් මාතෘකාවක්. ඒක අපිට අත්‍යවශ්‍ය මාතෘකාවක්.   


පාසල් ගුරුවරියක් වන විශාකා අබේරත්න මහත්මිය.   


“දරුවෙකුට ලිංගික අධ්‍යාපනය කියන එක අත්‍යවශ්‍යයි. එය ලැබිය යුතුමයි. අපේ වගේ රටක් ගත්තහම ලිංගික අධ්‍යාපනය කියන විෂයෙන් ගොඩාක් දුරස් කරලයි තියෙන්නේ. උදා: අදටත් වඩා ඉස්සර කාලය ගත්විට පාසල් කාලය තුළ ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් මොනම හෝ දෙයක්වත් ඇතුළත් වෙලා තිබුණානම් විෂය නිර්දේශයකට හරි, අපි වගේ රටක තියෙන සංස්කෘතික හෝ වෙන යම් පසුගාමී දෙයක් නිසා ලිංගික අධ්‍යාපනය කියන එක සම්පූර්ණයෙන්ම අමතක කරලා තමයි ගියේ. උදා: ඔබට වුණත් මතක ඇති. අපිට ලිංගික අධ්‍යාපනය කියලා මොකක් හෝ ලැබුණේ 11 වසර විද්‍යාව විෂයේදීයි. විද්‍යාව පාඩමක් අපිට තිබුණා ප්‍රජනනය කියලා. නමුත් කොයිම වෙලාවකවත් අපිට ප්‍රජනනය කියන පාඩම අධ්‍යාපනය ඇතුළේ අපිට නිවැරදිව ඉගැන්නුවේ නැහැ. අපිට ශාක ප්‍රජනනයේ කොටස විතරක් කරලා, සත්ව ප්‍රජනනය කියන එක එහෙම පිටින්ම අතහැරියා. ඒ වගේ එවැනි තත්ත්වයක් ඇතුළේ හැදුණු වැඩුණු වැඩිහිටියෝ තමයි අපි. දැන් අපි වැඩිහිටියෝ විදියට අපිට තියෙනව අවබෝධයක් ලිංගික අධ්‍යාපනය කියන එක දරුවෙකුට පාසල් අධ්‍යාපනය තුළින්ම ලැබෙන්න ඕනෑ කියන එක. මොකද එහෙම නොවුණාම දරුවෝ මුහුණදෙන ගැටලු ගොඩාක් තියෙනවා. එකක් තමයි දරුවන්ට ලිංගික අධ්‍යාපනය සම්බන්ධ අවබෝධයක් නැහැ. ඒ අවබෝධය නැති වුණාට දරුවෙක් නිසි වයසට එනවිට, ඒ අවශ්‍යතා දැනෙනවානේ. කුතුහලය දැනෙනවා. ලිංගිකත්වය සම්බන්ධයෙන් අවශ්‍යතාව තියෙනවා. ඒ හෝර්මෝන ක්‍රියාකාරිත්වය. මේ හැම දෙයක් එක්කම ලිංගික අධ්‍යපනය සම්බන්ධයෙන් දරුවෙකුට අවශ්‍යතාව ඇතිවෙනවා. අවශ්‍යතාව ඇතිවුණාට එය නියම විදියට ලබා ගැනීමට වැඩපිළිවෙළක් කොතැනකවත් නැහැ. දෙමව්පියන්ගෙන් ඒක ලැබෙන්නෙත් නැහැ. අපි වගේ රටක ගත්තහම ගොඩාක් වෙලාවට පිරිමි ළමයි, ඇත්තටම දෙමව්පියන් එක්ක සමාන්‍යයෙන් පොඩි කාලේ දෙමව්පියන් එක්ක සම්බන්ධකම් තිබුණ, 6-7-8 වැනි වසරවලට යනවිට පිරිමි ළමයා කියන කෙනා ගෙදර දෙමව්පියන්ගෙනුත් ටිකක් දුරස් වෙනවා. ගෑනු ළමයෙක් විශේෂයෙන්ම අම්මත් එක්ක වගේ සම්බන්ධතා තිබිලා, තමන්ට යම් ගැටලු තැන් ප්‍රශ්න කළත්, පිරිමි ළමයා කියන කෙනා දෙමව්පියන්ගෙනුත් කිසිම දෙයක් අහන්නේ නැතිව, දෙමාපියන් එක්ක කතා කරන්නෙත් නැති තත්ත්වයක් තමයි අපේ සමාජය ඇතුළේ තියෙන්නේ. පිරිමි දරුවා මුල ඉඳන්ම අතහැරුණු තත්ත්වයක් තමයි තියෙන්නේ. මගේ දරුවෝ වුණත් සමහර වෙලාවට අහනවා අම්මේ අපි කොහොමද හම්බු වුණේ. ඒ ප්‍රශ්නය හැම දරුවෙක්ම පොඩි කාලෙදි දෙමව්පියන්ගෙන් අහන ප්‍රශ්නයක්. හැබැයි ඒකට නිවැරිදි උත්තරයක් දෙන්නේ නැතිව ගොඩක් වෙලාවට දෙමව්පියන් කරන දේ තමයි ඔයාව මට දෙවියෝ ගෙනත් දුන්නා. රෝස කැලෙන් ගෙනාවා. රෝස මලෙන් ඉපදුණා මේ වගේ කතන්දර ටිකක්නේ කියන්නේ. ඒකෙන් පවා දරුවෝ මුළා වෙනවා වගේ වෙනවා. හැබැයි එහෙම වුණාට දරුවා තමන් කොහොමද ඉපදුනේ, තමන් මේ ලෝකෙට හැදී වැඩුණේ කොහොමද කියන එක සම්බන්ධයෙන් කුතුහලයක් දරුවට ඇතිවෙනවානේ. හැමදාමාත් දෙවියෝ ගෙනත් දුන්නා, දිව්‍ය ලෝකයෙන් ආවා, රෝසමලෙන් ඉපදුණා සුරංගනාවියෝ ගෙනත් දුන්නා මේ ආදී කියන කතා දරුවෝ විශ්වාස කරන්නේ නැහැනේ. දරුවා එතකොට පෙළඹෙනවා කොහොමද මේක වුනේ කියලා හොයන්න. ඒ හොයන තත්ත්වයට පත්වෙන කාලය වෙන විට නිවැරදි ලිංගික අධ්‍යාපනයක් ලබා දෙන්න ක්‍රමවේදයක් අපේ රටේ නැහැ. දෙමව්පියන්ටත් නැහැ. අම්මාගෙන් ප්‍රශනයක් ඇහුවාමත් අම්මත් පැකිළෙනවා. බොහෝ ආසියාතික රටවල අය පසුගාමී නිසා, ලිංගිකත්වය සම්බන්ධයෙන් මොනම ප්‍රශ්නයක් ආවත් ඒකට උත්තරයක් දෙන්න හරිම ලැජ්ජයි. ඒ නිසා දරුවෙක් ප්‍රශ්නයක් ඇහුවත් ඒකෙන් මගහැරලා යනවා මිසක් උත්තරයක් දෙන්නේ නැහැ. ඒ නිසා ඇත්තටම දරුවා අතරමං වීමක් වගේ වෙනවා, මේ කියන ප්‍රශ්නයෙදි. ඒ නිසා ඇත්තටම දරුවන්ට 5-6-7 වගේ වසරවලට යන විට ලිංගික අධ්‍යාපනය ක්‍රමානුකූලව ලබා දෙන එක පටන් ගන්නම ඕනෑ.   

 

 

පද්මිණි මාතරගේ